රටරටවල ලලනාවන් ලස්සන කරන විස්මිත රහස්

බාහිර සාධකවල භේදයක් නොමැති ව එදා මෙදාතුර ඕනෑම අවධියක ජීවත් වූ කාන්තාවන් යම් එක් පොදු දෙයක් කෙරෙහි උනන්දුවක් දැක්වුවා නම් ඒ සිය රූසපුව වඩවා ගන්නා ආකාරය පිළිබඳව යි. ඔබ ලොව කොතැනක ජීවත්වුවත් තමා ජීවත්වන රටෙන් පරිබාහිර ලොව අන් රටවල ජීවත්වන කාන්තාවන්ගේ රූසපුව දෙස වරක් හෝ ඊර්ෂ්‍යා සහගත ව නොබැලුවා නම් ඔබ කාන්තාවක නොවේ.

සුරූපී ඉන්දියානු කාන්තාවන්ගේ දිගු කෙස්වැටි එතරම් ඝණව හා දීප්තිමත් ව වැඩු‍ණේ කෙසේද?, ජපාන කාන්තාවන්ට කැටපතක් මෙන් නිකළැල්, පැහැදිලි සමක් උරුම වූයේ කෙසේද?,  දකුණු අමෙරිකානු කාන්තාවන්ගේ සම එතරම් දීප්තිමත් වීමේ රහස කුමක්ද? කියා ඔබ නොයෙක්වර සිතා නැතිද  රූසපුව කෙරෙහි ජානමය බලපෑමක් තිබුණ ද, ඊටත් වඩා බලපෑමක් ඇති කිරිමට ඒ ඒ රටවලට ආවේණික වූ ඉතා සරල රූපලාවන්‍ය ක්‍රමවේදවලට අද්විතීය හැකියාවක් ඇති බව ඔබ නොදැන සිටින්නට ඇත.

අනුන්ගේ ලස්සන බලමින් තැවෙන ඔබට එබඳු ලොව වටා රූමතියන්ගේ රුව වඩවන,සරල වුවත් ප්‍රතිඵල විස්මිත වූ රහස් ගොන්නක් මෙම ලිපියෙන් ගෙනෙමු.

සුන්දරත්වයේ රහස් – the asian parent .com

 

ඉන්දීය ලලනාවන්ගේ සුන්දරත්වයේ රහස්

අසල්වැසි ඉන්දීය කාන්තාවන්ගේ සුන්දරත්වය පිළිබඳ අමුතුවෙන් විස්තර කිරිමට අවශ්‍ය නැත. ඉන්දීය ලලනාවන්ගේ සුන්දරත්වයේ රහස් බෙහෝමයක් සැඟ ව ඇත්තේ ඔවුන්ගේ මුළුතැන්ගෙයි බව ඇසීම පුදුමයට කරුණක් වුවද  සත්‍යය නම් එය යි. පොල්තෙල්, කහ, ලෙමන් යුෂ, කොත්තමල්ලි, සූදුරු, මී පැණි ඔවුන්ගේ රූපලාවන්‍ය සත්කාරවල පෙරමුණ ගන්නා ස්වභාවික අමුද්‍රව්‍යය යි. ඉන්දීය මනාලියන් සිය මංගල දිනයට පෙර ‘හල්දි‘ නැමැති උත්සවයක් පවත්වන අතර එහිදි සිදුවන්නේ කහ, යෝගට්, හා මී පැණි එක්කොට තනා ගත් තලපයක් මුහුණ ඇතුළු මුළු සිරුරේ ම ආලේප කිරිමයි. මින් සම කාන්තිමත් වන්නේ බලා සිටියදීම බව ඔවුන් පවසයි.

මීට අමතර ව මී පැණි වෙනුවට ඕට්ස් යොදා ගනිමින් ද මෙම මිශ්‍රණය තනාගත හැකි අතර එය සමේ වන මිය ගිය සෛල ඉවත් කරමින් සම මනාව පිරිසුදු කිරිමට උපකාරි වේ. ඉන්දීය ආහාර වේලේ නැතුව ම බැරි අංගයක් වන පොල්තෙල් ඉන්දීය කාන්තා රූසපුවේ ප්‍රධානත ම පංගුකාරයෙකි. පෝෂණයෙන් අනූන පොල්තෙල්, වියළි සමේ ගල්වා සම්බාහනය කිරිමෙන් සමට අහිතකර හිරු කිරණින් මනා ආරක්ෂාවක් ලබාදෙයි. එය සමේ තෙතමනය පවත්වාගෙන යාමට ද පිටිවහලක් සපය යි. පළුදු වූ වියළි, අකීකරු හිසකෙස් මනා නීරෝගී බවකින් පවත්වා ගැනීමට උපකාරී වන කදිම ස්වභාවික කන්ඩිෂනරයක් ලෙස ද ක්‍රියා කිරිමට පොල්තෙල්වලට ඇත්තේ අපූරු හැකියාවකි.

