අනන්ත දැනුමින් සපිරි වනාන්තර විශ්වකෝෂය: තුල්සි ගෞඩා

1944 වසරේදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයට අයත් උතුරු කණ්ණඩ දිස්ත්‍රික්කයේ, අංකෝලා තාලුකයේ, හොනල්ලි ගම්මානයේ හලක්කි ගෝත්‍රික මවකට දැරියක් උපදිනවා. මාපියන් ඈ “තුල්සි ගෞඩා” ලෙස නම් තබයි. තුල්සි ගෞඩා කිසි දිනක විධිමත් අධ්‍යාපනයක් ලබා නොගත්ත ද, අද වන විට ලොව පුරා ප්‍රචලිත ව ඇත්තේ ශාක හා ඖෂධ පැළෑටි පිළිබඳ ‘අනන්ත දැනුමක්’ ඇති ‘වනාන්තර විශ්වකෝෂය’ ලෙසිනි.

ජයාරූපය: තුලසි ගෞඩා සාම්ප්‍රදායක ඇඳුමින් පැමිණ
තුල්සි ගෞඩා “පද්ම ශ්‍රී” ගෞරවනාමය ලබාගත් අවස්ථාව -www.dnaindia.com 

 

රාෂ්ට්‍රපති භවන්හි දී 2020 වසර සඳහා පැවති “පද්ම සම්මාන” උත්සවයේදී ඈ “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලැබුවා ය. පාවහන් නොමැතිව, සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටි තුල්සි ගෞඩා, ජනාධිපති රාම් නාත් කෝවින්ද් අතින් ඉන්දියාවේ සිව්වන ඉහළ ම සිවිල් සම්මානය ලබා ගත්තා ය.

දිගු ගමනක ඇරඹුම

හක්කලි ගෝත්‍රික සම්ප්‍රදාය අනුව අලුතින් උපදින දරුවන්ට නම් තැබීමේ දී ඔවුහු “ගසක නමක්” දරුවාගේ නමේ කොටසක් ලෙස යොදති. මුළුමහත් ඉන්දියාව ම පූජනීය ගසක් ලෙස සළකන “තුල්සි” යන නාමය යොදා ඇයට තුල්සි යනුවෙන් නම් තැබිණි. තම අලුත උපන් දියණිය දිනෙක “ගෞරවනීය කාන්තාවක වේවා” යන ආශීර්වාදය එහි සැඟවුණු අර්ථය විය. “ගෞඩා” යනු ඇයට සිය පවුලෙන් උරුම වූ නම ය.  

ශ්‍රී ලංකාවේ ද තුල්සි ශාකය ඇති අතර එය තුල්සි, තලා, හීන් තලා හෝ මදුරු-තලා යනුවෙන් හඳුන්ව යි. ජාත්‍යන්තර ව තුල්සි ශාකය Holy Basil හෙවත් පුජනීය බැසිල් නමින් හඳුන්වයි. පඳුරු ලෙස වැඩෙන තුල්සි ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ දකුණු අමෙරිකාව තුළ ව්‍යාප්ත ව ඇත.

පරිසරවේදී ගෞඩා බීජ පැලවල පුනර්ජනනය නිරීක්ෂණය කරමින්..Abhishek Chinnappa
පරිසරවේදී ගෞඩා බීජ පැළවල පුනර්ජනනය නිරීක්ෂණය කරමින් – www.abhishekchinnappa.com 

දැඩි කැපවීමට ආයතන ප්‍රධානීන්ගේ පැසසුම්

ඇගේ පියා ඇයට වයස අවුරුදු 2 දී මිය ගියේය. ඇයගේ මව තාවකාලික කම්කරු රැකියාව කළේ, ගමේ තිබුණු රජයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පැළ තවානේ ය. ඇය කුඩා තුල්සි ද රැගෙන එහි වැඩට ගියා ය. එහිදී ඇය පැළ බෝකිරීම, තවාන් දැමීම සහ රක්ෂණය පිළිබඳ ව ඉගෙන ගනියි. තරමක් වැඩුණු තුල්සිට ද එහි තාවකාලික කම්කරු රැකියාවක් ලැබෙයි. හක්කලි ගෝත්‍රික චාරිත්‍ර අනුව, ඇගේ වයස 10ක් 12ක් තරමේ දී ගොවින්දා ගෞඩා හා විවාහය සිදුවේ. නමුත් ඇය රජයේ පැළ තවානේ රැකියාව දිගට ම කරගෙන ගියා ය. අවුරුදු 35 කට පසු ව එහි ස්ථිර කම්කරුවකු ලෙස ඇය බඳවා ගන්නේ “දැනුම සහ කැපවීම” යන කාරණා සලකා ය.

