Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උඩු ගුවනේ කාන්තා ලකුණ – ඇමීලියා එයාහාට්

සාමාන්‍යයෙන් වේගය ත්‍රාසය පිළිබඳ හීන දකින්නේ පිරිමි ළමුන්. උඩු ගුවනේ සරන්නට, කුරුල්ලෙකු සේ ඔබ මොබ ගුවන් යානයක් පදවමින් පාවෙන ‘‍යකඩ හීන’ දකින්නේ පිරිමි ළමුන්. සාම්ප්‍රදායික සමාජය සිතන පතන පරිදි ගැහැණු ළමුන්ගේ හීන ලි‍යැවෙන්නේ බෝනික්කන්, මල්, ඇඳුම්, සුවඳ විලවුන්, කෑම පිසීම වැනි සුදු මුදු දේවල් වලට කියායි. නමුත් මේ සම්ප්‍රදාය බිඳ දමමින් යකඩ හීන දකින අසම සම කාන්තාවන් සමාජයේ බිහිවෙනවා. උඩු ගුවනේ පි‍යාසැරීම නම් ‘යකඩ හීනය’ දුටු කාන්තාවන් ගැන ඉතිහාසය පීරා බලන විට ඇමීලියා එයාහාට් නාමය ලි‍යැවී තිබෙන්නේ රන් අකුරින්. ගුවනේ සැරීම සඳහා ඉතා අඩු පහසුකම් තිබුණු කාලයක ඉතාම ශක්තිමත් පිරිමියෙකුට පවා අවදානමක් ගෙනදුන් අත්ලාන්තික් සාගරය හරහා පියාසර කරන ලද ප්‍රථම කාන්තාව වෙමින් සමස්ථ කාන්තා පරපුරටම ඇය ගෙනදුන් ගෞරවය සුළු පටු වන්නේ නැහැ.

atlasobscura.com

තැනින් තැන ගෙවුණු කුඩා කාලය

ඇමීලියා එයාහාට් උපත ලැබුවේ 1897 වසරේ ජූලි මස 24 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ කැන්සාස් ප්‍රාන්තයේ ඇචිසන් හීදීයි. මැයගේ පියා රේල්ලුවේ නීතීඥ මහතෙකු වුණු නිසා කාලයෙන් කාලයට ඇයට විවිධ නගර වලට සංක්‍රමණය කරන්නට සිද්ධ වෙනවා. උපතින්ම පිරිමි දරුවෙක් මෙන් ක්‍රියාශීලී හා වික්‍රමාන්විත ගතිගුණ තිබුණද සිය කුඩා කාලය සාමාන්‍ය ගැහැණු දරුවෙකු මෙන් ගෙවා දැමූ ඇමීලියා නව යොවුන් වියට පැමිණෙන විට කැන්සාස් නගරය, අයෝවා ඇතුළු නගර කීපයකම පදිංචිව හිඳ තිබුණා. මූලික අධ්‍යාපනය හාමාර කළ පසු 1915 වසරේදී ඇමීලියා පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ, ෆිලඩෙල්ෆියා නුවර  ඔගොන්ට්zස් (Ogontz )නම් පාසලට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇතුල් වෙනවා. අවුරුදු 19 වනවිට ඇමීලියා අධ්‍යාපනය ලැබුවේ මෙම පාසලේයි.

ඇමීලියා කුඩා කළ-pinterest.com

එක් දිනක ඇමීලියා කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචිව සිටි සිය සොහොයුරිය හමු වන්නට යනවා, එහිදී ප්‍රථමාධාර හා හෙදියන් පිළිබඳව ආසාවක් ඇති කර ගන්නා ඇය ඔගොන්ට්ස් හි අධ්‍යාපනය අතරමග නවතා එහි නැවතී ප්‍රථමාධාර පිළිබඳව රතු කුරුස සංවිධානයෙන් පවත්වන පාඨමාලාවක් හදාරනවා. පාඨමාලාව හමාර කිරීමෙන් පසු ඇමීලියා හෙද සහායිකාවක් ලෙස ටොරොන්ටෝවේම පිහිටි ස්පැඩිනා යුද්ධ හමුදා රෝහලට පත් කර යැවෙනවා. ඒ පළමු ලෝක යුද්ධයෙන් තුවාල ලබන සෙබළුන්ට ඇප උපස්ථාන කිරීම සඳහායි. යුහුසුළුව වැඩෙහි යෙදුනු ඇයට වැඩි කල් යන්නට මත්තෙන්ම වෙද කර්මය පිළිබඳවත් ආශාවක් ඇති වෙනවා. මේ නිසා ඇය නිව්යෝක් නුවර පිහිටි කොලොම්බියා විශ්ව විද්‍යාලයට ‘පූර්ව වෛද්‍ය ශිෂ්‍යාවක්’ (premedical student) ලෙස ඇතුලත් වෙනවා. මින් අනතුරුව ඇය එවකට කැලිෆෝනියාවේ සිටි සිය දෙමව්පියත් අතරට යනවා. තමන්ට වයස අවුරුදු 22 පමණ වන විටත් ඇමීලියා වෘත්තීය ගුවන් නියමුවරියක් වන්නට හීනයකින් වත් සිතා තිබුණේ නෑ.

