ගංගුබායි කථියාවාධි – කාමාථිපුරයේ කළු රෝස කුසුම

ඉතිහාස සංසිද්ධිවලට අලුත් පැහැයක් තවරමින් ඒවා වර්තමානය වෙත රැගෙන එන බොහොම නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක් විදිහටයි සංජේ ලීලා භන්සාලි බොලිවුඩයේ පිළිගන්නේ. තමන්ගේ විශිෂ්ටත්වය නැවත තහවුරු කරමින් මෙම වසර මුල දී ඔහු ප්‍රේක්ෂකාගාරයට ඔහුගේ නවතම සිනමාපටය තිළිණ කළා. ඒ, ගංගුබායි කථියාවාධි.

ඉක්දියාවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් විශාල වෙහෙසක් දැරූ “ගංගු” නමැති වෘත්තිමය ගණිකාවගේ ජීවිත කතාව ඇතුළත් මේ සිනමාපටය සඳහා පාදක කරගන්නේ හුසේන් සයිඩ් නම් මාධ්‍යවේදියා ලියූ “මුම්බායි හි මාෆියා රැජනන් (Mafia Queens of Mumbai)” නමැති කෘතියේ එක් පරිච්ඡේදයක්. බොලිවුඩය ම කළඹවා ලූ භන්සාලීගේ නව නිර්මාණය නිසා ම බොහෝ දෙනෙක් මෙම සිනමාපටයට පාදක වුණ සැබෑ චරිතය පිළිබඳ ව සොයා බලන්නට උනන්දුවක් දක්වනවා. ඉන්දියාවේ, කාමාථිපුරය කැලඹූ ඇය පිළිබඳයි මේ ලිපිය ලියැවෙන්නේ.

Gangubai Kathiawadi (2022) චිත්‍රපටයේ අධ්‍යක්ෂක, සංජය ලීලා භන්සාලි සහ එහි ප්‍රධාන නිළිය
Gangubai Kathiawadi චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජේ ලීලා භන්සාලි සහ එහි ප්‍රධාන නිළිය – timesofindia.indiatimes.com

 

ගංගුගේ අතීතය

නිශ්චිත සටහනක් නොමැති වුණත්, අනුමාන කර ඇති ලෙසට ගංගුබායි ඉපදෙන්නේ 1930 දශකයේ දී ගුජරාටයේ පිහිටි කථියාවාධි නම් ගම් ප්‍රදේශයේ. ගණිකා වෘත්තියට පිවිසීමේ දී “ගංගු” ලෙස සිය නාමය වෙනස් කරගත්තත් ඇගේ සැබෑ නම වුණේ “ගංගා හර්ජිවන්දාස්” යන්න යි. ගංගා අ‍යිතිවුණේ ප්‍රදේශයේ අතිශය ගෞරවාදරය පාත්‍ර වුණු, වැදගත් පවුලකට. සැර පරුෂ පුද්ගලයෙක් ලෙස සලකපු ඇගේ පියාගේ එක ම අරමුණ වුණේ ගංගාට හොඳ අධ්‍යාපනයක් ලබාදීම.

 ගංගාට තමන්ගේ ජීවිතේ ගැන වෙන ම සැලසුමක් තිබුණා. ඒ, කවදහරි දවසක මුම්බායි නගරයට ගොස් බොලිවුඩ් නිළියක් බවට පත්වීම. ඇගේ මුම්බායි හීනය සපුරාගන්නට උදව් කරන්න ඉදිරිපත් වෙන්නෙ රන්මික් ලාල් නමැත්තා. ඔහු ගංගාගේ පියා යටතේ ගිණුම්කරුවෙක් ලෙස රැකියාව කළ අයෙක්. වසර ගණනාවක් පුරා මුම්බාහි ජීවත් වී, නගරයේ අත්දැකීම් තිබූ ඔහුට ගංගා බොහොම පහසුවෙන් ආකර්ෂණය වෙනව. ඉතා සුළු කාලයකින් ම ආදරයක් බවට පෙරළෙන ගංගා- රන්මික්ගේ ආකර්ෂණය කූටප්‍රාප්තිය වෙන්නේ, ඔවුන් දෙදෙනා කාගෙත් ඇස්වසා මුම්බායි වෙත පැන යාමෙන්.

