දුගඳ නසන ඩියෝඩරන්ට්

වර්තමානයේ බොහෝ අය ගත කරන්නේ හුඟක් කාර්යබහුල ජීවිතයක්. කොයිතරම් පිරිසිදුව හිටියත් මේ වැඩ කන්දරාව අස්සෙ සමහරුන්ට දහදියෙන් නම් මිදෙන්න බැරි හැඩයි. ඒ ගැටළුවට පිළියමක් විදියට බොහෝ අවස්ථාවලදී “Deodorant”, එහෙමත් නැත්නම් ශරීරයේ දුගඳ නසන ආලේපනයන් පාවිච්චි වෙනවා. අද ලිපියෙන් ඩියෝඩරන්ට් ගැන තොරතුරු ටිකක් කියන්නයි අපි සූදානම් වෙන්නේ.

ඒ කාලේ

farmersalmanac.com

විලවුන් වර්ග සුලභ වෙන්න කලින් ඉඳලාම පැරණි ජනයා ශරීර දුර්ගන්ධය ඉවත් කරන්න විවිධාකාර උත්සාහයන් දැරුවා. පිරිසිදු ජලයෙන් ශරීරය පිරිසිදු කරගැනීම ඇත්තටම ප්‍රමාණවත් වුණේ නැහැ. සබන් ජනප්‍රිය වුණෙත් 18 සහ 19 වැනි සියවස්වලදියි. මීට පෙර ලිපියකින් අපි සබන් ගැනත් කතා කළා ඔබට මතක ඇති.

සමේ ස්වේද ග්‍රන්ථි පිහිටා ඇති අයුරු (www.pinterest.com)

ශරීර දුගඳ ඇති වෙන්නේ ස්වේද ග්‍රන්ථිවල නිපදවෙන දහදිය ඇතැම් බැක්ටීරියා සමඟ ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් විදියටයි. අතීතයේදි මේ ගැටළුවට විවිධ ජන කොට්ටාස විවිධ පිළියම් අනුගමනය කළා.

පුරාණ ඊජිප්තු වැසියන්

ඊජිප්තු කාන්තාවන් සුවඳවත් ඉටි වැනි ද්‍රව්‍යයක් හිසේ රඳවාගෙන තිබෙනවා. (www.pinterest.com)

සුවඳ කැවූ ජලයෙන් ස්නානය කිරීම හඳුන්වා දුන් අතීත ඊජිප්තු වැසියන් ස්නානයෙන් පසු ජලය සුවඳවත් කිරීමට යොදා ගත් සුවඳකාරක ද්‍රව්‍ය අත් යට ගල්වන්න පුරුදු වී සිටියා. ඊට අමතරව ඔවුන් කැරොබ් (ශාක වර්ගයක්) සහ සාම්බ්‍රානි වැනි දේවල් ශරීරයේ ගල්වා තිබෙනවා. ඊජිප්තු කාන්තාවන් ශරීර උෂ්ණත්වයට දවස පුරා දියවෙන සුවඳවත් ඉටි වැනි ද්‍රව්‍යයක් හිසේ තබා ගෙන තිබෙනවා.

අතීත රෝම සහ ග්‍රීක වැසියන්

ඊජිප්තු වැසියන් වගේම රෝම සහ ග්‍රීක ජනයාත් ස්නානය සඳහා සුවඳවත් ජලය පාවිච්චි කළා. ඊට අමතරව ඔවුන් ශරීරයේ සුගන්ධවත් තෙල් වර්ග ආලේප කළා. විශේෂයෙන්ම රෝම වැසියන් ඉතා ප්‍රසන්නව ජීවත් වීමට ආශා කළ ජන කොට්ටාසයක්. ඔවුන් සුවඳ වතුරෙන් ස්නානය කරනවාට අමතරව තම ඇඳුම් සහ අනෙකුත් රෙදි වර්ගත් සුවඳ වතුරෙන්ම සෝදා ගත්තා. ඔවුන් තමන් සතු අශ්වයන් සහ ගෘහාශ්‍රිත සතුනවත් නහවා පිරිසිදු කළේත් සුවඳ කැවූ ජලයෙනුයි.