ඉරණම වෙනස් කළ අත්දැකීම

කවදත් වික්‍රමාන්විත ක්‍රියා වලට ආශා කළ ඇමීලියා 1920 වසරේ එක් දිනයක සිය මිතුරියක් සමඟ ගුවන් යාන ප්‍රදර්ශනයක් නැරඹීමට යනවා. මෙහිදී පැමිණ සිටින යුවතියන් දෙදෙනා දකින එක් ගුවන් යානයක නියමුවෙක් ඔවුන් මුසපත් කිරීමට සිතා ඔවුන් අසලින් ගුවන් යානය හසුරවනවා. භීතියට පත් වීම වෙනුවට එදින අමුතු හැඟීමක් ඇමීලියාගේ සිත තුළට යනවා. මේ නිසාම ඇය සිය පියාවද කැටුව 1920 වසරේ දෙසැම්බර් 28 වැනිදා ගුවන් කරණම් ශිල්පියෙකු වන ෆ්‍රෑන්ක් හෝක්ස් ගේ ගුවන් සංදර්ශනයක් බලන්නට යනවා. දෛවය ඇගේ ඉරණම ලියා තිබූ පරිදි ඇයට එකල ප්‍රසිද්ධියට පත්ව තිබූ එම නියමුවා සමඟ පියාසැරියක නිරත වෙන්නට ලැබෙනවා. එදින ඇත්දැකීමත් සමඟ මෙතෙක් කල් සිය ජීවිතය පිළිබඳ ක්ෂණික තීරණ කීපයක්ම ගෙන සිටි ඇමීලියාට, ගුවන් යානා හැසිරවීම සිය ආත්මයටම බද්ධ වූවක් බව තහවුරු වෙනවා.

ඇමීලියා එයාහාට් ෆ්‍රෑන්ක්ස් හෝක්ස් සමඟ-gettyimages.com

ගුවන් තරණයට ඉගෙනුම

ගුවන් යානා පැදවීමේ නොතිත් ආශාව ඉටු කර ගැනීමට තරුණ ඇමීලියා විවිධ වෘත්තීන් හි නිරත වෙනවා. ගුවන් යානා පැදවීම සඳහා ගුරුහරුකම් ලබා ගැනීමට විශාල මුදලක් අවශ්‍ය බව දැනගත් ඇය ඡායාරූප ශිල්පිණියක්, ට්‍රක් රථ පදවන්නියක්, හා කෙටි සටහන් කාරිණියක් වැනි රක්ෂා කරමින් ඒ මුදල සොයා ගන්නවා. සිය ප්‍රථම ගුවන් අත්දැකීම ලබා සතියක් යන්නටත් මත්තෙන් ගුවන් යානා පැදවීම පිළිබඳ පළමු පාඩම ඉගෙනගත් ඇමීලියා සය මසක් යන විට සිය ප්‍රථම ගුවන් යානය මිලදී ගැනීමට තරම් මුදලක් උපයාගෙන තිබීම ඇයගේ අධිෂ්ඨාන ශක්තිය කියා පාන්නක්.

ඇමීලියා සිය ගුවන්යානය සමඟ-blog.tavbooks.com

ඇමීලියා මුලින්ම මිලදී ගත් ගුවන් යානය එක වරක් පාවිච්චි කර තිබුණු දෙදෙනෙකුට යා හැකි කහ පැහැයෙන් වර්ණ ගන්වා තිබුණු කිනර් එයර්ස්ටර් (Kinner Airster) වර්ගයේ එකක්. වැඩි කල් නොගොස් ම ගුවන් යානයෙන් විකුම් පෑමට ගත් ඇමීලියා මේ මඟින් අඩි 14000 ක  උසකට ලඟා වී එවකට කාන්තාවක් විසින් අත් කර ගත් ඉහලම පියාසැරි උසේ වාර්තාව තමන් සතු කරගන්නවා.

