Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආත්ම විශ්වාසය වැඩිකරගන්නේ කොහොමද?

ජීවිතේ නොයෙක් අවස්ථාවන් වලදී අපි හැමෝම යම් යම් සිදුවීම් නිසා මානසික ඇදවැටීම්වලට ලක්වෙලා තියෙනවා. නමුත් ඒ ඇදවැටීම් නිසා හැමදාම ශෝකයෙන් ජීවත් වෙන්න අපිට බැහැ. මානසිකව කොයිතරම් ඇදවැටුනත්, ආත්ම විශ්වාසය වර්ධනය කරගෙන ඒ හරහා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් පියවර 8ක් ගැන අද අපි කතාකරමු.

හොඳ ආත්ම විශ්වාසයකින් යුක්ත කෙනෙක්ට බොහෝ දේවල් කරන්න පුළුවනි. ඔබ ඇවිදින, හැසිරෙන, කතාකරන විදියෙන් පවා ඔබගේ ආත්ම විශ්වාසය ප්‍රතිරූපණය වෙනවා. අපි හැමෝගේම ජීවිතවල යම් යම් දුෂ්කර කාල පරිච්ඡේදයන් තියෙනවා. අන්‍යයන් තමන්ව නොසළකාහැරීම, රැකියාව අහිමිවීම, ප්‍රේමයෙන් පරාජය වීම, ආර්ථික දුෂ්කරතා, ළඟම හිතවතෙකුගේ වියෝව, නොයෙක් අසනීප තත්ත්වයන් වගේ දේවල් වගේම තවත් බොහෝ හේතූන් නිසා ඇතිවන මානසික බිඳවැටීම හරහා අපේ ආත්ම විශ්වාසය බිඳී ඇති වාර අනන්තයි. මේ ආකාරයේ ජීවන අත්දැකීම්වලට ඉඳිරියටත් අපිට මුහුණදෙන්නට සිදුවෙන්න පුළුවනි. මොනම ආකාරයක අයහපත් දෙයක් සිදුවුවත්, ආත්ම විශ්වාසය බිඳ නොවැටී තියාගන්න අපි කටයුතු කරන්න අවශ්‍ය ඒ නිසාමයි.

ගිලිහී ගිය ආත්ම විශ්වාසය යළිත් ඇතිකරගැනීම එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකයි අපේ අදහස. නමුත් එහෙම කරන්න පුළුවන් අයත් ලෝකේ ඕනේ තරම් ඇති. ඒ කොහොම වෙතත්, පහළින් අපි දක්වලා තියෙන පියවර කීපය අනුගමනය කිරීමෙන් ඉතා ඉක්මනින්ම ඔබට පුළුවනි ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගෙන වඩාත් සතුටින් යුතුව ජීවත් වෙන්නට.

1. ඔබ තුළ ඇති ඔබ කැමතිම ගුණාංග ගැන ලියන්න

pinterest.co.uk

කොළයක් පෑනක් ගන්න. ඔබ තුළ ඇති ඔබ කැමතිම ගුණාංග ලැයිස්තුවක් සකස් කරන්න. ඒ ගුණාංග මහ විශාල දේවල් වෙන්න අවශ්‍ය නැහැ. උදාහරණයක් විදියට ඔබට රසට තේ එකක් හදන්න පුළුවන්නම්, ඒක මේ ලැයිස්තුවට ඇතුළත් කරන එකේ කිසිම වරදක් නැහැ. බොහෝවිට මේ ලැයිස්තුව ඒ තරම් දිග ලැයිස්තුවක් නොවෙන්න පුළුවනි. නමුත් ඒ ගැන ඒ තරම් වද වෙන්න අවශ්‍ය නැහැ. අපිට මේ මොහොතේදී අවශ්‍ය වෙන්නේ ඔබතුළ ඇති ඔබ කැමතිම ගුණාංග ලැයිස්තුවක් සකස් කරන එක විතරයි. ඒ වගේම ඒ ලැයිස්තුව ඔබට නිතරම පෙනෙන තැනක තියාගන්න එකත් සිදුකරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.

