Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බොලිවුඩයේ කපූර් රැජනගේ ‘මාතෘ බයිබලය’

2016 සිදු වූ සිය පළමු දරු ප්‍රසුතියෙන් දින කිහිපයකට පසු කරීනා කපූර් ඛාන් සිය නිදන කාමරයේ වූ කැඩපත ඉදිරියේ හුදෙකලා ව සිටගෙන සිටියේ ඉන් නිරූපිත තමාගේ ම ඛේදජනක නිරුවත් ප්‍රතිබිම්බය කෙරෙහි උපන් ආත්මානුකම්පාවකිනි. පෙකණිවැල දරුවාගේ ගෙල වටා එතීම නිසාවෙන් හදිසි සිසේරියන් සැත්කමකට මුහුණදීමෙන් සිරුරේ ඇතිවූ කැළැල්, තුවාල සැරහුම්වලින් කලකට ඉහතදි ඉටි රූපයක් වන්වූ නාරි ලාලිත්‍යෙන් අනූන දේහ ධාරිණියගේ ගත වැසී තිබුණේ මාතෘත්වයේ නාමයෙන් ගෙවිය යුතු මිලේ හිලව්වට ය.

දරුවකු කුස දැරීම නිසාවෙන් මහත් වූ සිරුරත්, වෙහෙස නිසාවෙන් ඉදිමුණු වතත්, නෙරා ආ උදරයත් දුටු විට තමන්ට එවෙලේ ඇතිවූ හැඟීම විස්තර කිරීමට පවා වචන නොමැතිවූ බව කරීනා කපූර් ඛාන් පසුකලෙක කියා තිබුණා ය.

කරීනා ගර්භණි අවධියේදි
කරීනා ගර්භණී අවිධියේදි ‘පුමා‘ වෙළඳ සන්නාමය වෙනුවෙන් පෙනී සිටි ඡායාරුපයකි – theguardian.com

කුළුඳුලේ මාතෘත්වය ලැබීමෙන් පසු ඇය විස්තර කර තිබූ ඇගේ එම රූපය සමස්ත මාතෘ ප්‍රජාවගේ ම නියෝජනයක් වුව ද, බොලිවුඩයටත්, සමස්ත ඉන්දීය සමාජයටත් ඉන් ගෙනහැර පෑ පණිවිඩය අතිශයින් ම ප්‍රබල ය. බොලිවුඩයේ රාජකීයයකු ලෙස සැලකෙන අයකු වෙතොත් ඒ ‘කරීනා කපුර් ඛාන්‘  වන නිසා ය.

හැට හැත්තෑව දශකයන්හී දි බොලිවුඩ් සිනමාව දිග්විජය කළ නළු නිළි පුරාවෘත්තයන් දෙපළක ගේ දියණියක ලෙස කරීනා කපූර් ඛාන් වර්තමානයේ බොලිවුඩ් සිනමාවේ පතාක යෝධයන් අතර වැජඹෙන්නියකි. පවුල් පසුබිමෙන්, දක්ෂතාවන්ගෙන් සේම අසමාන රූප ශෝභාවෙන් ද පිරිපුන් බොලිවුඩ් නිළි රැජනක ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ඈ බොලිවුඩ් සිනමාවේ වැඩි ම මුදලක් අය කරන නිළියකි. එයට අමතර ව නිතර ම පාහේ මාධ්‍ය, සමස්ත ඉන්දියාවේ ම වඩාත් ම රූමත් කාන්තාව ලෙස ද අභිෂේක ගන්වන්නියකි.

උපතින් ම හින්දු භක්තික වුව ද, හින්දි සිනමාවේ ඉහළින් ම වැජඹෙන සුපිරි නළුවකු වන ඉස්ලාම් භක්තිකයකු වන සයිෆ් අලි ඛාන් සමඟ විවාහ වෙමින් යළිත් වරක් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ කරීනා කපූර් ඛාන්ට සිය සැමියා පෙර විවාහයෙන් දික්කසාද වූ, දරුවන් දෙදෙනකු සිටින පියකු වීම ගැටලුවක් වූයේ ද නැත.‍