තුලසි වනයේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර. Jagran TV
තුල්සි වනයේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර. Jagran.TV

 

ඕනෑම මව් ගසක් හඳුනාගන්නට ඇති හැකියාව 

යෙල්ලප්පා රෙඩ්ඩි, ඉන්දියානු වන සංරක්ෂණ ඇකඩමියේ නිලධාරියෙකි. ඔහු තුල්සි ගෞඩා ගැන මෙසේ කියා සිටියේ ය. 

“මට තුල්සි ගෞඩාව මුණගැසුණේ ඉන්දියානු වන සංරක්ෂණ ඇකඩමියේ පුහුණුව ලැබූ ඉන්දියානු වන සේවා නිලධාරිණියක ලෙස වසර 28 කට වැඩි කාලයක් සේවය කිරීමෙන් පසුව යි. බොහෝ පර්යේෂණ සිදු කර තිබියදීත් දේශීය ඉන්දියානු ගස්වලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයකට පුනර්ජනන ගැටලු ඇති බව මා දැක තිබුණා. වනාන්තරයේ සහ ගස්වල භාෂාව සහ ප්‍රරෝහණය, මල් පිපීම වැනි ශිල්පීය ක්‍රම පිළිබඳ ඇයගේ අවබෝධය සිත් ඇදගන්නාසුලුයි. නිදසුනක් වශයෙන්, මල් පිපෙන කාලය, ප්‍රරෝහණය වන කාලය සහ ශාකයක මව් ගසෙන් බීජ එකතු කිරීමට හොඳ ම කාලය ඇය දැන සිටියා. පුනර්ජනනය වඩාත් සුදුසු වන්නේ මව් ගසේ බීජ සමඟයි, එනිසා තුල්සි අපට බොහොම වැදහත් චරිතයක් වුණා.”  

ඉන්දීය ජනපති තුලසිට
තුල්සිට “පද්ම ශ්‍රී” සම්මානය පිරිනැමීමෙන් පසු ඉන්දීය ජනපති සිය twitter ගිණුමෙහි තැබු සටහන – twitter.com

 

ප්‍රමුඛතා තහවුරු කළ ජිවන රටාව 

ටිකෙන් ටික ඇටට ප්‍රසිද්ධිය සහ සමාජ පිළිගැනීම ලැබෙන්නට විය. 1986 දී ඉන්දිරා ප්‍රියදර්ශනී වෘක්ෂමිත්‍ර සම්මානය, 1999 කණ්ණඩ රාජ්‍ය උත්සව සම්මානය තුල්සිගේ දුසිමකට වැඩි සම්මාන ලයිස්තුවේ කිහිපයකි. ඇයට “පද්ම ශ්‍රී” සම්මානයෙන් නව වටිනාකමක් එකතුවුණා යැයි පරිසරවේදීන් පවසයි.

තමාට පද්ම ශ්‍රී සම්මානය ලැබීම ගැන තමන් ඉතා සතුටු වන නමුත්,  “වනාන්තර සහ ගස්වැල් වඩා අගය කරන” බව ගෞඩා පැවසුවා ය. මෙම ප්‍රකාශය ඇයගේ ප්‍රමුඛතා තහවුරු කරන අතර ම, නම සහ කීර්තිය ද පැහැදිලි වේ.


“කිසිදා පාවහන් නොපැළඳි” පරිසරවේදිනියක ලෙස, ඇගේ වැඩ දන්නා පර්යේෂකයන්ට සහ සෙසු පරිසරවේදීන්ට ගෞඩා යනු “වනාන්තරයේ විශ්වකෝෂය” ය. හලක්කි ප්‍රජාවේ සාමාජිකයන්ට, ඇය “වෘක්ෂ දේවතාවිය” කි. 