අත්ලාන්තික් සයුර ජය ගනිමින්

1928 වසර වන විට ඇමීලියා එයාහාට් තරමක් පළපුරුදු ගුවන් නියමුවරියක් වී සිටියා. ඒ කාලය වන විට ඒ තරම් දියුණු නැති තරමක් අවදානම් ක්ෂේත්‍රයක් වූ ගුවන් යානා පැදවීම කාන්තා සහභාගීත්වය ඉතා අවම මට්ටමක පැවතීම නිසා ඇයගේ නම ප්‍රසිද්ධ වී තිබුණා. මේ අනුව එක්තරා සමාගමක් විසින් ඇයට අවදානම් හා මින් පෙර කිසිදු කාන්තාවක් කර නොතිබුණු අපූරු යෝජනාවක් ගෙන එනවා. ඒ අත්ලාන්තික් සාගරය හරහා පියාසරන ලද ප්‍රථම කාන්තාව වීමට. මේ සඳහා ඇය කැමති වෙනවා. මේ අනුව ගමනට තෝරා ගන්නා ලද ත්‍රි පුද්ගල ගුවන් නියමු කණ්ඩායමක එකම කාන්තාව හැටියට ඇයව තෝරා ගැනෙනවා. හරි හැටි දිශා නිර්ණ උපකරණවත් නොතිබුණු ඒ කාලයේ ගුවන් යානයක දැඩි සුළං හා වැසි සහිත අත්ලාන්තික් සාගර කලාපය තරණය කිරීම යනු සැබවින්ම අභියෝගාත්මක ක්‍රියාවක් වී තිබුණා.

අත්ලාන්තික් සයුරු තරණය එවක පුවත්පත් වාර්තා කර තිබූ අයුරු-newseumed.org

1928 වසරේ ජූනි මස 17 වන දින ඇමීලියා සිය සගයින් දෙදෙනා වන විල්මට් ෂුල්ට් හා ලුවිස් ගෝර්ඩන් සමඟ නිව්ෆවුන්ඩ්ලන්තයෙන් ගුවන් ගත වන අතර පැය 21 ක ගුවන් ගමනකින් අනතුරුව සාර්ථකව වේල්සයේ බරී වරායට ළඟා වෙනවා. මේ ආරංචිය ඉක්මනින්ම ලෝකය පුරා පැතිරී යන අතර ඇය එවකට ඇමෙරිකානු ජනපති වන කැල්වින් කුලිජ් ගේ ගරු බුහුමනට පාත්‍ර වෙනවා.

විවාහය හා ඉන් පසු ජීවිතය

ක්‍රි. ව 1931 දි ඇමීලියා ජෝර්ජ් පට්නම් හා විවාහ වෙනවා. ඒ 1928 අත්ලාන්තික තරණය සඳහා සූදානම් වන විට නැඟුණු මිතුදමක් මතයි. ඇයට සිය ස්වාමියාගේ සහය නොඅඩුව ලැබුණු අතර ඔහු ඇයට ගුවන් තරණ මෙන්ම ව්‍යාපාරික කටයුතු වලදීත් දායක වෙනවා.

සැමියා සමඟ-fineartamerica.com

ඇමීලියා එයාහාට් මේ වන විට සැලකුණේ අත්ලාන්තික් සාගරය තරණය කළ ප්‍රථම කාන්තා නියමුවරිය ලෙසයි. 1932 වන විට ඇය ඊට තවත් යමක් එකතු කරන්නට තීරණය කරනවා. ඒ තනිවම අත්ලාන්තික් සාගරය හරහා පියාසර කිරීමට උත්සාහ කිරීමයි. එම වර්ෂයේම මැයි මස 20 වනදා ඇය ග්‍රේස් වරායෙන් පැරීසිය බලා ගුවන් ගත වෙනවා. ඉතාම දැඩි සුළං හා කුණාටු මධ්‍යයේ ඇයට සිය ගුවන් යානය පැරීසිය වෙනුවට අයර්ලන්තයට ගොඩ බාන්නට සිදු වෙනවා. සිය මුල්ම ඉලක්කයට ළඟා වීමට නොහැකි වුණත් ඒ වනට විටත් ඇය අත්ලාන්තික් සාගරය තරණය කොට තිබුණු අතර මේ නිසා ඇය ඇමරිකානු ජනපති (මේ වන විට හර්බට් හූවර්) කෙනෙකු අතින් දෙවන වරටත් ගරු බුහුමන් ලබනවා.

තනිවම අත්ලාන්තික් සාගරය හරහා පියාසර කිරීමෙන් අනතුරුව ඇය තවත් ගුවන් වාර්තා කීපයක්ම තබනවා. අඩි 18,415 ක වාර්තාගත උසකට සිය ගුවන් යානය මෙහෙයවූ ඇමීලියා 1935 වසරේ ජනවාරි මස 11 වැනි දින හවායි හි හොනලුලු නුවර සිට කැලිෆෝනියාවට පියාසර කරන්නේ තනිවම පැසිෆික් සාගරය හරහා පියාසර කළ පළමු පුද්ගලයා බවට පත් වෙමින්.