කරීනා විසින් රචිත කෘතිය
‘ද ප්‍රෙග්නන්සි බයිබ්ල්‘ කෘතිය- odyssey.in  

ගර්භණීත්වය හා බැඳුණු තහනම් මාතෘකා හා ද ප්‍රෙග්නන්සි බයිබ්ල් 

සමාජ සම්මතයන් හෝ පොදු ජන සමාජයේ මතවාද තඹ දොයිතුවකට මායිම් නොකරන, සෘජු පිට කොන්දකින් හෙබි කරීනා කපූර් ඛාන් නිළි රැජනක ලෙස දශක දෙකක කාලයක් පුරා බොලිවුඩ් සිනාමාම්බරයේ ජනප්‍රියත්වයේ ආලෝකයෙන් නැහැවුණ ද, සිය ජීවිතයේ පෞද්ගලික කාරණා පිළිබඳ පවා ප්‍රසිද්ධියේ කතා කිරීමට කිසිවිටෙක මැලිවුයේ නැත.

ඉන්දීය සමාජයේ වෙනත් බොහෝ නිළියන්ට තහනම් මාතෘකා වන කාරණා පිළිබඳ ව නොබිය ව කතාකිරීමට එඩිතරවූ කරීනා කපූර් ඛාන් පසුගිය දා ඇගේ කුළුඳුල් කෘතිය ‘Pregnancy Bible’ යනුවෙන් එළිදැක්වූයේ ද කාන්තාව හා බැඳුණු සමාජ සම්මතය නමැති යදමින් රැකවල් කෙරෙන මාතෘකා පිළිබඳ පුළුල් කතිකාවතක යෙදෙමිනි.

විප්ලවීය ආරයේ කෘතියක්

දරුවන් දෙදෙනකුට උපත දීමෙන් ලත් අත්දැකීම් අනුසාරයෙන් ලියැවුණු, තවත් එක් බොලිවුඩ් තරු ප්‍රකාශනයක් ලෙස බැලූ බැල්මට හැඟුණ ද, එය ඉන්දීය පාඨක සමාජය තුළ එය එවැනි මාතෘකා සම්බන්ධයෙන් ලියැවුණු විප්ලවීය ආරයේ කෘතියකි. ගර්භණී කාලයේ දී ලිංගිකත්වය පිළිබඳ ව සේ ම අද වැනි කාලයක පවා ඉන්දීය සමාජය තුළ මිථ්‍යා මත මුල්බැසගත් සිසේරියන් සැත්කම් හා එහි ආදීන ව පිළිබඳ ව පවා ඇය සිය කෘතියෙන් පෘථුල ලෙස විග්‍රහ කරන්නී ය.

 

“ අපේ සමාජයේ කිසිකෙනෙක් ගර්භණී කාලයේ දී කාන්තාවන්ට මුහුණ දීමට සිදු වන ලිංගිකත්වය හා බැඳුණු ගැටලු, ඉදිමුණු දෙපා, හිසකෙස් වැටීම, කතා කිරීමටවත් නොහිතෙන තරමට මානසික ව සිදුවන හැඟීම්වල වෙනස්කම් ගැන කතා කරන්න පෙලඹෙන්නේ නැහැ. විශේෂයෙන් ම කාන්තාවන් මෙවැනි තහනම් මාතෘකා ගැන සඳහන් කරන්නත් බය යි. නමුත් ගර්භණීත්වය කියන්නේ පොදු සුලබ සංසිද්ධියක්. ඒ නිසා මෙවැනි මාතෘකා ගැන අපි සමාජයක් විදිහට විවෘත ව කතා කළ යුතුයි.“

වයස අවුරුදු හතළිස් එකක දෙදරු මවක වුව ද කරීනා කපුර් ඛාන් වෙතින් පළ වන්නේ මීට වසර විස්සකට පෙර එනම්, එනම් ඇය බොලිවුඩ් සිනමාවට හාපුරා කියා පාතැබූ අවධියේ දී ප්‍රකට කළ මනබඳිනාසුලු තුරුණු රූසපුව ම ය. සිය ජීවිතයේ මේ තාක් කාලයකට කළ කවර දෙයක් වුවද සිය පූර්ණ කැපවීම හා ශක්තිය යොදා මිස ‘බාගේට‘ නොකළ බව ඇය පවසන්නේ සැහැල්ලුවෙන් වුවද අවධාරණයෙනි.

