Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිරිමින් සේ වෙස්වලාගෙන තම අරමුණු දිනූ කාන්තාවන් 3 දෙනෙක්

බටහිර රටවල කාන්තාවන් තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා බොහෝ අෑත කාලයක සිට අරගල කළා. ඉතා මෑත කාලයක් වන තුරු ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ දේපළ හිමිකරගැනීමට අයිතියත්, හමුදාවන්ට බැඳී තම රට වෙනුවෙන් සේවය කිරීමටත් තිබුණු ඉඩකඩ කාන්තාවන්ට අහුරා තිබුණා. අැමරිකා එක්සත් ජනපදයේ හි පවා කාන්තාවන්ට ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදුන්නේ 1920 වසරේ දී යි.

මේ අසාධාරණකම් නිසාත්, තමන්ගේ වෙනත් අරමුණු ඉ‍ටුකරගැනීම සඳහාත් කාන්තාවන් පුරුෂයින් සේ පෙනී සිටීම පුදුමයක් නොවෙයි. මේ ලිපිය එවැනි ප්‍රසිද්ධ කාන්තාවන් කීපදෙනෙකු පිළිබඳවයි.

වෛද්‍ය ජේම්ස් බැරී

වෛද්‍ය ජේම්ස් බැරී බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළ ශල්‍ය වෛද්‍යවරයෙක්. තම සේවා කාලය තුළ හමුදා වෛද්‍ය සේවයේ බ්‍රිගේඩියර් ජෙනරල් තනතුරකට සමාන නිලයක් වන ඉන්ස්පෙක්ටර් ජෙනරල් තනතුර දක්වා උසස්වීම් ලබාගැනීමට වෛද්‍ය බැරීට හැකිවුණා. කවුද මේ වෛද්‍ය බැරී?

වෛද්‍ය ජේම්ස් බැරී (Daily Express)

මාගරට් ඈන් බල්ක්ලි උපන්නේ 1790 දශකයේ අයර්ලන්තයේ දී යි. කුඩා කල සිටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ කැමැත්තෙන් පසුවූවත්, එකල කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම තහනම්ව තිබුණා. නමුත් තම මවගේත්, පියාගේ ඇතැම් මිතුරන්ගේත් සහයෙන් එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඈ ඇතුළත් වුණේ “ජේම්ස් බැරී” යන නමින් පෙනී සිටිමින් ශිෂ්‍යයෙකු ලෙසයි. 1809 වසරේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු ඇය 1812 දී MD උපාධියකුත් සමඟ එයින් පිටව, තවත් පුහුණුව ලැබීමෙන් අනතුරුව 1813 වසරේදී ලන්ඩනයේ රාජකීය ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබාගත්තා.

වෛද්‍ය බැරී බ්‍රිතාන්‍ය හමුදාවට එකතු වුණේ වෛද්‍ය සහායෙකු ලෙසයි. කෙමෙන් තනතුරෙන් ඉහළ ගිය ඇය වෝටර්ලූහිත්, ඉන්පසු අප්‍රිකාවේ, ජැමෙයිකාවේ, ග්‍රීසියේ, මුරුසියේ, සහ ඉන්දියාවේත් සේවය කළා. අප්‍රිකා මහද්වීපයේ සිදුකළ ප්‍රථම සිසේරියන් දරු උපත සිදුකළේත් ඇය විසිනුයි. 1857 දී කැනඩාවේ සේවය කරද්දී ඇයට ඉන්ස්පෙක්ටර් ජෙනරාල් තනතුර පිරිනැමුණා.

වෛද්‍ය බැරී (Alchetron)

වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වූ දින සිට 1865 ජූලි 25 දින මියයන තෙක්ම වසර 56ක් පිරිමියෙකු සේ වෙස්වලා සිටි ඇයගේ ලිංගික අනන්‍යතාව හෙළිවූයේ ඈ මියගිය පසු ඇගේ හෙදියකටයි. මේ සිදුවීම මහජනයාට අනාවරණය වුණත්, වෛද්‍ය බැරී පුරුෂයෙකු ලෙස හමුදාවේදී ලබාගත් තනතුරු ඇගේ සොහොන් ස්මාරකයෙහි සටහන් කෙරුණා.