2. ඔබේ ජීවිතයේ සිටින සෘණාත්මක අදහස් දක්වන පුද්ගලයන්ව ඉවත් කරන්න

betanews.com

ඔබේ හිතට සෘණාත්මක අදහස් විතරක්ම දෙන, ඔබ මොන දේ කෙරුවත් ඔබව විවේචනයම කරන කී දෙනෙක් ඔබේ ජීවිතේ ඉන්නවද කියලා කල්පනා කරලා බලන්න. සමහරවිට ඒ අය ඔබේ ජීවිතේ ළඟින්ම ඇසුරු කරන අය වෙන්න පුළුවනි. නමුත් එයාලව ජීවිතෙන් ටික කාලෙකට ඈත් කරන්න. ඒ තරම් වැදගත් කමක් නැති අය නම්, සදහටම අයින් කරලා දැම්මත් කමක් නැහැ කියන එකයි අපේ අදහස.

3. ඔබට වෙනස් කරන්න බැරි දේ ගැන වදවෙන්න එපා

theodysseyonline.com

ඔබේ අක්බඹරු හිසකෙස් වලට ඔබ අකැමැතිද? ඔබේ සමේ වර්ණයට ගැන නොරිස්සුම් සහගතද? ඔබේ කකුලේ ඇඟිලිවල හැඩය කැතද? ඔබගේ උස ප්‍රමාණවත් නැද්ද? ඇත්තම කතාව මේකයි. රුපියල් මිලියන කීපයක් වියදම් කරලා යම්තාක් දුරකට ඔබගේ පෙනුම වෙනස් කරගන්න හැකියාව තියෙනවා. නමුත් ඒ තරම් වියදමක් දරන එක ප්‍රඥාගෝචරද කියන ප්‍රශ්නේ අනිත් පැත්තට එනවා නේද? අපි මුලින් සඳහන් කරපු කිසිම දෙයක් ඔබට වෙනස් කරන්න හැකි දේවල් නෙමේ. ඒ වගේ දේවල් ගැන වදවෙන එක කිසිම තේරුමක් නැහැ කියන එක පැහැදිලියි. එයින් වෙන්නේ ඔබ ගැන ඔබට තිබෙන විශ්වාසය නැතිවෙන එක විතරයි. ඔබට ඇතැම්විට හොඳ කටහඬක්, සහජ හැකියාවක්, හෝ පුහුණු කළ හැකියාවක් ඇති. ඔබ සතුව නැති දේවල් ගැන වදවෙන වෙලාවේ ඔබට තියෙන දේවල් ගැන කල්පනා කරන්න. ඔබේ ආත්ම විශ්වාසය ඒ තුළින් වැඩිවෙනවා සිකුරුයි.

4. වෙනස් කරන්න පුළුවන් දේවල් වෙනස් කරගන්න

powerofpositivity.com

ඔබ තුළ තිබෙන, ඔබට වෙනස් කරගන්න පුළුවන් මාදිලියේ ඔබ අකැමැති දේවල් වෙනස් කරගන්න දෙපාරක් හිතන්න එපා. උදාහරණයක් විදියට, ඔබේ ශරීරය තරබාරුයි නම් සහ ඔබ එයට අකමැති නම්, ව්‍යායාම සිදුකිරීමෙන් ශරීර හැඩය ක්‍රමවත් කරගන්න ඔබට පුළුවනි. ඔබගේ මිතුරියන් හැමෝටම ලස්සනට නටන්න පුළුවනි ඔබට එය තවමත් බැරි නම්, ගෙවල් ළඟ තියෙන නැටුම් පුහුණු මධ්‍යස්ථානයට ගිහින් ඔබට එය ඉගෙන ගන්න පුළුවනි. ඔබ දැනට කරනා රැකියාවට ඔබ කැමති නැති නම්, ඔබේ සුදුසුකම් වැඩි කරගන්න මහන්සි වෙන අතරේ වෙන රැකියාවක් සොයන්න පුළුවනි.