හල්දි
හල්දි   චාරිත්‍රයේ නියැලෙන ඉන්දීය මනාලියක් – oprahdaily.com 

ඕස්ට්‍රේලියානු තරුණියන්ගේ කෙළිලොල් සුන්දරත්වය 

තම රූසපුව කෙරෙහි වැඩි බරක් පතළක් දක්වන බවක් නොපෙනන සුන්දර ඕස්ට්‍රේලියානු තරුණියන්ගේ කෙළිලොල් දඟකාර සුන්දරත්වයට අකමැති කවුරුන්ද? ඔවුන්ගේ සුන්දරත්වයේ රහස පැවත එන්නේ ඕස්ට්‍රේලියානු ආදිවාසි ඇබෝර්ජින්වරුන්ගෙනි. සමේ තෙතමනය පවත්වා ගැනීමටත්, සමේ වන ඉරිතැලීම් බඳු කැළැල් සුවකර ගැනීමටත් ඔවුන්ගේ නොවරදින ප්‍රතිකර්මයක් වන්නේ ‘යැරෝ‘පැළෑටියේ මුලෙන් ලබාගන්නා සාරය යි.

කල්ගත වූ තුවාල කැළැල් හා සම අධික ව ඇදීමට ලක්වීමෙන් හට ගන්නා ලෙහෙසියෙන් නොමැකෙන කැළැල් ( stretch marks) මකා දැමීමට යැ‍රෝ පැළෑටියේ නිස්සාරයේ අඩංගු ප්‍රතිප්‍රදාහ සංයෝගයන්ට හැකි බව පරම්පරා ගණනක ඕස්ට්‍රේලියානු කාන්තාවන් අත්දුටු සත්‍යයකි. ටී පැළෑටියේ තෙල් ද ඔවුන්ගේ හද දිනූ රූපලාවන්‍ය සංයෝගයකි. හිස්හොරි ක්ෂණික ව සමනය කොට, හිස් කබලේ තෙතමනය ආරක්ෂාකර, දිදුළන කෙස් කළඹක් ලබා ගැනීමට නෑමේදි සිය ෂැම්පු සමඟ ටී තෙල් බිංදු කිහිපයක් මිශ්‍ර කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තාවන් අමතක කරන්නේ නැත.

ඡවි කල්‍යාණය වඩා ගැනීමට බ්‍රසීල ඕට්ස්

පෝෂණයෙන් අනූන ආහාරයක් වන ඕට්ස් ධාන්‍ය ඡවි කල්‍යාණය වඩවා ගැනීමට අපුරු සංයෝගයක් බව අත්දැකීමෙන් දන්නා බ්‍රසීල කාන්තාවන් හිරු එළියෙන් ඇතිවන සමේ පිළිස්සීම් හා අව පැහැ ගැන්විම් සුව කර ගැනීමට ඕට්ස් යොදා ගනියි. ඒ ඕට්ස් අඩංගු කුඩා රෙදි පොට්ටනියක් නාන බේසමේ කරාමය යටින් ගැටගසා, තටාකයට රැස්වන ඕට්ස්වලින් පෙරී එන ජලයෙන් ස්නානය කිරිමෙනි. හිරු එළියෙන් ඇතිවන පිළිස්සිම්වලට ක්ෂණික සහනයක් එයින් ලබාගත හැකි ය.

oats  facial
 ඔට්ස්වලින් ෆේෂල්  – tamilbeautytips.com 

සුසිනිඳු රුවකට ඔට්ස් ‘ෆේෂල් මාස්ක්‘

ඔට්ස් සතු විශ්මිත රූපලාවන්‍ය ගුණාංග වටහාගත් පිරිසක් වන රුසියානු කාන්තාවන් දිදුළන සේද මෙන් සුසිනිදු රුවක් ලැබීමට ‘ෆේෂල් මාස්ක්‘ එකක් ලෙස ඕට්ස් යොදා ගන්නේ එය ඔලිව් තෙල් හා ලෙමන් යුෂ සමඟ මිශ්‍ර කොට මුහුණේ ආලේප කිරිමෙනි. මෙය ලොව වන පහසු ම, ලාභදායක ම මෙන් ම වඩාත් ම ප්‍රතිඵලදායක මුහුණු ආලේපයක් ලෙස සැලකෙන්නකි.

