සමාජයක බොහෝ අපරාධකරුවන් ළමා කාලයේදී ද කලහකරුවන් ය. නිවැරදි මඟ පෙන්වීමක් නොලැබූවන් ය. යමෙකුගේ අනාගතය තීරණය වන්නේ ඔහුගේ/ඇයගේ ළමා කාලයෙනි. දරුවා යහපත් පුරවැසියෙකු කිරීමේ වැඩි වගකීම හිමිවන්නේ දෙමාපියන්ට යි. ගුරුවරුන් හා හිතමිතුරන් ද වගකීම ගත යුතු වුවත් වැඩි බර මවට ය. පියාට ය. නිවසට ය.

පෞරුෂය යනු?

සාපේක්ෂ වශයෙන් ස්ථාවර වූ චරිත ලක්ෂණ සමූහයක් එක් වූ විට එය කෙනෙකුගේ පෞරුෂය යනුවෙන් හඳුනා ගත හැකියි.

පෞරුෂය සම්බන්ධ අක්‍රමිකතා (ආබාධ)

01. යැපෙන සුළු පෞරුෂය

අන් අයගේ මතයට අනුව කටයුතු කරන, මනසින් ඉතා දුබල, ආත්ම විශ්වාසයෙන් හීන දරුවන් මේ යටතට අයත් වේ.

02. මඟ හරින සුළු පෞරුෂය

සමාජ ආශ්‍රයට අකමැති, ආත්ම විශ්වාසයෙන් අඩු දරුවන් මේ යටතට අයත් ය.

03. මායාකාරී පෞරුෂය

තමා අගයනවාට කැමති, සෑම විටම අන් අයගේ අවධානය තමා වෙත යොමු කරවා ගැනීමට උත්සහ කරන, හදවතින්ම ඇතිවන හැඟීම් වලින් නොව ආත්මාර්ථකාමී ගතිගුණ වලින් යුතු දරුවන් මේ යටතට අයත් වේ.

04. පීඩනෝන්මාද පෞරුෂය

බොහෝ විට අන් අය ගැන නොසිතන, සෑම දෙයක් දෙසම සැකයෙන් බලන, නිතර වාද විවාද වලට පෙළඹෙන හිතුවක්කාරී දරුවන් මෙම පෞරුෂ ගනයට අයත් වේ.

05. භින්නාවේගික පෞරුෂය

තමාටම වෙන් වූ මනෝ ලෝකයක ජිවත් වන, ලැජ්ජාශීලි, ආදරබර හැඟීම් නොපෙන්වන, සාමාන්‍ය සිරිත් විරිත් වලින් ඈත්ව ජිවත් වන දරුවන් මේ යටතට අයත් වේ.

06. ග්‍රස්ථික පෞරුෂය

අලුත් තත්ත්වයන්ට හැඩගැසීමේ හැකියාව අඩු, නීතිගරුක බව, පිරිසිදු බව පිළිබඳ බෙහෙවින්  සිතන, විවේචනයන්ට සංවේදී වන, තීරණ ගැනීමේදී වැනෙන සුළු ගති ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් මෙම පෞරුෂ ගනයට අයත් වේ.

07. සමාජ විරෝධී පෞරුෂය

ආවේගශීලි ගති වලින් යුතු, වරදක් කළත් ඒ පිළිබඳ කම්පා නොවන, සම්බන්ධතා පවත්වාගෙන යාමට අපහසු දරුවන් මේ යටතට අයත් වේ.

ඔබේ දරුවා ද කුඩා කල සිට ඉහත ගති ලක්ෂණ පෙන්නුම් කළ හැකියි. දෙමාපියන් වන ඔබ ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඔබේ දරුවා අස්වාභාවික ලෙස බියසුළු බව, කාංසාවෙන් පෙළීම, දුක්ඛිත බව, බයාදු බව, පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම, කලබලකාරී බව, දඟකාර බව වැනි ලක්ෂණ පෙන්නුම් කරයි නම්, පහත උපදෙස් මත කටයුතු කිරීමෙන් එම තත්ත්වය අවම කරගත හැකි වේවි.

