Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමාජ මෙහෙවරක් වෙනුවෙන් කැපවූ රූමතිය – ඇන්ජලීනා ජොලී

රංගනය කියන්නේ අමුතුම කලාවක්. ඒ වගේම රංගනයට යොමුවුවත් එහි රැදී සිටීම නම් අමාරු කාර්යයක්. ඒ සඳහා සහජ දක්ෂතාව වගේම වාසනාවත් තිබිය යුතුමයි.ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ ඒ වගේ දක්ෂතාව වගේම වාසනාව එක්ක ජීවිතේ ජය අරගෙන විශාල සමාජ මෙහෙවරක නියැලිලා ඉන්න කිහිප විටක්ම ලෝකයේ රූමත්ම සහ වඩාත්ම ආකර්ෂණයක් තියන කාන්තාවක් ගැනයි. ඒ හොලිවුඩ් පුරයෙහි වැඩිම ආදායම ලබන ඇන්ජලීනා ජොලී පිලිබඳව.

දෝතින් ගෙන ආ රංගනය

ඇන්ජලීනා ජොලී තම පියා සමඟ 1986 ඔස්කාර් සම්මාන උළෙලේදී (Youtube)

හොලිවුඩ්හි සම්මානනීය යුවළක් වන ජෝන් වොයිට් සහ මර්චලීන් බර්ට්‍රැන්ඩ් යුවළගේ දුවණිය ලෙස ඇන්ජලීනා ජොලී උපත ලබන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී. ඒ 1975 ජූනි 4 වෙනිදා. පියා ජර්මන් සම්භවයක්ද මව කැනේඩියන් පෝලන්ත සම්භවයකින්ද යුතු වූ නිසා ඇයගේ රූමත් බව මෙන්ම ඇයගේ ප්‍රතිභාවන් කාටත් නොරහසක්. 1976 දී දෙමාපියන් වෙන්වීමත් සමඟ ඇයගේ මවද රංගන ජීවිතයට සමුදෙනවා. ඒ තමාව සහ සොහොයුරාව රැකබලා ගැනීමේ අටියෙන්. කුඩා කළ සිටම රංගනයට ආශාවක් දැක්වූ ඇයට වයස අවුරුදු 5දී තම පියාගේ Lookin’ to Get Out චිත්‍රපටයේ සුළු රංගනයකට දායක වීමට හැකියාවක් ලැබෙනවා. එමෙන්ම ඉදිරි පිම්මක් ලෙස ලී ස්ට්‍රැස්බර්ග් රංගායතනයේ සිසුවියක් ලෙස ලියාපදිංචි වන ඇය එහිදී අවුරුදු දෙකක් පුහුණුවීම්ද, වේදිකා නාට්‍ය කිහිපයකටද දායක වෙනවා.

බාධක මැද ජීවිතය

ඇන්ජලීනා ජොලී වයස අවුරුදු 15 දී (Harry Langdon Photography)

මවගේ අඩු ආදායම් තත්වය නිසාම ඇය ජීවත් වූ ප්‍රදේශයේ ඉතා ධනවත් පවුල් වල ළමයින් අතර ඈ බොහෝ සෙයින් තනිවුණා. එමෙන්ම ඉතා කෙට්ටු ශරීරයක් හෙබි ඇය නිතර යහළුවන්ගේ විහිළුවටද ලක්වුණා. මවගේ උපදෙස් මත නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුවද එයිනුත් ඇය හිමි කරගන්නේ අසාර්ථකත්වයයි. මෙවන් පසුබිමක් තුළ ඇය බෙවෙර්ලි හිල්ස් උසස් පාසලෙන් ඉවත්වී මොරෙනො උසස් පාසලට ඇතුලත් වෙනවා.කෙසේවෙතත් එහිදීද ඇය අත්හැර දැමූ ළමයෙකු ලෙසයි තම ජීවිකාව ගෙන යන්නේ. අවුරුදු 16 වනවිට තම උපාධිය ලබාගන්නා ඇය රංගනය පසෙක තබා අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කිරීමට පටන් ගන්නවා.