සිය පෙම්වතා සමඟින් මුම්බාය කරා පිටත්වෙන ගංගා (චිත්‍රපටයේ දර්ශනයකි)
සිය පෙම්වතා සමඟින් මුම්බාය කරා පිටත්වෙන ගංගා (චිත්‍රපටයේ දර්ශනයකි) – www.filmibeat.com

නව දිවියක ඇරඹුම

කුඩා දෙවොලක් ඉදිරියේ සැමියා හා බිරිය ලෙස එක්වෙන රන්මික් සහ ගංගා මුම්බායිහී දී සිය අලුත් ජීවිතය ආරම්භ කරනවා. ගංගා සිය නිවසින් රැගෙන පැමිණි ආභරණ සහ මුදල්වලින් සතුටෙන් ගෙවෙන දින කිහිපයකට පසු සෙමින් සෙමින් ඔවුන් වෙත අඟහිඟකම් ළඟාවෙමින් තිබුණා. ඊට පිළියමක් විදිහටයි රන්මික් යෝජනා කරන්නේ, ගංගාට තමන්ගේ නැන්දණියගේ නිවසේ ටික කලකට නවාතැන් ගන්නා ලෙස. ඇය එසේ සිටින අතරවාරයේ තමන් ගොස් ඔවුන්ට අඩු මුදකට පදිංචි විය හැකි ස්ථානයක් සොයා ගන්නා බවට රන්මික් ඇයට පොරොන්දු වුණා. ඒ වචනවලට අවනත වෙන ගංගා ඔහු රැගෙන යන්නේ කාමාථිපුර නම් ප්‍රදේශයට යි. සිය නැන්දණියගේ යැයි පවසා එහි ඇති නිවසකට ගංගා සමඟ පිවිසෙන ඔහු එයින් පිටව යන්නේ එම ගණිකා නිවාසයට ගංගා විකුණා ලබාගත් රුපියල් 500ක මුදලත් අත දරාගෙන යි.

තමන් ආදරයෙන් අන්ධ ව සිදු කර ගත් අනුවණකම තේරුම් ගන්නාවිට ගංගා ප්‍රමාද යි. තමන් නිදහස් කර යවන ලෙස ඉල්ලලා හඬා වැටුණු සැමවිට ම ඇයට සිද්ධවුණේ ගණිකා නිවසේ පාලිකාවගේ අනුකම්පා විරහිත පහරකෑම්වලට ලක්වෙන්නට යි. කුසගින්න සහ ශරීර වේදානාව උත්සන්න වුණු එක මොහොතක කාමාථිපුරය හැර වෙන කිසිදු තෝරාගැනීමක් තමන්ට නැති බව ගංගා වටහා ගන්නවා. පවුලේ කීර්ති නාමයට කළ හානිය නිසා තවදුරටත් තමන්ට පවුලක් නැති බවත් තේරුම් ගන්නා ඇය, “ගංගා හර්ජිවන්දාස්” ලෙස තමා ගත කළ දිවිය මිහිදන් කර, “ගංගු” නමින් කාමාථිපුර ලිංගික ශ්‍රමිකයෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ ඇයට වයස අවුරුදු 16 දී.

ලිංගික ශ්‍රමිකයෙක් ලෙස දිවිය ඇරඹූ ගංගූ (චිත්‍රපටයේ දර්ශනයකි)
ලිංගික ශ්‍රමිකයෙක් ලෙස දිවිය ඇරඹූ ගංගූ (චිත්‍රපටයේ දර්ශනයකි) – economictimes.indiatimes.com

ගංගුබායිගේ පිබිදීම

හුසේන් සයිඩ් සිය කෘතියේ සඳහන් කරන ලෙස, රූමත්බව හා වෘත්තියේ දක්වන දක්ෂතා නිසා ඉතා කෙටි කාලයක් තුළ කාමාථිපුරයේ සිය නම පතුරවන්නට ගංගුට හැකියාව ලැබෙනවා. කිසිවිටෙක බලාපොරොත්තු නොවුණු ලෙස මේ ප්‍රසිද්ධිය ඇය රැගෙන යන්නේ ෂෝකත් ඛාන් නම් දාමරිකයා වෙතට යි. ඔහු අතින් අමානුෂික ලෙස දූෂණයට සහ පහර කෑමට ලක්වෙන ගංගු, පිට පිට දෙවතාවක් මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙනවා. දෙවන වර ඇයට නතරවෙන්නට සිදු වන්නේ රෝහල් ඇඳක් මත, ඒ තමන් ලද මරණීය තුවාලත් සමඟ යි. සති ගණනාවක් පුරා ලද ප්‍රතිකර්මවලින් ගංගුගේ ශරීරය සුවපත් වුණත්, ඇගේ සිතේ තුවාල සුවවෙන්නේ නැහැ.