ජැක් විලියම්ස්

ජැක් විලියම්ස් 19 වන ශතවර්ෂයේ එක්සත් ජනපදයේ සිවිල් යුද සමයේ දී යූනියන් හමුදාවට සේවය කළා. විලියම්ස් එකල අශ්වාරෝහක සහ කාලතුවක්කු බල ඇණිවල සේවය කළ බවට වාර්තා වෙනවා. සටන් කීපයකටම තම සැමියා ද සමඟ මුහුණ දුන් විලියම්ස් යුද්ධයෙන් පසු කුමක් කළාදැයි කිසිදු සඳහනක් නැහැ.

ෆ්‍රාන්සස් ක්ලේටන් (Oddee)

ෆ්‍රාන්සස් ලුයිසා ක්ලේටන් 1830 ගණන්වලදී ඉලිනෝයි ප්‍රාන්තයේ උපත ලබා තිබෙනවා. එල්මර් ක්ලේටන් නම් පුද්ගලයෙකු සමඟ විවාහ වූ ඈ දරුවන් තිදෙනෙකුද හදාවඩා ගනිමින් ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කළා. නමුත් 1861 දී ඇමරිකානු සිවිල් යුද්ධය ඇරඹීමත් සමඟම තම සැමියා හා ඇයත් හමුදාවට බැ‍ඳෙන්නේ පුරුෂයෙකු ලෙස වෙස්වලාගෙන, ජැක් විලියම්ස් යන නමිනුයි. එසමයේ කාන්තාවන් හමුදා සේවාවන්ට බඳවාගත්තේ නැහැ.

මිසූරි හි යූනියන් හමුදා බල ඇණියකට බැඳුනු ඔවුන් සටන් 18කට මුහුණදුන්නා. ඒ අතර ශයිලෝ හි සටන, ඩොනල්සන් බලකො‍ටුවේ සටන සහ ස්ටෝන්ස් ග‍ඟෙහි සටන ද වනවා. 1862 ස්ටෝන්ස් ග‍ඟෙහි සටනේ දී ඇගේ සැමියා මියගිය බව දැන දැනත් ඈ දිගටම සටන් කළ බවයි වාර්තා වෙන්නේ.

ජැක් විලියම්ස් ලෙස හමුදා නිල ඇඳුමෙන් (Wikimedia Commons)

1863 දී උකුළට වෙඩි උණ්ඩයක් වැදීමෙන් පසු ප්‍රතිකාර කිරීමේදී ඇය කාන්තාවක් බව හමුදාවට හෙළි වෙනවා. ඒ අනාවරණයත් සමඟ ඇයව හමුදාවෙන් ඉවත් කරනු ලබනවා. අවසානයේ ඈ ඉලිනෝයි සිට වොෂින්ංටන් ඩී.සී. වෙත යමින් සිටි බවට වාර්තා තිබුණත්, ඉන්පසු ඈ පිළිබඳව තොරතුරක් වාර්තා වන්නේ නෑ.

මලයාලි යෝධයෙක්

කන්ද උඩරට රාජධානිය පැවති සමයේ මහනුවර “ගලගොඩ” නම් රදළ පරම්පරාවක් වාසය කළා. මේ පරම්පරාවේ තෙවන මහදිසාව වාසය කළේ දෙවන විමලධර්මසූරිය හා වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුන්ගේ කාලවලදී යි. මේ දිසාවගේ වැඩිමල් දියණිය දාසයහැවිරිදි වියේ දී තම දෙමාපියන්ගේ ද ආශිර්වාද ඇතිව තම නෑදෑයෙකු වූ දොඩන්වල බණ්ඩාර නම් රදළ තරුණයෙකු සමඟ පෙම් සබඳතාවක් ඇරඹුවා.

ඈ කෙරෙහි සිත ගිය දංගමුවේ බණ්ඩාර නම් තවත් තරුණ රදළයෙකු ද සිටියා. තමන් සමඟ පෙම් සබඳතාවක් අරඹන මෙන් ඔහු අැයට යෝජනා කළත් ගලගොඩ තරුණිය එය ප්‍රතික්ෂේප කළාලු. ඈ ලබාගැනීමට නම් දොඩන්වල බණ්ඩාරව මරාදැමිය යුතුය, එවිට තරුණිය තමාට ප්‍රිය වේ යැයි සිතූ මේ තරුණයා ඔහු සමඟ ද්වන්ද්ව සටනකට එළැඹුණා. දෙදෙනාම කඩු සටන්වල දක්ෂයන් වුවත් දොඩන්වල බණ්ඩාරව මරාදැමීමට දංගමුවේ බණ්ඩාරට හැකිවුණා.