 

ලතින් අමෙරිකානු රටවල කතුන් ගේ තේරීම අලි ගැට පේර

රූසපුව පිළිබඳ කතා කිරිමේ දී කොලොම්බියාව ප්‍රමුඛ ලතින් අමෙරිකානු රටවල කාන්තාවන්ගේ කෙස් කළඹට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. ලලනා රුව ඔප් නංවන,එය පරිපූර්ණත්වයට පත්කරන දීප්තිමත් ඝණ වරලසකට හිමිකම් කීමට ලතින් අමෙරිකානු රටවල කාන්තාවන්ගේ ජනප්‍රියත ම තේරීම අලිගැට පේර යි. අලි පේර, ඉදුණු කෙසෙල් හා ඔලිව් තෙල් මිශ්‍ර කොට නෑමට පෙර කෙස්වල තවරා සම්බාහනය කිරිම ඔවුන් සතු දුටුවන් මනබඳින කෙස් කළඹේ රහස යි.

විඩාපත්බව මඟහැර ජීවයෙන් පිරිපුන් සොඳුරු වතකමලක් ලැබීමට පොඩිකරගත් මිදි සාමාන්‍ය තිරිඟුපිටි සමඟ මිශ්‍ර කොට මුහුණේ ආලේපකොට මඳවේලාවක් තිබෙන්නට හැර සෝදා හැරීම චිලී කාන්තාවන්ගේ මුහුණේ ප්‍රභාමත් බවේ රහස යි.

බල්ගේරියා කතුන් ගේ තේරීම රෝස තෙල් හා රෝස වතුර

ලොව රෝස තෙල් නිෂ්පාදනයෙන් 85% කට හිමිකම් කියන ලෝ ප්‍රකට ‘රෝස නිම්නය‘ පිහිටි බල්ගේරියාවේ කාන්තාවන්ගේ අංක එකේ රූපලාවන්‍ය නිෂ්පාදනය රෝස තෙල් හා රෝස වතුර වීම පුදුමයක් නොවේ. සමේ තෙතමනය රඳවා ගනිමින් පිරිසුදු නිකැළැල් සමක් ලබා දීමට රෝස වතුරට ඇත්තේ අසමසම හැකියාවකි.

ඔලිව් තෙල්
ග්‍රීක වනිතාවන්ගේ සුන්දර රහස- ඔලීව් තෙල් –  theasianparent.com 

ග්‍රීක රූසපුවේ සැඟවුණු රහස ඔලිව් තෙල්

ලොව සුන්දරත ම ලලනාවන්ගේ නිජබිම ලෙස ග්‍රීසිය පෙර අපර දෙදිග ම ප්‍රචලිත ව ඇත්තේ ඉතා ඈත අතීතයේ සිට ම ය. දුටුවන් නෙත් සිත් වසඟ කරවනසුලු ඔවුන්ගේ රූසපුවේ සැඟවුණු රහස නම් ඔලිව් තෙල් භාවිතය යි. ප්‍රතිඔක්සිකාරක හා විටමින් බහුල ව අඩංගු ඔලිව් තෙල්, ග්‍රීකවැසියන්ගේ ආහාරයේ අනිවාර්ය අංගයකි.

රූපලාවන්‍ය සත්කාර ක්‍රියාන්විතයේ ද අනිවාර්ය අංගයක් වන ඔලිව් තෙල් යෝගට් සමඟ මිශ්‍ර කොට හිස ගල්වා පසුව කන්ඩිෂනර් කොට සෝදා හැරීම සිනිඳු දිදුළන කෙස් කළඹක් ලැබීමට කැමති ග්‍රීක කාන්තාවන්ගේ නොවරදින සත්කාරයකි. රෝසමරි නැමැති පැළෑටිය පෙඟෙන්නට දමා එහි සාරය අඩංගු ජලය, ඇපල් සයිඩර් විනාකිරි සමඟ මිශ්‍ර කොට කෙස් සේදීම ද ඔවුන් ස්වභාවික ලෙස වරලස පිරිසුදු කර ගන්නා ක්‍රමයකි.

