සිංහල බිසෝවරු අතර අතර වැඩිපුරම මානසික පීඩනයට පත් දුක්විඳි කාන්තාව වශයෙන් සැලකෙන්නේ දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවියයි. ඒ සඳහා එකම හේතුව වී ඇත්තේ අවිනිශ්චිත වකවානුවක රාජකීය උරුමයක් සහිතව ඇය ඉපදීම බව කිව හැකියි. ඇය උපත ලද්දේ කුසුමාසන කුමරිය නමින් වුවද අප වැඩිදෙනෙක් ඇය හඳුනාගන්නේ දෝන කතිරිනා නමින් වීමම කනගාටුවට කරුණක් නේද?

පවුලේ වතගොත

පැරණි සෙංකඩගල නුවර lankapura.com

කුසුමාසන දේවිය උඩරට රජ කළ කරලියද්දේ බණ්ඩාරගේ (1551-1581) දියණියයි‍‍‍. ඇයගේ මව වූයේ ගලගම මහ අදහසින් දේවියයි. ඇය 1578-80 අතර කාලයේ සෙංකඩගල නුවර උපත ලබා තිබෙනවා. සමහර සිංහල කෘතිවල ඇය හඳුන්වන්නේ මහ බිසෝ අදහසින් කියලයි. මන්නාරම වැඩ උන් බිසෝ අදහසින් කියලත් ඇයට කියා තිබෙනවා. නමුත් කුමරියට එතරම් කාලයක්  රජ සැප විඳින්නට වාසනාව තිබුණේ නැහැ.

ඇය උපත ලැබූ කාලයේ ඇයගේ පියා වූ කරල්ලියද්දේ රජුට එක් පැත්තකින් පෘතුගීසි ආක්‍රමණවලින් මෙන්ම අනෙක් පැත්තෙන් සීතාවක රාජසිංහ රජුගෙන් එල්ලවන තර්ජනවලින්ද රාජධානිය බේරාගැනීමේ අරගලයක නිරතවීමටයි සිදුවුණේ. ඔහු පෘතුගීසින් සමඟ සුහදකමක් ගොඩනගා ගැනීමට උත්සාහ කරනවා. පෘතුගීසින් සමඟ වෛරයෙන් සිටි සීතාවක රාජසිංහ රජු උඩරට පෘතුගීසි සම්බන්ධය නිසා කෝපයට පත් වෙනවා.

අනාථවීම

දෝන කතිරිනා විවාහ කරගත් විමලධර්මසූරිය රජු (දළදා මාලිගයේ බිතුසිතුවමක්)- කුසුම්සිරි විජයවර්ධන

මේ නිසා වර්ෂ 1582 දී රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කරනවා. රාජසිංහගේ යුද ශක්තිය හමුවේ කරල්ලියද්දේ රජු ජීවිතය බේරාගැනීමට පලායන්නේ ත්‍රිකුණාමලයේ පෘතුගීසින් අතරටයි.  තම බිසව සහ පුත් කුමරෙක්ද, බිළිඳු දියණිය, සහ බෑණා වූ යමසිංහ බණ්ඩාරත් රජු කැටුව යනවා. මානසිකව වැටී සිටි කරල්ලියද්දේ රජු වසූරිය වැළඳීමෙන් අවාසනාවන්ත ලෙස මිය යනවා. ඊට පසු රජ බිසව සහ පුත් කුමරා ද වසූරිය වසංගතය විසින් බිලිගන්නවා. අසරණභාවයට පත් කුමරිය සහ ඇගේ ඥාති සොයුරු යමසිංහ කුමරා මන්නාරම යවා ඇතිදැඩි කිරීමට පෘතුගීසින් පියවර ගන්නවා. මේ බිළිඳු කුමරිය හදාවඩා ගැනීම බාරකරන්නේ ගෙබ්‍රියල් කුලාසු සහ කැතරිනා ද ආබ්‍රෙව් යන පෘතුගීසි යුවළටයි. මන්නාරමේ දී ඇය කතෝලිකාගමට හරවා බෞතීස්ම කර අලුත් නමක් ලබාදෙනවා. ඇය දෝන කතිරිනා වන්නේ ඊට පසුවයි. පෘතුගීසි ලේඛකයන්ගේ විස්තරවලින් පෙනෙන්නේ මන්නාරමේ කටුක දේශගුණයේ කාලය ගත කරද්දී ඇය කතෝලික ආගම ගැන දැඩි ඇල්මක් ඇතිකරගත් බවයි. ඇය පෘතුගීසි සිරිත්විරිත් අනුගමනය කරමින් ලොකුමහත් වන්නේ විදේශීය තරුණියක් ලෙසින්. ඇය තුළ දුවන රාජකීය රුධිරයේ වටිනාකම ගැන දෝන කතිරිනාට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් පෘතුගීසින් අවශ්‍ය වූ විට ඇය තම වාසියට පාවිචිචි කිරීමටයි සැලසුම් කර තිබුණේ.

