Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බඩ අඩුකර හැඩ වැඩිකරගන්න ක්‍රම සහ විධි කිහිපයක්

හැඩට වැඩට පෙනුමට ඉන්න සෑම කාන්තාවක්ම කැමතියි. වටිනා ඇඳුම් ආයිත්තම්, ආභරණ පළඳනා මේක් අප් ආදියට විශාල මුදලක් වියදම් වෙනවා. වැඩි මුදලක් වැය නොවී ආකර්ෂණීය බව වැඩිකරගන්නට තිබෙන පහසුම මගක් කාන්තා සිරුරේ හැඩය පාලනය කරගැනීම. පුරාණ කවිපොත් වල තිබෙන ආකාරයට රියසක වැනි පුළුලුකුළ,  තිසර තන හෝ මිටින් ගතැකි ඉඟ සුඟ දක්වාම ළඟාවීමට සෑම කාන්තාවකටම  නොහැකියි. එහෙත් අනවශ්‍ය මේද තට්ටු නොමැති උදරය ඉදිරියට නෙරා නොගිය කදිම වක්‍ර සහිත නාරි දේහයක් දෙස යෝගී තවුසන් වුවද වරක් නොව දෙවරක් වුවද හැරී බලනවා නොඅනුමානයි.

සිරුර හැඩට තබාගන්නට විශාල මුදලක් කාලයක් වැය කළ යුතුයැයි සාමාන්‍යයෙන් කාන්තාවන් සිතනවා. වර්තමානයේදී නාගරික අර්ධ නාගරික පලාත් වල යම් පමණක කාන්තාවන් ව්‍යායාම මධ්‍යස්ථාන හෝ ව්‍යායාම මං තීරු කරා ඇදුනත් ගම්බද කාන්තාවන්ට ඒවැනි ඒවාට යොමුවීම තරමක් අපහසුයි. සරල වෙනස්කම් කිහිපයකින් කාන්තාවන්ට ලස්සන සිරුරක් ලබාගන්න මාර්ගය දැකගන්න අවස්ථාවක් දෙන්නට අප සිතුවා. අපි දැන් ඒ ටිප්ස් කිහිපය මොනවාද කියා බලමු.

http://www.listal.com/viewimage/6098496h

ෆිට්නස් බෑන්ඩ් එකක් හෝ ෆිට්නස් ඇප් එක්ක භාවිතා කිරීම.

අපේ කාන්තාවන් අතර තිබෙන එක් මතයක් තමයි. “අපි ඉතිං ගෙදර දොර වැඩ ඔක්කෝම කරනෝ, කඩේ යනෝ, වැඩටත් යනෝ.. ඉතිං ඉබේම එක්සයිස් වෙනෝ.. මොකටද තව වෙනම එක්සයිස්? “ ගෙදර දොර වැඩ සැමියා සහ පවුලේ අය සමග බෙදාගෙන කටයුතු කරන නිවෙස් කලාතුරකින් තිබුණත් තවමත් අපේ පැරණි මතිමතාන්තර අනුව ගෘහණිය ලෙස ගෙදර දොර වැඩ සියල්ල කාන්තාව වෙත පැවරෙන අවස්ථා වැඩියි. කාන්තාව ගෙදර දොර කරන වැඩ රාජකාරි සුළු කොට තකන්නට බැහැ. එහෙත් ඒ හරහා විශාල ව්‍යායාමයක් ලැබේද යන්න ගැටළුවක්.

මෙම ෆිට්නස් බෑන්ඩ් එක හරහා දිනකට ඇවිදින ප්‍රමාණය, නිදාගන්නා කාලය, තදබල නින්දේ සිටින කාලසීමාව වගේම හදවතේ ගැස්ම මැනගැනීම සහ කරන ව්‍යායාම ආදිය පවා ස්මාට්ෆෝනය හරහා දැකබලාගන්නට පුළුවනි. ගෙදර දොර වැඩකරන විට ඇවිදින විට හෝ වෙනත් බර වැඩ වල නිරත වන විට කැලරි කොපමණ ප්‍රමාණයක් දැවෙනවාද යන්නත් ඒ හරහා පෙන්නුම් කරනවා ඇති. ෆිට්නස් බෑන්ඩ් තරම්ම සාර්ථක නැතත් මොබයිල් ෆෝන් එකෙනුත් අප එදිනෙදා ගන්නා ව්‍යායාම ආදිය මැනගන්නට පුළුවන් කම තිබෙන ඇප්ස් තිබෙනවා. එදිනෙදා ජීවිතේ කොපමණ කැලරි දහනය වෙන ව්‍යායාම සිදුවෙනවාද? කොපමණ වෙලා නිදාගන්නවාද? තවත් අප කොපමණ ව්‍යායාම කළ යුතුද? අද දවසට කොච්චර ඇවිද්දාද ආදී විස්තර බලාගන්න පුලුවන් නිසා ෆිට්නස් ඇප්ස් හරහා “ එක්සයිස් නම් මොනාද ඔය නිකං වැඩ කළත් වෙන්නේ?“  යන සරල වාක්‍යයෙන් ගැලවෙන්නට හැකියාව ලැබෙනවා.