2000 වසරේදී‘රෙෆියුජී‘ චිත්‍රපටයේ සිදු කළ කුළුඳුල් රංගනයෙන් බොලිවුඩයට පායා ආ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිණියක ලෙස ඇය සියවසේ වඩාත් ම කතාබහට ලක්වූ  වාර්තාගත හින්දි චිත්‍රපට ලෙස සැලකෙන ‘Jab we met’, ‘3 idiots’, ‘Bodyguard’ ඇතුළු සිනමාපට අතිමහත් සංඛ්‍යාවක් සිය රංගනයෙන් සැරසුවාය. නිරතුරුව ම පාහේ ඉන්දියාවේ වඩාත් ම සුරූපි ළඳ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ කරීනා මේ වන විට රත්රන්, දියමන්තිවල, සිට සනීපාරක්ෂක දියර දක්වා වූ ගණනින් අසීමිත වූ නා නා ප්‍රකාර වෙළඳ දැන්වීම්වලින් ද පුංචි තිරය හැඩ කළේ කරීනා කපූර් නාමය ගෙදරදොරේ පවා නිරතුරු ව භාවිත වන නමක් බවට පත්කරමිනි.

Kareena Kapoor Khan
 කරීනා ‘ද ප්‍රෙග්නන්සි බයිබ්ල්‘ කෘතිය සමඟ –  www.news18.com 

ඒ සා අතිමහත්වු ජනප්‍රියත්වයක් හිමි කර ගෙන සිටි, සිය වෘත්තීය ජිවිතයේ ස්වර්ණමය යුගයේ දී ඇය සිය කුළුදුල් දරුවා කුස පිළිසිඳ ගත් කල , චිත්‍රපට ලෝකයේ සේ ම ඉන් පරිබාහිර  අය ද සිතුවේ ගර්භණීත්වයේ ඉතිරි මාස නවයක කාලය කරීනා කපුර් ද, සෙසු බොලිවුඩ් තාරකාවන් සේ ම මහජන ඇසින් වසන් වී, මුලුගැන් වී ගතකරනු ඇතැයි කියා ය. නමුත් ඒ සියලු අපේක්ෂාවන්ට සේ ම සමස්ත ඉන්දීය සමාජයේ ම සම්ප්‍රදායන්ට අභියෝග කරමින් කරීනා කපූර් සිය දරුගැබත් සමඟ පෙර සේ ම ප්‍රසිද්ධියේ පෙනී සිටියේ, චිත්‍රපට මුහුරත්, විලාසිතා සංදර්ශන, උත්සව, සැණකෙළි යනාදි මේ සියල්ලට ම සහභාගි වෙමින්, ලෝකයාට කරීනා කපුර් ගැන තවත් මතකයේ රැඳෙන කාලයකට කතා කිරීමට ප්‍රමාණවත් මාතෘකාවක් ලබා දෙමිනි.

“හුඟක් බොලිවුඩ් නිළියන් දරුවෙකු පිළිසිඳ ගත්ත ම ගෙදරින් එළියටවත් බහින්නත් බය යි. තමන්ගේ පෙනුම, බර වැඩිවීම ගැන සමාජය මොන විදිහට විවේචනය කරයි ද කියලා එයාලා හරිම තැතිගැන්මකින් තමයි ඉන්නේ. මාධ්‍ය උලුප්පා දක්වන රූප සුන්දරියන් කියන ප්‍රතිරූපයට හානි වේවි කියන බිය මේකට ලොකු ම හේතුවක්. නමුත් මට ඕනෑ වුණේ ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්නයි. ඉන්දීය සමාජයේ ප්‍රසිද්ධියේ කතා කිරීමට මැලිවන මේ වගේ තහනම් මාතෘකා හුඟක් තියෙනවා.“

කරීනා ගර්භණි අවධියේදි – theguardian.com

 

කරීනා කපූර් එලෙස පවසන්නේ සිය කෘතියෙන් කාන්තාවන්ට වැදගත්වන එබඳු තහනම් මාතෘකා රැසක් පිළිබඳ ප්‍රායෝගික කරුණු ඇතුළත් කිරීමට ඇය පෙලඹ වූ හේතු ද විස්තර කරමිනි. සමාජ සම්මතයන්ට බියෙන් ගර්භණී අවධියේ දී බර පාලනයට කිසිදු උත්සාහයක් නොගත් තමා එය නිදහසට හේතුවක් කරගනිමින්, සිතූ සිතූ ඕනෑ දෙයක් ආහාරයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස කිලෝ විසි හයකින් බර වැඩිවූ බව ඈ සිහිපත් කරන්නේ සිනහාවෙන් පොපියමිනි.