පෘතුගීසින් උඩරටින් පරාජය වෙයි

විමලධර්මසූරිය රජු  දැක්වෙන පැරණි සිතුවමක් 1.bp.blogspot.com

රාජසිංහ රජුගේ කෘර පාලනයට එරෙහිව උඩරට කැරලි ඇතිවුණා. ඒවා අවුලවා උඩරට රාජධානිය තමන් සන්තක කර ගැනීමට පෘතුගීසින් උත්සාහ කළා. ඒ සඳහා ඔවුන් මුලින්ම තුරුම්පුවක් වශයෙන් යොදාගත්තේ දෝන කතිරිනාගේ ඥාති සොයුරු යමසිංහ බණ්ඩාරයි. 1592 දී යමසිංහ කුමරු පෙරටු කරගත් පෘතුගීසි හමුදාව උඩරට ආක්‍රමණය කරනවා. රාජසිංහගේ සේනාව ජරාජය වී පලා යනවා. පෘතුගීසින් උඩරට සිංහාසනයට යමසිංහ බණ්ඩාර පත් කරනවා. නමුත් යමසිංහ බණ්ඩාර කෙටි කලකින් මරණයට පත් වෙනවා. ඊට පසු උඩරට රජ බවට පත්වන්නේ පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාගේ පුත්‍රයා වූ, කලක් පෘතුගීසි රැකවරණය ලත් කොනප්පු බණ්ඩාරයි. ඔහු විමලධර්මසූරිය නමින් රජ වුණත් ඔහුට රාජකීය උරුමයක් තිබුණේ නැහැ.

දෝන කතිරිනාට උඩරට සිහසුන

මහනුවර රජ වාසල- Wikimedia.org

පෘතුගීසින් තවත් වසර දෙකකින් පසු නැවත උඩරට ආක්‍රමණය කරන්නේ දෝන කතිරිනාට සිහසුන හිමිකර දී තමන්ට අවශ්‍ය ලෙස රාජධානිය මෙහෙයවීටයි. ඒ අනුව 1594 ජූනි මාසයේ දී පෘතුගීසින් සෙංකඩගල බලා පිටත් වෙන්නේ කපිතාන් ජනරාල් පේරු ලෝපෙස් ද සූසාගේ ප්‍රධානත්වයෙන්. මෙම හමුදාව උඩරට දේශසීමාවට ළඟාවන විට මන්නාරමේ සිටි එවකට 16 හැවරිදි වියේ පසුවූ කතිරිනා කුමරිය ද 400ක සේනාවන් සමඟින් ඔවුන්ට එක්වෙනවා.