ෂෝකත් ඛාන් නැවත එන බවත්, මේ හා සමාන වේදානාවකට තමන්ට යළිත් මුහුණදෙන්නට සිදු වන බවත් ඇය දැන සිටියා. තමන්ගේ පළිගැනීම සහ ආරක්ෂාව තකා අබ්දුක් කරීම් ඛාන් හෙවත් කරීම් ලාලා හෙවත් ප්‍රදේශයේ පතල පාතලා නායකයෙක් වෙත යාමට ඇය තීරණය කරනවා. ෂෝකත් ඛාන් නම් ඔහුගේ සේවකයා  ඇයට කළ අමානුෂික වදහිංසා පිළිබඳ ව කරීම් ලාලාට පැමිණිලි කරන ගංගු, තමන්ට සාධාරණය ඉටුකොට දෙන ලෙස අයැද සිටිනවා. ගණිකාවක් වුණත් ඇගේ නිර්භයභාවය සහ පෞරුෂය පිළිබඳ පැහැදෙන කරීම්, ෂෝකත් ඛාන්ට ඇය බලාපොරොත්තු වූ ලෙස ම දඬුවම් ලබාදෙනවා. එපමණකින් නොනැවතී කරීම් ලාලා, ගංගුගේ අතේ රාඛි නූලක් ගැට ගසා ඇය සිය “රාඛි සොහොයුරියක්” ලෙස පිළිගන්නවා. මේ සිදුවීමෙන් පසු කාමථිපුරයේ ඇය ප්‍රසිද්ධ වෙන්නේ පාතල සබඳතා සහිත බලවත් කාන්තාවක් ලෙස යි. කරීම් ලාලාගේ සහයෝගය නිසා පොලීසියේ ඉහළ නිළධාරීන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගන්නටත් ගංගුට අවස්ථාව උදාවෙනවා.

කාමාථිපුරයේ නායිකාව

කාමාථිපුරයේ ගණිකා නිවාසවල පාලිකාවන් හැඳින්වුණේ ‘ඝර්වාලී’ නමින්. මොවුන් පත්වුණේ ඡන්ද විමසීමකින් පසුව යි. සිය සහෘද ලිංගික ශ්‍රමිකයන් වෙත දැක් වූ මානුෂීයභාවයත්, වෘත්තිය ප්‍රගමනය පිළිබඳ ඇය සතු වූ ප්‍රගතශීලී අදහසුත්, කරීම් ලාලාගේ සහයෝගයත් නිසා ඉතා තරුණ වයසේ දී ම ඝර්වාලී තනතුරකට පත්වෙන්නට ගංගුට හැකියාව ලැබෙනවා. මේ තනතුර ලැබීමෙන් පසු ඇය නිරන්තරයෙන් වෙහෙසෙන්නේ තමන්ට අත්වූ අවාසනාවන්ත ඉරණම කාමාථිපුරයට පැමිණෙන අනෙකුත් ගැහැනු ළමයින්ට අක්නොවීමට ඉඩ නොදෙන්න.

සයිඩ් සිය කෘතියෙන් අනාවරණය කරන පරිදි, නැවත තම නිවෙස් කරා යාමට හැකියාවක් තිබූ, බලහත්කාරයෙන් හෝ රැවටීමෙන් කාමාථිපුරයට රැගෙන ආ  තරුණියන් ඔවුන්ගේ පවුල් වෙත නැවත පිටත් කරන්නට ගංගු හැකි සෑමවිට ම ක්‍රියාකර තිබුණා. ඇගේ ඒ ක්‍රියාව නිසා ම bade-gharwali ඡන්දය ඉහළින් ජයග්‍රහණය කර, බොහොම කෙටිකාලයකින් bade-gharwali හෙවත් ඝර්වාලීන් අතර ප්‍රධානියා බවට පත්වන්නට ඇය සමත් වෙනවා.

