පළාත් පාලන මැතිවරණය කෙමෙන් කෙමෙන් ලං වෙමින් පවතී. 25 % කාන්තා නියෝජනය ගැන යළිත් වරක් සමාජයෙන් විවිධ අදහස් මතු වෙමින් ඇත. අපේක්ෂා කළ අයුරින් 25% ක නියෝජනයක් කාන්තාවන්ට ලැබෙන්නේ ද යන ප්‍රශ්නාර්ථයකුත් මේ වන විට මතු වී තිබේ. එහෙයින් ඉදිරි මැතිවරණයේ දී සැබෑ ලෙසම කාන්තා නියෝජනයක් සිදු වන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීම වැදගත් වනු ඇත. තවද කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඇතැම් පක්ෂ ඉදිරිපත් කරන පුහු තර්ක විතර්කවලට ප්‍රායෝගිකව පිළිතුරු ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳවත් අවධානය යොමු කිරීම වටී.

දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමේ නෛතික ප්‍රතිපාදන

කාන්තා නියෝජනය සම්බන්ධයෙන් මුල් වරට අපේ රටේ නීතියක් පැනවුණේ 2016 අංක 01 දරණ පනතිනි. මෙමගින් පවතින සභික සංඛ්‍යාව තවදුරටත් ⅓ කින් වැඩි කර එම වැඩි කළ සංඛ්‍යාව මුළුමණින්ම කාන්තාවන්ට කෝටාවක් විදිහට වෙන් කෙරිණි. ඒ පනත ඔස්සේ ගෙන ආ  නීතිය නැවත වරක් 2017 අංක 16 පනතින් සංශෝධනයට ලක් වූ අතර එමගින් කාන්තා  නියෝජනයේ යම් කිසි වෙනසක් ඇති කෙරුණි.

නව පළාත්පාලන මැතිවරණ ක්‍රමය අනුව දිවයින පුරා කොට්ටාශ 4,840කින් පත් වන සභික සංඛ්‍යාව 8,356කි. 25% කොටාවත් සමඟ පළාත්පාලන ආයතන සඳහා කාන්තා සභිකයින් 2,089කට පත් වීමට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අවස්ථාව හිමි වනු ඇත. මෙය ලාංකීය කාන්තාව ලද සුවිශේෂි ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවත් 1931  ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබීමෙන්  පසු දේශපාලනයේ කාන්තා නියෝජනය සහතික කර ගැනීමට අවුරුදු 86ක් බලා සිටින්නට සිදු වීම නම් රටක් වශයෙන් කණගාටුවටත් ලැජ්ජාවටත් පත් විය  කරුණකි.

https://www.newsradio.lk

25% ම ලැබෙන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන්

25% කාන්තා කෝටාවක් ලැබෙන බව පැවසුන ද සැබවින්ම එම නියෝජනය ලබා ගැනීමට හැකිද යන්න ප්‍රශ්නයකි. මන්ද ප්‍රතිපාදන කිහිපයකින් කාන්තා නියෝජනය ලබා දීමේ සීමා කිරීම් මතුව තිබෙන හෙයිනි. කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණයෙන් කාන්තාවට ලැබිය යුතු 25% කෝටාව සහතික කිරීමේ නෛතික බලය ඇත්තේ මැතිවරණ කොමිසමට ය. මේ නිසා ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසුවෙමු. මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ 25% කෝටාව සාක්ෂාත් නොවන අවස්ථා තිබිය හැකි බැවින් ඒ පිළිබඳව නිශ්චිත පිළිතුරක් දිය නොහැකි බවකි.

‘’ඒක හරියට කාසි දෙකක් උඩ දැම්මහම වැටෙනවා වගෙයි. හෙඩ්ද ටේල්ද දෙකම හෙඩ්ද දෙකම ටේල්ද කියලා කියන්න බැහැ. මිනිස්සු ඡන්දය දෙන විදිහ එක්ක එන ගණනය කිරීම් කියන්න බැහැ.

යම් පුංචි සභාවක යම් පක්ෂයකින් දාපු කාන්තාවෝ සේරම පරාජය වෙලා අනිත් පුංචි පක්ෂවලට සභික ධුර එක බැගින් වගේ බෙදිලා ගියොත් ඒ පක්ෂ අනිවාර්යයෙන් කාන්තාවන් දාන්න බැඳිලා නැහැනේ. කාන්තා නියෝජනය සියයට සියයක් සාක්ෂාත් කරන එක කේස් බයි කේස් තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා එකට නිශ්චිත උත්තරයක් නැහැ. 25% සාක්ෂාත් නොවෙන අවස්ථා තියෙන්න පුළුවන්.’’

