Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව දිගු ම දෙපා හිමි නිරූපණ ශිල්පිණිය – එකටෙරිනා ලිසිනා

රුසියානු ජාතික එකටෙරිනා ලිසිනා සැලකෙන්නේ ලොව උස ම නිරූපණ ශිල්පිණිය ලෙස යි. ඇය ලොව දිගු ම දෙපා හිමි කාන්තාව ලෙස ද ගිනස් වාර්තා පොතට ඇතුළත් වී තිබෙනවා.

එකටෙරිනා ලිසිනා ගේ පාදවල අසාමාන්‍ය දිග

එකටෙරිනා ලිසිනා මේ වන විට සිය උපන් බිම වන රුසියාවේ නිරූපණ ශිල්පිණියක ලෙස කටයුතු කරමින් සිටිනවා.  ඇය පැසිපන්දු ක්‍රීඩාවේ ද ඉහළ දස්කම් දැක්වූ තැනැත්තියක්. මේ වෘත්තීන් ද්විත්වය සඳහා ම ඇගේ අසාමාන්‍ය උස ඇයට මහෝපකාරී වී තිබෙනවා. උසින් අඩි 6 කිත් අඟල් 9 ක් වන ඇයගේ වම් පාදය අඟල් 52.3 ක් දිගු අතර, දකුණු පාදයේ දිග වන්නේ අඟල් 52 ක්. ඇගේ පාදවල දිග ගිනස් වාර්තා සඳහා වූ ආයතනය මඟින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

එකටෙරිනා ලිසිනා- Golders/@ekaterina_lisina15

එකටෙරිනා ලිසිනාට අනුව ඇයට මෙම අසාමාන්‍ය උස සහ දිගු පාද ලැබී ඇත්තේ සිය පවුලේ ජාන මඟිනු යි. ඇගේ පවුලේ සියලු දෙනා අඩි 6 කට වඩා උස් වන අතර, ඇගේ සහෝදරයා අඩි හය හමාරක් ද, පියා අඩි 6 යි අඟල් 5 ක් ද, මව අඩි 6 අඟල් 1 ක් ද උස් වෙනවා. ලිසිනා ගේ පුත්‍රයා ද ඇගේ සම වයස් අනෙක් දරුවන්ට වඩා උසින් වැඩි වන අතර, ඔහු තවමත් වැඩෙමින් සිටිනවා.

අන් අයට වඩා කැපී පෙනෙන ලෙස උසින් වැඩි වීම නිසා යමකුට වාසි මෙන් ම අවාසි ද රාශියක් ඇතිවෙනවා. ඔවුන් සමාජයේ උසුළු විසුළුවලට භාජනය වන අතර, පොදු ප්‍රවාහනය වැනි දේ භාවිත කරන විටත් ගැටලු රැසකට මුහුණපානවා. එකටෙරිනා ලිසිනා ද මෙවැනි අභියෝග රැසකට මුහුණදුන් අතර, ඇය ඒ අභියෝග තම වාසියට හරවා ගැනීමට සමත් ව තිබෙන්නේ ලොවට ම ආදර්ශයක් වෙමිනු යි.

එකටෙරිනා ලිසිනා නිරූපණ ශිල්පිණියක ලෙස – www.pinterest.com

එකටෙරිනා ලිසිනා ගේ දිවියේ මුල් කාලය

එකටෙරිනා ලිසිනා උපත ලැබුවේ 1987 වසරේ ඔක්තෝබර් මස 15 වන දින රුසියාවේ පෙන්සා හී දී යි. ලොව උස ම නිරූපිකාව ලෙස ද ගිනස් වාර්තාව හොබවන ඇය රුසියාවේ විශාලත ම පාදයේ හිමිකාරිය ද වෙනවා. ඇය භාවිත කරන පාවහන් 13 ප්‍රමාණයේ ඒවා යි. 

ඇගේ පියා වන වික්ටර් ලිසින්ට අනුව උපතේදී පවා ඇයට තිබී ඇත්තේ ඉතා දිගු දෙපා වන අතර, කාගේත් අවධානය ඊට යොමු වී තිබෙනවා. 

