Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක යුද්ධ දෙකේදීම යුධ පෙරමුණේ සටන් වැදුණ එකම කාන්තාව: ෆ්ලෝරා සෑන්ඩ්ස්

බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරන්නන් අතුරින් කාන්තාවන් ගේ ප්‍රතිශතය 9%ක් පමණ වනවා. එමෙන්ම කාන්තා නිලධාරිණියක පළමු වතාවට යුධ පෙරමුණේ සටන් කිරීම සඳහා සුදුසුකම් ලද්දේ 2017 වසරේදියි. ඒ 2016 වසරේදී ඒ සඳහා වූ තහනම බ්‍රිතාන්‍යය විසින් ඉවත් කිරීමෙන් පසුවයි.

කෙසේ වෙතත් මීට වසර සියයකට පෙර එක් බ්‍රිතාන්‍ය කාන්තාවක විදේශ රටකදී යුධ හමුදාවට බැඳී යුධ පෙරමුණේ සටන් වැදුණා. පළමු ලෝක යුධ සමය තුළදී යුධ හමුදාවකට බැඳී සටන්වලට සම්බන්ධ වූ එකම බ්‍රිතාන්‍ය කාන්තාව ලෙස ඇය සළකනු ලබනවා. එමෙන්ම පළමු සහ දෙවන ලෝක යුද්ධ දෙකේදීම යුධ වැදුණ එකම කාන්තාව ලෙස ද ඇය සළකනු ලබනවා. සර්බියානු හමුදාව වෙනුවෙන් සටන් වැදුණ ඇය ෆ්ලෝරා සෑන්ඩ්ස්.

පූජකවරයකුගේ දියණිය​

ෆ්ලෝරා සෑන්ඩ්ස් උපන්නේ 1876 ජනවාරි 22 වනදා උතුරු යෝර්ක්ෂයරයේදී, ළමයින් අට දෙනකුගේ පවුලක බාලයා ලෙසයි. ඇගේ පියා අයිරිෂ් ජාතික පූජකයකු වුණා. ඇය කුඩා කාලයේදී ඇගේ පවුල සෆෝක් වෙත පදිංචියට පැමිණියා.

ෆ්ලෝරා සෑන්ඩ්ස් වයස අවුරුදු 15 දී (Daily Mail)

කුඩා කාලයේ ෆ්ලෝරා සෑන්ඩ්ස් ගතකළේ එකල සාමාන්‍ය ගැහැණු ළමයකු ගතකරන ජීවිතයක්. කෙසේ නමුත් ඇය සිහින මැව්වේ අසුන් පැදීම​, ඉලක්කයට වෙඩි තැබීම, සහ පසු කලෙක ප්‍රකට වූ මෝටර් රථ පැදවීම වැනි දේ පිළිබඳවයි. ඇය මේ සියලුම සිහිනයන් සපුරා ගැනීමට ද සමත් වුණා.

යතුරු ලියනය ඉගෙනගත් ඇය තමන් ඉතිරි කරගත් මුදල් ද, තම මාමා කෙනෙකුගෙන් ලැබුණ මුදල් ද වැය කරමින් ලෝ වටා සංචාරය කිරීම සඳහා පිටත්ව ගියා. ඊජිප්තුවේ කයිරෝව වෙත පැමිණි ඇය එහිදී ලේකම්වරියක සේ සේවය කළා. කැනඩාවේ බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ ද ඇය සංචාරය කළ අතර ඇමරිකාවේදී ස්වයං ආරක්ෂාව පිණිස මිනිසකුට වෙඩි තැබීමට ද ඇය පසුබට වූයේ නැහැ.

යුධ සේවය​

1914 දී පළමු ලෝක යුද්ධය ඇරඹෙන විට සෑන්ඩ්ස් ලන්ඩනයේ ජීවත් වෙමින් සිටියා. ඇය රතු කුරුසය වෙනුවෙන් සේවය කිරීම ඇරඹූ අතර ස්වේච්ඡා කණ්ඩායමක සාමාජිකාවක ලෙස බෝල්කන් ප්‍රදේශයට ගමන් කළා.