නව මැතිවරණ ක්‍රමය තුළ කාන්තා නියෝජනය සිදු වන අන්දම හඳුනා ගනිමු

නව ක්‍රමය යටතේ සිදු වන්නේ කොට්ටාශයක සිටිය යුතු සීමා නිර්ණය කොමිසම මගින් නිර්ණය කරන පළාත් පාලන ආයතනයක සිටිය යුතු කොට්ටාශ මට්ටමේ සභික සංඛ්‍යාව ඒ පළාත් පාලන ආයතනයේ බල ප්‍රදේශයේ සිටින මුළු සභික සංඛ්‍යාවෙන්  60% ක් වශයෙන් ගෙන ඉතිරි 40% ප්‍රමාණය සඳහා අමතර පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම බව මේ පිළිබඳව පැහැදිලි කරමින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ නීති නිලධාරිනි ගයනි ප්‍රේමතිලක මහත්මිය Roar වෙත පැහැදිලි කළා ය.

https://cmev.files.wordpress.com

මේ ලැයිස්තු දෙකෙහි  එකතුව තුළින් පළාත් පාලන ආයතනයක මුළු සංයුතිය සකස් වේ. 60% සහ 40% ලැයිස්තු දෙක සඳහාම වෙන වෙනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කරනු ලබයි. 60% සඳහා වෙන් වූ නාම යෝජනා පත්‍රය කොට්ටාශය වෙනුවෙන් තරඟ කරන අපේක්ෂකයින් සඳහායි.දෙවැනි නාම යෝජනා පත්‍රය 40% වූ අමතර සභිකයින් සඳහා වෙන් වන අතර, ඒ ඒ පක්ෂ ලබා ගන්නා සභික සංඛ්‍යාව පදනම් කරගෙන ඒ ඒ පළාත් පාලන ආයතනයට පත් වීම සඳහා සුදුසුකම් ලබා ගත හැකි වෙයි. මේ නාම යෝජනා පත්‍ර දෙක තුළම කාන්තාවන් සඳහා නාම යෝජනා ප්‍රමාණයක් වෙන්ව තිබේ.

කොට්ටාශයට තරඟ කෙරෙන 60% නාම යෝජනා පත්‍රයෙන් 10% ක් කාන්තාවන් විය යුතුය. 40% දෙවැනි නාම යෝජනා පත්‍රයෙන් 50% ක් කාන්තාවන් විය යුතුය. නීතියෙහි සඳහන් වන අන්දමට නාම යෝජනා පත්‍රයට 3%ක් එකතු කර ඉන් 50%ක් කාන්තාවන් විය යුතුයි යනුවෙනුයි. එනම්  යෝජනා පත්‍රය 43%කි. නාම යෝජනාවල කාන්තා නියෝජනය සඳහා වන කොටාව වන්නේ මෙයයි.

තේරී පත් වීම

කාන්තාවන් මේ සඳහා තේරී පත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳව පනතේ වෙනම ප්‍රතිපාදන ඇතුලත් වන අතර නාම යෝජනා පත්‍රවල සිටිය යුතු කාන්තා සභික සංඛ්‍යාව කොපමනක් ද යන්න පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමටත්, කලින් පැවති 27 F වගන්තිය සංශෝධනයට ලක් කර කාන්තා සභික සංඛ්‍යාව 25% විය යුතුයි කියන කාරණය සනාත කර ගැනීම සඳහා අවශ්‍ය බලය පැවරී ඇත්තේ මැතිවරණ කොමසාරිස් ප්‍රමුඛ මැතිවරණ කොමිෂන් සභාවට ය. මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ බල ප්‍රදේශයක් තුළ 25%ක කාන්තා නියෝජනයක් සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.

නාම යෝජනා ලැයිස්තු දෙකේ කාන්තාවන් හිටපු පමණින් අනිවාර්යයෙන්ම ඒ අය පත් වෙයිද කියලා කියන්න බැරි නිසා අනිවාර්යයෙන්ම එම ප්‍රමාණය පත් වෙන විදිහට ප්‍රතිපාදන සකස් වී තිබෙනවා. නමුත් මෙහිදී ප්‍රායෝගිකව ගැටළු මතු වෙන්න ඉඩකඩ තියෙනවා.