“අපි ඇය රෝහලෙන් රැගෙන එද්දී ම ඇගේ දෙපාවල අසාමාන්‍ය දිග පිළිබඳ ව දුටුවා. එය අපේ පවුලේ ස්වභාවය නිසා අපි එතරම් පුදුම වූයේ නැහැ. “

තම දිවියේ මුල් කාලයේ දී මිතුරන්ගේ සහ අසල්වාසීන්ගේ උසුළු විසුළුවලට එකටෙරිනා ලක් වූව ද, සිය පවුලේ සහාය ඇයට ලැබුණු නිසා, එකටෙරිනා ශක්තිමත් ව නැඟී සිටියා. ඇත්තෙන් ම ඇගේ ජීවිතය බබළවන්නට ඇගේ දිගු දෙපා විශාලත ම ශක්තිය වුණා.

” මට දෙවියන් ඉතාමත් සුවිශේෂී උසක දෙපා ලබා දී තිබෙනවා, ඉතින් මට තරුවක් සේ බැබළිය හැකි යි.” ඇය පවසා තිබුණා. 

පැසිපන්දු ක්‍රීඩිකාවක වශයෙන් 2008 බීජිං ඔලිම්පික් උළෙල නියෝජනය කළා – Jeff Gross/Getty Images

ඔලිම්පික් ගිය එකටෙරිනා

“මං 16 වියැති ව සිටිය දී අඩි හය හමාරක උසකින් යුක්ත වුණා. මං වයස 15 පටන් වෘත්තීයමය වශයෙන් පැසි පන්දු ක්‍රීඩා කිරීම ඇරඹුවා’’යි ” ලිසිනා පවසනවා.

ඇගේ සොයුරා වන සේර්ගෙයිට අනුව ඇය 30 වන වියට පා තැබීමට පෙර සිය දිවියේ කඩඉම් රාශියක් ළඟා කර ගෙන තිබෙනවා. ඇය පැසිපන්දු ක්‍රීඩිකාවක වශයෙන් 2008 බීජිං ඔලිම්පික් උළෙල නියෝජනය කර ඇති අතර, ඉතා හොඳ නිරූපිකාවක බවට ද පත් වී තිබෙනවා.

” මං මගේ සොයුරිය පිළිබඳ ව ආඩම්බර වනවා දැයි ඔබ මගෙන් ඇසුවොත් මගේ පිළිතුර වන්නේ, ‘ඔව් පැහැදිලි ලෙසම’ යන්න යි. කුඩා කල සිට ම ඇගේ උස ක්‍රීඩා සඳහා විශාල ප්‍රයෝජනයක් තිබෙන බැව් මා වටහාගෙන සිටියා.”

රුසියානු ජාතික කණ්ඩායමට කැඳවීම

නව යොවුන් වියට එළැඹීමත් සමඟම, එකටෙරිනාගේ ශරීරය ශීඝ්‍ර ලෙස වර්ධනය වන්නට පටන් ගත්තා. ඇය පැසිපන්දු වෙත යොමු වූයේ ඒ අනුව යි. එය ඉතා සාර්ථක තීරණයක් බැව් ඔප්පු වූයේ ඇය ඉක්මනින් ම රුසියානු ජාතික කණ්ඩායමට කැඳවීමත් සමඟ යි. මේ සඳහා ඇගේ උස පමණක් නොව දක්ෂතාව ද බලපෑවා. 2006 වසරේ දී ජර්මනියේ දී ඇය ඇතුළු රුසියානු පැසිපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී රිදී පදක්කමක් ලද අතර, ඉන් දෙවසරකට පසු චීනයේ දී ඔලිම්පික් ලෝකඩ පදක්කම ලද රුසියානු කණ්ඩායමේ සාමාජිකාවක වීමට තරම් ද ඇය වාසනාවන්ත වුණා. 

එකටෙරිනා ලිසිනා පැසිපන්දු ක්‍රීඩිකාවක ලෙස- ANTONIO SCORZA/AFP via Getty Images

මෙම ජයග්‍රහණවලින් පසු රුසියාව සහ සෙසු ලෝකය ඇය පිළිබඳ ව කතා වන්නට පටන් ගත්තා. ඇයගේ සුන්දර පෙනුම අනුව ඇය නිරූපණ වෘත්තියට ඉතා ගැළපෙන බැව් වටහා ගත් කිහිප දෙනෙක් ම ඇයට ඒ හා එක් වන ලෙස ආරාධනා කළා. 

ලොව දිගු ම පාද හිමි නිරූපිකාව ලෙස

“මා ආකර්ෂණීය බව මට වැටහෙන විට මා 24 වන වියෙහි පසු වුණා” එකටෙරිනා පැවසුවා. 