මම් ඩියෝඩරන්ට්

ආරම්භයේදී දහදිය ගඳට විසඳුම් විදියට තිබුණේ සබන්, කොලෝන් සහ සුවඳ විලවුන් වර්ගයි. පළමු ඩියෝඩරන්ට් වර්ගය හඳුන්වා දුන්නේ 1888දීයි. ඒත් එය ලොවට හඳුන්වා දුන් පුද්ගලයා කවුදැයි සඳහන් වෙන්නේ නැහැ. Mum ලෙස හැඳින්වුණු මෙම ඇමරිකානු නිෂ්පාදනය ඇඟ ගැල්වීම වගේම ඉවත් කිරීමත් බොහෝ අපහසු කාර්යයක් වුණා. සින්ක් අඩංගු වුණු මෙය තලපයක් වශයෙන් වෙළඳපොලට පැමිණි අතර ඇඟිලි වලින් අත් යට ආලේප කළ යුතු වුණා.

එව’ඩ්‍රයි සහ ස්ටොපෙට්

ජූල්ස් මොන්ටෙනියර් (www.youtube.com)

1903දි හඳුන්වාදුන් Everdry නිෂ්පාදනය ලෙහෙසියෙන් ආලේප කළ හැකි නිසාම බොහෝ ජනප්‍රිය වුණා. මෙහි දහදිය ගැලීම වළකන ඇළුමිනියම් ලවණ වර්ගයක් අඩංගු වූ අතර ආලේපයෙන් පසු වියලීමට බොහෝ වේලාවක් ගත වුණා. එය ඇතැම් විට අත් යට දැවිල්ලක්ද ඇති කළා. ලෙහෙසියෙන් ආලේප කළ හැකි වුණත් මෙය සමට පහසුවක් ගෙන දුන්නේ නම් නැහැ. නමුත් 1941දී අපහසුවකින් තොරව ගල්වාගෙන සිටිය හැකි ස්ටොපෙට් නම් ඩියෝඩරන්ට් වර්ගයක් හඳුන්වා දෙන්න ජූල්ස් මොන්ටෙනියර් නැමැත්තා සමත් වුණා.

ක්‍රියාකාරීත්වය අනුව ඩියෝඩරන්ට් වර්ග

පළමු වර්ගය සාමාන්‍ය ඩියෝඩරන්ට්. දහදියෙන් පෝෂණය වෙන බැක්ටීරියා විනාශ කිරීමේ ද්‍රව්‍ය අඩංගු මේ වර්ගයෙන් ශරීරයෙන් නිපදවෙන දහදිය ප්‍රමාණය අඩු කරන්නේ නැහැ. මේවා බැක්ටීරියාවලට එරෙහිව ක්‍රියා කරනවා විතරයි.

Antiperspirant ලෙස හැඳින්වෙන දෙවන වර්ගයට දහදිය නිපදවීම වළක්වමින් අපේ ශරීරය සමඟ ප්‍රතික්‍රියා කළ හැකියි. ස්වේද ග්‍රන්ථි සමඟ සම්බන්ධ වී නිශ්චිත කාලයකට පසුව දියවෙන ලවණ වර්ගයකින් මෙම ක්‍රියාවලිය සිදු වෙනවා. ඒත් මේ වර්ගයෙන් සම්පූර්ණයෙන්ම දහදිය දැමීම වළක්වා ගන්න බැහැ. එය යම් මට්ටමකින් අඩු කිරීම කළ හැකියි.