තම මව සමඟ (Daily News)

තරුණ වියෙහි පසු වුවත් අනෙක් අය හා සබඳතා පැවැත්වීමේදී ඇය ඉතා අසාර්ථක තැනැත්තියක් වූවා. එතුළින් ඇතිවූ කනස්සල්ල ඇය විස්තර කරන්නේ මෙලෙසින්: “විටෙක මම මගේම අත කපාගත්තා. ඒ වේදනාව මට ජීවය දුන්නා, නිදහස ගෙනත් දුන්නා” විෂාදය, නින්ද නොයාම වැනි රෝග වලට ගොදුරු වී සිටි ඇය අවුරුදු 20 වන විට මත්ද්‍රව්‍ය භාවිතා කිරීමටද පුරුදු වෙනවා. එමෙන්ම ඈ තුල වූ මානසික පීඩනය නිසාම අවුරුදු 19 හා 20 දී තම ජීවිතය නසා ගැනීමටද තැත් කරනවා. අවුරුදු 24 වන විට මානසික මට්ටමින් ඉතා පහළ තැනක සිටි ඇය මානසික රෝහලක රෝගියෙකු බවට පත්වන්නේ ඉතා අවාසනාවන්ත අයුරින්. කෙසේ වෙතත් අවුරුදු 2කට පසු පළමු දරු ප්‍රසූතියත් සමඟ ඇය යම් කිසි ස්ථාවරයක් ලබාගන්නේ ඇයගේම වාසනාවකට.

ජයගත් ජීවිතය වාර්ථා අතරට ගෙන යන මාවත

Tomb Raider චිත්‍රපටයේ (Tomb Raider 2001)

අවුරුදු 16දී සිට රංගනය වෙනුවෙන් ඇය කැපවෙන නමුත් ඒ සඳහා අවශ්‍ය කුසලතා පරීක්ෂණ සමත්වීම ඇයට අපහසු කාර්‍යයක් වුනා. නමුත් තම සහෝදරයා පාසල් අවධියේදී  නිෂ්පාදනය කරන ලද නාට්‍ය කිහිපයකද ගීත කිහිපයක රූප රාමු වලටද තම දායකත්වය සපයමින් ඇය තම තම රංගන දිවිය ඔපමට්ටම් කරගන්නවා.

1993 දී Cyborg 2 මඟින් තම වෘත්තීමය රංගන ජීවිතයට පා තබන ඇය 1997දී George Wallace හි රංගනය වෙනුවෙන් Golden Globe සම්මානය ලබාගන්නවා. එතැන් පටන් චිත්‍රපට කිහිපයක් සඳහාම සම්මාන ලබා ගන්නා ඇය 2000දී වාර්තා පොත් අතරට එක්වන්නේ ඩොලර් මිලියන 237.2ක් ආදායම් ඉපයූ Gone in 60 Seconds චිත්‍රපටයේ රඟපාමින්. 2001දී රඟපෑ Tomb Raider චිත්‍රපටයද එවැන්නක්. එමඟින් ඇය ලෝකය පුරාම සුපිරි තාරකාවක් ලෙස තම අණසක පතුරුවනවා.

නොමැකෙන වාර්තා අතර

2000 Golden Globesසිනමා සම්මාන ලබා ගනිමින්(Angie’s Awards)

මෙසේ වාර්තා අතර වැජඹෙන ඇයගේ නාමය හොලිවුඩයේ වැඩිම ආදායමක් උපයන රංගන ශිල්පිණිය ලෙස 2002දී සනිටුහන් වෙනවා. ඒ ඉදිරි වසර 5 තුළ චිත්‍රපටයක් සඳහා ඩොලර් මිලියන 10-15ත් අතර ආදායමක් ලෙසයි. ඒ අනුව නිර්මාණ විශාල ප්‍රමාණයකට තම දායකත්වය සපයන ඇය ඒ අතරින් නිර්මාණ කිහිපයක් බොක්ස් ඔෆිස් වාර්තා අතරට රැගෙන යනවා. Mr. & Mrs. Smith (2005), Wanted(2008), Kung Fu Panda (2008,2011), Tomb Raider(2001,2003), Maleficent(2015) ඒ අතරින් කිහිපයක්.

