Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වැඩි වශයෙන් කතාබහට ලක් වූ සුවිශේෂී කාන්තා චරිත

ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ ලොව විවිධ ක්ෂේත්‍ර බබළවන කාන්තාවන් පිළිබඳ ව බොහෝ සෙයින් කතාබහට ලක් වේ. සාහිත්‍යය, රාජ්‍ය පාලනය සහ සිවිල් අයිතිවාසිකම් වැනි විවිධ ක්ෂේත්‍රයන්හි දියුණුව උදෙසා සුවිශාල මෙහෙවරක් සිදු කළ කාන්තාවන් පිළිබඳ තොරතුරු වර්තමානයෙන් මෙන් ම අතීතයෙන් ද හමු වේ. මේ එවැනි හේතු නිසා ලොව පුරා ප්‍රසිද්ධ වූ කාන්තාවන් කිහිප දෙනෙක් පිළිබඳ වන විමසා බැලීමකි.

පළමු එළිසබෙත් රැජන (1533 – 1603)

පිරිමියෙක් වෙනුවට තමන් සිය රට සමඟ විවාහ ගිවිසගත් බව පැවැසූ පළමු එළිසබෙත් රැජන ‘කන්‍යා රැජන’ (The Virgin Queen) යනුවෙන් ප්‍රසිද්ධ වූවා ය. ඇය බ්‍රිතාන්‍ය කිරුළ දරා මේ වන විට සියවස් ගණනාවක් ගත වී ඇති නමුත්, ඇගේ පාලන කාලය තුළ බ්‍රිතාන්‍යය අත්කර ගත් දියුණුව තවමත් කතාබහට ලක් වන්නකි. පළමු එළිසබෙත් රැජනගේ පාලන සමයේ බ්‍රිතාන්‍යයේ දේශපාලන, වාණිජ, සහ කලා වැනි සියලු ක්ෂේත්‍රවල විශාල දියුණුවක් ඇති වූ බව කියැවේ.

එවකට බ්‍රිතාන්‍ය කිරුළ හිමි විය යුත්තේ පිරිමි පුද්ගලයකුට බවට දැඩි විශ්වාසයක් බ්‍රිතාන්‍ය රජ පවුල තුළ පැවැතීම සහ එළිසබෙත් රැජනගේ මව අටවැනි හෙන්රි රජුගේ නියමයෙන් හිස ගසා දැමූ ඈන් බොලීන් රැජන වීම යන කරුණු මත එළිසබෙත් සිහසුනට පත් වූයේ බොහෝ අභියෝග මධ්‍යයේ බව කියැවේ. කෙසේ වෙතත් ඒ සියලු අභියෝග ජයගත් එළිසබෙත් රැජන වර්තමානයේ පවා කතාබහට ලක් වන ශ්‍රේෂ්ඨ නායිකාවක් බවට පත් වූවා ය.

පළමු එළිසබෙත් රැජන – www.britannica.com

මහා කැතරින් රැජන (1729 – 1796)

මහා කැතරින් මෑත ඉතිහාසයේ බිහි වූ වඩාත් ශ්‍රේෂ්ඨ කාන්තාවක් ලෙස ඉතිහාසයට එක් වී තිබේ. ජර්මනියට අයත් ප්‍රසියාවේ උපන් ඇය එවකට රුසියාවේ රාජ්‍යත්වය දැරූ තෙවන පීටර් සමඟ විවාහ වූවා ය. සිය සැමියා කෙරෙහි සෙනෙහසක් නොදැක්වූ ඇය ඔහු බලයෙන් පහ කර රාජ්‍යත්වයට පත් වීමට කුමන්ත්‍රණයක් සිදු කළා ය. එහි ප්‍රතිපලයක් ලෙස 1762 දී ඇය රුසියානු අධිරාජ්‍යයේ අධිරාජිණිය බවට පත් වූවා ය. රුසියාවේ දේශපාලන මෙන්ම තවත් ක්ෂේත්‍ර ගණනාවකට ධනාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ඇය කටයුතු කළා ය.

රාජ්‍ය අරමුදල් යොදවා ගැහැනු දරුවන් සඳහා වන පළමු පාසල ආරම්භ කළේ ද කැතරින් රැජන ය. ඒ වන විට විශාල බලයක් අත්පත් කරගෙන සිටි පල්ලියේ බලය අඩු කර ආර්ථිකය, කලාව සහ විදේශ සම්බන්ධතා වැනි ක්ෂේත්‍ර ගණනාවක් දියුණු කිරීමට ඇය කටයුතු කළා ය. වයෝවෘද්ධ වියේ සිටිය දී පවා ඇය තුළ පැවති ලිංගික රුචිය පිළිබඳව ද බොහෝ පොතපතෙහි සඳහන් වේ. මිය යන තෙක් ම ඇයට පෙම්වතුන් ගණනාවක් සිටි අතර ඇය ඔවුන්ට ස්වර්ණාභරණ ඇතුළු විවිධ වටිනා ත්‍යාග ලබා දුන් බව කියැවේ.