https://premieresdames.files.wordpress.com

කොට්ටාශ මට්ටමින් සභිකයෝ 6 ක් තේරී පත් වීමේ අවස්ථාව තිබෙන විට  කොට්ටාශ 7ක්ම පක්ෂයක් ජයග්‍රහණය කර තිබුණු අවස්ථාවක එය අමතර බෝනස් ආසනයක් වශයෙන් පක්ෂයට හිමි වේ. එවැනි තත්ත්වයක දී කොට්ටාශවල ජයග්‍රහණය කළ කාන්තාවන් සිටියේ නැත්නම් සහ ජයග්‍රහණය කල 7 දෙනාම පිරිමි වූ අවස්ථාවක කාන්තා නියෝජනය අනිවාර්යය නොවන බවට පනතෙහි ප්‍රතිපාදන ඇතුළත් වේ. එසේම යම් කිසි පක්ෂයක් 20%ට වඩා අඩුවෙන් ඡන්ද ගෙන සිටිනවා නම් අනිවාර්යයෙන් කාන්තාවක් පත් කරගත යුතු වෙන්නේ සභිකයින් තුන් දෙනෙකු පත් වුණොත් පමණි. එහිදී කොමසාරිස්වරයාට අභිමතයක් ඇත්තේද නැත. කොමසාරිස්වරයාගේ අභිමතය හිමි වෙන්නේ මේ දෙක මැද ඉන්න කණ්ඩායමට විතරයි. මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද යන්න දැකගන්න ලැබෙන්නේ ප්‍රායෝගික තත්වයක දී පමණක් බව ගයනි ප්‍රේමතිලක මහත්මිය සඳහන් කරයි.

‘’කාන්තාවන්ට තරඟ කිරීමේ අවස්තාව තියෙන නිසා කිසිවක් නැති එකට වඩා මෙහෙම ක්‍රමයක් තියෙන එක අනිවාර්යයෙන් හොඳයි. තරඟ කරලා කාන්තාවන් ජයග්‍රහණය කළේ නැත්නම් එත් ඔවුන්ට පත් වීමට අවස්ථාව තියෙනවා. මේ නිසා තරඟ කිරීමට කාන්තාවන්ට තියෙන භය නැති වෙලා යයි ඒ වගේම අවස්ථාවත් තියෙනවා. මම දකින විදිහට නාම යෝජනා පත්‍රයට ඇතුළත් වන කාන්තාවෝ බොහෝ දුරට වැඩියෙන්ම ඡන්ද ගන්න පක්ෂත් නෙවෙයි, අඩුවෙන්ම ඡන්ද ගන්න පක්ෂත් නෙවෙයි මැද ඉන්න පක්ෂවල කාන්තාවන්ට තේරී පත් වෙන්න අවස්ථාව ලැබේවි.’’

වත්මන් කාන්තා නියෝජනය

http://static.dailymirror.lk

අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව ලොව පුරා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයයි.

රටේ සමස්ථ ජනගහනයෙන් 53%ක් කාන්තාවන්ය. ඡන්ද දායකයින් අතරින් 56% ක් කාන්තාවන් ය. ශ්‍රී ලාංකික කාන්තාව රටේ ආර්ථිකයට විශාල මෙහෙයක් කරයි. රටේ ප්‍ර‍ධාන ආර්ථික කුළුණු වන විදේශ රැකියා, ඇඟලුම් හා වැවිලි කර්මාන්තයෙහි ප්‍ර‍ධාන ශ්‍ර‍ම දායකත්වය සපයන්නේ කාන්තාවන් ය. එසේම, විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 60%ක් පමණ ද කාන්තාවන් වේ.  රජයේ සේවකයන් අතර කාන්තා ප්‍ර‍තිශතය 40% ඉක්මවයි. පළාත් සභා සේවය තුළ සිටින රජයේ සේවකයන් අතර කාන්තා ප්‍ර‍තිශතය 59.7%කි.

2014 වන විට අමාත්‍යාංශ ලේකම්වරුන් අතරින් 20%ක් කාන්තාවන් වූ හ. සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරු අතරින් 59.6%ක් ම හෙබ වූයේ කාන්තාවන් විසිනි. එහෙත්, අති බහුතරයක් (73.2 %) කාන්තාවන් සේවයේ නියුතුව සිටින ගුරු වෘත්තිය තුළ විදුහල්පතිනියන් සිටියේ 20%ක් පමණි. එහෙත්, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන් තුළ කාන්තා ප්‍ර‍තිශතය පිරිමි ප්‍ර‍තිශතයට ආසන්න මට්ටමක තිබේ. එවැනි පසුබිමක කාන්තාවන්ට තීරණ ගැනීමේ ව්‍යූහයන් තුළ නිසි තැන ලබා දීම අතිශය වැදගත් වේ.

එහෙත් පාර්ලිමේන්තුවේ සිටින කාන්තාවන් සංඛ්‍යාව පැත්තෙන් ගත් කල අප සිටින්නේ 136වන ස්ථානයෙහි ය. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ක් පමණ වීම එයට හේතුවයි. කාන්තාවන් 1.98 ක්  නගර සභාවල 4 % ක්  පළාත් සභාවල සිටින අතර ජන අනුපාතයත් සමඟ ගත්  විට මෙය මුළුමනින්ම විකෘතියකි.

