චරිත

විනාඩි 4 ක කියවීමක්

රෝද පුටුවේ සුරඟන – මුනිබා මසාරි

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

නොසිතුව විදියේ අවාසනාවන්ත සිදුවීම් අපි හැමෝගෙම ජීවිත වලට පොදුයි. අසමත් වීම්, කඩා වැටීම් එක්ක බොහෝ දෙනෙක් බලාපොරොත්තු නැති කරගන්නවා. ආයෙමත් අළුතෙන් ජීවිතය පටන් ගන්න හිතන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ඇත්තටම මොන තරම් දරුණු ප්‍රශ්නයකදි වුණත් ජීවිතය අතහැරීම නෙවෙයි පිළියම; ශක්තිමත්ව එයට මුහුණදීමයි.

ඒ විදියේ අප්‍රමාණ ගැටළු, අවාසනාවන්ත සිදුවීම් ගොඩකට මුහුණ දුන් කාන්තාවක් ගැනයි අද ලිපිය. ඇය මුනිබා මසාරි. සොඳුරු තරුණ වියේදීම රෝද පුටුවකට හිරවුණු ජීවිතයෙන් කළකිරීමට පත් නොවී, ඇය ජීවිතයට නව අරුතක් එක් කරගත්තා.

මුනිබා මසාරි (wordpress.com)

20 වැනි වියේදී.

1987 මාර්තු 3 වැනිදා පකිස්තානයේ රහිම් යා කාන්හි උපන් මුනිබා මසාරි දැන් 30 වන වියේ පසු වෙනවා. සෞන්දර්යය කලා උපාධිධාරිණියක් වන ඇය මීට අවුරුදු 10කට කලින්, ඒ කියන්නේ 2007 වසරේදී දරුණු වාහන අනතුරකට මුහුණ දුන්නා. එතකොට ඇගේ වයස අවුරුදු 20 යි.

රියදුරා නින්දට වැටීම නිසා මුනිබා ගමන් කළ කාරය අගලකට වැටුණා. ඇගේ කොඳුඇට පෙළට අනතුරින් දැඩි ලෙස හානි වී තිබූ අතර ඒ අසළ ගිලන් රථයක් නොතිබුණු නිසා ඇයව රෝහලට ගෙන ගියේ ජීප් රියකින්. මුනිබා ඇගේ දෙපා තිබෙනවාදැයි අවට සිටියවුන්ගෙන් විමසා සිටියේ පාද තිබෙන බවට කිසිදු දැනීමක් ඇයට නොතිබූ නිසයි. අනතුරින් ලැබූ තුවාල හේතුවෙන් මුනිබා අධික ශාරීරික වේදනාවකින් පීඩා වින්දා. නමුත් ඇය ඒ අවස්ථාවේදී හැඬුවේ නැහැ.

අනතුරට ලක්වූ මුනිබා සහ ඇය ගමන් කළ කාරය (www.youtube.com)

“ඒ අවස්ථාවේදී මා මියයාවි යැයි එක්වරම මට හැඟී ගියා. තවමත් මට වයස අවුරුදු 20ක් බවත් මගේ ජීවිතයේ මට අවශ්‍ය කිසිවක් මා තවමත් කර නොමැති බවත් මට මතක් වුණා. මගේ ජීවිතය විඳිනවා වෙනුවට මම කළේ ඉතා මහන්සියෙන් ඉගෙනීම් කටයුතු කිරීම පමණයි. සිතුවම් ඇඳීමේ විසල් සිහිනයක් තිබුණත් අධ්‍යාපනය නිසා එය මඟහැරී තිබුණා. ඉන්පසු මම විවාහ වුණා. එවිට මගේ වයස අවුරුදු 18යි.”

අනතුරෙන් පසු.

මුනිබා රෝහලේදී (www.youtube.com)

මේ අනතුරෙන් ඇගේ දෙපා සම්පූර්ණයෙන්ම පණ නැති වුණා. වසර දෙකක් තිස්සේ ඔත්පලව රෝහල් ඇඳේ සිටි මුනිබාට කිසිදිනෙක ඇවිදින්නට නොහැකි බව වෛද්‍යවරු පැවසුවා. මුනිබාගේ ජීවිත කාලයේ අපහසුම, දුක්ඛිතම දවස් ගත වුණේ රිය අනතුරින් පසු ඇය රෝහලේ සිටි කාලයේදීයි. බොන වතුර වීදුරුවටත් තවත් කෙනෙකු මත යැපෙන්නට ඇයට සිදු වුණා. සමහර දිනවල අධික පිපාසය නිසා මධ්‍යම රාත්‍රියේ අවදි වන මුනිබා අනෙක් අයගේ නින්දට බාධා කරන්නට අකමැත්තෙන් පසුවදා පහන් වනතුරුම තිබහ ඉවසාගෙන සිටියා.

