Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොමේරූ ළදරුවෙකු බලා ගැනීමේදී සැළකිලිමත් වියයුතු කරුණු

සති 37ක පමණ කාලයක් හෝ ඊට අඩුවෙන් මව් කුස තුළ ගත කළ දරුවන් නොමේරු දරුවන් ලෙස සළකයි. නවීන වෛද්‍ය තාක්ෂණයේ භාවිතයත් සමඟ සති 23ක පමණ කාලයක් පමණක් මව් කුසෙහි සිටි දරුවන්ට වුව ද ජීවිතය ‍ලබා දීමේ හැකියාව ලැබී ඇත.

ඇතැම් විටෙක සති 26ක පමණ කාලයක් මව් කුස තුළ සිටි දරුවන්ගේ බර කිලෝ ග්‍රෑම් 1ක් පමණ හෝ ඊට අඩු විය හැකියි. එවැනි දරුවෙක් අඩු බර සහිත නොමේරු දරුවෙක් වේ.

නොමේරු දරුවන් හට ඇතිවිය හැකි සංකුලතා

premature-babies.co.uk

සාමාන්‍ය දරුවෙකුට වඩා මෙවැනි දරුවෙකුට සංකුලතා රාශියක් ඇතිවිය හැකි අතර එම ගැටලු මුලදීම නිවැරදිව හඳුනාගත යුතු වේ. එවැනි දරුවන් හට පහත සංකුලතා ඇති වීමේ ප්‍රවණතාවක් ඇත.

  • හුස්ම ගැනීමේ අපහසුතා
  • ශරීර උෂ්ණත්වය අඩු වීම
  • කිරි උරා බිමේ හැකියාව අඩු වීම
  • ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වීම
  • මොළයේ වර්ධනය වී ඇති ප්‍රමාණය ඉතා අඩු වීම
  • ඇස් පෙනීමේ දුර්වලකම
  • කන් ඇසීමේ දුර්වලත්වය
  • ශරීරය කහ පහ ගැන්වීම
  • වලිප්පුව වැනි තත්වයන්
  • “රිකට්ස්” වැනි රෝගී තත්ත්වයන්

හුස්ම ගැනීමේ අපහසුතා

නොමේරූ ළදරුවෙකු ලෙස උපදින දරුවෙකුගේ පෙනහැලි උපතේදී නිවැරදි ලෙසින් වර්ධනය වී නැත. එවැනි දරුවන්ගේ හුස්ම ගැනීමේ හැකියාව අඩු වන්නේ එබැවිණි. එවැනි දරුවන්ගේ එම අවශ්‍යතාවන් විමසා බලා වහාම සැපයිය යුතු වේ. නොමේරු දරුවකු ඉපදුණු විගස කෘත්‍රිම උපකරණ මඟින් ඔක්සිජන් ‍ලබාදීම අවශ්‍ය වන්නේ ඒ නිසාය. දරුවාට නිසි ලෙස හුස්ම ගැනීමේ හැකියාව ඇතිවන තෙක් එසේ කෘත්‍රිම ලෙස ශ්වසනයට ආධාර ලබාදිය යුතු වේ.

ශරීර උෂ්ණත්වය අඩු වීම

stream.org

නොමේරූ දරුවන්ගේ ශරීර උෂ්ණත්වය අඩුවීමේ ප්‍රවණතාවක් ඇත. එවැනි දරුවෙක් බිහි වූ විගස එම දරුවාගේ ශරීර උෂ්ණත්වය පිළිබඳ සැළකිලිමත් විය යුත්තේ එබැවිණි.

මෙවැනි දරුවන් හොඳින් උණුසුම් කර තැබීම අවශ්‍ය වේ. දරුවාගේ හිස තොප්පියකින් ආවරණය කර ඇඳුම් වැඩි ප්‍රමාණයක් අන්දවා තැබිය යුතුයි.

දරුවාගේ ශරීර උෂ්ණත්වය අඩුවීම වළක්වා ගැනීම සඳහා මවගේ උණුසුමේ තැබීම කළ යුතු අතර මව හැකි සෑම විටෙකම දරුවා උණුසුම්ව තැබිය යුතු වේ. එසේ නොමැති නම් දරුවාගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු දරුවා incubator උපකරණයක් තුළ තැබීම ද කළ හැකි වේ. සාමාන්‍ය ජනතාව හඳුන්වන ‘වීදුරු පෙට්ටිය’ නම් මෙයයි.

