Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තණ පලසකින් නිරෝගී බව රැක ගනිමු

නිරෝගිකම පරම ලාභය බව බුදුරදුන් දේශනා කර ඇත්තේ මිට වසර 2500කට පෙරයි. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලඟා කරගැනීම සඳහා අධික වියදම් දරනවාට වඩා සුළු දේවල් කීපයක් තුළින් ඔබට නිරෝගී දිවියක් ලබාගැනීමට හැකි නම් එය කොතරම් වටිනවාද? අතීතයේ අපගේ මුතුන් මිත්තන් උදෑසනම අවදිවී ඇවිදීමට පුරුදුව සිටි බව කියැවේ. බුදු දහමේ කියැවෙන මහරහතුන් අලුයම සක්මන් භාවනාවේ යෙදුන බව පොත් පත් වල සඳහන් වේ. නමුත් වර්තමානයේ කාර්යභහුල ජීවන රටාවත් සමඟ මේ සියලු පුරුදු අපගෙන් ඈත් වෙමින් පවතී.

බොරළු හෝ වැලි පස මත ඇවිදිනවාට වඩා තණ පලසක් මත ඇවිදීමෙන් ශරීරයට බොහෝ වාසි ලබා ගත හැක. කුමන ආකාරයේ තණ පලසක් මත ඇවිදීම සිදු කළද එය ඔබගේ ශරීර සෞඛ්‍ය වර්ධනයට හේතු වේ.  නමුත් සිංහල වෛද්‍ය විද්‍යාවේ වටිනා ඔසුවක් ලෙස සැලකෙන හින් උදුපියලිය තණ පලසක් මත ඇවිදීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ඔබට ලඟා කරගත හැක. මෙම ලිපිය තුළින් සාකච්චා කිරීමට බලාපොරොතු වන්නේ තණ පලසක් මත ඇවිදීමෙන් ඔබට ලබාගත හැකි වාසි මොනවාද යන්නයි.

තණ පලසක් සකසා ගන්නේ කෙසේ ද?

atusaludenlinea.com

ඇවිදීම සඳහා අඩි 10ක් දිග අඩි 3ක් පළල තණ පලසක් හොඳටම ප්‍රමාණවත් වේ. ග්‍රාමීය ප්‍රදේශයක නම් ඉඩපහසුව ප්‍රමාණවත් නිසා විශාල තණ පලසක් සකසා ගත හැක. නමුත් නාගරික ප්‍රදේශ වල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් අඩි 10ක් දිග අඩි 3ක් පළල තණ පලසක් නිර්මාණය කර ගැනීම ප්‍රමාණවත්ය. මෙම පාත්තිය සඳහා කෘතීම පොහොර යොදනාවාට වඩා ගොම පොහොර යෙදීම යෝග්‍ය වේ.

ඇවිදීමට සුදුසුම වේලාව

උදෑසන පින්න වැටි ඇති වෙලාව ඇවිදීමට සුදුසුම වේලාව ලෙස දැක්විය හැක. පාවහන් ගලවා ඇවිදීම කළ යුතු වේ. මඳ උණුවතුරෙන් දෙපා පිරිසිදු කර ඇවිදීම වඩාත් ප්‍රතිඵලදායක වේ.

තණ පලසක ඇවිදීමේ වාසි

feelguide.com

තාර පාරක හෝ සිමෙන්ති බිමක ඇවිදීමට වඩා තණ පලසක් මත ඇවිදීමෙන් ඔබගේ දෙපා වලට සහනයක් ලැබේ. මෙලෙස ඇවිදීම තුළින් ශරීරයේ රුධිර සංසරණය කාර්යක්ෂම වේ. රුධිර සංසරණය ක්‍රමානුකුලව සිදුවීම ශරීරයේ ඇති බොහෝ ලෙඩ රෝග වලට ඖෂධයකි. ආර්තවය සම්බන්ද ගැටළු, වකුගඩු, ගර්භාෂය හා හෝමෝන සම්බන්ද රෝග ඇති කාන්තාවන්ට මෙවැනි ස්ථරයක ව්‍යායාම කිරීමෙන් වාසි ලබාගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි. මේවාට අමතරව තණ පලසක් මත ඇවිදීමෙන් පහත ප්‍රතිලාභද අත්කර ගත හැක.