දරු උපතින් පසු තම සිරුරේ හැඩය යළි යථා තත්වයට පත්කර ගැනීම ගැනත්, එය වෘත්තීය ජීවිතය කෙරෙහි කවර නම් බලපෑමක් ඇතිකරනු ඇතිද යන්නටත් අසහනයක් කරීනාටත් නොතිබුණා ම නොවේ. නමුත් එවන් තත්ත්වයක දී වුව ද ඇය අඛණ්ඩව චිත්‍රපට රංගනයේත්, වෙළඳ දැන්වීම් නිරූපණයේත් නියැළුණේ සිය වැඩෙන දරු ගැබ සැඟවීමට මොහොතකටවත් උත්සාහයක් නොදරමිනි. පටු ආකල්ප මතවාදවලින් ගොහොරු වු බොලිවුඩයට පවා ඇගේ මෙම හැසිරීම අලුත් ම අත්දැකීමක් විය.

ගර්භණීත්වය සුලබ සංසිද්ධියක්

ගර්භණීත්වය යනු අතිශයින් ම සුලබ සංසිද්ධියක් වන තත්ත්වයක දී එය සමාජ සම්මත යන කඩතුරාවෙන් මෙලෙස නිතර වසන්කිරීමට ගන්නා උත්සාහයට අභියෝග කිරීම ඇගේ අභිප්‍රාය විය. මෙම වසර මුල දී ඇය සිය දෙවන දරුවා වන ‘ජෙහාන්ගීර්‘ ලැබෙන්නට මාස අටක දරු ගැබක් දරමින් සිටිය ද, ‘පුමා‘ ක්‍රීඩා සන්නාමය වෙනුවෙන් ඡායාරූපගත කිරීමකට සහභාගි වෙමින් තරයේම අවධාරණය කර තිබුණේ තමාගේ ඡායාරූපවල ෆොටෝෂොප් තාක්ෂණයෙන් වෙනස්කම් සිදු නොකළ යුතු බවට ය. ගර්භණී අවධියේ දී තරබාරු වූ පමණින්, තමා කේට් මොස් වැනි සිහින් සිරුරැති නිරූපිකාවන් සේ ව්‍යාජ අයුරින් නිරූපණය නොකළ යුතු බවට වන ප්‍රතිපත්තියක කපුර් තරයේ ම එල්බ සිටින්නී ය.  

කරිනා සිය සැමිය හා පළමු දරුවා සමඟ
කරීනා සිය සැමියා සෙයිෆ් අලි ඛාන්  හා පුතු තායිමුර් සමඟ – thehindu.com

ගර්භාෂ කුලියට ගැනීමට කරීනා ගෙන් උත්සාහයක් 

ඉන්දීය සමාජයේ විවාහක කාන්තාවන් බහුතරයක් ම සිය සැමියාගේ මව්පියන් සමඟ විසීමට සිදුවීම නිසා ද, ගර්භණි වියේ දී මුහුණ දීමට සිදුවන කායික හා මානසික ගැටලු පිළිබඳ විවෘත ව කතාකිරීමෙන් ඔවුන් වලක්වන බව ද කපූර්ගේ විශ්වාසය යි. ගර්භිණිත්වය පිළිබඳ බයිබලය නමැති සිය කෘතිය මෙවැනි කාන්තාවනට කදිම අත්පොතක් වනු ඇති බව යි කපූර්ගේ බලාපොරොත්තුව වන්නේ. සිය වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය අතිශය වැදගත් ලෙස  සලකන අධිශ්ඨානශීලී කාන්තාවක ලෙස ජීවිතයේ ඒක්තරා කාලයක දි තමා දරුවන් ලැබීම සඳහා ගර්භාෂ කුලියට ගැනීමේ අදහස ද කිරා මැන බැලූ බව ඇය සිය කෘතියෙන් හෙළි කරන්නී ය.