මෙකල සර්බියාව ඔස්ට්‍රියානුවන්ගේ තර්ජනයට ලක් ව සිටියා. එම පසුබිමේදී සෑන්ඩ්ස් සර්බියානු යුධ හමුදාවට බැඳීමට අවසර ඉල්ලා සිටි අතර එයට සර්බියානු හමුදාවේ අනුමැතිය ලැබුණා. ඒ අනුව සාමාන්‍ය සෙබළියක ලෙස ඇය සර්බියානු රාජකීය හමුදාවට බැඳුණා. ඒ වනවිට ෆ්ලෝරා සෑන්ඩ්ස් 38 වන වියේ පසු වුණා.

ෆ්ලෝරා සෑන්ඩ්ස් 1919 වසරේ මොන්ටිනීග්‍රෝවේදී (Daily Mail)

ෆ්ලෝරා සෑන්ඩ්ස් යුධ පෙරමුණේ සක්‍රීයව කටයුතු කළ අතර එහෙයින්ම ඇයට උසස්වීම් ද ළඟා කරගත හැකි වුණා. සාමාන්‍ය සෙබළ තනතුරෙන් කෝප්‍රල් තනතුරකට උසස් කරන ලද ඇය ඉන්පසු සාර්ජන්ට්-මේජර් තනතුරට පත් කරනු ලැබුණා.

ඇය සොල්දාදුවකු ලෙස පමණක් නොව ඉලක්කයට වෙඩි තැබීම​, වාහන ධාවනය​, දුම් බීම සහ මත්පැන් පානය වැනි අංශවලින් ද පිරිමින් හා කරට කර සිටීමට සමත් වුණා. යුධ පෙරමුණේ සිටි ඇගේ සගයින් ඇය හැඳින්වූයේ “සහෝදරයා” යනුවෙන්.

1916 දී මුහුණට මුහුණ ලා සටන් සිදුවන අතරවාරයේදී ග්‍රෙනේඩ් ප්‍රහාරයකින් සෑන්ඩ්ස් තුවාල ලැබුවා. මේ අවස්ථාවේ ලුතිනන්වරයකු සිය ජීවිතය පරදුවට තබා ඇය බේරාගැනීමට සමත් වුණා. ඇගේ පිටෙහි සම ඉරී ගොස් දකුණු උරහිස සිට දණහිස තෙක් තුවාල වී තිබුණ අතර දකුණු අත ද තදබල ලෙස තුවාල වී තිබුණා.

සාර්ජන්ට්-මේජර් සෑන්ඩ්ස් සිය භටයින් පරීක්ෂා කරයි (Daily Mail)

සෑන්ඩ්ස් යුධ පෙරමුණෙන් ඉවත සිටි කාලය තම චරිත කතාව ලිවීමට ගත කළා. An English Woman-sergeant in the Serbian Army (“සර්බියානු හමුදාවේ ඉංග්‍රීසි කාන්තා – සාර්ජන්ට්වරියක්”) නම් වූ මෙම කෘතියෙන් ලද ආදායම ඇය සර්බියානු හමුදාවට පරිත්‍යාග කළා.

සර්බියානු හමුදාව 1915 අග භාගයේ සිට සිය රටෙන් එලවා දමනු ලැබ තිබුණ අතර, වෙනත් ප්‍රදේශවල රැඳී සිටිමින් මිත්‍ර හමුදාවල යුධ ව්‍යාපාරයට සහභාගී වුණා. ෆ්ලෝරා සෑන්ඩ්ස් ද තම තුවාල සුව වූ පසු යළිත් සටන් බිමට පිටත් වුණා.