කිරි උරා බිමේ හැකියාව අඩු වීම

babycenter.com

මෙවැනි දරුවන් හට කිරි උරා  බීමේ හැකියාව අඩුවන නිසා ඇතැම් විටෙක මව් කිරි දොවා බටයක් මඟින් දරුවාට ලබා දීමට සිදු වේ. නොමේරු ළදරුවන් හට නිර්දේශිත විශේෂ කිරි වර්ගයක් ලබා දීම ද කළහැකි වේ. එවැනි කිරි ලබා දීමට ද නොහැකි තත්ත්වයක ‍දරුවා සිටින්නේ නම් දරුවාට සේලයින් ලබා දීම කළ යුතු වේ. නොමේරු දරුවන්ටම විශේෂිත ලෙස නිෂ්පාදිත සියලු පෝෂණයෙන් අනුන සේලයින් දැනට රෝහල් වල භාවිතා කරයි. එම සේලයින් දරුවාගේ ශිරාවන් හරහා ශරීරගත කරන අතර ආහාර මාර්ගය ක්‍රියාත්මක වීම ආරම්භ වූ පසු මුඛයෙන් කිරි බීමට සැලැස්වීම කළ හැකි වේ.

නොමේරු දරුවන්ගේ ආහාර මාර්ග නිවැරදි ලෙස වර්ධනය වී නොතිබීම නිසා නිවැරදි ලෙස ක්‍රියාත්මක වන්නේ නැත. දරුවාගේ ආහාර මාර්ගය තුළ ආහාර නොදිරන ස්වභාවයක් ද මේ හේතුවෙන් ඇතිවිය හැකියි.

විෂබීජ වලට ආවරණය වීමේ හැකියාව

මෙවැනි දරුවන්ගේ ශරීර තුළට විෂබීජ ඇතුළත් වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. එබැවින් මෙවැනි දරුවන්ගේ ශරීරය පුරා ඉතා වේගයෙන් විෂබීජ පැතිරේ. මෙම තත්ත්වයන් හඳුනාගත් විගස ප්‍රතිජීවක ලබාදිය යුතු වේ. මෙවැනි දරුවන්ගේ ආහාර මාර්ගයේ බැක්ටීරියා ආසාදනයට ලක් වීමේ අවදානමක් ද පවතී.

ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වීම

නොමේරු දරුවන් හට ඇතිවන තවත් සංකුලතාවක් වන්නේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වීමයි. මෙවැනි අවස්ථාවක දරුවා මරණයට පත්වීමේ අවදානම ද පවතින නිසා දරුවා පිළිබඳ නිසි සැළකිල්ලෙන් සිටීමත් නිවැරදි ආකාරයට රැකබලා ගැනීම දෙමාපියන් වන ඔබේ වගකීමයි.

මොළයේ වර්ධනය ඉතා අඩු වීම

උපතේදී නොමේරු දරුවන්ගේ මොළයේ වර්ධනය සාමාන්‍ය දරුවෙකුට සාපේක්ෂව අඩුය. නමුත් නිසි ලෙස පෝෂණය ලබාදීමෙන් එවැනි දරුවන්ගේ මොළය සාමාන්‍ය තත්ත්වයට වර්ධනය කරගත හැකි වේ.

මෙවැනි දරුවන්ගේ ශරිරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම හා විටමින් K ඌණතා නිසා මොළයේ රුධිර වහනයක් ද සිදුවිය හැකි අතර මොළයේ රුධිර වහනයක් සිදුවන්නේ ද යන්න පිළිබඳ නිරන්තර සැළකිල්ලෙන් සිටිය යුතු වේ.

ඇස් පෙනීමේ දුර්වලකම

ඇස් පෙනීමේ දුර්වලකමද මෙවැනි දරුවන් හට ඇතිවන සංකුලතාවකි. ඒ සම්බන්ධව අවධානයෙන් සිටීමත්, අවශ්‍ය අවස්ථා වල ලේසර් ප්‍රතිකර්ම ලබා දීමත් කළ හැකි වේ. නිසි අවධානයෙන් නොසිටීම මත දරුවාගේ ඇස් සදහටම අන්ධභාවයට පත්විය හැකි නිසා ඒ පිළිබඳ සැලකිල්ලෙන් සිටීම වැදගත් වේ.