එමෙන්ම ඇය තම රංගන ප්‍රතිභාව මනාවට පසක් කරමින් නිළියකට ලැබිය හැකි ඉහළ ම සම්මාන වන Golden Globe සම්මාන 3ක්ද, Academy Awards හි සම්මානයක්ද, Screen Actors Guild සම්මාන 2ක්ද දිනාගන්නවා. තවද ලොව පුරා සම්මාන උළෙලවල් වලදී ඇයව අගය කරමින් ලැබුණු සම්මාන සංඛ්‍යාව විශාල ප්‍රමාණයක්.

අධ්‍යක්ෂිකාවක් ලෙස

Unbroken චිත්‍රපටයේ පසුබිමක් (YouTube)

ක්ෂේත්‍රයේ සාර්ථක රංගන ශිල්පිණියක් ලෙස ඇය චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහාද යොමු වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ ප්‍රථම අධ්‍යක්ෂණය ලෙස ප්‍රලේඛ චිත්‍රපටයක් වූ A Place in Time 2007 දී එළිදකිනවා. 2011දී ප්‍රථම චිත්‍රපටය ලෙස බොස්නියන් යුද්ධ සමයේ සර්බියානු සොල්දාදුවෙකු හා බොස්නියානු සිරකරුවෙකු අතර ඇතිවූ  ආදරයක් තේමාකරගත් In the Land of Blood and Honey තිරගත වෙනවා. 2014 දී තිරගතවන Unbroken චිත්‍රපටය වාර්තා පොත් අතරට එකවන්නේ එය American Film Institute මඟින් වසරේ හොඳම චිත්‍රපටය ලෙස නම් කිරීමත් සමඟයි. එය දෙවන ලෝක යුද්ධ සමයේදී ගුවන් අනතුරකින් දිවි ගලවාගෙන ජපන් හමුදා කඳවුරක සිරකරුවෙකු වූ ඔලිම්පික් ක්‍රීඩක ලුයිස් සැම්පෙරිනි වටා ගෙතුනු චිත්‍රපටයකි.  ඒ අනුව 2017 වන විට ඇය විසින් අධ්‍යක්ෂණය වූ චිත්‍රපට ගණන 5කි.

සමාජ මෙහෙවර සරණාගතයන් අතරට

සිරියානු සරණාගතයින් සමඟ (AL ARABIYA ENGLISH)

Tomb Raider තිරගත කිරීම් අතරතුර කාම්බෝජියාවේ ඇය දුටු අර්බුද නිසාම සාමජ සේවය සඳහා ඇය යොමුවෙනවා. ඉන්පසු එක්සත් ජාතින්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වන ඇය රටවල් ගණනාවක සරණාගත කඳවුරු පුරා සැරිසරන්නේ ඇයගේ සමාජ මෙහෙවරේ පළමු පිම්ම විධියට.

එතැන් ආරම්භ වුණු ගමනේදී වසර 10ක් ඇතුලත ඇය රටවල් 30ක් පුරා සැරිසරනවා. 2001දී කාම්බෝජියාවේ සිටිනා ඇෆ්ගන් සරණාගතයන් මුණගැසෙනා ඇය ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් සරණාගතයන් වෙනුවෙන් වෙන් කරනවා. එය පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස ලද විශාලම අරමුදලද වනවා.එහි ප්‍රතිඵලයක් ලෙස ඇය 2001 අගෝස්තු 27 දින එක්සත් ජාතින්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය මඟින් එහි තානාපතිනිය ලෙස නම් කරනවා. එසේ සරණාගතයන් වෙනුවෙන් කාලය කැපකළ ඇයව 2012 අප්‍රියෙල් 17 තානාපති තනතුරේ සිට මහකොමසාරිස්ගේ විශේෂ නියෝජිත තනතුර දක්වා උසස් කෙරෙනවා. ඉන්පසුවත් මහකොමසාරිස් නියෝජනය කරමින්ද පෞද්ගලිකවද ඇයගෙන් සරණාගතයන් වෙනුවෙන් සිදුවූ කාර්යභාරය අතිමහත්.

