Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නින්දා අපහාස ජීවිතයට මල් මිටක් කර ගත් ලිසී

නින්දා- අපහාස වෙනුවට සියල්ලන්ගේ කීර්ති ප්‍රශංසාවට ලක් වන්නට අකැමැති කිසිවකුත් නැත. ගැරහුම් හමුවේ කනස්සල්ලට පත් වීමත්, පැසසුම් හමුවේ සතුටට පත් වීමත් සාමාන්‍ය මිනිස් ස්වභාවය යි. නින්දා අපහාස දරා ගැනීමට සමහරුන්ට නොහැකි වීම කොතරම් බරපතල කරුණක් ද යත් සිය පවුල් ඒකකයෙන්, පාසල හෝ විශ්වවිද්‍යාලයෙන් හෝ රැකියා ස්ථානයෙන් එල්ල වන නින්දා-අපහාස දරාගත නොහැකි ව සමහර පුද්ගලයන් සිය දිවි හානි කර ගන්නා සිදුවීම් පවා  වාර්තා වේ.

 තමන් වෙතට එල්ල වන නින්දා-අපහාස සියල්ල ජීවිතයට ආශිර්වාදයක් කරගන්නා පුද්ගලයන් ද නැතුවා නොවේ. ඔවුන් ඒ සියලු දෑ උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින් සිය ජීවන ගමනේ හිණිපෙත්තට ම ළඟා වන්නේ ඔවුන්ට ගැරහුම් කළ කළ සියල්ලන්ට ලබා දිය හැකි හොඳ ම පිළිතුර එය බව අන්‍යයන්ට ද පසක් කරමිනි.

ලිසී වේලස්කුවේස් – www.people.com

සිය පෙනුම නිසා තමන් වෙතට පැමිණි නින්දා අපහාස සියල්ල විඳ දරා ගනිමින් ඒ සියල්ල සිය සාර්ථකත්වයේ රහස බවට පත් කරගත් එවැනි තරුණියකි- අමෙරිකානු ජාතික එළිසබෙත් ඈන් වේලස්කුවේස්. ලිසී වේලස්කුවේස් නමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් ව ඇති, මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන ඇය ලෝකයේ ප්‍රමුඛ පෙළේ අභිප්‍රේරක කථකයන් (Motivational Speakers) කිහිප දෙනා අතර ඉදිරියෙන් ම පසු වන්නියකි. මේ ඇගේ කතාන්දරය යි.

හඳුනා නොගත් ඌණතාවක්

අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී 1989 මාර්තු 13 වැනි දින  උපත ලැබූ ලිසීගේ මව්පියන් වන්නේ රීටා වේලස්කුවේස් සහ ග්වෝඩලුප් වේලස්කුවේස් ය. නියමිත කාලයට වඩා මාසයකට පෙර උපත ලැබූ ලිසී ගේ උපත් බර ග්‍රෑම් 1,219 කි. එය සාමාන්‍ය අලුත උපන් දරුවකුගේ තිබිය යුතු බරට වඩා බොහෝ සෙයින් අඩු බැවින් ඒ පිළිබඳ පරික්ෂා කළ වෛද්‍යවරුන් ඇගේ මව්පියන්ට දැනුම් දුන්නේ ඇය හඳුනා නොගත් ඌණතාවකින් පෙළෙන බව යි.

ලිසී කුඩා කල සිය මව්පියන් සමඟ – www.huffpost.com

රෝගී තත්ත්වය

වෛද්‍යවරුන්ට අනුව ලිසී හඳුනා නොගත් සහ මාරාන්තික නොවන ජානමය ආබාධ තත්ත්වයකින් පෙළේ. එය ඉතාමත් දුර්ලභ රෝගී තත්ත්වයකි. මේ වන විට ලිසීට අමතරව එම රෝගයෙන් පෙළෙන තවත් කාන්තාවක් සිටින බව හඳුනාගෙන තිබේ. එම රෝගී තත්ත්වය නිසා ඇගේ ශරීරයේ බර ප්‍රමාණය වර්ධනය නොවේ. ලිසී ගේ බර කිලෝග්‍රෑම් 29 ට වඩා කිසි දිනෙක වැඩි වී නැත.