කන් ඇසීමේ දුර්වලත්වය

නොමේරු දරුවන් කන් ඇසීමේ දුර්වලතාවන්ට ලක්වීමේ හැකියාවක් පවතින නිසා ඒ පිළිබඳ අවධානයෙන් සිටීම ද වැදගත් වේ.

ශරීරය කහ පැහැ ගැනීම

maltatoday.com.mt

නොමේරූ දරුවන්ගේ ශරීරය සාමාන්‍ය දරුවෙකුගේ ශරිරයට සාපේක්ෂව කහ පැහැයක් ගනී. එයට හේතුව වන්නේ මෙම දරුවන්ගේ අක්මාව සාමාන්‍ය දරුවෙකුට සාපේක්ෂව වර්ධනය අඩු වීමයි. එවැනි විටෙක අක්මාවෙන් නිපදවිය යුතු එන්සයිම වර්ග නිපදවීම අඩුවන බැවින් ශරීරය කහ පැහැ ගැන්වේ. ලයිට් ඇල්ලීම නැත්නම් photo therapy මේ සඳහා කරන ප්‍රතිකාර ක්‍රමයයි.

වලිප්පුව වැනි තත්වයන්

මෙවැනි දරුවන්ගේ රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වීමත්, රුධිරයේ කැල්සියම් ප්‍රමාණය අඩුවීමත් හේතුවෙන් වලිප්පුව වැනි තත්ත්වයන් මතුවීමේ ඉඩකඩක් ද පවතී.

රිකට්ස්වැනි රෝගී තත්වයන්

රිකට්ස් යනු අස්ථි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගී තත්ත්වයකි. ශරීරයේ කැල්සියම් අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ. මේ තත්ත්වය ඖෂධ ලබාදීමෙන් සම්පුර්ණයෙන් සුව කරගත හැකිවන අතර, මුලදීම හඳුනා නොගැනීමෙන් සහ ප්‍රතිකාර නොකිරීමෙන් දරුවාගේ දෙපා බකල ස්වභාවයක් ගැනීමේ හැකියාවක් ද  පවතී.

නොමේරු දරුවෙකු බලාගැනිමේදී

newsmomsneed.marchofdimes.org

  • දරුවාට මාස 6ක් පමණ වන තෙක් දරුවා ඉතා ප්‍රවේසම් සහගතව බලාගත යුතු වේ. දරුවා නිසි බර දක්වා වර්ධනය වන තෙක් නිසි ලෙස ප්‍රවේසම් කරගත යුතු වේ.
  • දරුවා රෝහලේ සිට නිවස වෙත ගෙන යාමට ප්‍රථම නිවස සුදුසු ලෙස සකස් කළ යුතුයි. දරුවා තබන කාමරය හොඳින් උණුසුම් කරන ලද පිරිසිදු ස්ථානයක් විය යුතු වේ.
  • දරුවා සිටින කාමරයට පැමිණෙන විට පිරිසිදුව පැමිණිය යුතු අතර දරුවා ස්පර්ශ කරන්නේ නම් තම දෑත් නිවැරදි ලෙස පිරිසිදු කරගෙන සිටිය යුතුයි. එය ඉතා වැදගත් වන්නේ මෙවැනි දරුවන්ගේ ශරිරයට විෂබීජ ඇතුළු වීමේ ප්‍රවණතාව වැඩි නිසාය.
  • මෙවැනි දරුවන් හට ද සාමාන්‍ය දරුවන්ට මෙන් නියමිත දින වලට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදිය යුතු අතර ඒ සම්බන්ධයෙන් දෙමාපියන් බිය වියයුතු වන්නේ නැත.

කවරයේ කතාව- babycenter.com

මූලාශ්‍ර

https://www.babycentre.co.uk/a555463/at-home-with-your-premature-baby

https://www.healthychildren.org/English/ages-stages/baby/preemie/Pages/Caring-For-A-Premature-Baby.aspx

https://www.mayoclinic.org/healthy-lifestyle/infant-and-toddler-health/in-depth/premature-baby/art-20046286

http://www.parents.com/baby/premature/care/

https://www.tommys.org/pregnancy-information/pregnancy-complications/premature-birth/taking-your-baby-home/caring-your-premature-baby-home

Related Articles