අස්වාභාවික ලෙස බියසුළු දරුවා

njfamily.com

දරුවෙකුට බිය ඇති වීම සාමාන්‍ය දෙයක්. නමුත් සාමාන්‍ය ළමා බිය පහව නොගොස් කල් පවතින්නේ නම් එය අස්වාභාවික බියක්. දරුවා කැරපොත්තෙකු දුටු විට බිය වන්නේ නම්, රාත්‍රියේ තනියම සිටීමට බිය වන්නේ නම්, එම තත්ත්වය මෙහි මූලාරම්භය විය හැකියි. වයස අවුරුදු 2ක් වන දරුවෙක්ට දෙමාපියන්ගෙන් වෙන්ව රාත්‍රියේ තනිව සිටිමට ඉඩ දිය යුතු බව ඔබ දන්නවාද?

දරුවෙකු අසාමාන්‍ය ලෙස බියෙන් කටයුතු කරන්නේ නම්, දෙමාපියන් වන ඔබ එයට හේතු සොයා බැලිය යුතුයි. සමහරවිට දරුවා හොල්මන්, අවතාර, ගෝනිබිල්ලන් පිළිබඳ කතා අසා සිටිනවා විය හැකියි. එසේ නම් දරුවා එවැනි කතා වලින් ඈත් කිරීමට වගබලා ගත යුතුයි. කිසිදු විටෙක දරුවා බියට පත්වන ආකාරයේ කිසිදු දෙයක් දරුවාට නොකීමට වගබලා ගැනීම දෙමාපියන් වන ඔබගේ වගකීමයි. ඉහත පරිදි කටයුතු කිරීමෙන් පසුව ද දරුවා තවමත් බියෙන් පසු වන්නේ නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

කාංසාවෙන් පෙළෙන දරුවා

විටෙක දරුවෙක් තුළ කාංසාව ඇතිවීම සාමාන්‍යයි. නමුත් දරුවෙක් සෑම විටම කාංසාවෙන් පසුවන්නේ නම්, එය දෙමාපියන් වන ඔබ විසින් සැළකිය යුතු තත්ත්වයක්. වයසින් තරමක් මුහුකුරා ගිය දරුවන් බෝහෝ විට මෙම තත්ත්වයට මුහුණ දෙයි. මෙවැනි දරුවන් බොහෝ විට කලබලකාරී ගති ලක්ෂණ පෙන්නුම් කරන අතර ඉතා සුළු කාරණයකදී පවා උරණ වෙයි. නිතර හිසරදය ඇති බවට මැසිවිලි නඟන මොවුන්ට නින්ද යාම ද අඩුය.

මෙවැනි දරුවන් හට ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මඟ පෙන්වීම ලබාදීම අවශ්‍ය වේ.

දුක්ඛිත දරුවා

huffingtonpost.ca

දුකෙන් පෙළෙන දරුවා නිතරම හඬයි. කිසිදු අඩුපාඩුවක් නැතත්, ඇතැම් දරුවන් දුකෙන් සිටියි. තම දොම්නස දෙමාපියන් හට කියාගත නොහැකිව හඬයි. පාසල් යාම ප්‍රතික්ෂේප කරයි. නරක හැසිරීම් පෙන්නුම් කරයි. ඔවුන් එසේ හැසිරෙන විට දෙමාපියන් ද විමතියට පත්ව එයට හේතු විමසුව හොත්, ඔවුන් ද එයින් විමතියට පත්ව හිසරදයක් හෝ උදර අමාරුවක් හෝ පිළිබඳ පවසයි. ඔවුන් සෑම විටෙකම කනස්සල්ලෙන් පසුවෙයි. එවැනි දරුවන් ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු වේ.

බයාදු දරුවා

parentmap.com

අස්වාභාවික ලෙස බයාදු ගති ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් සැම විටම පසුපසට වී සිටියි. නුපුරුදු පුද්ගලයන්ට, නුපුරුදු අවස්ථාවන්ට මුහුණ දීමට ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැහැ. සම වයස් දරුවන් සමඟ ද ඔවුහු පසෙකට වී සිටියි. මෙය රෝගාබාධයක් නම් නොවේ. මෙය ඔවුන්ගේ පෞරුෂ ස්වභාවයයි. මෙවැනි දරුවන් නව අවස්ථාවන්ට, නව තත්ත්වයන්ට කාරුණිකව හුරුපුරුදු කරවීම ඔබේ වගකීමයි. ඔවුන් අන් අය ඉදිරියේ හිරිහැර වලට භාජනය වන්නේ නම් ඔවුන් එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට පුරුදු කළ යුතු අතර ඔබ එයට මැදිහත් වීම නොකළ යුතුයි. එවැනි දරුවන්ට තනියම ජීවිතයට මුහුණ දිමට හුරු කළ යුතුයි. කිසිදු විටෙක බයාදු දරුවා බයාදු වැඩිහිටියෙකු දක්වා වර්ධනය වීමට අවස්ථාව සැළසිය යුතු නොවේ.