පේරු ලෝපෙස්ගේ සේනාව සමඟ බලන කපොල්ලේ දී විමධර්මසූරිය සටන් කළත් ජයගත හැකිවන්නේ නැහැ. සේනාවත් සමඟ විමධර්මසූරිය සෙංකඩගල අතහැර වෙල්ලස්ටස පලාගොස් සැඟවෙනවා. පෘතුගීසින් කතිරිනා උඩරට රැජන වශයෙන් පත්කරනවා. එහෙත් ඇය නාමමාත්‍රික රැජනක් පමණක් වෙනවා. රාජ්‍ය පාලනය තබා ඇගේ යටත් වැසියන් දැකීමටවත් ඇයට අවසර ලැබෙන්නේ නැහැ. ඇය සිරකාරියක් වගේ ජීවිතයක් තමයි ගෙවන්නේ. ඇයට පෘතුගීසි සැමියකු සොයාදීමටත් පේරු ලෝපෙස් උත්සාහ කරනවා. මේ අතර පෘතුගීසි හමුදාවට සේවය සැපයූ සිංහල හමුදාවේ ගැටුම් ඇතිවෙනවා. එම සෙබළ සහාය ද ලබාගත් විමලධර්මසූරිය නැවත සටන් කර දන්තුරේ දී පෘතුගීසින් සමූලඝාතනය කරනවා. පලායන පෘතුගීසින් අතර සිටි දෝන කතිරිනා ඒකනායක මුදලි නම් ප්‍රධානියාට හමුවන අතර ඔහු ඇය අල්ලාගෙන ගොස් විමධර්මසූරිය රජුට බාර කරනවා. රජු ඉතා සතුටට පත්ව කුමරිය විවාහ කර ගන්නවා.  ඒ සමඟම ඔහුගේ රාජ්‍ය උරුමයත් තහවුරු වෙනවා.

කුසුමාසන දේවිය

විමලධර්මසූරිය රජු සමඟ විවාහයෙන් පසු ඇය කුසුමාසන දේවි යන නම භාවිත කරනවා. ඇය දරු තිදෙනෙකුගේ මවක් වන්නේ ද ඒ කාලයේ. වැඩිමහල් කුමරා මහඅස්ථාන. දියණියන් දෙදෙනා සුරිය අදහසින් සහ හන්තානේ අදහසින්. උඩරටට විශාල සේවයක් කළ සටන්කාමී විමලධර්මසූරිය රජු 1604 දී මිය යනවා. කුසුමාසන දේවිය දරු තිදෙනෙක් සමඟ වැන්දඹු වෙනවා. ඊට පසු රජු බවට පත්වන්නේ විමධර්මසූරිය රජුගේ ඥාති සොහොයුරු සෙනරත්. ඔහු පැවිදිව සිට උපැවිදි වූ කෙනෙක් බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. සැමියා මියගිය ශෝකයෙන් ගතකරමින් සිටි ඇය සෙනරත් රජු බිසව බවට පත්කර ගන්නවා. ඇය අගමෙහෙසිය කරගෙන උඩරට රාජ්‍යයට උරුමකම් ලැබීමට කිහිප දෙනෙක් උත්සාහ කළ බවත් මේ නිසා සිවිල් යුද්ධයක් පවා ඇතිවූ බවත් මහාචාර්ය ටිකිරි අබේසිංහ සඳහන් කරනවා (සිංහල විශ්වකෝෂය-7 කාණ්ඩය).

සෙනරත් රජු

සෙනරත් සටන්කාමී පාලකයෙක් නොවේ. ඒ රජු තම රාජ්‍ය උරුමය ස්ථාපිත කර ගෙන රාජධානියට සාමකාමී කාලයක් උදාකිරීමට උත්සාහ ගත්තා. එමෙන්ම 1617 අගෝස්‌තු 17 පෘතුගීසින් සමඟ සාම ගිවිසුමක් ඇතිකර ගත්තා. එහි නිත්‍යනුකූල රැජන හා විවාහ වූ ඒ රජු (සෙනරත්) උඩරට රජු වශයෙන් පිළිගන්නා බව පෘතුගීසින් සඳහන් කර තිබෙනවා.