මහා කැතරින් රැජන – www.biography.com

ජේන් ඔස්ටන් (1775 – 1817)

එක්සත් රාජධානියෙන් බිහි වූ සම්භාව්‍ය ලේඛිකාවක් වන ජේන් සමාජයේ විවිධ පැතිකඩ පිළිබඳ ව නිරීක්ෂණය කිරීමට තමන් සතු ව තිබූ තීක්ෂණ හැකියාව සහ බුද්ධිය සමඟ සාහිත්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කළා ය. දරුවන් අට දෙනකුගෙන් යුත් පවුලක උපත ලද ජේන් ඇගේ නව යොවුන් වියේ පටන් “Pride and Prejudice” සහ “Sense and Sensibility” වැනි වර්තමානයේ පවා අතිශයින් ජනප්‍රිය, සම්භාව්‍ය නවකතා රචනා කළා ය.

ඇගේ නවකතා හාස්‍යජනක, ප්‍රියජනක සහ සමාජය තුළ කාන්තා භූමිකාවන් ප්‍රශ්න කරන ඒවා බව විචාරකයන්ගේ මතය වේ. තමන් රචනා කළ අතිශය ජනප්‍රිය නවකතා කිහිපයක කතුවරිය තමන් බව ඇය සැඟවූවා ය. ඇයගේ මරණයෙන් පසු ඇයගේ සොහොයුරෙක් වූ හෙන්රි එම නවකතාවල කතුවරිය ජේන් බව ප්‍රසිද්ධ කරන තෙක් කිසිවකුත් ඒ බව දැන සිටියේ නැත. ජේන් රචනා කළ නවකතා ගණනාවක් රටවල් රැසක ඉංග්‍රීසි සාහිත්‍ය විෂය නිර්දේශ සඳහා ඇතුළත් කර තිබේ.

ජේන් ඔස්ටන් – i.guim.co.uk

සොජන(ර්) ටෲත් (1797 – 1883)

අමෙරිකානු ඉතිහාසයේ එන සුවිශේෂී කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිණියක් වන ටෲත් සිදු කළ දේශන ලොව එතෙක් මෙතෙක් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ව සිදු වූ වඩාත් ප්‍රසිද්ධ කතා අතර ඉහළින් ම පසු වේ. අප්‍රිකානු-අමෙරිකානු සම්භවයක් සහිත කාන්තාවක් වූ ඇය 1851 දී එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ පැවති කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සමුළුවක් අතරතුර සිදු කළ “මම ගැහැනියක් නොවේද?” යන දේශනය වර්තමානයේ පවා බොහෝ සෙයින් ප්‍රසිද්ධ එකකි.

1806 දී පවුලෙන් වෙන් කළ ඇය බැටළු රංචුවක් ද සමඟ ඩොලර් 100ක මුදලකට වහල් සේවය සඳහා අලෙවි කර තිබිණි. වහල් සේවයේ යෙදෙන අතරතුර විවාහ වූ ඇය 1829 දී ඇගේ එක් දියණියක් වූ සොෆියා සමඟ නිදහස සොයා පලා ගිය නමුත් ඇගේ අනික් දරුවන් දෙදෙනා රැගෙන යාමට ඇයට නොහැකි විය.

1840 දශකයේ අගභාගයේ සිට කාන්තාවන්ගේ සහ අප්‍රිකානු-අමෙරිකානු සම්භවයක් සහිත පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිණියක් බවට පත් වූ ඇය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සර්වජන ඡන්ද බලය වැනි බොහෝ දෑ පිළිබඳ ව දීර්ඝ දේශන සිදු ගණනාවක් පවත්වා ඇත.

සොජන(ර්) ටෲත් – www.biography.com

මාරි කියුරි (1867 – 1934)

පෝලන්ත ජාතික භෞතික විද්‍යාඥවරියක වූ මාරි කියුරිගේ නව සොයා ගැනීම් අතර විකිරණශීලීත්වය, රේඩියම් සහ පොලෝනියම් යන රසායනික සංයෝග සහ අතේ ගෙන යා හැකි එක්ස්-කිරණ යන්ත්‍රයක් වේ. භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව සඳහා වන සොයා ගැනීම් සඳහා වෙන් වෙන් වශයෙන් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඇය එකිනෙකට වෙනස් විද්‍යාවන් දෙකක් සඳහා නොබෙල් ත්‍යාග දෙකකින් පිදුම් ලැබූ පළමු පුද්ගලයා වේ.