අවසන් පියාසැරිය

අවුරුදු ගණනාවක් ගුවන් වාර්තා පිළිබඳ හීන දකිමින් ඒවා සැබෑ කර ගනිමින් සිටි ඇමීලියාට අවසානයේ ලෝකයේ ගුවන් නියමුවකුට කරන්නට හැකි විශාලම වික්‍රමය කිරීමට අදහසක් පහළ වෙනවා. එනම් ‘ලොව වටා’ පියාසර කළ පළමු කාන්තාව වීමටයි. මේ අනුව ඇය සිය මඟ පෙන්වන්නා වන ෆ්‍රෙඩ් නූනන් සමඟ 1937 ජුනි පළමුවැනිදා මියාමි නුවරින් ගුවන් ගත වෙනවා. ඇයගේ උත්සාහය මල්ඵල ගැන්වෙන බව පෙන්වමින් කිලෝමීටර 29,000ක් වූ සම්පූර්ණ සංචාරයෙන් කි.මී. 22,000 ක දුරක් ආවරණය කර ගැනීමට දින 29ක් තුළ ඔවුනට හැකි වෙනවා. ජුනි 29 වැනිදා නිව්ගිනියාවේ ලායි (Lae) නුවරට ලඟ වෙන ඔවුන් ඊළඟට ගමනේ අභියෝගාත්මකම කොටසට සැරසෙනවා. ලායි නුවර සිට කි.මී 2556 ක් ඈතින් පැසිෆික් සාගරයේ මධ්‍යට වන්නට පිහිටි කුඩා දූපතක් වන හොව්ලන්ඩ් දූපතට ළඟ වන්නට ඔවුන් සැලැසුම් කර තිබුණු අතර වර්තමානයේ ඇති පහසුකම් එකළ අවම වූ බැවින් එය අවදානම් එකක් වුණා. අතරමඟදී ඉන්ධන ලබා ගැනීමටවත් කිසිදු ස්ථානයක් හමු නොවන බැවිනුත්, දූපත ඉතා කුඩා එකක් නිසා උඩු ගුවනේ සිට දර්ශනය වීමේ අපහසුතා තිබෙන බැවිනුත් ඇමීලියා හා සහායකයා ඒවාට හොඳින් සූදානම් වනවා. ඒ ප්‍රදේශයේ ගමන් කරන නැව්වල විදුලි ආලෝකය වසා දමන ලෙස ඇමෙරිකානු ජනපති යෝජනා කරන්නේ ඇමීලියාට දූපතේ පහන් සංඥා එළි හොඳින් පෙනෙන ආකාරයටයි. ජූලි මස දෙවනිදා උදා වන විට නිව්ගිනියාවෙන් පිටත් වූ ඇමීලියා රැගත් යානය මඳ දුරක් ගෙවා තිබෙනවා. අවදානම් වැහි වළාකුළු ගොන්නක් තුළට එය ඇදී යන්නේ ඒ අතරයි. ඉක්මනින්ම රේඩියෝ සංඥා ඇන හිටින අතර ගුවන් යානය අතුරුදහන් වෙනවා. ඇමෙරිකානු රජය ඉක්මනින්ම බේරගැනීමේ මෙහෙයුම් දියත් කරන අතර ඔවුන්ගේ ලකුණක්වත් හමු වන්නේ නෑ. 1938 වන තුරු සෝදිසි මෙහෙයුම් දියත් කරත් සාර්ථක ප්‍රතිඵල නොලද තැන ඇමෙරිකාව විසින් ඒවා අත්හැර දමනු ලබන්නේ ඇමීලියා එයාහාට් නැමති නිර්භීත, ධෛර්යවන්ත කාන්තාව සදාකාලික අතුරුදහන් වූවන්ගේ ගොඩට දමමින්.

අවසාන ගුවන් යානා පථය-ameliaearhart-beckermanmurphy.weebly.com

ගුවන් ගවේෂණ ඉතිහාසයේ ඇමීලියා එයාහාට් නැමති නම ඉතා වැදගත් චරිතයක්, සිය විනෝදාංශය නිසා අතුරුදහන් වන්නට සිදු වූවත් ඇයගෙන් පරිචය ලබා ගත් කාන්තා ගුවන් නියමුවරියන් අදටත් අපට හමු වෙනවා. ඇමීලියා එයාහාට් නැමති උඩුසුළඟට අභියෝග කළ යකඩ ගැහැණිය අමරණීය චරිතයක් වන්නේ එහෙයින්.

කවරයේ පින්තූරය – Getty

Related Articles