සෙනරත්ගෙන් පුතුන් තිදෙනෙක්

සෙනරත් රජු සමඟ විවාහය නමට පමණක් සීමාවූ එකක් බවයි පෙනෙන්නේ. ඒ රජුගෙන් විමලධර්මසූරියගේ දරුවන්ට කුඩම්මාගේ සැලකිලි හිමිවුණු බව ඉතිහාසයෙන් පේනවා. මේ නිසා කුසුමාසන දේවිය කනගාටුවෙන් සිටි බව පෙනෙතත් ඒ බව අපේ ඉතිහාසකරුවන්ට පෙනී නැහැ. සෙනරත් රජුගෙන් ද කුසුමාසන දේවියට දරුවන් තිදෙනෙක් ලැබුණා. වැඩිමහල් කුමරු කුමාරසිංහ ඌවේ පාලකයා වශයෙන් කටයුතු කර 1634 දී මියයනවා. දෙවැනි පුතා වූ විජයපාල මාතලේ පාලකයා වශයෙන් පත්කරනවා. නමුත් ඔහු පසුව ගැටුම් ඇතිකරගෙන පෘතුගීසින් වෙත ගොස් ගෝවට යනවා. බාල පුතා වූ රාජසිංහ 1628 දී සෙංකඩගල රජ වී දීර්ඝ කාලයක් පාලනය කරනවා. ඔහු මියයන්නේ 1687දීයි.

රැජනකගේ ඉරණම

දෝන කතිරිනාගේ වැඩිමහල් පුත් මහඅස්ථාන කුමරුගේ අවමංගල පෙරහර – බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය ග්‍රන්ථයෙනි

රාජ්‍යත්වයට උරුමයක් ඇති තම පුත් කුමරුවන්ට අභාග්‍යසම්පන්න කාලයක් උදාවන බව කුසුමාසන දේවියට දැනෙන්නට ඇති. 1612  මුලදී ඇය තම වස්තුව සහ දරුවනුත් රැගෙන පෘතුගීසින් වෙත පලායාමට උත්සාහ කළ බවත් ඒ සඳහා පෘතුගීසි කපිතාන් ජෙරනිමෝද අසවේදුට පණිවුඩ යැවූ බවත් පෘතුගීසි ලේඛනවලින් පෙනී යනවා. 1612 අගෝස්තු මාසයේදී ඇගේ වැඩිමහල් පුත් කුමරු වන මහාඅස්ථාන හදිසියේ මියයනවා. එය සෙනරත් රජුගේ කුමන්ත්‍රණයක් බවයි පැවසෙන්නේ. ලන්දේසි ලේඛකයන්ගේ වාර්තාවල දැක්වෙන්නේ මහඅස්ථාන කුමරුගේ මරණය දේවියට දරාගැනීමට අපහසු වූ බවත්, ඉන්පසු ඇය හැඩූ කඳුලෙන් ගතකළ බවත්. ඇයගේ සිහිය සමහර අවස්ථාවලදී උන්මාද තත්ත්වයක පැවති බවත් පිලිස් බැල්ඩියස් නම් ලන්දේසි දේවගැතිවරයා ලියූ කෘතියේ සඳහන්. ඇයගේ රාජකීය ජීවිතය කඳුළු ගඟක් වූ බවයි පැහැදිලි වන්නේ. මානසිකව දුර්වලව සිටි දේවිය 1610 සිට කෑගල්ලේ වැලිමන්නාතොට මාලිගයකට ගොස් වාසය කළ බව සඳහන් වෙනවා. සේවක සේවිකාවන්ට කරුණාවෙන් සැලකූ ඇය පෘතුගීසි සිරිත්වලට වැඩි කැමැත්තක් දැක්වූ බව ද සඳහන්.