විශ්‍රාම යෑම​

සෑන්ඩ්ස් කපිතාන්වරියක ලෙස හමුදාවෙන් විශ්‍රාම ගියේ 1922 දී. සිවිල් ජීවිතයට හැඩ ගැසීමට ඇයට පහසු වුණේ නැහැ. කෙසේ නමුත් ඇය 1927 වසරේදී යූරි යුඩෙනිච් නම් හිටපු සුදු රුසියානු නිලධාරියකු හා විවාහ වුණා. ඔහු ඇයට වඩා දොළොස් වසරක් වයසින් අඩු තැනැත්තකු වූ අතර ඇගේ යටතේ සාර්ජන්ට්වරයකු ලෙස ද සේවය කොට තිබුණා.

1929 දී මෙම දෙපළ යුගෝස්ලාවියාවේ පදිංචි වුණා. පළමු ලෝක යුද්ධයෙන් පසු මෙම රාජ්‍යය  බිහි වූයේ සර්බියාව සහ අවට ප්‍රදේශ එක් කිරීමෙන් අනතුරුවයි.

දෙවන ලෝක යුද්ධය ඇරඹෙද්දී ද ඔවුන් ජීවත් වූයේ යුගෝස්ලාවියාවේයි. 1941 දී ජර්මන් හමුදා යුගොස්ලාවියාව ආක්‍රමණය කළ අතර ඒ වනවිට 65 වන වියේ පසුවූ ෆ්ලෝරා සෑන්ඩ්ස් යළිත් යුධ බිමට පිටත් වුණා. කෙසේ නමුත් ඇගේ පැරණි තුවාල හේතුවෙන් ඇයට යුධ බිමෙන් ඉවත් වීමට සිදු වූ අතර පසුව ජර්මානුන්ගේ අත් අඩංගුවට පත් වුණා. ඇයව සතියකින් නිදහස් කිරීමට කටයුතු කෙරුණා.

නමුත් ඇය ගෙස්ටාපෝ පොලිසියට සෑම සතියකටම වරක් වාර්තා කළ යුතු වුණා. මේ අතර 1941 වසරේදීම ෆ්ලෝරා සෑන්ඩ්ස්ගේ සැමියා මරණයට පත් වුණා.

යුද්ධය අවසන් වූ පසු ෆ්ලෝරා සෑන්ඩ්ස් කලක් යෙරුසලමේ ද, ඉන් පසු රොඩේසියාවේ ද ජීවත් වුණා. රොඩේසියාවේදී ඇය කලු ජාතික ගොවීන් සමඟ එක්ව මත්පැන් පානය සහ දුම් බීම හේතුවෙන් කුප්‍රකට වූ බව සඳහන්.

ෆ්ලෝරා සෑන්ඩ්ස් 1956 නොවැම්බර් 24 වනදා මිය ගියා. ඇය මරණයට සුළු කලකට පෙර සිය ගමන් බලපත්‍රය අලුත් කරගෙන තිබුණේ ඒ වනවිටත් ලෝකය දැකීමේ ආශාවෙන් ඇය පෙලුණ නිසාවෙනුයි.

සෑන්ඩ්ස් සාමාන්‍ය කාන්තාවකට වඩා සපුරා වෙනස් චරිතයක් වුවද ඇය සර්බියාවේදී වීරවරියක ලෙස සළකනු ලැබුණා. එමෙන්ම යුධ පෙරමුණුවල කාන්තා දායකත්වය සහ පොදුවේ කාන්තාවන් සමාජයට දක්වන දායකත්වය පිළිබඳ යම් ආකල්පමය වෙනසකට ඇය හේතු වූ බව සිතිය​ හැකියි.

Cover Image: ෆ්ලෝරා සෑන්ඩ්ස් (වමේ) සර්බියානු හමුදාවේ සේවය කරන අතරතුර චෙස් ක්‍රීඩාවේ යෙදෙමින් (The Independent)

Related Articles