විකට රංගනයෙන් වාර්තා තැබූ ප්‍රෙඩී සිල්වා

1938 පෙබරවාරි 6 වැනිදා මොරටුමුල්ලේ පුවක්අරඹේ උපන් ප්‍රෙඩී සිල්වාගේ මුල් නම වුණේ හල්පේ ලියනගේ මොරිස් ජෝසප් සිල්වා යි. ඔහු ඉගෙනුම ලබා ඇත්තේ මොරටුමුල්ලේ මෙතෝදිස්ත විද්‍යාලයයෙන් හා මොරටුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයයෙන්. ඔහු පවුලේ එකම දරුවා යි. පියා විල්ෆ්‍රඩ් ඒඩෝහස් රණබාහු. මව වූයේ ලැටී ශ්‍රියා මියුරිසෙල් ප්‍රනාන්දු යි. ප්‍රෙඩී යන නාමය පසුව තබන ලද්දක්. පියා මොරටුව නාගරික කවුන්සලයේ ඕවර්සියර් කෙනක් වූ අතර මව ගැලවීමේ හමුදාවේ සාමාජිකාවක් වුණා. 

ප්‍රෙඩී, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ “තරුණ විය” නමැති විත්ති කතා චිත්‍රපටයේ මුල්වරට රගපෑ බව සඳහන් වෙනවා. බාලවියේ සිටම මේ තරුණයාට ගායනයට හා රංගන කුසලතාවට උපන් හැකියාවක් තිබුණා. ඔහුගේ ගායනය ගමේ ප්‍රසිද්ධව පැවතුණා.

මිතුරන් තුන්දෙනෙක්

ප්‍රෙඩී පාසල් යන කාලයේ –  mirrorarts.com

ගමේ දී ප්‍රෙඩීගේ හොඳම මිතුරා වුණේ පසු කාලයේ ජනප්‍රිය චිත්‍රපට නළුවකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ රෝයි ඇලෝෂියස් ෆීලික්ස් ද සිල්වා, හෙවත් රෝයි ද සිල්වා යි.

ප්‍රෙඩී සිල්වා හා රෝයි ද සිල්වාට මොරටුවේ ගීත ගයන්න හැකියාව තිබූ තවත් මිත්‍රයෙකු එක්ව සිටියා. ඒ පසුකලෙක ජනප්‍රිය ගායකයෙක් වූ ක්‍රිස්ටෝපර් පෝල්. මේ කාලයේ මොරටු නගර සභා ශාලාවේ බොහෝ දෙනකුගේ විවාහ මංගල උත්සව පැවැත්වුණා. කිසිම හැඳින්වීමක් නැතිව තමා රෝයි හා ක්‍රිස්ටෝපර් මංගල්‍ය උත්සවවලට සහභාගි වී හොඳට කා බී හෙමින් සීරුවේ මාරුවී එන හැටි, ප්‍රෙඩී රසකර කර පසුකාලීනව විස්තර කර තිබෙනවා. ඒ අතර ප්‍රෙඩී මොරටුවේ ප්‍රභූවරුන්ගේ ගෙවල්වල උත්සවවල ගීත ගයන විට රෝයි ගිටාර් වාදනය කරමින් ගායනයට සහාය වී තිබෙනවා.

ප්‍රෙඩීගේ ඥාතිවරයෙක් වූයේ මොරටුවේ ගායකයෙක් හා වාදකයෙක් ලෙස ප්‍රකටව සිටි සී. එල්. ෆොන්සේකා යි. ඔහු ප්‍රෙඩීගේ රොක් ඇන්ඩ් රෝල් නැටුම් හා ගායන විලාසය ගැන දැන සිටියා.

අගමැති සර් ජෝන්

තරුණ වියේ දී – ඉතිහාසයේ මතක fb page

සී. එල්. ෆොන්සේකා දිනක් ප්‍රෙඩීට එවකට අගමැති සර් ජෝන් කොතලාවලගේ රත්මලාන කඳවල වත්තේ නිවසේ පැවති සාදයකට යාමට කතා කරනවා. සී. එල්.ට එහි සංගීත කටයුතු බාරවී තිබුණා. ආලිංගන රංගනය සඳහා කාන්තාවක් ද එහි පැමිණ සිටියා. එම සාදය සර් ජෝන්ගේ උපන් දින සාදය බව පැවසෙනවා. 