එයරොසෝල

1950දී එයරොසෝල තාක්ෂණය හඳුන්වා දීමෙන් පසුව ඩියෝඩරන්ට් නිෂ්පාදනවල සුවිශේෂ වෙනස්කම් සිදු වුණා. එයරොසෝල ලෙස හැඳින්වෙන්නේ ඉතා කුඩා අංශු වායුවක විසිර තිබීමේ ක්‍රමයයි. මෙම ක්‍රමය භාවිතා වූ පළමු ඩියෝඩරන්ට් වර්ගය 1965දී නිපදවුණා. මෙහි අහිතකර ද්‍රව්‍ය වන ක්ලෝරොෆ්ලෝරො කාබන් (CFC) සහ ඇළුමිනියම් ස’කෝනියම් අඩංගු වුණා.

1970 වන විට මුලින් සඳහන් කළ ආකාර දෙකේම ඩියෝඩරන්ට් නිපදවීමට මෙම ක්‍රමය භාවිත වුණා. 1977දී ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලය ආලේපන වර්ගවල අඩංගු අහිතකර අමුද්‍රව්‍ය සඳහා වාරණ පැනවීම ආරම්භ කළ නිසා එයරොසෝල සහ ඇළුමිනියම් ස’කෝනියම් වැනි ද්‍රව්‍ය තවදුරටත් භාවිතා කළ නොහැකි වුණා. නමුත් මේ නිසා ඩියෝඩරන්ට් වෙළඳපොළෙන් ඉවත් වුණේ නැහැ. මේ කාලයේදී දඬු ආකාර ඩියෝඩරන්ට් වර්ග බොහෝ ජනප්‍රිය වුණා. අද වනවිටත් වෙළඳපොලේ මෙම වර්ගය හුඟක් ජනප්‍රියයි.

විශේෂ ඩියෝඩරන්ට් වර්ග

සායනික මට්ටමේ (Clinical strength) ඩියෝඩරන්ට් ලෙස හැඳින්වෙන, ඩියෝඩරන්ට් අතරින් ප්‍රබලම වර්ගය ඉතා අධිකව දහදිය දමන පුද්ගලයන් වෙනුවෙන් නිපදවා තිබෙනවා. 20-25% ක ප්‍රමාණයකින් ඇළුමිනියම් අඩංගු මෙය ආලේප කළ යුත්තේ රාත්‍රියේදීයි.

Clinical strength deodorant (sensiblysara.com)

සංවේදී සමක් ඇති, සාමාන්‍ය ඩියෝඩරන්ට් ආසාත්මික වන පුද්ගලයන් ඉන්නවා. එවැනි අය සඳහා Hypoallergenic Deodorant නිපදවා තිබෙනවා.

වර්තමානයේ බොහෝ ජනප්‍රිය වී තිබෙන ස්වභාවික ඩියෝඩරන්ට් වර්ග සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා වෙන්නේ බොහෝ අඩුවෙන්. අතීතයේ ආසියාවේ භාවිතා කළ ලවණ සහ ඛණිජ වර්ගම යොදාගෙන නවීන විද්‍යානුකූල ක්‍රම උපයෝගී කරගෙන නිපදවන මේවා ඉතා පහසුවෙන් ආලේප කළ හැකියි. පරිසර හිතකාමී මේවා නිෂ්පාදනයේදී පරීක්ෂා කිරීම සඳහා සතුන් යොදා ගන්නේත් නැහැ.

වෙළඳපොළට එන ආකාර අනුව ඩියෝඩරන්ට් වර්ග

  • Solid – කාමර උෂ්ණත්වයේ ඝණ ක්‍රීම් දණ්ඩක් ලෙස පවතින මෙම වර්ගය සමේ ආලේප කිරීමේදී ලෙහෙසියෙන්ම දිය වෙනවා. වායුගෝලීය උෂ්ණත්වය සැලකිය යුතු ලෙස වෙනස් වීමේදී මෙය දියවෙන්නට හෝ අධිකව ඝණ වෙන්නට පුළුවන්. ඒ නිසා ගුවන් ගමන්වලදි නම් මේ වර්ගය සුදුසු වෙන්නෙ නැහැ.
  • Roll-on – මෙය කාමර උෂ්ණත්වයේදී උකු ද්‍රවයක් ලෙස පවතිනවා. බඳුනේ ඉහළ කරකැවිය හැකි බෝලයක් සහිතව නිපදවෙන අතර ශීත ප්‍රදේශ වලට වඩාත් ගැලපෙනවා.මෙයත් වායුගෝලීය උෂ්ණත්වය ඉහළ ගිය විට කාන්දු වන්නට පුළුවන්.