අධ්‍යාපනය වෙනුවෙන් වැඩි ඉඩක්

ලිබියා සංචාරයකදී (You Tube)

සංක්‍රමණික දරුවන් හා අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන ඇය 2005-2007 කාලය තුල ඇමරිකාවේ සරණාගතයන් හා සංක්‍රමණිකයන් පිළිබඳ වූ කමිටුවට තම ආධාර ලබා දෙනවා. භාරකරුවන් නොමැති දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ඇය ඒ සම්බන්ධ සංවිධානයක උප සභාපතිනිය ලෙස පත්වන්නේ 2008 වසරේ සිටයි. එම සංවිධානය 2013 සිට සංක්‍රමණික දරුවන් සඳහා නොමිලේ නීති ආධාර සපයන්නේ ඇයගේ නායකත්වයද ඇතිවයි.

ගැටුම් සහිත ප්‍රදේශ වල දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ඇය 2007 වසරේදී ඒ පිළිබඳ වූ සංවිධානයක උපසභාපතීත්වය දරනවා. එම සංවිධානය මඟින් ඉරාකයේ සරණාගත දරුවන්ගේද, දාෆූර් ගැටුමෙන් අවතැන් වූ තරුණයන්ගේද,ඇෆ්ගනිස්ථානයේ ඉතා දුෂ්කර පෙදෙස් වල දරුවන්ගේද අධ්‍යාපනය වෙනුවෙන් සිදුවූ සේවාව අතිමහත්. එමෙන්ම 2013 සිට එම සමාජ මෙහෙවර සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයන්නේ ඇන්ජලීනා ජොලීගේ ස්වර්‍ණාභරණ ව්‍යාපාර මඟින්. එමෙන්ම 2006 වසරෙදී ඇය HIV අසාදිත ළමයින්ගේ අධ්‍යාපනයට හා ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා Maddox Chivan නම් ළමා මධ්‍යස්ථානය පිහිටවන්නේ කාම්බෝජියාවේ අගනගරයේ.ඉතියෝපියාවේද Zahara නම් වූ මධ්‍යස්ථානය ඇරඹෙන්නේ ක්ෂය රෝගය හා HIV  අසාදිත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ ඇයගේ සත්ක්‍රියාවේ දිගුවක් ලෙසයි.

මානව අයිතිවාසිකම් හා කාන්තා අයිතීන් වෙනුවෙන්

ගැටුම් සහිත ප්‍රදේශ වල ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි 2014 ලන්ඩන් සමුළුවෙදී(You Tube)

මානව අයිතිවාසිකම් හා කාන්තා අයිතීන් වෙනුවෙන්ද ඇයගේ කැපවිම ඉතා සුවිශේෂීයි.එහි ප්‍රතිඵලයක් ලෙස 2007දී අන්තර්ජාතික සබඳතා කවුන්සිලයට සම්බන්ධ වන ඇය එහිදී නීතීඥයන්ගේ ජාලයක් ගොඩනගන්නේ මානව අයිතිවාසිකම් හා කාන්තා අයිතීන් වෙනුවෙන් නීති ආධාර ලබා දීම සඳහා. 2013 දී G8 සමුළුවෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය ප්‍රධාන මාතෘකාවක් වීමට ඇය ගෙන ගිය යුද්ධ බිම් තුළ සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි ව්‍යාපාරය ප්‍රබල සාධකයක් වෙනවා.

2012 දී ඇය පිහිටුවන ලද ලිංගික ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ සංවිධානය නිසා ඇයට මෙම ගැටලුව සමුළුවෙහි මන්ත්‍රීන් ඉදිරියට ගෙන යාමටද හැකි වෙනවා. එමෙන්ම 2014 ජූනි මාසයේදී ලිංගික ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ අන්තර්ජාතික සමුළුවේ උපසභාපතීත්වය දරන්නේද ඇය විසින්. එය රටවල් 151 ක මඟින් අත්සන් තබන ලදුව දින 4ක් පුරාවට එම මාතෘකාව යටතේ පැවැත්වූ විශාලතම රැස්වීම වනවා.

