බංගලාදේශ ලේඛිකාවක වන තස්ලිමා නස්රින්ගේ ‘ලජ්ජා’ නම් නවකතාව එරට රජයේ චෝදනාවක් මත වාරණයට ලක් කළා. බොහෝ අය ඇයව හඳුනාගන්නේ ජාතියේ සාමයට මෙම පොත තර්ජනයක් වු බව එම චෝදනාව මතයි. නමුත් ඊට එහා ගිය කතාවක් ඇය සතුව පවතිනවා. තස්ලිමා නස්රින් දැඩි විරෝධතා හමුවේ නොසැලෙන ශක්තියෙන් ක‍්‍රියා කළා. ඇය සිය ජීවිතය ම කැප කරමින්, ඇයට බොහෝ දේවල් අහිමි කරගනිමින්, නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය පවා ඇයට අහිමි කරගත්තා. මේ ලජ්ජා නවකතාව සමඟ ගෙතී ඇති ඇයගේ කතාවයි. නිදහස ප‍්‍රිය කළ තස්ලිමා වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමත් සමඟ ම නව ජීවතයකට එළඹුණා. ඇය ඇයගේ ස්වාධීනත්වය සොයා යමින් සිටියා. වෛද්‍ය ශිෂ්‍යාවක්ව සිටින කාලයේ පිටිසර පළාත් වලදී සුළු ජාතීන්ගේ තත්වය පිළිබඳ ඇය නොයෙකුත්  අත්දැකීම් අත් වින්දා. මෙම සිදුවීම් ඇයගේ චින්තනය මුවහත් කළා.

සිංහල නවකතා කවරය

අප නීතියෙන් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිවාසිකම හා බැඳී සිටිමු. නමුත් වාරණයන් සහ නියාමනයන් විවිධ අයුරින් ලෝකය තුළ කි‍්‍රයාත්මක වන බව අප කවුරුත් දන්නා කරුණක්. වාර්තාමය නවකතා ශෛලියට අයත් මෙම නවකතාව මුද්‍රණය කර පස් මාසයක් ඉකුත් වෙත් ම වාරණය කරනු ලැබුවා. රජයේ චෝදනාව වූයේ නවකතා ලේඛිකාවක්, කිවිඳියක්, පුවත්පත්වේදිනියක් වූ තස්ලිමා නස්රින්, ස්ති‍්‍රීවාදය පිළිබඳ ඍජු ලෙස හඬ නැඟූ බවයි.

1992 දී බංගලාදේශයේ හින්දු විරෝධී භීෂණය ආරම්භ වනවා. ඒ සමඟ ම මූලධර්මවාදී මුස්ලිම්වරුන් අතින් හින්දු පවුල් කෘෘර වධ හිංසාවට ලක් වනවා. මේ පිළිබඳ  කෙරෙන විග‍්‍රහයක් මෙහි අන්තර්ගත වෙනවා. හින්දූන්ගේ අයිතීන්, පැමිණිලි ආදිය ඉස්මතු කර දක්වමින්  දින 13 ක පරිච්ඡේදමය කොටස් වශයෙන් ඇය නවකතාව රචනා කළා. බංගලාදේශයේ එකල පැවති මුස්ලිම් ආණ්ඩුව යටතේ හින්දූන් සුළු ජාතියක් වුණා.

ලජ්ජා නවකතාවේ අන්තර්ගතය සරලව

ඉංග්‍රීසි නවකතා කවරය (Muse India.com)

1992 දෙසැම්බර් 06 වන දින අන්තවාදී හින්දූන් 16 වන සියවසට අයත් ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ අයෝධ්‍යාහි බාබ්රි මස්ජිද් මුස්ලිම් කඩා බිඳ දැමීම මුල්කොට ගෙන බංගලාදේශයේ ජාතිවාදී කෝලාහල ඇති වුණා. ඊට පසුවදා ස්වෙච්ඡා පවිත‍්‍රකරුවන් ලෙසින් පැමිණි පිරිසක් විසින් අයෝධ්‍යාවෙහි හින්දු කෝවිලක් කඩා බිඳ දැමුවා. මේ සිදුවීම් වලින් සති කිහිපයකට පසුව බංගලාදේශයේ මුස්ලිම්වරුන් හින්දු ජනයාගේ දේපල කොල්ලකෑමට, හින්දු දේවස්ථාන, වෙළඳසැල්, නිවාස ගිනිබත් කිරිමට ක‍්‍රියා කළා. ඒ අතර ඉන්දියාවේ ද ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් හේතුවෙන් පුද්ගලයින් 1,200කට ආසන්න පිරිසක් මිය ගියා.  බංගලාදේශයේ පවතින මුස්ලිම් ආණ්ඩුව යටතේ හින්දූන් සුළු ජාතියක් වුණා. ඔවුන්ට මුස්ලිම්වරුන් විසින් හිරිහැර කිරීමේ සිද්ධිය නවකතාව ලිවීමට හේතුභූත වුණා. මේ ක‍්‍රියාව බංගලාදේශවාසින් ලජ්ජා විය යුතු කාරණයක් බවත් ඇරඹුණු කෝලාහල වලට පුරවැසියන් සියල්ලන් ම වග කිව යුතු බවත් තස්ලිමා සඳහන් කළා. නවකතාව ‘ලජ්ජා’ කියලා නම් කරන්නේ ද මේ හේතුව නිසා.