අනතුරෙන් පසු ඇයට දත් මැදීම හෝ කොණ්ඩය පීරීම හෝ හරියාකාරව කරගැනීමට නොහැකි වුණා. පනාව කොණ්ඩයේ පැටලෙන අවස්ථාවලදී ඇය කොණ්ඩය කපා දැමුවා. ඒ නිසා ඇගේ වරලසේ ඇතැම් තැන් කෙටි වූ අතර ඇතැම් තැන් දිගට තිබුණා.

මුනිබා සහ පුතු නියල් (www.youtube.com)

“මගේ සුවදුක් බැලීමට රෝහලට අමුත්තන් එනවිට නිතරම මා නින්දේ සිටි බව ඇඟවූවා. බොහෝ දෙනෙක් රෝද පුටුවක සිටින බිරියක් කිසිදු ස්වාමි පුරුෂයෙකු පිළිනොගන්නා බවත්, මගේ සැමියා මා දික්කසාද කරනු ඇති බවත් අනුකම්පා සහගතව ඔවුන් මගේ මවට පැවසුවා. මම හැකිතරම් ඒවා නෑසූ කන්ව සිටින්නට උත්සාහ කළා.”

ළබැඳියන් ඉවතට.

ජීවිතය මෙතරම් දරුණු වේදනාවක් හිමිකර දී තිබියදී ඇගේ සැමියා ඇයව දික්කසාද කළා. මුනිබාගේ පියා පවා ඇය අබ්බගාතයෙකු ලෙස දකිමින් ඇයව අතහැර දැම්මා. ඇය ඇගේ පුතු නියල් සමඟ තනි වුණා. දික්කසාද කළ බිරියක් වී, අත්හරින ලද දියණියක් ලෙස අක්‍රීය ශරීරයක් හිමිව දරුවෙකු සමඟ තනිවූ මුනිබාට ශක්තියක් වුණේ ඇගේ මව පමණයි. ඒ වගේම මුනිබාගේ සොයුරු ඔමාර්ද ඇය ළඟින් රැඳෙමින් ඇයට හැකි උපරිමයෙන් උපකාර කළා.

(www.youtube.com)

සති ගණනාවක් යනතෙක්ම ඇය නොහඬා සිටියා. දිනක් ඇගේ මව තුවාල ලැබූ ඇගේ අතින් මොනයම් හෝ දෙයක් ලියන්නට උත්සාහ කරන ලෙස මුනිබාට පවසා සිටියා. ඇය “අල්ලාහ්” දෙවියන්ගේ නම ලියන්නට උත්සාහ කළත් ඇයටම පාලනය කරගත නොහැකි ඔත්පල අතින් එය කළ නොහැකි වුණා. තමන්ට ජීවිතයේ සුවිසල් යමක් මඟහැරී ඇති බවත්, කිසිවක් නැවත පෙර තත්ත්වයට නොපැමිණෙන බවත්, අනතුරෙන් පසු ළබැඳියන්ද ක්‍රමයෙන් තමන්ව හැරදා යන බවත් මුනිබාට ක්ෂණයකින් වැටහුණේ එදිනයි. තමන් කිසිදු වැදගැම්මකට නැත්තෙක් ලෙස සිතූ මුනිබා ඒ මොහොතේදී විලාප නඟමින් හඬා වැටුණා.

රෝහලේ සිටි මුළු කාලයේම සුදු පැහැති ඇඳුමක් ඇඟලාගෙන සිටින්නට ඇයට සිදු වුණා. අනතුරට පෙර මුනිබා ආසාවෙන් කළ දේවල් මොනවාදැයි වෛද්‍යවරු ඇගේ මවගෙන් විමසා සිටි අතර මුනිබා චිත්‍ර ඇඳීමට ඉතා ආශා කළ බව ඔවුන්ට දැනගන්නට ලැබුණා. වෛද්‍යවරු මුනිබාට නැවතත් සිතුවම් ඇඳීම අරඹන ලෙස පැවසූ විට ඇයට සිනහ පහල වුණේ පාලනයක් නැති අතෙන් එය කිසිවිටෙකත් කළ නොහැකි නිසයි.

රෝද පුටුවට.

PTV හි නිවේදන කටයුතු කරන මුනිබා (www.youtube.com)

වසර දෙකක් පුරා රෝහලේ ඇඳක සිටි මුනිබාට අවසානයේදී රෝද පුටුවක් භාවිත කිරීමට වෛද්‍ය අනුමැතිය ලැබුණා.