ඇගේ සිරුරේ තිබෙන මේදය ප්‍රමාණය 0%ක් බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. ඒ නිසා ඇය ප්‍රධාන ආහාර වේල්වලට අමතර ව අමතර ආහාර රැසක් දෛනිකව ගත යුතු ය. ඇගේ ආබාධ තත්ත්වය අනුව ඇය දිනකට කැලරි 5,000-8,000 අතර අඩංගු ආහාර ගත යුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනය යි. ඊට අමතර ව වයස අවුරුදු හතරේ පටන් ඇගේ දකුණු ඇස අන්ධ භාවයට පත් ව ඇති අතර වම් ඇසේ පෙනීම ද බොහෝ සෙයින් දුර්වල ය.

ලිසී ළමා වියේ දී – www.ontarioeducation.wordpress.com

අධ්‍යාපනය ලැබීම

දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා වීමේ භාග්‍යය ලිසීට හිමි විය. රෝගී තත්ත්වය මධ්‍යයේ වුව ද ඇගේ මව්පියෝ පාසල් අධ්‍යාපනය සඳහා ඇය යොමු කළහ. ඉගෙනීමට දස්කම් දැක්වූ ලිසී පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වූවා ය. පාසල් අධ්‍යාපනය සාර්ථක ව අවසන් කිරීමෙන් අනතුරු ව ඇය ටෙක්සාස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවා ය. එහිදී සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ උපාධියක් හැදෑරූ ඇය 2012 වසරේ දී විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අවසන් කළා ය.

පෙනුම නිසා විඳීමට සිදු වූ අපහාස

ලිසී පෙළෙන දුර්ලභ රෝගී තත්ත්වයෙහි ප්‍රතිපලයක් ලෙස ඇගේ පෙනුම සාමාන්‍ය තරුණියකට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගනී. ඇගේ පෙනුම නිසා ඇයට කුඩා කල පටන් විඳීමට සිදු වූ නින්දා-අපහාස නම් අපමණ ය. ඇය ජීවත් වූ ගම් ප්‍රදේශයේ, පාසලේ සහ විශ්වවිද්‍යාලයේ දී බොහෝ දෙනෙක් ඇගේ බාහිර පෙනුම පදනම් කර ගෙන කුඩා කල පටන් තමන්ට අපහාස කළ බව ඇය පවසා තිබේ. සමහරුන් මානසික ව මෙන්ම ශාරීරික ව ද ඇයට හිරිහැර කර තිබේ.

ලිසී සිය පවුලේ අය සමග – www.bondingtool.wordpress.com

2006 වසරේ දී ලිසීගේ ඡායාරූප යොදාගෙන සකස් කළ වීඩියෝවක් ‘ලොව වඩාත් ම අවලස්සන කාන්තාව’ යන මැයෙන් ‘යූ ටියුබ්’ හි පළ කර තිබිණි. එහි සිය අදහස් පළ කර තිබූ බොහෝ දෙනෙක් ඇයට අපහාස වන ආකාරයෙන් අදහස් පළකිරීම නිසා එවකට 17 හැවිරිදි වියේ පසු වූ ඇය මුලින් බොහෝ සෙයින් කම්පාවට පත් වූ බව කියැවේ.

ලිසීගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ ‘යූ ටියුබ්’ වීඩියෝව

‘ලොව වඩාත් ම අවලස්සන කාන්තාව’ ලෙස තමන් නම් කරමින් පළ වූ වීඩියෝව දැක මුලින් කම්පා වුවත් එය ලිසීගේ ජීවිතය වෙනස් ම මඟකට යොමු කළේ යමකුට කීර්ති-ප්‍රශංසා පමණක් නොව නින්දා-අපහාස ද ජීවිතයට ආශීර්වාදයක් කරගත හැකි බව මොනවට පිළිබිඹු කරමිනි.