තස්ලිමාගේ ලේඛන ශෛලියේ විශේෂතා

තස්ලිමා නස්රින්

පුවත්පත් හරහා විටින් විට ඇය අන්තවාදී මුස්ලිම් භක්තිකයන් විවේචනය කළා. මේ හරහා ඇයට විරුද්ධව මුස්ලිම් සංවිධාන නඩු මඟට පිවිසියා. ආන්දෝලනාත්මක අයුරින් වාර්තාකරණයේ යෙදීම එක් අතකින් බටහිර අවධානය ලබා ගැනීමෙහිලා ද විය හැකිය. මුලධර්මවාදය මෙන් ම ජාතිවාදය ද තරයේ ප‍්‍රතික්ෂේප කිරීම ඇයගේ රචනා ශෛලියේ මූලික ලක්ෂණය වුණා. 1993 පෙබරවාරි මාසයේදී ලජ්ජා නවකතාව බංගලාදේශයේ බෙංගාලී භාෂාවෙන් ප‍්‍රකාශයට පත් වුණා. අතර ඊට සය මසකට පසුව නවකතාව තහනම් කරන අවස්ථාව වන විටත් පිටපත් හැටදහසකට ආසන්න ප‍්‍රමාණයක් විකිණී අවසන් වී තිබුණා. මෙය ඉන්දියාවේ මෙන්ම බංගලාදේශයේ ද වාණිජමය වශයෙන් ජයග‍්‍රහණයක් වුණා. රහසිගතව පිටපත් විශාල ප‍්‍රමාණයක් හින්දු යුද්ධකාමීන් අතර බෙදා හැරුණා. ආගමික අන්තවාදයට එරෙහිව ලියූ ලජ්ජා නවකතාව වැරදිව වටහාගත් අන්තවාදීන්ගේ දෝෂදර්ශනයට ඇය ලක්වුණා. විවිධාකාරයේ මරණ වරෙන්තු ද එල්ල වුණා.  අවසානයේ තස්ලිමා සිය මවුබිමෙන් ද පිටව සිටීමට තීරණය කළා. ඇය බංගලාදේශයෙන් පිටත සහ ඉන්දියාව තුළ බටහිර ලෝකයේ සංකේතයක් වූ ප‍්‍රකාශන අයිතියේ සහ කාන්තා අයිතීන්හි කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා.

ඉන්දියාව වැනි රටක් කාන්තාවන් දකින්නේ කැපවූ භාර්යාවන් සිටින පවුලේ වැඩ කටයුතු කරන, මවුවරු සිටින රැකවරණය ලබා දිය යුතු සහෝදරියන් සිටින පුරුෂාධිපත්තිය ඇති රටක් විදිහටයි. තස්ලිමා ස්ත‍්‍රීවාදය රැඩිකල්වාදීව ඉස්මතු  කළා. ඒ වෙනුවෙන් කාව්‍ය, ගද්‍ය රචනා, නවකතා රචනා කළා. ඇයගේ ටිවිටර් ගිණුමේ 120,000 පමණ පරිජනයින් සිටින අතර ඇය එහිදී ඍජුව පවසන්නේ —පිරිමින් විසින් කාන්තාවන් දූෂණයට ලක් කරන්නේ ඔවුන් චිත‍්‍රපට වල කාමුක දර්ශන නරඹන හේතුවෙන් සහ  පුරුෂාධිපත්‍යය සහිත සමාජයක් ගොඩ නැංවීමට ප‍්‍රගුණ කරමින් සිටින නිසා” ලෙසයි. ඇයගේ සෙසු නවකතා අතර Shodh, Phera (Return) , Nimontron (Invitation), Shorom (Shame Again) කැපී පේනවා.  ස්වීඩනය, එක්සත් රාජධානිය, ඉන්දියාවේ දිල්ලි හා කල්කටා ආදී නගර වල කාලයෙන් කාලයට වාසය කළා. යථාර්තවාදී අයුරින් ලේඛනයේ යෙදුණු තස්ලිමා නස්රින් ස්වාධීන බවේ අන්තයටම ගිය බව අතර එය ඇයගේ ජීවිතයේ අවසාන කාලය නිදහසේ ගෙවීමට තිබූ  අවස්ථාවක් අහිමි කර ගත් බව කිව හැකියි.

කවරයේ පින්තුරය – IBTimes UK