bade-gharwali තනතුර සඳහා ගංගුබායි සහ ඇගේ ප්‍රධානත ම ප්‍රතිවාදියා
bade-gharwali තනතුර සඳහා තරග වදින ගංගුබායි සහ ඇගේ ප්‍රධානත ම ප්‍රතිවාදියා (චිත්‍රපටයේ දර්ශනයකි) – www.independent.co.uk

 

වෘත්තීය ගරුත්වය උදෙසා හඬ නැගීම

තවත් එක් සාමාන්‍ය ගණිකාවක් ලෙස සිය දිවිය අවසන් කර මියැදෙනවා වෙනුවට තමන් ගැන, තමන්ගේ වෘත්තිය ගැන අනාගත පරම්පරාවන්ට කතා කළ හැකි ඉතිහාසයක් ගංගුබායි ඒ සමඟින් නිර්මාණය කරනවා. ඇය, ප්‍රධාන ඝර්වාලී තනතුරට පත්වෙන්නට පෙර සිට ගණිකා වෘත්තිය වෙනුවෙන් අවදි කළ සිය හඬ, තනතුරේ බලතල සහ ඉහළ සමාජය සමඟ ගොඩ නඟා ගෙන තිබූ සබඳතාවල ශක්තිය මුසු කර මහා හඬක් බවට පරිවර්තනය කරනවා.

සමාජ සමානාත්මතාවය වෙනුවෙන් නැඟී සිටි ගංගුබායි නිරන්තරයෙන් ප්‍රකාශ කර තිබුණේ අනෙකුත් කාන්තාවන්ගේ පරිශුද්ධතාව, ගරුත්වය, සදාචාරය ආරක්ෂා වී ඇත්තේ තමන් වැනි ගණිකාවන් නිසා බව යි.

“පිරිමින්ගේ කායික අවශ්‍යතා සපුරන අපි වගේ කාන්තාවෝ අතළොස්සක් තමයි ඔබ ඔවුන්ගේ පහරකෑම්වලින් ආරක්ෂා කරන්නේ. අපි තමයි පිරිමින්ගේ තිරිසන් ආක්‍රමණ ඔබ වෙනුවෙන් අඩපණ කරන්නේ” ආරාධිත කථිකයෙක් ලෙස සහභාගී වූ වැඩසටහනක දී එසේ ප්‍රකාශ කරමින් තවදුරටත් ගංගුබායි පවසා තිබුණේ මුම්බායි නගරය කාන්තාවන්ට ආරක්ෂාකාරී ස්ථානයක් වී ඇත්තේ කාමාථිපුරය නිසා බව යි.

ගණිකාවන් සමාජයෙන් කොන් නොකළ යු‍තු යි යන්න නැවත නැවතත් සිය කතාව තුළ ඉස්මතු කළ ගංගුබායි, සභාව අමතා පවසා තිබුණේ, “අපි හැමෝ ම අඩුම තරමේ අපේ ගෙවල්වල එක වැසිකිළියක්වත් තියා ගන්නව. ඒ අනිත් කාමරවල මළමූත්‍රා කරන්නේ නැති වෙන්න. සෑම නගරයක ම ගණිකා මඩමක් අවශ්‍ය වෙන්නෙත් මේ හේතුව නිසා” යි කියා. ඇයගේ මෙම දේශනය අවසානයේ සභාවේ පිරිස අත්පොළසන් දෙමින් සිය ප්‍රශංසාව පළ කර ඇති බවත්, ඉන්පසු ගංගුබායි සමාජයේ අවධානය වැඩි වැඩියෙන් දිනාගත් බවත් සාහිඩ් සිය ග්‍රන්ථයේ සඳහන් කරනවා.

ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් සභාවක් මැද සිය හඬ අවදි කළ ගංගුබායි (චිත්‍රපටයේ දර්ශනයකි)
ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් සභාවක් මැද සිය හඬ අවදි කළ ගංගුබායි (චිත්‍රපටයේ දර්ශනයකි) – www.masala.com

 

නේරුතුමන්ට මංගල යෝජනාවක්

එකල භාරතයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ ජවහර්ලාල් නේරුතුමන් මුණගැසීමට ඇයට සිය ප්‍රසිද්ධිය සහ ජනප්‍රියතාව දොරටුව විවර කර දෙන්නේ ඒ අතර යි. එම හමුවේදී ගණිකා වෘත්තිය නීතිගත කරන ලෙස අගමැතිවරයා ඉදිරියේ දී ඉල්ලා සිටින ඇය, ගණිකාවන්ට සහ ඔවුන්ගේ ළමයින්ට වඩාත් සුරක්ෂිත සහ ගෞරවාන්විත අනාගතයක් ලබාදෙන ලෙස ද නේරුතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. ඇයගේ ඉල්ලීම්වලට කන්දෙන අතර ම නේරුතුමන් ඇය වෙත ප්‍රශ්නයක් යොමු කරනවා.
“ඇයි ඔබ මේ ජීවිතය තෝරගත්තේ. ඔබට තිබුණා විවාහයක් කර ගෙන, සැමියෙක් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න.” මඳ වෙලාවක් නේරුතුමන් දෙස බලාසිටින ගංගුබායි ඔහු වෙත පිළිතුරක් වෙනුවට යොමු කරන්නෙ ප්‍රතිපැනයක්.

“ඔබතුමා කැමති ද මාව කසාඳ බදින්න?”. බලාපොරොත්තු නොවුණු ඒ ප්‍රශ්නයෙන් නේරුතුමන් නිරුත්තර වෙනවා. ඔහු දෙස බලන ගංගුබායි, දිගු සුසුමක් හෙළන ගමන් ඔහුට පවසා තිබුණේ, “එහෙම කියන්න ලේසියි ප්‍රායෝගිකව කරන්න තමයි අමාරු” යන්නයි.

ගංගුබායි මේ හමුව අවසන් කරන්නේ නේරුතුමන්ගේ පොකට්ටුව මත තිබූ රතු රෝස මල ඇය සතු කරගැනීමෙන් කියල සංජේ ලීලා භන්සාලි තමන්ගේ චිත්‍රපටිය තුළ පැවසුවත්, එය සැබෑ ලෙස සිදු වූ බව තහවුරු කරන්නට කිසිදු සාක්ෂියක් නැහැ. ලිංගික ශ්‍රමිකයන්ට යහපත් හෙට දවසක් තනා දෙන්නට අවශ්‍ය අඩිතාලම ඇය මේ හමුවෙන් දැමූ බවට ඉතිහාසය සාක්ෂි සපයනවා.

Gangubai Kathiawadi (2022) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය:

ජීවිතයේ සැඳෑ සමය

හුසේන් සයිඩ් සිය කෘතියේ දක්වන ලෙසට ගංගුබායිගේ පසුකාලීන ජීවිතය පිළිබඳ වැඩි තොරතුරක් අනාවරණය වෙන්නෙ නැහැ. ඇය රත්‍රං ආභාරණ පැළඳීමටත්, සිය බෙන්ට්ලි කාරයේ සංචාරයේ යෙදීමටත් ආසා කළ බව පැවසෙනවා. ගංගු කිසිදා විවාහයක් පිළිබඳ නොසිතූ අතර බොහෝ දරුවන් සිය භාරයට ගෙන ඇතිදැඩි කළ බව කියවෙනවා. පොතට කරුණු එක්කාසු කිරීමේ දී, ඇය එසේ හදා ගත් පුතෙක් සයිඩ්ට පවසා ඇත්තේ ඇය දැඩි ලෙස මත්පැනට සහ සූදුවට ඇබ්බැහි වී සිටි බව යි. 1975-1978 වකවානුව අතර කාලයක දී මිය ගිය බව පවසන ගංගුබායි ඉතිහාසයට එක්වන්නේ “මාෆියා රැජනක්” ලෙසට යි. කාමාථිපුරයේ කාන්තාවන්ට අදටත් ඇය ඔවුන්ගේ “ගැලවුම්කාරිණියයි.”

කවරයේ ඡායාරූපය: Gangubai Kathiawadi චිත්‍රපටයේ ගංගුබායි චරිතයට පණ පොවන ආලීයා බාට් (දකුණ) සහ සැබෑ ගංගුබායි (වම) - www.scoopwhoop.com

මූලාශ්‍ර :

indianexpress.com

 mad4india.com

argusnews.in

tatvabodhini.com 

Related Articles