ජිවිතයේ සැඳෑ සමය 

අඩ සියවසක් පුරා, තුල්සි ගෞඩා ගේ ජීවිතය කැරකුණේ, හොනල්ලි ගම්මානයේ, අඛණ්ඩ වන වගා ප්‍රයත්නයේ කොටසක් ලෙස, “අගසුර්” තවානේ දී, ඇය බොහෝ සැලකිල්ලෙන් හා ආදරයෙන් පෝෂණය කළ පැළ වටා ය. වන දෙපාර්තුමේන්තුවේ සේවිකාවක් ලෙස සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, ඇය තම කුඩා මී මුණුබුරන් තිදෙනාට ආදරණීය ආජි (ආච්චි) වී සැහැල්ලුවෙන් දිවි ගෙවයි.

දශක හයකට ආසන්න සිය වෘත්තීය ජීවිතය තුළ තුල්සි ගෞඩාගේ අතින් ගස් තිස්දහසකට වඩා සිටුවා ඇති බවත්, ඈ බෙහෙත් පැළෑටි හෝ ගස් වර්ග හඳුනා ගැනීමේ හැකියාව අතින් කර්ණාටක පළාතේ ඉදිරියෙන් ම සිටින කාන්තාවක් බව ජනමාධ වාර්තා පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික සහ සමාජ-සම්බන්ධතා ප්‍රධානි, ලියු ශේන්මින් ප්‍රකාශ කරන්නේ, හොඳින් සංරක්‍ෂිත වාසස්ථාන සහ සෞඛ්‍ය සම්පන්න කෘෂිකර්මාන්තය ඉදිරි ගමනේ ප්‍රධාන මාර්ග බව ය. වන ආරක්‍ෂාව සහ සංරක්ෂණය සඳහා ආදිවාසීන්ගේ වැදගත්කම ද අවධාරණය කළේ ඔවුන්ගේ කාර්යභාරය “පරම-කාර්යභාරයක් ” ලෙස හඳුන්වමිනි.

තුල්සි ගෞඩා ගැන ලුහුඬින් –  www.momspresso.com

 

පරම-කාර්යභාරය

කුඩා තුල්සි සමහරවිට මේ බව දැන සිටියා වෙන්නට හෝ නොවෙන්නට පුළුවන. නමුත් ඇය ඇගේ වගකීම හොඳින් ඉටුකොට ඇත. වර්ථමානයේ වන-පුනර්ජනය ගැන හොඳින් දැනුම්වත් සමාජයක ජිවත්වන අප අඩසියවසක් ඒ වෙනුවෙන් තම ජීවිතය කැප කළ තුල්සි ගෞඩා මාතාවට කෘතඥ විය යුතු ය.

වනාන්තර පුනර්ජනනය යනු වනාන්තර ගස් අස්වැන්නෙන් පසු හෝ ගින්නෙන්, කෘමීන් හෝ රෝගවලින් මිය ගිය පසු නව ගස් පැළ පිහිටුවීමේ ක්‍රියාවලිය යි. තිරසාර වන වගාව සඳහා පුනර්ජනනය ප්‍රධාන වන අතර මූලික ප්‍රවේශ දෙකක් හරහා එය ඉටු කළ හැකි ය:

01. ස්වාභාවික පුනර්ජනනය: ඉතිරි වූ ගස් මගින් නව බීජ පැළ හෝ පැළ නිපදවන ක්‍රියාවලිය.

02. කෘත්‍රිම පුනර්ජනනය: ගස් සිටුවීම

“පද්ම ශ්‍රී” සම්මානය ලබාගැනීමෙන් පසුව පරිසරවේදී ගෞඩා India Today වෙත සිය අදහස් පළ කළ අයුරු මෙම වීඩියෝවෙන් දැක්වෙයි.

කවරයේ ඡායාරූපය: තුල්සිගේ සමීප රූපයක් -www.yotube.com

මූලාශ්‍ර:

padmaawards.gov.in

sustain.round.glass

indianexpress.com

timesofindia.indiatimes.com 

Related Articles