ඒ 1950 වර්ෂය යි. එහිදී පැමිණ සිටි අයට ගීතයක් ගැයීමට අවස්ථාවක් හිමිවූ විට සී. එල්. පොන්සේකා ඉදිරිපත් කරන්නේ ප්‍රෙඩී සිල්වා යි. ඔහු එදා ගායනා කරන්නේ ඇලන්සන් මෙන්ඩිස්   ලිවූ “බාර් බාර් බාර්” ගීතය යි. රංගනයේ යෙදෙමින් ඔහු කළ ගීත ගායනය දුටු අගමැති සර් ජෝන් ඉමහත් සතුටට පත්වෙනවා.

බාර් බාර් බාර් බාර් එකෙන් බීලා – සූර් සූර් සූර් සූර් වෙන්න ගහලා

ටැප් ටැප් ටැප් ටැප් වෙන්න වැදිලා – මේ බලන්න මට හොඳටම සූර් 

 සාදය අවසාන මොහොතේ ප්‍රෙඩීට කතාකරපු සර් ජෝන්, “ළමයා උඹ දක්ෂයෙක්… මොනව ද මගෙන් කෙරෙන්න ඕන?” කියා අසා තිබෙනවා. “සර් මට ගුවන් විදුලියේ ගීතයක් කියන්න දෙන්න” යි ප්‍රෙඩී ඉල්ලා තිබෙනවා.

තරුණ ප්‍රෙඩී කලාකරුවා ගැන පළවූ පුවත්පත් ලිපියක්- films.lk

ගුවන්විදුලි ගායන ශිල්පියෙකු ලෙස බැඳීමට, එහි ප්‍රධානි ලිවි විජේමාන්න වෙත ඉදිරිපත් කිරීමට අගමැති කොතලාවලගේ නිර්දේශ ලිපියක් ඔහුට ලැබෙනවා. ඒ අනුව ප්‍රෙඩීට ගුවන්විදුලියේ ගීත ගැයීමට අවස්ථාව හිමිවෙනවා. ප්‍රෙඩී සිල්වාගේ පළමු පටිගත කිරීම වූයේ “මොට්ටපාල”ගීතය යි. එය සිරිල් ඒ. සීලවිමලගේ රචනයක් බවයි සඳහන් වන්නේ. සංගීතය යාවත්කාලීන කර ඇත්තේ පී. එල්.ඒ සෝමපාල.

ගුවන්විදුලියේ උපහාසාත්මක ගීත

ගීතයක් ගායනා කරමින්- ඉතිහාසයේ මතක fb page

ඒ සමගම එතෙක් ගුවන්විදුලියෙන් නෑසුණු අපූරු උපසාහාත්මක ගීත කලාවක් මතු වෙනවා. මතුපිට හාස්‍ය රසය පමණක් නොව සමාජයේ දුර්වල තැන්වලට පහර ගසන යටිපෙළක් ද ප්‍රෙඩී කියූ බොහෝ ගීතවල අඩංගු යි. එම ගීත දශක ගණනාවක් තිස්සේ අද දක්වා ජනප්‍රියව පවතින්නේ ඒ නිසා යි. බොහෝ විචාරකයන් සඳහන් කරන්නේ ප්‍රෙඩීගේ විශිෂ්ටත්වය දැකිය හැක්කේ ගීත ගායනයේ බව යි. 

ප්‍රෙඩීගේ බාර් බාර් ගීතය යලි පටිගත වෙන්නේ ජී. ඇල්. සෝමපාල නම් ගායකයා සමග යුග ගායනයක් ලෙස. අනතුරුව ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කළ  ගීත රාශියක් ඔහු ගායනා කරන අතර ඒවා ඉතා ඉහළ ජනප්‍රියත්වයන් හිමිකර ගන්නවා. ආරොන් මාමා, පාන් කිරිත්තා, නෑදෑයෝ, හදමාමා, කැකිල් රජ්ජුරුවෝ ඒ අතරින් කිහිපයක් පමණ යි.

ආරොං මාමා

වයසක මිනිහෙකි

ඉපදුන අපෙ ගම්මානේ

මිනිහගෙ ජොබ් එක

කේලම් කීමයි

තැන තැන කඩපිල් ගානේ 

(රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්)

මේ ප්‍රේමකීර්ති ලියූ තවත් එවැනි ගීතයක්.

පාංකිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි

පාංකිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි

උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි

මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි

පාංකිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන්ගත්තේ

අහළ පහළ කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ

කොහේද හිඳ පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ

උන්ගෙ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ

චිත්‍රපටයක රඟපාන ප්‍රෙඩී -srialankabrief.com

ප්‍රේමකීර්ති ද අල්විස්  රචනා කළ, වික්ටර් රත්නායක සංගීතවත් කළ “කුණ්ඩුමණී” ගීතයත් බොහෝදෙනාගේ ඇගැයීමට ලක්වූ නිර්මාණයක්. ජාතිවාදයක් නොවූ අතීතයේ මන්නාරම් පිටිවැල්ලේ කුණ්ඩුමණීට පිදූ ප්‍රේමයක් ගැන වෘතාන්තය එහි කියැවෙනවා. සිංහල දුප්පත් තරුණයෙක් වංශවත් ද්‍රවිඩ කුන්ඩුමණීට හිතින් ආදරය කළත්, ඇය අවසානයේ මහරාජා කෙනෙක් සමග යි විවාහ වන්නේ.

මන්නාරම් පිටි වැල්ලේ – මදටිය වැල් ඔන්චිල්ලේ

කොණ්ඩෙ කඩන් හදට හඬන් – සිංදු කියන්නේ

කුණ්ඩුමණී . . .

විකට රජා

ප්‍රෙඩී මාලනී සමග විකට රංගනයක් ඉදිරිපත් කරමින්- ඉතිහාසයේ මතක fb page

ප්‍රෙඩී චිත්‍රපට රංගනයට එක්වන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ හඳුන්වාදීමෙන්. ඒ 1963 සුහද සොහොයුරෝ චිත්‍රපටයට දායක වීමෙන්. රංගනය, ගායනය දෙකම එහි තිබුණා. “දිය රැල්ල වෙරළේ හැපි හැපි” ගීතය තමයි එදා රඟපාමින් ඔහු ගායනා කළේ. ජෝ දේව් ආනන්දගේ සුජීවා චිත්‍රපටයෙන් විකට නළුවෙක් බවට පත්වෙනවා. ප්‍රෙඩී රංගනයේ දී ගීත ගායනය ද කරනවා. රඟ නොපා පසුබිම් ගී ගැයූ අවස්ථාවක් ලෙස “ලොකුම හිනාවේ පරණ කෝට්” ගීය දැක්විය හැකියි. එල්. එම්. පෙරේරාගේ රංගනයට ප්‍රෙඩී පසුබිම් ගායකයෙක් වුණා. ළසඳා චිත්‍රපටයේ දී ෆෙ‍්‍රඩී වෙනුවෙන් ජෝතිපාල ගී ගැයුවා.

ප්‍රෙඩී සිල්වා ලාංකීය සිනමාවේ තවමත් නොබිඳෙන වාර්තාවක් තැබූ කලාකරුවෙක්. ඔහු චිත්‍රපට 409ක රඟපා තිබෙනවා. එමෙන්ම 1992 වසරේ රූගත වූ චිත්‍රපට 21න් 15කටම ප්‍රෙඩී රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ප්‍රෙඩී අවසන් වතාවට එක්වූ චිත්‍රපටය තිරගත වෙන්නේ 2002 වසරේ. ඒ “පිස්සු ඩබල්” චිත්‍රපටය යි.

ප්‍රෙඩීගේ චිත්‍රපට රංගනයක් – ඉතිහාසයේ මතක fb page

ඔහුගේ බිරිය කමලා සිල්වා පසු කලෙක සරසවිය පුවත්පතට මෙසේ පවසා තිබුණා: 

1960 අප්‍රේල් තුන් වැනිදා අපි දෙන්නා විවාහ වුණේ දිගු කාලයක් ආදරය කරලා. අපි දෙන්නා බඳිනකොට ප්‍රෙඩීට ස්ථිර රස්සාවක් තිබුණෙත් නැහැ. ඒ කාලේ එයා සිංදු කියනවා. කොහොම හරි දුව ලැබුණට පස්සේ තමයි ප්‍රෙඩීට හරි ගියේ. රෝයි ද සිල්වායි ෆ්‍රෙඩියි හරි යාළු යි. රෝයි තමයි ප්‍රෙඩීව ජෝ දේව් ආනන්ද් ගාවට එක්ක ගියේ. ඒ “සුජීවා” චිත්‍රපටයට. ඒ කාලේ සාස්තරකාරයෙක් කියලා තිබුණා දුවගේ කේන්දරේ බලලා මේ කේන්දරයට අනුව මේ දරුවගේ පියා රටේ රජ කෙනෙක් වෙනවා කියලා. ඒ කිව්වත් හරි ප්‍රෙඩී විකට රජා වුණා.