    Roll-on deodorant (fashionandbeautyandme.blogspot.com)

  • Crystal – මෑතකදී හඳුන්වා දුන් ක්‍රිස්ටල් ඩියෝඩරන්ට්වල මූලිකවම අඩංගු වෙන්නේ ඛණිජ වර්ගයි. නිෂ්පාදන සමාගම්වලින් මේවායේ ඇළුමිනියම් අඩංගු නොවන බව පැවසුවත් ඇත්තටම මේවායේ ඇලම් (Al2O3) ලෙස ඇළුමිනියම් අඩංගුයි. සාපේක්ෂව මේවායේ මිල අඩු අතර කල් පැවැත්මත් වැඩියි.
  • Paste – මෙය එතරම් ජනප්‍රිය නොවුණත් බොහොම ඵලදායි ඩියෝඩරන්ට් වර්ගයක්. ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවන මෙම වර්ගයේ ඇළුමිනියම් අඩංගු වෙන්නේ නැහැ.

    Paste deodorant (www.thehippyhomemaker.com)

  • Patch – විශාල ඇළුමිනියම් ප්‍රමාණයක් අඩංගු වන මෙමඟින් දහදිය දැමීම මුළුමනින්ම වගේ නවත්වනවා. ඒත් අනෙක් වර්ගවලට සාපේක්ෂව මේවායේ මිල නම් වැඩියි.
  • Aerosol – බොඩි ස්ප්‍රේ ලෙස වර්ගීකරණය කෙරෙන නිෂ්පාදනවලත් දහඩිය දැමීම අඩු කරන හා බැක්ටීරියා විනාශ කර දහඩිය දුගඳ අවම කරන සංයෝග අඩංගුයි. මේවා සාමාන්‍යයෙන් deo body spray ලෙස අලෙවි කෙරෙනවා.

භාවිතයේදී

මාස 6කට සැරයක්වත් ඔබ පාවිච්චි කරන ඩියෝඩරන්ට් වර්ගය වෙනස් කරනවා නම් ගොඩාක් හොඳයි. එකම වර්ගය නැවත නැවත භාවිතයෙන් එහි කාර්යය හරිහැටි සිදු නොවෙන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ට සහ පිරිමි පාර්ශවයට තිබෙන ඩියෝඩරන්ට්වල වෙනස ඇත්තේ සුවඳේ සහ ඇසුරුමේ පමණයි. ඒ සඳහා යොදාගෙන තිබෙන අමුද්‍රව්‍ය සමානයි.

සමහර ඩියෝඩරන්ට් වර්ග භාවිතයෙන් පසු ඇඳුමේ අත් යට කහ පැල්ලම් දකින්න ලැබෙනවා. මෙයට හේතුව එම ඩියෝඩරන්ට් වර්ගයේ ඇළුමිනියම් සංයෝග අඩංගු වීමයි. ඩියෝඩරන්ට් වර්ගයක් තෝරා ගනිද්දි ඇළුමිනියම් අඩංගු නැති නිෂ්පාදනයක් තෝරා ගත්තාම ඒ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ.

කවරයේ පින්තූරය- http://wellchickproject.com

මූලාශ්‍ර:

  1. deodorantpro.com
  2. stylecaster.com
  3. crystalspring.co.uk
  4. mentalfloss.com
  5. www.historyofcosmetics.net
  6. www.thoughtco.com

Related Articles