එම සිදුවීමෙන් ටික කලකට පසු ඇය විවිධ පැතිකඩ ඔස්සේ එල්ල වන හිංසනයන්ට එරෙහි ව නැඟී සිටීම ආරම්භ කළා ය. ඒ පිළිබඳ ව මහජන දේශන වැනි වැඩසටහන් රැසක් පැවැත් වූ ඇය 2014 ජනවාරි මස පරිශීලකයන් මිලියන 34කට ආසන්න සංඛ්‍යාවක් සිටින ‘TEDxAustinWomen’ නම් යූ ටියුබ් නාළිකාව හරහා ‘ඔබ, ඔබ අර්ථ දක්වන්නේ කෙසේ ද?’ යන තේමාව යටතේ දේශනයක් සිදු කළා ය. මේ වන විට ලොව පුරා සිටින මිලියන 12කට වැඩි පිරිසක් එම වීඩියෝව නරඹා තිබේ.

ලිසී දේශනයක් පවත්වමින් – www.leadernomics.com

ලිසී මේ වන විට ඇය සිදු කරන ධනාත්මක චින්තනය පිළිබඳ දේශන ඇතුළත් ඇගේ ම යූ ටියුබ් නාළිකාවක් ද පවත්වාගෙන යයි. මිලියනයකට ආසන්න පරිශීලකයන් සංඛ්‍යාවක් සිටින එම නාළිකාව හරහා ඇගේ දේශන ඇතුළත් වීඩියෝ දර්ශන 500කට වැඩි ප්‍රමාණයක් නැරඹිය හැකි ය.

ලේඛන කලාවට පිවිසීම

සමාජ මාධ්‍ය හරහා සිදු කරන වැඩසටහන්වලට අමතර ව ලිසී, 2010 වසරේ දී ලේඛන කලාවට පිවිසෙන්නේ ස්වයං චරිතාපදානයක් රචනා කරමින් ය. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා ද්විත්වයෙන් ම රචිත එහි සම කර්තෘ ලෙස ඇගේ මව වන රීටා කටයුතු කළා ය. ‘Lizzie Beautiful: The Lizzie Velásquez Story’ නම් එම ග්‍රන්ථයේ කුඩා කල පටන් ඇගේ ජීවිතය ඉතා පැහැදිලි ව විස්තර කර තිබේ.

ලිසී සහ ඇගේ මව රචිත ග්‍රන්ථය – www.lizziebeautiful.tumblr.com

ඊට අමතර ව ඇය සිය අත්දැකීම් පාදක කරගෙන තවත් ග්‍රන්ථ කිහිපයක් රචනා කර තිබේ. ඉන් ‘Be Beautiful, Be You’ නම් ග්‍රන්ථය 2012 වසරේ දී ප්‍රකාශයට පත් කෙරුණු අතර එහි තේමාව වන්නේ සැබැවින්ම ‘යමෙකු සුන්දර වන්නේ කෙසේ ද’ යන්න යි.

ඇය 2014 වසරේ දී ‘Choosing Happiness’ නමින් තවත් ග්‍රන්ථයක් රචනා කළ අතර එහි ඇතුළත් වන්නේ කුඩා කල පටන් ඇය මුහුණ දුන් බාධක පිළිබඳව යි. 2017 වසරේ දී ඇය ලියූ ‘Dare to be Kind’ නම් ග්‍රන්ථය අන්‍යයන්ට කරුණාව දැක්වීමේ වැදගත්කම පිළිබඳ ව විස්තර කරයි.

ලිසී, ඇය ලියූ ‘Choosing Happiness’ ග්‍රන්ථය සමඟ – www.lizziebeautiful.tumblr.com

ලිසී සහ ඇගේ ජීවිත කතාව පදනම් කරගෙන කෙටි චිත්‍රපට ගණනාවක් ද මේ වන විට නිර්මාණය වී තිබේ. ඉන් එකක් වන ‘A Brave Heart: The Lizzie Velásquez Story’ 2015 වසරේ දී ප්‍රදර්ශනය විය. 

කවරයේ ඡායාරූපය- ලිසී වේලස්කුවේස් - www.today.com

මූලාශ්‍ර:

www.grandcinema.com

www.brilliant-books.net

www.keyspeakers.com

www.youtube.com/ Lizzie Velasquez

Related Articles