අලුතින් ක්ලාස් එකකට යෑම

රූපවාහිනියේ දැක්වෙන ඇඟ කෙට්ටු වෙන උපාංග නිවෙසට ගෙන්වාගත් බොහෝ දෙනා සතියක් දෙකක් යනවිට ඒවායේ භාවිතයෙන් ඉවත් වෙනවා. මන්ද ඔවුන්ට නිසි වේලාවක් ඒ සඳහා වෙන්කරලා ඒ ව්‍යායාම කාර්යයේ යෙදෙන්නට යම් මැලියාවක් කාලයක් සමග ඇතිවෙනවා. ඒත් සෝශල් ඩාන්සින්, සුම්බා, යෝගා සහ විවිධ ආකාරයේ ඇඟට ව්‍යායාම ලැබෙන පන්තියකට යන්නට හුරු වුණොත් ඒ හා ගැටෙන සමාජයකට අපි එකතු වෙනවා. එවිට ඒ වෙලාවට ඒ කාර්යයට යන්නට අපිට විශේෂ උවමනාවක් ඇතිවෙනවා. යහළු මිතුරන් ඇතිවීම පොදු ගැටලුවක් වන ඇඟ මහත්වීම ඇති පිරිසක් එකට එකතු වීම නිසා එතැන හැමෝම එක අරමුණකට එකතු වන තැනක්. එවැනි තැනකදී නිවසට වී ව්‍යායාම කරනවාට වඩා ජවයකින් සහ ප්‍රබෝධයකින් ඒ කාර්යය කළ හැකියි. විශේෂයෙන් සෝශල් ඩාන්සින් වැනි වැඩවලින් ඇඟට ව්‍යායාම වගේම සිතටත් ලොකු කික් එකක් ඒ එක්කම ලැබෙනවා. නිවසේ සිට වයායාම කරද්දී එයා දකියිද? කවුරුත් එයිද? පිට අය මොනා හිතයිද? ආදී ප්‍රශ්න තිබිය හැකි වුවත් යෝගා, ඩාන්සින් හෝ ශාරිරික යෝග්‍යතා පන්තියකට ගිය විට එවන් සබකෝල ගති ඇතිවන්නේ නෑ.

(followyoursport.com)උයා පිහා ගැනීම

අපගේ ආහාර වේල තෙල් සහ මේද වලින් ගහන වන විට සිරුර තරබාරු වී අවලස්සන වීමත් සෞඛ්‍යමය අතින් පිරිහීමත් වඩාත් ඉක්මනින් සිදු වෙනවා. පොල්තෙල් සහ බත් ගැන මතිමතාන්තර රාශියක් තිබුණත් අපගේ ආහාර රටාව අනුව උදරය ඉක්මනින්ම ඉදිරියට නෙරා ඒමේ නැඹුරුතාවය වැඩි බවක් තිබෙනවා. ලංකාවේ ආහාර රටාවට සමාන ආහාර සංස්කෘතියක් ඇති කේරළයේ ද ස්ත්‍රී/පුරුෂ බොහොමයක් දෙනා කුඩා බඩක් තිබෙන මඳක් මස් වැඩි ඇඟක් සහිත ජනතාවක් බව පෙනී යනවා.

පබ්ලිස් සිල්වා හෝ වෙන දක්ෂයෙක් රූපවාහිනියේ උයන පිහන විට අපි ඒ දෙස දෑස් දල්වාගෙන බලා සිටිනවා. එහෙත් එවැනි අලුත් අලුත් ක්‍රමවලට නිවසේ උයන්නට පෙළඹෙන අවස්ථා බොහොම අඩුයි. උයා පිහා ගන්නේ නැතිව ආහාර පිටින් ගන්නා විට බොහෝ විට අපිට සිදුවන්නේ කොත්තු, රයිස්, පැස්ටා, ඉඳිආප්ප වැනි සරල තෝරාගැනිම් කිහිපයකට යොමු වීම පමණයි. කොළඹ හෝ තදාසන්න පෙදෙස් හැර ලංකාවේ බොහෝ පළාත් වල කෑම කඩවල කෑම වල විවිධත්වය අඩුයි. තෙල් මේද බර වැඩි පිටි ගුලි ගිල දමනවාට වඩා කුඩා නවාතැනක සිටියද ආහාර පිලියෙළ කරගැනීම සෞඛ්‍යයට වගේම දේහයටත් හොඳ පුරුද්දක්. ආහාර අපම උයන පිහින විට වියදම අඩුයි ඒ වගේම අපට ගන්නා මස් මාංශ, තෙල් ආහාර ගුණදායි ආහාර ලෙස තෝරා ගන්නට ඇති තේරීම් ගණනත් වැඩියි. එබැවින් විවිධ ආහාර පිලියෙළ කරගෙන ආහාරයට ගැනීම මනසට සෞඛ්‍යයට පර්ස් එකට වගේම ඇඟටත් හොඳ පුරුද්දක් වේවි.