හොඳින් මතක තියාගන්න, ඔබ සහ ඔබගේ ආත්ම විශ්වාසය වැඩිකරගන්න සිදුකරන්න ඕනේ ක්‍රියාමාර්ග අතරේ සිටින්නේ ඔබම පමණයි. ඔබට වෙනස් කරගන්න පුළුවන් දේවල් වෙනස් නොකර ඒ ගැන විවේචනය කරමින් ඉන්න එකෙන් වෙන්නේ ඔබේ ආත්ම විශ්වාසය තව දුරටත් ගිළිහෙන එක විතරයි. නමුත් ඒ වෙනුවට ඒ අකමැති දේවල් වෙනස් කරන්න ඔබ මහන්සි වෙනවානම්, නිසැකවම ඔබගේ ආත්ම විශ්වාසය ඒ සමඟින්ම ඉහළ යනවා.

5. දිනපතා ව්‍යායාම කරන්න

ca.news.yahoo.com

ව්‍යායාම සිදුකිරීමෙන් සිදුවෙන ශරීර ස්වභාවයේ වෙනස ගැන නෙමේ අපි මෙතනදී සැළකිළිමත් වෙන්නේ. ව්‍යායාම හරහා ඔබගේ මානසිකත්වයේ සිදුවෙන වෙනස විශාලයි. ඔබ අහලා ඇති endorphins කියන හෝමෝන ගැන. මේ හෝමෝන නිපදවෙන්නේ ඔබ ව්‍යායාම හෝ ඒ ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවෙන වේලාවේදීයි. මේ හෝමෝන හරහා ඔබගේ ගතේ සිතේ දෙකේම ප්‍රබෝධමත්භාවය වැඩිකිරීම සිදුකරනවා. ඔබ ශාරීරිකව ශක්තිමත් බව දැනෙන තරමටම, ඔබ මානසිකවත් ශක්තිමත් වෙනවා.

6. ඔබගේ ශරීර භාෂාව වෙනස් කරන්න

lifehack.org

ඔබේ ආත්ම විශ්වාසය දුර්වල වෙලා තියෙන වෙලාවට, ඔබ නිතරම උත්සාහ කරන්නේ සැඟවී සිටින්නයි. කණ්ඩායමක් අතරේ සිදුවෙන සංවාදයකදී වුවත් ඔබ කතාකරනවා ඉතා අඩුයි නම්, ඔබ සමඟ කතාකරන කෙනාගේ ඇස් දිහා බලලා කතා නොකරනවා නම්, මේ සිරිත් වෙනස් කරන්න දැන් කාලේ හරි. කතා කරන විට පැහැදිලි ස්වරයෙන් සාමාන්‍ය වේගයෙන් කතා කරන්න. හැමතිස්සෙම ඔබත් සමඟ කතාකරන කෙනාගේ දෑස් දිහා බලන්න උත්සාහ කරන්න. ඔබ කියන දේ ගැන විශ්වාසයෙන් යුතුව සිටින බව අන්‍යයන්ට ඇඟවෙන්න ඉඩ හරින්න. මේ හරහාත් ඔබට විශාල වශයෙන් ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුළුවනි.