බොලිවුඩ් සිනමාවේ සම්භවය තරම් ඈත අතීතයකට දිවයන කපූර්  පවුලේ ඉතිහාසය, බොලිවුඩය හා යා කෙරෙන පළමු පුරුක වන්නේ ‘ප්‍රීතිවිරාජ් කපූර් ‘ය. 1931 දී තිරගත වූ ඉන්දියාවේ පළමු කතානාද චිත්‍රපටය වන ‘අලම්ආරා‘ හි ප්‍රීතිවිරාජ් කපුර්ගේ ප්‍රධාන චරිත නිරූපණයෙන් ඇරඹෙන කපූර් සිනමා වංශාවලියේ පස්වන පරම්පරාව නියෝජනය කරන කරීනා කපුර්ගේ මව්පියන් වන රන්දීර් කපූර් හා  බබිතා යන දෙපළ ම හැත්තෑව දශකයේ දී රිදී තිරයට නැතිව ම බැරිවූ රංගන ශිල්පීන්ය . වයස අවුරුදු දහඅටේ දී කරීනාගේ වැඩිමහල් සොයුරිය වන කරීෂ්මාත්, පසුව කරීනාත් බොලිවුඩයට පා තබන්නේ කපූර් පවුලට බොලිවුඩය හා සමඟ වු දැනහැඳුනුම්කම්වල ආධාරයෙන් බවට එල්ලවන විවේචන කරීනා අදටත් ප්‍රතික්ෂේප කරන්නේ එකහෙළා ය.

තම කැපවීමත්, වෙහෙස නොබලා වැඩකිරිමත් හැරුණුකොට අන් කිසිදු දැනහැඳුනුම්කමක් මත තම වෘත්තීය සාර්ථකත්වය පදනම් නුවූ බව පවසන කරීනා කපූර් විවාහ වන්නේ ද ඇගේ සිනමා දිවියේ උච්චස්ථානයකට ළඟා ව තිබු අවධියක දී වීම විශේෂත්වයකි. විශේෂයෙන්ම ඉන්දිය සමාජය තුළ සේ ම බොලිවුඩයේද විවාහයෙන් පසු රංගන ශිල්පීණියන්ට ඇති ජනප්‍රියත්වය අඩු වන්නේ නිරායාසයෙනි. නමුත් 2012 වසරේදි ඇය හින්දි සිනමාවේ තවත් එක් පතාක නළුවකු වන සයිෆ් අලි ඛාන් සමඟ විවාහ වීට ගත් තීරණය විවේචනයට ලක්වීමට ඊට අමතරව තවත් හේතු ගණනාවක්ම තිබිණි.

සයිෆ් ඉස්ලාම් ලබ්ධිකයකු වීමත්, කරීනාට වඩා දස වසරකින් වැඩිමහලු වීමටත්, අමතර ව පෙර විවාහයෙන් දික්කසාද වූ, දෙදරු පියකු වීමත් දැඩි ආන්දෝලනයකට තුඩු දුන් හේතු අතර තිබිණි. උපතින්ම හින්දු ලබ්ධිකයකුවූ කරීනා අවසානයේ දී සයිෆ් හා විවාහ වූයේ, විවාහය නිසාවෙන් තම රංගන දිවියට තිත වැටීම සිය දෛවයේ තීරණය නම්, එය වුව ද පිළිගැනීමට සූදානමිනි. දෛවයේ වාසනාව පරිදි එවැන්නක් සිදුවූයේ නැත.