ඊජිප්තුවෙන් මීපැණි මුසු කළ එළු කිරි

ඊජිප්තු කාන්තාවන්ගේ රූසපුව ගැන කතා කිරිමේ දි මුලින් ම මතකයට නැඟෙන්නේ සුන්දර ක්ලියෝපැට්රා අධිරාජිනිය යි. එදා ඇය රූසපුව වඩවා ගැනීමට අනුගමනය කළ රූපලාවන්‍ය ක්‍රමවේද අතර මීපැණි මුසු කළ එළු කිරෙන් ස්නානය කිරීම මුලින් ම විය. අදට ද ඊජිප්තු වනිතාවන්ගේ රූසපුව වඩවන රහස් අතර පළමුතැන හිමි වන්නේ මෙම ඉපැරණි සත්කාරයට යි.

,mud bath
මඩ ස්නානය –  klook.com 

කිරිවල අඩංගු ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය සම ඇතුළතින් ම පෝෂණය කිරිමට සමත් ය. මඩ නෑම ද ඔවුන්ගේ අපූරු රූපලාවන්‍ය සත්කාරයකි. ලොව හොඳ ම මඩ ඇති ස්ථානය ලෙස සැලකෙන ඛනිජ ලවණ බහුල නොගැඹුරු මළ මුහුදේ මඩ සිරුර පුරා තවරා ගන්නා ඊජිප්තු කාන්තාවන් ඉනික්බිති මළ මුහුදේ ලවණ බහුල ලුණු ජලයේ ගිලී සිටින්නේ රුව ලස්සන කර ගැනීමට ය.

සහල්වලින් සාදාගන්නා සැර (මධ්‍ය) පානයක් වන ‘සකේ‘ වීදුරු කීපයක් නෑමට ගන්නා ජලයේ මිශ්‍ර කිරිම ජපාන කාන්තාවන්ගේ සිරිත ය. සමේ ගැඹුරට කා වැදුණු කුණුදුහුවිලි ඉවත්කොට සමේ වියපත්බව හා විඩාපත්බව මකා දමා ජීවයෙන් පිරිපුන් පෙනුමක් ලබා දීමට එය ඉවහල් වේ. ඒ බව දන්නා ජපාන කාන්තාවන්ගේ රූපලාවන්‍ය රෙජිමේන්තුවේ මුල්තැන හිමිවන්නේ සකේ සඳහා ය.

සකේ ජපානය
ජපන් ළඳුන්කේගේ රුව වඩවන සකේ  theasianparent.com 

 

ස්වීඩන කතුන් කැමති හරිත තේ

සුප්‍රකට ස්විඩන ජාතික රූපලාවන්‍ය ශිල්පිණියක වන ‘පෙට්‍රා ස්ට්‍රෑන්ඩ්ට‘ අනුව සුපැහැදිලි, ප්‍රභාමත් සමක් ලැබීමට නම් හරිත තේ කදිම විසඳුමකි. ශීත කොට අයිස් කැට බවට පත්කළ හරිත තේ, සම මත ඇතිල්ලීමෙන් සමට ටෝනර් කිරිමකින් ලැබෙන ප්‍රතිඵලය ම ලැබෙන බව ඇය පවසයි. ඔලිව් තෙල්, යුකැලිප්ටස් තෙල් හා පාෂාණමය ලුණු සංයෝගකොට තනා ගත් මිශ්‍රණය සිරුරේ ආලේප කිරිමෙන් සම අභ්‍යන්තරයට කාවැදුණු අහිතකර විෂ රසායනික ඉවත්කර නීරෝගි පැහැදිලි සමකට මඟ පාදන බව ඇය කිය යි.

කවරයේ ඡායාරූපය- ලස්සන වන විස්මිත රහස් -www.newswebzone.com 

මූලාශ්‍ර:

10 Beauty secrets from around the world that will transform your routine - www.oprahdaily.com 

10 beauty secrets from around the world - www.theblondeabroad.com

Related Articles

Exit mobile version