අපේ රටේ පවත්නා සමාජ පරිසරය අනුවත්, මැතිවරණ ක්‍රමය අනුවත්, කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නට ඇති හැකියාව ඉතා අවම වී තිබේ.

ඉතිහාසය

ශී‍්‍ර ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳ විමසීමක් කර බැලීමේ දී ඉතිහාසය පුරාම දේශපාලනය තුළ ස්තී‍්‍රන්ට හිමි වූයේ අඩු වැදගත් කමකි. 1931 දී ප‍්‍රථම වරට ඡන්ද අයිතිය ලබාගත්තේද ස්තී‍්‍රන් විශාල සටනක් කිරීමෙන් පසුවය. විශාල අරගලයක් තුළ ඡන්ද අයිතිය ලබා ගත්ත ද එදා සිට මේ දක්වා වූ වසර 78 ක කාලය තුළ ස්තී‍්‍රන්ගේ දෙශපාලන ක‍්‍රියාකාරිත්වය පිළිබඳව සෑහීමකට පත්වීම අපහසුය.

දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කාන්තා නියෝජනය අවම වශයෙන් 25%කින් වත් වැඩි කිරීම සඳහා වන වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනුව 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතට විධිවිධාන ඇතුළත් කිරීම පිණිස සකස් කරන ලද පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කෙරුණේ 2016 වසරේදීය.

මීට ඉහත ඒ සඳහා උත්සාහයක දරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය විසිනි. 2013 අගෝස්තු 07 වන දා රෝසි සේනානායක මහත්මිය පුද්ගලික යෝජනාවක් ලෙස පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතට සංශෝධනයක් ගෙන ආවද  කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා වූ ඒ සංශෝධනය එවක පාර්ලිමේන්තුව සළකා බැලුවේ නැත.

http://www.cepa.lk

2015 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ “මාස හැටකින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද කාන්තා නියෝජනය වැඩි කිරීම පිළිබඳව සඳහනක් තිබුණි.

“පලාත් පාලන මට්ටමෙන් ජනතා නියෝජිතයන්ගෙන් 25% ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමෙන්ද, මැතිවරණ සඳහා මැතිවරණ ලැයිස්තු වලින් අවම වශයෙන් 25% ක් කාන්තාවන්ට ලබා දෙන ලෙස දේශපාලන පක්‍ෂ දිරි ගැන්වීමෙන් ද, කාන්තාවන්ට දේශපාලන නියෝජනය ලැබෙන බවට තහවුරු කිරීම සඳහා කටයුතු කරන්නෙමු.”

අදවන විට පහළ මට්ටමේ දේශපාලන කි‍්‍රයාවලිය තුළ එතරම් මැතිවරණ කටයුතු, මැතිවරණ උද්ඝෝෂණ, පක්ෂ සාමාජිකත්වය කාන්තා බලමණ්ඩල තුළ කැපී පෙනෙන ලෙස ස්තී‍්‍ර සහභාගීත්වයේ ක‍්‍රියාකාරී දායකත්වයක් දක්නට ලැබේ. නමුත් එම පක්ෂ තුළම තීන්දු ගන්නා ව්‍යුහයන් තුළ ස්තී‍්‍ර නියෝජනය ඉතාමත් අල්පය. එමෙන්ම රටේ ප‍්‍රතිපත්ති සකස් කරන ඒ පිළිබඳ තීන්දු ගන්නා ප‍්‍රධානම ව්‍යුහයන් වන දේශපාලන ආයතන තුළ ස්තී‍්‍ර නියෝජනය ඉතාමත් අඩුය. ස්ත‍්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන සමාජ සංස්කෘතිය විසින් ස්ත‍්‍රියට වෙනස් කොට සැලකීම හේතු කොට ගෙන එම අයිතිය ස්ත‍්‍රීන්ට අහිමි කර ඇත.

කෙසේ වෙතත් පවතින යථාර්ථය වන්නේ වසර 78 පුරාම ස්තී‍්‍ර දේශපාලන සහභාගීත්වයේ වර්ධනයක් සිදු වී නොමැති බවයි. මෙය හරවත් සමාජ සංවර්ධන කි‍්‍රයාවලියකට විශාල බාධාවක් වේ. ඕනෑම රටක දේශපාලන ක‍්‍රමය වඩාත් සාර්ථක වීමට නම් මේ සියළු දෙනාගේ නියෝජනයක් ඒ තුළ අනිවාර්යෙන්ම තිබිය යුතුය. නමුත් එය එසේ සිදු නොවේ. එසේ නොවීමට සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනමය ආදී වශයෙන් හේතු ගණනාවක් බලපා ඇත.