7. සෘණාත්මකව සිතන එක නතර කරන්න

uxllifeconsultants.com

ඔබ දන්නවාද අපේ හිතේ තියෙන සුවිශේෂීම ගුණාංගයක් ගැන? ඒ තමයි, අපිට පුළුවන් අපිට හිතෙන දේවල් පාලනය කරන්න. සරල උදාහරණයක් ගනිමු. කළුවර තැන්වල හොල්මන් අවතාර සිටිනවායැයි ඔබ හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම හොල්මන් අවතාර කියලා දෙයක් නැහැ කියලා පසුව ඔබ ඉගෙනගන්නවා. ඊළඟ වතාවේදී කළුවර තැනකින් ඔබ යද්දි අර මුලින් ඔබේ හිතට ආව හොල්මන් අවතාර ගැන අදහස යට කරගෙන ඔබට පුළුවනි ඔබ ඉගෙන ගත්ත දේ හිතේ තියාගෙන ඉන්න. ටික වෙලාවකින් ඔබ එහෙම හිතාගෙන ඉන්න දේ ඇත්ත කියලා ඔබට දැනෙන්න පටන් ගන්නවා. මේක බොහෝ මනෝවිද්‍යාඥයන් විසින් සනාත කරලා තියෙන දෙයක්.

ඔබට ඔබ ගැන සෘණාත්මක දේවල් කල්පනා වෙද්දි ඒ දේවල් වෙනුවට ඔබේ ඇති ධනාත්මක, යහපත් දේවල් ගැන හිතන්න පුරුදු වෙන්න. විශේෂයෙන්ම ඔබ ලබපු ජයග්‍රහණ ගැන කල්පනා කරන්න. ඒ ජයග්‍රහණ ලබද්දී ඔබ ලබපු සතුට ගැන කල්පනා කරන්න. එ ජයග්‍රහණ ලබන්න ඔබ කරපු කැපකිරීම් ගැන කල්පනා කරන්න. මේ හරහා ඔබගේ ආත්ම විශ්වාසය විශාල වශයෙන් වර්ධනය කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබේ යහපත් ගුණාංග ගැන ඔබ ලියූ ලැයිස්තුවටත් මේ ජයග්‍රහණ ගැන කරුණු එකතු කරන්න අමතක කරන්න එපා.

8. ඔබ විසින් ලියන ලද ඔබේ කැමතිම ගුණාංග ලැයිස්තුව යළිත් කියවන්න

අපි මේ ඉඳිරිපත් කරන ලැයිස්තුවේ පළවෙනිම කරුණ ඔබට මතකයි නේද? අන්න ඒක උදව්වට එන්නේ මේ වෙලාවටයි. ඔබ විසින්ම නිර්මාණය කරපු ඔබේ ශක්තීන්, හැකියාවන්, ගුණාංගයන් පිළිබඳ විස්තරයක් දැන් ඔබ සතුව තියෙනවා. ඔබගේ ආත්ම විශ්වාසය දුර්වල වෙන හැම වෙලාවකදීම, ඔබ තුළ ඇති ඔබ කැමතිම ගුණාංග පිළිබඳ ලියපු ලැයිස්තුව කියවන්න. ඔබ විශේෂ කෙනෙක්. මේ ලෝකයට දෙන්න ඔබ සතුව යහපත් දේවල් ගොඩක් තියෙනවා. මේ ගැන හිතද්දි, ඔබේ ආත්ම විශ්වාසය නිරන්තරයෙන්ම ඉහළ යන බව ස්ථිරයි.

freshdesignpedia.com

ආත්ම විශ්වාසය වර්ධනය වීම සිදුවෙන්නේ, තමන්ගේ යහපත් හැකියාවන් සහ ගුණාංගයන් තුළින් ලෝකයට යහපත් යමක් සිදුකිරීමෙන් සහ තමන්ගේ දුර්වලතාවයන් මගහැර ගැනීමෙනුයි. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් සර්වසම්පූර්ණ නැහැ. ඔබ ඔබගේ හැකියාවන් ගැන දැනගන්න තරමටම, ඔබේ ආත්ම විශ්වාසයත් වැඩිවෙන බව මතක තියාගන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන්න, ජීවිතේ සාර්ථක කරගන්න.

Cover: abovewhispers.com

Related Articles