පරිසරය වෙත තියුණු ඇසක්

තම පුතු Maddox Jolie Pitt සමඟ(POPSUGAR)

පරිසරය වෙනුවෙන්ද ඇයගෙන් වූ සේවාව විශිෂ්ඨ වූවකි. 2003දී කාම්බොජියාවේ වයඹ දිගින් පිහිටි හෙක්ටයාර 39 ඉඩමක් තම පුතා නමින් මිලදී ගන්නවා. එය වඳවී යාමේ අවදානමට ලක්වී ඇති ජීව කොට්ඨාසයේ තෝතැන්නක් වූ සැම්ල(වු)ට් ජාතික උද්‍යානය මායිම්ව පිහිටි ඉඩමක් වුණා. එයින් හෙක්ටයාර 60000ක් මිලට ගන්නා ඇය එය වනෝද්‍යානයක් ලෙස නම් කරන්නේ තම පුතාගේ නමින්. ඒ Maddox Jolie ව්‍යාපෘතිය ලෙසයි. ක්‍රමයෙන් තම සංකල්ප ඉදිරියට ගෙන යන ඇය ආසියාවේ ප්‍රථම මිලේනියම් ගම්මානය කාම්බෝජියාවේ පිහිටුවනවා. එය ග්‍රාමීය සංවර්ධනය හා සබැඳි එක්සත් ජාතීන්ගේ සංකල්පයක්. 2003 දී ඇය කලහාරී කාන්තාරයේ පිහිටි හා(ර්)නස් වනජීවි පදනමේ අනුශාසක ධූරයට පත්වනවා. ඉන්පසු තම සහකරු වූ බ්‍රැඩ් පිට් හා එක්ව ජොලී-පිට්  පදනම පිහිටවාගන්නේ නන්කූස් අභයභූමිය මඟින් සිදුවන සංරක්ෂණ වැඩපිළිවෙලට සහයෝගය ලබා දීමට. තම දියණියගේ නමින්ද ඔවුන් විශාල වශයෙන් සත්ත්ව සංරක්ෂණ කටයුතු වලටද දායකත්වයක් ලබා දෙනවා.

මානව හිතවාදී ගමන සම්මාන අතරට

2013 දී Jean Hersholt Humanitarian සම්මානය ලබාගනිමින් (You Tube)

රංගනය ඇගයීමට ලක්වුණා සේම ඇයගේ සමාජ සේවයද ඇගයීමට ලක්වනවා. පහත සඳහන් වන්නේ ඇයගේ මානව හිතවාදී ව්‍යාපර වෙනුවෙන් ඇය ලද සම්මාන කිහිපයක්.

  1. මානවවාදී සම්මානය – Church World Service‘s Immigration and Refugee Program (2002)
  2. ලෝක පුරවැසි සම්මානය – United Nations Correspondents Association (2003)
  3. ලෝක මානවවාදී සම්මානය – UNA-USA (2005)
  4. නිදහස් සම්මානය – International Rescue Committee (2007)
  5. ජීන් හර්ෂොල්ට් මානවවාදී සම්මානය – Academy of Motion Picture Arts and Sciences (2013)
  6. Honorary Dame Commander of the Order of St Michael and St George  (2014) (එක්සත් රාජධානියේ විදේශ ප්‍රතිපත්තියට හා ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඇය කළ සේවය අගයමින්)

තමාට පිළිකාවක් වැළඳීමේ අවදානම 87% ක් බව වටහාගන්නා ඇය 2013දී එනම් 37වන වියේදී පියයුරු ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට මුහුණ දෙනවා. ඒ තම දරුවන් හා වැඩි කලක් ජීවත් වීමේ අටියෙන්. මේ වනවිට විවිධ අන්තර්ජාතික සංගම් ගණනාවක තනතුරු දරමින් තම ආදායමෙන් තුනෙන් එකක් ලෝක වාසී විපතට පත් ජනතාව වෙනුවෙන් ඇය ලොවටම උතුම් ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරනවා.

කවරයේ පින්තූරය (You Tube)

මූලාශ්‍ර :- Wikipedia, මව්බිම පුවත්පත්

Related Articles