සිරුරේ විවිධ කොටස් උත්තේජනය හා ඇස් පෙනීම වර්ධනය

ප්‍රතීක ක්‍රියා හා සම්භන්ධ කලාප බොහොමයක් අපගේ යටි පතුලේ පිහිටා ඇත. මෙම කලාප උත්තේජනය මගින් ඒවාට සම්භන්ධ අවයව වල ක්‍රියාකාරිත්වය යහපත් තත්ත්වයක පවත්වා ගත හැක. මෙලෙස ඇස්, කන්, පෙනහළු, බඩ, මොළය, වකුගඩු  හා සම්බන්ද ස්නායු රාශියක් යටි පතුලේ පිහිටන නිසා උදෑසනම තණ පලසක් මත ඇවිදීමෙන් මේ සියලු ඉන්ද්‍රියන් උත්තේජනය කරගත හැක. මේ තුළින් නිරෝගී, සෞඛ්‍ය සම්පන්න සිරුරක් ලබාගත හැක.

මීට අමතරව අප පොළවේ ඇවිදින විට පළමු, දෙවන හා තුන් වන ඇඟිලි වලට වැඩි බරක් ලබාදේ. ඇස් හා සම්බන්ධ ස්නායු බොහොමයක් මෙම ඇඟිලි තුනේ දක්නට ලැබෙන නිසා තණ පලසක් මත ඇවිදීම තුළින් අපගේ ඇස් වලට විශේෂ ප්‍රතිලාභ ලැබේ.

මානසික ආතතිය අඩු වීම

articles.mercola.com

ඔබ හිමිදිරියේ තණ පලසක ඇවිදීමේදී නොදැනුවත්වම ඔබ බොහෝ දේ සඳහා නිරාවරණය වේ. ඉන් කීපයක් ලෙස

  • උදෑසන හිරු එළිය
  • නැවුම් වාතය
  • නිස්කලංක වටපිටාව ඒ අතර වේ.

නැවුම් ඔක්සිජන් ඔබගේ ශරීරය ප්‍රාණවත් කරයි. උදෑසනම වටපිටාව එතරම් කලබලකාරී නොවන නිසා එය යහපත් මානසිකත්වයකට උපකාරී වේ. උදෑසනම තණ පලසක් මත ඇවිදීමෙන් ඔබගේ එදින කටයුතු සියල්ල උද්යෝගයෙන් හා යහපත් මනසින් නිම කිරීමට ඔබට හැකි වේ.

විටමින් ඩි ශරීරයට ලැබීම

pennington.com

වර්තමාන වෛද්‍යවරුන්ගේ මතය අනුව ඔස්ටියෝආතරයිටිස් වැනි අස්ථි සම්භන්ධ රෝග බොහොමයකට හේතු වන්නේ මිනිසුන් නිවැරදි පරිදි සූර්යාලෝකයට නිරාවරණය නොවීමයි. අප උදෑසනම තණ පලසක් මත ඇවිදීමේදී හිරු එලියට නිරාවරණය වීම නිසා ඉබේම අපගේ ශරීරයට විටමින් D ලැබේ. අස්ථි සම්භන්ද විවිධ රෝග වලින් මිදීමට විටමින් D අත්‍යවශ්‍ය සංඝටකයකි. ගර්භණි කාන්තාවන්ට  අනෙක් පුද්ගලයන්ට වඩා විටමින් D ශරීරයට වැදගත් වේ.

දෙපා නිරෝගී කිරීම

තණ පලසක් මත පාවහන් රහිතව ඇවිදීමේදී ඔබගේ දෙපා වලට ක්‍රමවත් ව්‍යායාමයක් ලැබේ. මෙමගින් දෙපාවල මාංශ පේශීන් ඇදීමට ලක්වීම හා සංධි හොදින් ක්‍රියාකිරීම සිදුවේ. මෙය දණහිස් අමාරු හා කොන්දේ වේදනාවන් ඇති කිරීම වැලක්වීමට හේතු වේ.

රුධිර පීඩනය අඩු වීම

අධ්‍යයනයන්ට අනුව යටි පතුල් වල ඇති ස්නායු උත්තේජනය මගින් රුධිර පීඩනය අඩු කරගත හැකි බව අනාවරණය වී ඇත. ස්නායු උත්තේජනය තණ පලසක් මත ඇවිදීම තුළින් පහසුවෙන් සිදුකර ගත හැක.

කවරයේ පින්තුරය – twinoakslandscape.biz

මුලාශ්‍ර:

දියණිය පුවත්පත, 05 වන කාණ්ඩය 2  වැනි පත්‍රය, වර්ෂ 2016 නොවැම්බර් මස 9 වැනි බදාදා

Related Articles