මහඅස්තාන කුමරුගේ ආදාහනය- බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය ග්‍රන්ථයෙනි

ඈ හොඳ සිහියෙන් පසුවූ එක් අවස්ථාවක සිය දරුවන් පස්දෙනා වන කුමාරසිංහ, විජයපාල, දේවරාජසිංහ, මහදසින් කුමරිය, සහ හන්තානේ කුමරිය ළඟට ගෙන්වාගෙන ඔවුන් සිප වැළඳ කඳුළු සලමින් ඔවුන්ගේ අනාගතය ගැන දුක්වූ බව ද පැවසෙනවා. තිස්පස් වැනි වියේ දී තරුණ විය ගෙවෙන්නත් පෙරම ඇය ජීවිතයෙන් සමුගත්තා. ඒ වන විටත් ඇය ගැබිණියක වූ බව ද බැල්ඩියස්ගේ පොතේ දැක්වෙනවා. ඒ 1613 ජූලි 20 දින බව බැල්ඩියස් සඳහන් කරනවා. ඒ ජ්වර රෝගය (උණ) උත්සන්නවීම නිසා බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

දෝන කතිරිනා ගැන ලියූ පිලිප්පුස් බැල්ඩියස් – – Wikimedia.org

වැලිමන්තොටදී කිතුනු ආගමික වතාවත්වලට අනුවයි ඇගේ අවසන් කටයුතු සිදු කළේ. මරණයට පෙර දැසිදසුන් නිදහස් කර පඩි ගෙවා නෑදෑ හිතවතුන්ට තෑගිබෝග ප්‍රදානය කර තිබෙනවා.

මරණයෙන් පසු දියණිවරු

ඇයගේ මරණයෙන් පසු විමලධර්මසූරියට දාව ලැබුණු සූරිය අදහසින් සෙනරත් රජු බිසව බවට පත් කර ගත්තා. සූරිය කුමරිය මියගිය පසු දෙවැනි දියණීය වූ හන්තානේ අදහසින් නම් ලාබාල කුමරිය ද වියපත් සෙනරත් රජු විවාහ කරගත්තා. මේ නිසා එම දියණිවරු ද නොගැලපෙන විවාහවලින් දුක්බර ජීවිත ගතකරන්නට ඇති බවයි පේන්නේ.

මේ සමඟ ඇති ඇය ගැන ලියැවුණු සිහ ශක්ති සංගීත කණ්ඩායම ගයන ගීතය කියවා රසවිඳින්නත් ඔබට පුලුවන්.

පරසිදු කරලියැද්ද – දුව කිරුළිස පැලැන්ද

කුසුමාසන දේවිය දෝන කතිරිනා

පිට නම් ගම් මොකටද – සිංහාසන කුමටද

සෙංකඩගල ඇගෙ රජ මැදුර සමානා

කපිතන් දියෝගුගෙන් – දැන කඩු ශිල්ප හටන්

කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ

කොණප්පු බණ්ඩාරට – පූජා කල ප්‍රේමය

මිහිරිම හීනයක්ද වසන්ත කාලයේ

වාහල ඉලංගමට- ගිය දා දන්තුරේට

අස් පන්තියේ හරඹ දෑහින් දැකලා

දළු ලන වසන්තයට – රොන්සුනු පුරා ලයට

අළුත්ම මලක් වෙලා පිපෙන්න හිතිලා

මූලාශ්‍ර-

සිංහල විශ්වකෝෂය- 7 කාණ්ඩය, 3 කලාපය 549-550 පිටු

රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය- පරි. ටී. කේ. රුබේරු

පරංගි කෝට්ටේ- ටිකිරි අබේසිංහ

බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය- පරි. බී. එන්. ආර්. ජයසේන

කවරය- දෝන කතිරිනා මන්නාරමේ සිට මහනුවරට පැමිණි අවස්ථාවේ පෘතුගීසි කපිතාන් ජනරාල් පේරු ලෝපෙස් ඇය පිළිගත් අවස්ථාව- බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය ග්‍රන්ථය