“මුල්ම වතාවට රෝද පුටුවෙ ඉඳගන්න ලැබුණාම මම ගොඩක් සතුටු වුණා. මගේ කකුල් නැති වුණාට කමක් නැහැ, මට දැන් රෝද තියෙනවා. මම මුලින්ම කළේ තොල් ආලේපන ගල්වාගෙන කණ්නාඩියෙන් මුහුණ බැලීමයි. රෝද පුටුවෙන් මෙහා ජීවිතයක් නැති විකට කෝලමක් විදියටයි මං මාවම දැක්කෙ. ඒත් තියෙන තත්ත්වය පිළිගන්නවා හැර වෙනත් විකල්පයක් මට තිබුණෙ නැහැ.”

නැවත උපන් චිත්‍ර ශිල්පිනිය.

(www.youtube.com)

“අනතුරෙන් පස්සේ මම බොහෝ නිර්භීත වුණා. බොහෝ දේවල්, බොහෝ අය අහිමි වීමෙන් පස්සෙ මම තේරුම් ගත්තා මට තවත් අහිමි වෙන්න දෙයක් නැහැ කියලා. ආබාධිත මිනිසෙකුටත් සතුටින්, සර්ව සම්පූර්ණ ජීවිතයක් ගත කළ හැකි බව ලෝකයට පෙන්වන්නට මට අවශ්‍ය වුණා.”

මේ සුබවාදී ආකල්පය ගැන ඉමහත් සතුටට පත් වෛද්‍යවරු මුනිබාව ඇගේ සිහින සහ ආශාවන් වෙනුවෙන් වැඩ කරන්නට තවත් දිරිමත් කළා. සිතුවම්කරණයට ආශා කළ ඇය වැඩි කල් නොයාම ක්ෂේත්‍රයේ නමක් හදාගන්න සමත් වුණා. චිත්‍ර ශිල්පයේදී මුනිබාගේ මුල් ගුරුවරයා වෙන්නේ ඇගේ පියායි. අනතුරින් පස්සේ ඇගේ සිතුවම් ඇය තම බ්ලොග් අඩවියේ ප්‍රසිද්ධ කළා. අද වන විට ඇය පාකිස්ථානයේ හොඳම චිත්‍ර ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධයි. මුනිබා පැස්ටල් මාධ්‍යයෙන් චිත්‍ර අඳින අතර Muniba’s Canvas යන සන්නාමය යටතේ Let your walls wear colors පාඨය සමඟ තම කලා කටයුතු කරගෙන යනවා.

ඇය විසින් අඳින ලද සිතුවමක් (www.youtube.com)

“මුලින්ම මම මුදල් උපයා ගැනීම පිණිස රචකයෙක් විදියට වැඩ කළා. එයින් ලැබෙන මුදල් මගේ චිත්‍ර ශිල්පිනියක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට යෙදවූවා. හැමදෙනාම කුමක් හෝ ප්‍රශ්නයකින් පීඩා ලබමිනුයි ජීවත් වෙන්නේ. වාසනාවට මගේ ප්‍රශ්නය අනෙක් අයට පේනවා. බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න ලෝකයට පෙනෙන්නේ නැහැ. හොඳම දේ ජීවිතය පරාජය වීමට ඉඩ නොදී දිගටම සටන් කිරීමයි.”

ජීවිතය ඇත්තේ ජීවත් වීමටයි.

(www.youtube.com)

විවිධ ක්ෂේත්‍රවල දස්කම් පාන මුනිබාට අපූරුවට ගී ගයන්නටත් හැකියි. ඇය Tony & Guy වෙනුවෙන් නිරූපිකාවක් ලෙසත්, PTV රූපවාහිනී පුවත් වාර්තාකාරිණියක් ලෙසත් කටයුතු කරනවා. එක්සත් ජාතින්ගෙන් තානාපතිකමක් ලද පළමු පාකිස්ථාන කාන්තාව වන්නේත් මුනිබා යි. මුනිබා ඇගේ අත්දැකීම්වලින් ලබාගත් පන්නරය දිරිමත් කිරීමේ දේශන හරහා සමාජගත කරනවා.

සමාජ සේවිකාවක් ලෙසත් ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරන මුනිබා ළමා අපචාර වැළැක්වීමටත්, දරුවන්ගේ අයිතිවාසිකම් සහ අධ්‍යාපනය වෙනුවෙනුත් කැපවී කටයුතු කරනවා. මේ සියල්ල ඇය කරන්නේ රෝද පුටුවේ සිටයි. සමාජයේ ආකල්ප, මුදල්, අපහසුතා, කාලය වැනි සමාවට කාරණා ඉදිරිපත් කරනවාට වඩා තමන්ට හැකි උපරිමයෙන් ජීවිතය වෙනුවෙන් කැප විය යුතු බව මුනිබා මසාරිගේ කතාවෙන් අපට ගත හැකි ආදර්ශයයි.

මූලාශ්‍ර:

  1. www.korea.net
  2. www.maloomaat.com
  3. fuchsia.com.sg
  4. beyourownboss.pk
  5. tribune.com.pk

කවරයේ පින්තූරය: blogs.dw.com

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්