අන්තවාදීන්ගේ නිර්දය විවේචන

 ඉන්දියාවේ වන හින්දු-මුස්ලිම් භේදය පවා අභියෝගයට ලක්කරමින් මුස්ලිම් ජාතිකයකු හා සරණ ගිය කරීනා කපුර් ඛාන්ට මුහුණදීමට සිදුව තිබෙන විවේචන හා ආන්දෝලන ඉන් කෙළවර වූයේ නැත. සිය දරු දෙදෙනා ඉස්ලාම් ආගමික අධිරාජ්‍යයන්ගේ නම්වලින් බෞතීස්ම කිරීම නිසාවෙන්, කරීනා-සයිෆ් යුවළ සේ ම දරු දෙදෙනා පවා දක්ෂිණාංශික හින්දු අන්තවාදීන්ගේ නිර්දය විවේචනයට ලක්වීම තවමත් කෙළවරක් දැක නැත. ඈත අතීතයකදි හින්දු සංහාරයක් කළ තුර්කි හා මුස්ලිම් ජාතික අධිරාජ්‍යයන් දෙදෙනකු වන ‘තායිමුර්‘ හා ‘ජෙහෙන්ගීර්‘ යන නම් සිය දරුවන් වෙනුවෙන් තෝරා ගැනීම, කපූර්-ඛාන් යුවළ හිට්ලර් වැනි සමූලඝාතන මානසිකත්වයෙන් පෙළෙන්නවුන් බව ඔප්පු කරන්නක්ය යන්න එවැනි විවේචකයන්ගේ අදහස වි තිබේ.

කරීනා හා අනුෂ්කා ෂර්මා
කරීනා කපූර් හා අනුෂ්කා ෂර්මා – theguardian.com

බොලිවුඩ් නිළියන්ට සාධාරණය ඉටුකරන්නට පෙරට 

බොලිවුඩයේ තවමත් ක්‍රියාත්මක වන පුරුෂ කේන්ද්‍රීය ආකල්ප මත පදනම්ව  කාන්තා රංගන ශිල්පිණියනට අඩු මිලක් ලබාදීම සම්බන්ධයෙන් නම් ඇය මුනිවත රකින්නේ නැත. පසුගිය දිනෙක දි හින්දු වීර කාව්‍යයක් වන රාමායනයේ බොලිවුඩ් ප්‍රතිනිර්මාණයක ප්‍රධාන චරිතයක් වෙනුවෙන් කපූර් ඉන්දීය රුපියල් මිලියන එකසිය විස්සක ගෙවීමක් ඉල්ලා සිටි බවට වන පුවතක් ඉන්දියාව උණුසුම්කොට තිබිණි. කපූර්ගේ මුදල් තණ්හාව පසෙක ලා, ඇය වෙනුවට වෙනත් නිළියක යොදාගන්නා ලෙසට ඉන්දීයාව පුරාම දැවැන්ත කෝපාවිෂ්ට රැල්ලක් හමාගිය ද, බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට ඇතැම් සුපිරි නළුවන් අය කරන ඉන්දීය රුපියල් මිලියන 500 – බිලියන 1.3ක් වැනි මුදල් කන්දරාව දෙස බැලූ කළ, කපූර්ගේ ඉල්ලීම කෙතරම් අහිංසක ද යන්න මනාව ඔප්පුවන්නකි.

ඇගේ එම ඉල්ලිම මුදල් තණ්හාවෙන් සිදුකළ එකක් නොව සමස්ත බොලිවුඩ් කාන්තා රංගන ශිල්පිණියන්ගේ ම ගෞරවය පතා සිදුකරන ලද්දක් බවයි ඇය පෙන්වා දෙන්නේ. මේ වන විට කාන්තා රංගන ශිල්පිණියන්ගේ සාධාරණය වෙනුවෙන් හඬ අවදි කිරීමට කපූර්ට අමතර ව දීපිකා පදුකෝන්, අනුෂ්කා ෂර්මා වැනි සෙසු සුපිරි බොලිවුඩ් තාරකාවන් ද එක්ව සිටීම කපූර් දකින්නේ සමස්ත කාන්තාවන්ගේ ම ජයග්‍රහණයක් ලෙස ය. නමුත් බොලිවුඩය තවමත්, හොලිවුඩය හා සංසන්දනය කිරීමට බෙහෙවින් ම කල් වැඩි බව කරීනා කපූර් වුව ද ප්‍රතික්ෂේප කරන්නේ නැත.

කවරයේ ඡායාරූපය - කරීනා සිය දෙවන දරුවා ජෙහෙන්ගිර් සමඟ - www.indiaforums.com 

මූලාශ්‍ර:

Kareena Kapoor's pregnancy diet of banana, pizzas, and Saif Ali Khan's mustard chicken  - www.thehindu.com

Kareena Kapoor Khan on breaking pregnancy taboos: No one wants to talk about belching & swollen feet - www.theguardian.com 

Related Articles