එවකට විද්‍යාව සම්බන්ධයෙන් වන සොයා ගැනීම් බොහොමයක් සිදු කළේ පිරිමි පුද්ගලයන් බැවින් සිය වෘත්තීය ජීවිතය පුරා නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දීමට සහ නින්දා අපහාසවලට ලක් වීමට මාරි කියුරිට සිදු වූ බව කියැවේ. ඒ සියල්ල මධ්‍යයේ ඇය සිදු කළ සුවිශේෂී විද්‍යාත්මක සොයා ගැනීම් සහ ඒවා නිසා බිහි වූ වෙනත් බොහෝ දෑ වර්තමාන ලෝකයේ පවා විශාල වශයෙන් කතාබහට ලක් වේ. ඇය සොයා ගත් අතේ ගෙන යා හැකි එක්ස්-රේ යන්ත්‍රය එවැනි නිෂ්පාදනයකි.

මාරි කියුරි – www.wikipedia.org

රෝසා පාර්ක්ස් (1913 – 2005)

1913 දී උපත ලැබූ ඇය වයස අවුරුදු 11 දී ඇලබාමා ප්‍රාන්තයට සංක්‍රමණය වී එහි ප්‍රාන්ත පාසලකින් අධ්‍යාපනය ලැබුවා ය. ඇගේ මිත්තණිය රැකබලා ගැනීමට අවශ්‍ය වූ බැවින් ඇය අතරමඟ පාසල් අධ්‍යාපනය අවසන් කළා ය. තරුණ වියේදී මොන්ට්ගොමරි හි අප්‍රිකානු-අමෙරිකානු පුරවැසියන්ගේ සමාජයේ සාමාජිකත්වය ලබා ගත් ඇය 1943 පටන් ක්‍රියාත්මක වූ තවත් කැපී පෙනෙන සිවිල් සංවිධානයක ලේකම් ධුරයක් ද දරුවා ය.

එවකට බස් රථවල ඉදිරිපස අසුන් සුදු ජාතිකයන්ටත්, පසුපස අසුන් කළු ජාතිකයන්ටත් වෙන් කර තිබිණි. කෙසේ වෙතත් දිනක් රෝසා ගමන් කරමින් සිටි බස් රථයේ ඉදිරිපස අසුන් සියල්ල පිරි ගොස් තිබූ බැවින් පසුපස අසුන් කිහිපයක් සුදු ජාතිකයන් පිරිසකට ලබා දෙන ලෙස රියදුරා නියම කළේ ය. අනිකුත් කළු ජාතිකයන් සිය අසුන් ලබා දුන්නත් රෝසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගත්තා ය.

එම සිදුවීම සමඟ එක්සත් ජනපදය පුරා විරෝධතා මාලාවක් ආරම්භ විය. එම විරෝධතා සමඟ බිහි වූ දැවැන්ත සිවිල් ව්‍යාපාරයකට නායකත්වය දීමට ද ඇය කටයුතු කළා ය. 2005 ඔක්තෝබර් 24 දින මිය ගිය ඇයගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය ගෞරව සහිතව වොෂින්ටන්හි දී සිදු විය. ඇය එක්සත් ජනපද ඉතිහාසයේ රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍යයකට හිමිකම් කී කාන්තාවන් දෙදෙනා අතරින් අයෙකි (අනික් කාන්තාව එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියකි).

රෝසා පාර්ක්ස් – www.history.com

මායා ඇන්ජලෝ (1928 – 2014)

අමෙරිකානු ඉතිහාසයේ වඩාත් ම කතාබහට ලක් වූ කාන්තාවක් වන මායා, කිවිඳියක්, ගායිකාවක් සහ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිණියක් වූවා ය. ඇය රචනා කළ “කූඩු කළ කුරුල්ලා ගායනා කරන්නේ මන්දැයි මම දනිමි” (I Know Why the Caged Bird Sings), අප්‍රිකානු-අමෙරිකානු සම්භවයක් සහිත කාන්තාවක් රචනා කළ, වැඩියෙන් ම අලෙවි වූ ප්‍රබන්ධ නොවන කෘතිය ලෙස වාර්තා අතරට එක් විය.

එක්සත් ජනපදයේ ආකැන්සාස් හි උපත ලැබූ මායාගේ ළමා කාලය දුක් කම්කටොළුවලින් පිරි එකක් විය. වර්ණභේදය වැනි සමාජ ගැටලුවල නිරන්තර වින්දිතයෙක් වූ ඇය වරෙක ඇගේ මවගේ පෙම්වතාගේ දරුණු පහරකෑමකට ලක් වූවා ය. එම සිදුවීමෙන් පසු ඇගේ මවගේ සොහොයුරන් එක් ව එම පුද්ගලයා ඝාතනය කළ අතර, එම සිදුවීම නිසා හටගත් කම්පනය හේතුවෙන් මායා වසර ගණනාවක් යන තෙක් ගොළු බවට පත් වූවා ය.