එදිනෙදා ජීවිතයේ ව්‍යායාම ප්‍රමාණය වැඩිකරගැනීම

ලිෆ්ට් එකේ යන්නට තිබෙන මහල් දෙකක් පඩිපෙළින් නැගීම, එක් බස් නැවතුමක්වත් පයින් ගමන් කිරීම, කුඩා දුරට ත්‍රීවිලර් එකක් ගන්නේ නැතිව කුඩයක් ලාගෙන ඉස්සර වගේ පයින් යෑම එදිනෙදා ජීවිතයේදිත් අපිට ව්‍යායාම ගත හැකි ආකාර කිහිපයක්. කොහෙද අනේ වෙලාවක්? යැයි වෙලාවක් නැතැයි කියමින් නිවසට දුව යන කාන්තාවන් කඩිමුඩියේම ආහාරයක් පිළියෙල කරගෙන ඉන් පසු කරන්නේ රූපවාහිනියේ යන ටෙලි නාට්‍යයක් පුටුවකට වී රසවිඳිම, හෝ නූතනයේ නම් ෆේස්බුක් හරහා මිතුරු සුව දුක් බැලීම වැනි කාර්යයන්. එවිට මඳක් කල්පනා කොට බැලුවහොත් සන්ධ්‍යා භාගයේ සුළු දුරක් පයින් යෑම ජොගින් යෑම වැනි දේට කැප නොකර ඉතිරි කරගන්නා කාලයෙන් අප කරන්නේ රාත්‍රියේ රූපවාහිනිය, ස්මාට්ෆෝන් තිරය, හෝ ලැප්ටොප් එක ඉදිරිපිට කාලය ගත කිරීම පමණයි.

නිවාඩුවත් ටිකක් එක්සයිස් ලැබෙන විදිහට ප්ලෑන් කරගැනීම

ජීවිතේට පොඩි වෙනසක් එකතුවෙන්න අපි වර්තමානයේ නිවාඩුව ගත කරන්න වෙනම තැනක් තෝරාගන එහි ගොස් කාලය ගතකරන්නට හුරුවෙලා. ලස්සන තැනකට ගිහින් දවස ගතකිරීම මනස කාර්යබහුල බවින් මිදිලා සැනසෙන්න හොඳ ක්‍රමයක්. කඳු නැගීම, පිහිනීම, ඇඩ්වෙන්චර් චාරිකා වලට එකතු වීම වගේ වෙහෙස මහන්සි වන වැඩත් යෙදෙන පරිදි නිවාඩු සැලසුම් කරගත හැකිනම් අපිට එය නිවාඩු දවසෙදි කකා බිබී එකම තැනට වෙලා ඉන්නවාට වඩා සෞඛ්‍යමය අතින් වැදගත් කාරණාවක් වේවි.

කඳුනැගීමත් සෞඛ්‍යයට හිතකර ව්‍යායාමයක්

කැපවීම සහ අනුන්ගේ මත

අලුත් දෙයක් කරන අයට සෑම තැනදිම බාධා සහ ඍණාත්මක හෙලාදැකීම් පැමිණීම සාමාන්‍ය දෙයක්. කාන්තාවක් ලෙස හැඩට ඉන්නට ව්‍යායාම කරන්නට යෑම වුව ඉතාමත් නරක දෙයක් ලෙස දකින්නට ඇතැම් විට නැදෑ හිතමිතුරන් හෝ සමීප අය යොමුවන්නට පුළුවනි. එහෙත් සිරුර වෙනස් කරන්නට නම් අපි ද වෙනස් වීම අත්‍යාවශ්‍ය දෙයක්. සුළු කැපකිරීමකින් සිරුර හැඩ කරගත් විට එහි ආඩම්බරය ලැබෙන්නේ කාන්තාවටම පමණක් නොවෙයි. අලුතින් හැඩ වෙන පෙම්වතිය හෝ බිරිය දෙස වඩාත් ආදරයෙන් බලන්නට, ඇය වෙනුවෙන් තවත් කැපකිරීම් කරන්නට සැමියා හෝ පෙම්වතා තව තවත් උත්සාහ කරාවි.

කවරයේ ඡායාරූපය:  http://4malayalees.com/

Related Articles