පාසල් යාම ප්‍රතික්ෂේප කරන දරුවා

understood.org

වයස අවුරුදු 12 ට අඩු සමහර දරුවන් පාසල් වැඩ හොඳින් කළත් පාසල් යාම ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන්ගේ උද්වේගකාරී සිතුවිලි නිසයි. නිවස හා දෙමාපියන් අත්හැර පාසලට යාමට ඔවුන් බිය වේ. උදේ කාලයේදී බොරු ලෙඩක් ගැනීම, නැත්නම් හැඩීමෙන් ඔවුන් පාසල් යාම ප්‍රතික්ෂේප කරයි.

මේ තත්ත්වය අවම කළ හැක්කේ දරුවා පාසල් යාම අත්‍යවශ්‍ය බව දරුවාට පෙන්වා දීම තුළිණි. මුල් කාලයේදී මව හෝ පියා පාසල වෙත ගොස් සිටීම කළ හැකියි. ප්‍රාථමික ගුරුවරුන්ගෙන් සහයෝගය ලබාගැනීම මෙහිදී කළ හැකියි.

කලබලකාරී දරුවා

දරුවෙක් කලබලකාරී ගති පැවතුම් වලින් යුක්ත වීම සාමාන්‍ය දෙයක්. නමුත් දරුවෙක් අසාමාන්‍ය ලෙස කලබලකාරී වන්නේ නම් දෙමාපියන් වන ඔබ ඒ පිළිබඳ සැළකිලිමත් විය යුතුයි. මෙවැනි දරුවෙකු වයසින් වැඩි තිබුණත්, ඔවුන්ගේ හැසිරීම අවුරුදු 4ක දරුවෙකු මෙන්ය. එවැනි දරුවන් නොසන්සුන්ය. එක් දෙයක් දෙස වැඩි වෙලාවක් අවධානය යොමු කර සිටීමේ හැකියාවක් නැත. ඔවුන්ට ඉගෙනීම කෙරෙහි සිත යොමු කිරීම අපහසු වන අතර නිතර අනතුරු ඇතිකර ගනී. ඔවුන් කරදර වලින් බේරා ගැනීමට දෙමාපියන්ට ද නිතර ඔවුන් පසුපසින් යාමට සිදු වේ.

මෙවැනි දරුවන් ළමා සායනයකට ඉදිරිපත් කළ යුතු අතර විශේෂඥ ළමා වෛද්‍යවරයෙකුගේ සහය ලබාගත යුතු වේ.

දඟකාර දරුවා

svtuition.org

දරුවන් දඟකාර වීම සාමාන්‍යයි. ඔබේ දරුවා දඟකාර නැත්නම් ගැටළුව වන්නේ එයයි. ඔබේ දරුවා මිතුරන්ට පහර දෙනවා ද? ඔබට බොරු කියනවා ද? ඔබේ මුදල් පසුම්බියෙන් මුදල් සොරෙන් ගන්නවාද? එය ඔබට වේදනාකාරී බව සැබෑය. නමුත් එයට ඔබ දරුවාට පෙරළා තරවටු කිරීම සුදුසු නැත. මේවා ළමා වයසේ පසුවන්නන්ගේ සාමාන්‍ය හැසිරීම්. දරුවාගේ මෙවැනි හැසිරීම් නිසා තමා දුක් වූ තරම දරුවාට කරුණාවෙන් පහදා දිය යුතුයි. එවැනි හැසිරීම් නිසා ඇතිවුණු පාඩම් සම්බන්ධයෙන් දරුවාට කතාන්දරයක් ගොතා කිව හැකියි. එයින් දරුවා යහමඟට ගැනීමට උත්සහ කිරීම දඬුවම් කරනවාට වඩා සාර්ථක ප්‍රතිඵල ගෙන දේවි.

කවරයේ කතාව- momjunction.com 

මූලාශ්‍ර

“ඔබේ දරුවා-ඔබේ පවුල”, වෛද්‍ය මහාචාර්‍ය හර්බට් ඩබ්. අපොන්සුගේ.

http://nobaproject.com/modules/social-and-personality-development-in-childhood

http://www.momjunction.com/articles/personality-development-tips-for-your-children_0079077/#gref

http://www.studyvillage.com/resources/2887-How-develop-personality-children.aspx

“Personality Development in Children”, Edited by Ira Iscoe and Haarold Stevenson.