මෙයින් කම්පනයට පත්වූ ගලගොඩ තරුණිය දින කීපයක් කම්පා වෙමින් සිටි අතර, එක් දිනක අැගේ නිවසින් අතුරුදහන් වුණා. සෑම තැනකම සොයාත් ඈ හමු නොවූ නිසා ඈ මහවැලි ගඟට පැන සියදිවි නසාගන්නට ඇති බව ඇගේ පවුල නිගමනය කළා.

යටත් විජිත සමයේ උඩරට සිංහල කාන්තාවක් – ගලගොඩ තරුණිය හඳින්නට පළඳින්නට ඇත්තේ මේ ආකාරයෙනි (Pinterest)

මින් වසර තුනකට පසු ඉන්දියාවේ මලයාලි දේශයෙන් කොළඹ වරායට රණ ශූරයෙක් පැමිණ ඇති බව වාර්තා වුණා. ඔහු එන මග සටන් කරමින්, සිංහල රණ ශූරයින් පරදවමින් උඩරටට පැමිණ රාජ සභාවට ඉදිරිපත්ව, රජතුමාගේ රණශූරයෙකු සමඟ සටනට අවසර ඉල්ලා සිටියා. නමුත් කිසිවෙකු ඉදිරිපත් නොවූ තැන කෝපගත් රජුට, එක්තරා ඇමතිවරයෙකු විසින් දංගමුවේ බණ්ඩාර නම් රණ ශූරයා පිළිබඳව යෝජනා කරනු ලැබුවා. ඔහුව එහි ගෙන්වීමෙන් අනතුරුව පොදු ජනයා ඉදිරියේ ඔවුන්ට සටන් වැදීමට නියම කළා.

කඩුවලින් සටන් කළ මලයාලි යෝධයාත්, දංගමුවේ බණ්ඩාරත් එකිනෙකා කරට කර සටන් කළත්, එක්වර ඉතා ඉහළට පිම්මක් පැන දංගමුවේ බණ්ඩාරව කපා, මරා දැමීමට මලයාලියාට හැකිවුණා. රජු තම රට විදේශිකයෙකු ඉදිරියේ පරාජය වීම පිළිබඳව ශෝක වුවත්, මලයාලියාගේ දක්ෂතාවය පිළිබඳව සතු‍ටු වී ඔහුගේ තොරතුරු විමසුවා.

එහිදී තම ආරක්ෂක සන්නාහත්, ‍රැවුල් සහ කොණ්ඩා ආදියත් ගලවා දැමූ මලයාලි යෝධයා තමන් කාන්තාවක් බවට අනාවරණය කළා. ඈ මියගියා යැයි සැලකූ ගලගොඩ රදළ තරුණිය බවත්, තම පෙම්වතාගේ මරණයේ පළිය ගැනීමට පිරිමියෙකු සේ වෙස්වලාගෙන මලයාලි රටට ගොස් සටන් හැදෑරූ බවත් ඈ හෙළි කළා. එයින් ප්‍රීතියට පත්වූ රජුත් ඇමතිවරුනුත් ඇයට නොයෙක් වරප්‍රසාද ප්‍රදානය කළත්, ඈ ඒවා ප්‍රතික්ෂේප කර තම නිවෙස කරා ගොස් තම පරම්පරාවේ ඥාතීන්ට කඩු ශිල්පය ඉගැන්නූ බවයි ජනකතාවල සඳහන් වන්නේ.

මේ තරුණිය පිළිබඳව ලිඛිත මූලාශ්‍ර නැතත්, ගලගොඩ වලව්වකුත්, දංගමුවේ වලව්වකුත් ඇති නිසාත්, කටින් කට ආ බොහොමයක් කතාත් නිසාත් එහි යම් සත්‍යතාවක් ඇති බව විශ්වාස කළ හැකියි.

කවරයේ රූපය: (PopCulture.com)

මූලාශ්‍ර:

  1. මඟ දිගට ජනකතා
  2. History.com
  3. The Guardian
  4. Civilwarwomenblog.com

Related Articles