“කූඩු කළ කුරුල්ලා ගායනා කරන්නේ මන්දැයි මම දනිමි” මෙන් ම ඇගේ අනෙකුත් බොහෝ කාව්‍ය නිර්මාණ සහ වෙනත් කෘතීන් සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය පදනම් කර ගත් ඒවා විය. ස්ත්‍රී දූෂණය, වර්ගවාදය සහ සාක්ෂරතාව වැනි පුළුල් වපසරියක් ආවරණය වන පරිදි කාව්‍ය නිර්මාණ කළ ඇය සාහිත්‍ය නිර්මාණ රසවිඳීමෙන් ජාතිවාදය සහ වෙනත් විසමතාවලින් මිදීමට මිනිසාට හැකි බව තරයේ විශ්වාස කළා ය.

මායා ඇන්ජලෝ – www.thefamouspeople.com

ඈන් ෆ්‍රෑන්ක් (1929 – 1945)

‘ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත’ යනු දෙවන ලෝක සංග්‍රාමය පිළිබඳ ව වඩාත් නිවැරදි සහ සංවේදී තොරතුරු ඇතුළත් වාර්තාවලින් එකකි. ඇය දෙවන ලෝක සංග්‍රාමය පැවති කාලයේ ජර්මනියේ ජීවත් වූ යුදෙව් පවුලකට අයත් තරුණියක් වූවා ය. යුද්ධය ආරම්භ වීමත් සමඟ ෆ්‍රෑන්ක් පවුල සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙක් ඔවුන් ජීවත් වූ ප්‍රදේශයෙන් බොහෝ දුර බැහැරට වන්නට පිහිටි රහසිගත නිවසක සැඟ ව සිටීමට තීරණය කළ හ.

එවකට යුදෙව් ජාතිකයන් සොයා සිදු කළ මෙහෙයුම් අතර නාසි හමුදා භාරයට ගත් ඔවුන් 1944 දී කඳවුරුවල සිරකර තැබූ බව කියැවේ. ෆ්‍රෑන්ක් පවුලෙන් ඇගේ පියා පමණක් දිවි ගලවා ගත් අතර, ඔහු ඈන්ගේ දිනපොත ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේ ය. දෙවන ලෝක යුද්ධය අතරතුර පැවැති අතිශය අමානුෂික දඬුවම් ක්‍රම වැනි දෑ පිළිබඳ තොරතුරු ඇතුළත් ඇගේ දිනපොත මේ වන විට භාෂා 70කට වැඩි ප්‍රමාණයකට පරිවර්තනය වී තිබේ.

ඈන් ෆ්‍රෑන්ක් – www.wikipedia.org

මලාලා යුසුෆ්සායි (1997)

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ළාබාලත ම පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් වූ මලාලා 1997 ජූලි 2 දින පාකිස්තානයේ උපත ලැබුවා ය. ගුරුවරයෙක් වූ ඇගේ පියා ඔවුන් ජීවත් වූ ගම් ප්‍රදේශයේ ගැහැනු ළමයින් සඳහා වෙන් වූ පාසලක් පවත්වාගෙන ගියේ ය. පසුකාලීනව ඔවුන් ජීවත් වූ ගම් ප්‍රදේශය තලිබාන් සටන්කාමීන්ගේ පාලනයට යටත් වූ අතර, ඔවුහු (සටන්කාමීන්) ගැහැනු ළමයින්ට පාසල් අධ්‍යාපනය ලැබීම තහනම් කළ හ.

මෙම සිදුවීමෙන් පසු කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම සඳහා ඇති අයිතිය පිළිබඳ ව උනන්දුවක් දැක්වූ මලාලා 2012 දී ඒ පිළිබඳ ව පළමු වරට ප්‍රසිද්ධියේ අදහස් පළ කළා ය. එහි අවසන් ප්‍රතිපලය වූයේ ඇය පාසල් බස් රථය තුළ තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වීම යි. ඉන් දිවි බේරා ගැනීමට සමත් වූ ඇයට එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි විය. 2014 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඇය මේ වන විට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටී.

මලාලා යුසුෆ්සායි – www.theguardian.com

කවරයේ ඡායාරූපය - මහා කැතරින් මෑත ඉතිහාසයේ බිහි වූ වඩාත් ශ්‍රේෂ්ඨ කාන්තාවක් ලෙස ඉතිහාසයට එක් වී තිබේ - www.history.com
මූලාශ්‍ර :
www.britannica.com
www,history.com
www.marieclare.com

Related Articles