” මට සෑම විටක ම පැවතියේ ක්‍රීඩිකාවකගේ ශරීරයක් වන අතර, මගේ වයසේ අන් යුවතියන්ට වඩා මා උස් ව සිටියා. උස වීම ආකර්ෂණීය බැව් මට වැටහුණේ මගේ දිවියේ පසුකාලීනව යි. “

ක්‍රීඩාවේදී මෙන් ම එකටෙරිනා ලිසිනා නිරූපණ වෘත්තියේදී ද දස්කම් පෑවා. ඉක්මනින් ම ලොව උස ම නිරූපිකාව ලෙස ගිනස් පොතෙහි ඇගේ නම ලියැවුණා.

” බීජිං ඔලිම්පික් ජය ලැබූ පසු මට ක්‍රීඩාවෙන් කෙටි විවේකයක් ලබා ගන්නට අවශ්‍ය වුණා. මා නිරූපණ ක්ෂේත්‍රයට යොමුවූයේ ඒ අතර යි”

ලොව දිගු ම දෙපා හිමි කාන්තාව වශයෙන් ගිනස් වාර්තාව ඇයට හිමි වූයේ මෙලෙස නිරූපණ ක්ෂේත්‍රයට යොමු වූ පසු යි. මේ සඳහා ගිනස් මාර්ගෝපදේශ අනුව වෛද්‍යව‍රයකු ගේ නිල පරීක්ෂාවට ලක් වීමටත් ඇයට සිදුවුණා.

දිරිගැන්වීම උදෙසා වන ගිනස් වාර්තා

අසාමාන්‍ය ලෙස උසින් වැඩි යුවතියන් සමාජයේ උසුළු විසුළුවලට ලක් වීම නිසා මානසික පීඩාවට ලක් වන අතර, ඔවුන්ට ආදර්ශයක් වී, ඔවුන් දිරිගැන්වීම උදෙසා වන ගිනස් වාර්තා තමන් සතු කර ගන්නට ක්‍රියා කළ බැව් එකටෙරිනා පවසනවා. 

” පාසලේදී මගේ උස නිසා මා දැඩි ලෙස උසුළු විසුළුවලට ලක් වුණා. සමහර අවස්ථාවල මා අපහසුවට ලක් කළ පිරිමි ළමයින් හා සංවාද කරන්නට මට මගේ සොයුරාට පවා කතා කරන්නට සිදුවුණා’’

කෙතරම් ලෝකය දිනා සිටිය ද එකටෙරිනාට එදිනෙදා ජීවිතයේ අභියෝග රාශියක් අදටත් පවතිනවා. ඇය කැමති ඇඳුම් සොයා ගැනීම, පාවහන් සොයා ගැනීම, පහසු ලෙස ගමන් කළ හැකි ගුවන්‍් යානා ආසන සොයා ගැනීම, කාරයක පහසුවෙන් ගමන් කිරීම ඒ අතර වෙනවා. කෙසේ නමුත් තම උසෙහි ඇති වාසි පිළිබඳ ව ඇය නිතර ම මෙනෙහි කරනවා

එකටෙරිනා ලිසිනා නිරූපිකාවක ලෙස- Getty Images

“මගේ උස නිසා මට අන් අයට වඩා වේගයෙන් ඇවිද යා හැකි යි. ලොව දිගු ම කාන්තා පාද යුගළ මට තිබීම ගැන මට ඉතා සතුටු යි. මේ පිළිබඳ පුවත මුලින් ම ඇසූ අවස්ථාවේ ම’ කාරයක් පදවමින් සිටියේ. මා කෙතරම් සතුටු වී ද යත්, එය අනතුරකට භාජනය වීමට පවා ගියා” 

ගිනස් වාර්තා 2 ක හිමිකාරිණියක්

අද වන විට එකටෙරිනා ලිසිනා ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සාමාජිකයන් මිලියන 1.2 ක් සිටිනවා. ඇය ගිනස් වාර්තා 2 ක හිමිකාරිණියක්. එපමණක් නොව, ඇය ලොව උසස් ම ක්‍රීඩා උළෙල වන ඔලිම්පික් හි පදක්කම් ලාභිණිහක් ද වෙනවා.

ඇයට අනුව ඇය ලබාගත් මේ ජයග්‍රහණ රාශියෙන් ඇය සංතුෂ්ටියට පත් වෙනවා. 

කවරයේ ඡායාරූපය - The Guinness Book of World Records
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Vanguardngr.com
Olympics.com

Related Articles