ඒ කාලේ දවසට ප්‍රෙඩී චිත්‍රපට හතරක ඇට් කරපු අවස්ථා තිබුණා. චිත්‍රපට නිෂ්පාදකයෝ වැල නොකැඩී ගෙදර එන්න පටන් ගත්තා. ප්‍රෙඩීගෙන් දින ඉල්ලලා සමහර චිත්‍රපට කරන්නේ නැතුව බලන් හිටියා ප්‍රෙඩීගෙන් දින ලැබෙනකම්. එදා මුලින්ම රඟපෑ සුජීවා චිත්‍රපටය නිසා ප්‍රෙඩී ගෙදරට සුජීවා කියලා නමකුත් දැම්මා. හැබැයි කවදාවත් එයා එයාට අත දුන්න කිසිම කෙනෙක් අමතක කළේ නැහැ. ඒ අයට දින දීලා තමයි අනිත් අයට දින දුන්නේ. සමහර දවස් තිබුණා ප්‍රෙඩී ෂූටිං ගියහම සති තුන හතර ගෙදර එන්නේ නැහැ.

සිනමා ජීවිතය

චින්තා හේරත් සමග විවාහ වූ අවස්ථාව- sarasaviya.lk

ප්‍රෙඩී සිංහල සිනමාවට නැතිවම බැරි විකට නළුවෙක් වුණා. 180- 90 දශකවල ඔහු ඉතා කාර්යබහුල ශිල්පියෙක් වුණත් මුදල් තණ්හාවෙන් එක්රැස් කිරීමක් නොකළ බව යි කියැවෙන්නේ. සිනමාවේ අර්බුදකාරී සමයේ පවා ප්‍රෙඩී රඟපෑ චිත්‍රපට ආදායම් වාර්තා තබමින් තිරගත වුණා. 1989 සරසවි සම්මානයෙන් විකට නළුවෙකු ලෙස සම්මාන ලත් එකම නළුවා ද ඔහු යි. 

විකට චරිතවලින් මිදුන චරිත ද ඔහු රඟපා තිබෙනවා. “ළසදා” චිත්‍රපටය ඉන් එකක්. එහි “ජරමර අස්සේ මං” ගීතයට පසුබිම් ගායනා කළේ එච්. ආර්. ජෝතිපාල යි.

“චෙරියෝ ඩොක්ටර්”, “ඔක්කොම කණපිට”, “ඔක්කොම හොඳට යි”, “දුලීකා”, “සසර”, “මම යි රජා”, “නොම්මර 17”, “ජය සිකුරු යි”, “ජය අපට යි” හා “අංජානා” ඔහු රඟපෑ චිත්‍රපට අතර කැපී පෙනෙනවා. සුකිරි කෙල්ල චිත්‍රපටයේ අංග විකල තරුණයෙක් ලෙස ඔහු රඟපෑවා. චිත්‍රපට නිෂ්පාදනයට ද ප්‍රෙඩී අත ගැසුවා. “සුරේඛා”, “චලිත රංගාලි”, “ඔක්කොම හොඳට යි” ඔහු නිපදවූ චිත්‍රපට යි.  

රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් -youtube.com

මුලින්ම කමලා සිල්වා සමග විවාහ වී සිටි ප්‍රෙඩී පසුව චින්තා හේරත් සමග විවාපත් වුණා. ජනේෂ් සිල්වා, චාන්දනී සිල්වා, ප්‍රගීත් සිල්වා දුදරුවන් වෙනවා. ඔවුන් ද පියා මෙන් කලාවට යොමුවුණා. ජනේෂ් සිල්වා ද පසුගිය දා අසනීප වී සිට මෙලොවින් සමුගත්තා. අවසන් කාලයේ අසනීපව ටික කලක් ගතකළ ප්‍රෙඩී සිල්වා මෙලොවින් සමුගත්තේ 2001 ඔක්තෝබර් 29 දින යි.

මේ කලාකරුවාගේ නිර්මාණ ජීවිතය ගැන නිසි අධ්‍යයනයක් මේ දක්වා කෙරී නැහැ. ටික කලකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය ප්‍රෙඩීගේ නිර්මාණ ගැන කතිකාවක් පැවැත්වූවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

https://www.imdb.com/name/nm4731188/

sarasaviya.lk

captions:

cover- ප්‍රෙඩී සිල්වා - Wikipedia.org

Related Articles

Exit mobile version