සුගලා දේවිය කියන්නේ ඉතිහාසයෙන් හමුවන, අප තුළ කුතුලහලය දනවන රාජකීය චරිතයක්. රණකාමී සුගලා දේවිය පිළිබඳ බොහෝ ජනකතා මොරණරාගල අවට මෙන්ම පොළොන්නරුවේ සිරිපුර හා යක්කුරේ අවටත් පැතිර තිබෙනවා. ක්‍රි. ව. 12 වන සියවසේදී රෝහණ දේශයේ රජ කිරුළ දැරූ ශ්‍රී වල්ලභයන්ගේ දේවිය සුගලාය. ඇය විජයබාහු රජුගේ මිනිපිරියක වන අතර පරාක්‍රමබාහුගේ නැන්දණියක් වෙනවා. හෙළයේ රජ කිරුළට අයිතියක් දැරූ හෙයින් ඇය සුගලා රැජන ලෙසින් සමහරු හඳුන්වනවා. සුගලා එකල රටේ බලවත් චරිතයක් ලෙස සැලකුණේ රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස සැලකෙන  දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ ඇයගේ රෝහණ රාජධානියේ තිබූ නිසායි. දළදා සහ පාත්‍රා ධාතුන් පොළොන්නරුවෙන් රහසිගතව රුහුණට රැගෙන අවේ භික්ෂුන් වහන්සේ විසින්. ඒ පොළොන්නරුව රාජධානියේ විජයබාහුගෙන් පසු අවිචාර සමයක් හටගත් නිසයි.

දේවිය සුගලා ටෙලිනාට්‍ය යේ සුගලා ලෙස රඟන දිල්හානි අශෝකමාලා- movie.lk

රුහුණට රැගෙන ආ මේ ධාතුන් වහන්සේ සුගලාගේ සැමියා වූ ශ්‍රී වල්ලභ සහ ඊට පසු රජ වූ ඇගේ පුතා වූ මානාභරණ සතුව පැවතුණා. මහ පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එරෙහිව ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ රැක ගැනීමට ඇය කළ වීරෝදාර සටන් හේතුවෙන් ඇය සෙන්පතිනියක සේම සේනාධිනායිකාවක ලෙසද හඳුන්වනු ලැබුවා.

පැරකුම්බා රජවීම

පොළොන්නරුවේ පැරකුම්බා රජ මාලිගය- Wikimedia.org

දක්ඛිණ දේශයේ රජ බවට පත්ව සිටි පරාක්‍රමබාහු (1123-1186) සිය රාජ්‍ය බලය ව්‍යාප්ත කරගනිමින් පොළොන්නරුවේ රජවෙනවා. ඉන්පසු ඔහු රෝහණ දේශයද අල්ලා ගැනීමේ උත්සාහයක යෙදෙනවා. විශේෂයෙන්ම රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට අනිවාර්ය ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ තමා වෙත ලබා ගැනීම පරාක්‍රමබාහුගේ අදහස වුණා.

සුගලා මතුවෙයි

ගලබැද්ද පොකුණ- panoramio.lk

කෙටි කාලීන රාජ්‍ය පාලන සමයකින් පසු සුගලා දේවියගේ පුතු මානාභරණ රජු අසනීපයකින් මියයනවා. එය නිමිත්තක් කරගෙන පරාක්‍රමබාහු රෝහණය ආක්‍රමණය කිරීමට උත්සාහ දරනවා.  රුහුණේ ජනතාව එයට කැමැති වන්නේ නැහැ. ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතුවත් රැකගන්නා ලෙස රුහුණේ ජනතාව සුගලාගෙන් ඉල්ලා සිටිනවා. ඊට පසු ජනතාව විසින් රෝහණයේ පාලනයට සුගලා පත්කරනවා. ඇය සටන්කාමී රැජනක් වශයෙන් මතුවෙනවා .

සුගලාගේ රාජධානිය

ගලබැද්ද නටබුන්-trisinhala.blogspot.com

සුගලා තම පාලනය ගෙන ගියේ මොණරාගල-සියඹලාණ්ඩුව පාරේ පිහිටි උදුන්දොර නම් ප්‍රදේශයේ සිට බව ඓතිහාසික මූලාශ්‍ර අනුව පැහැදිලි වෙනවා. උදුන්දොර අද හඳුන්වන්නේ ගලබැද්ද නමින්. දළදා පූජාවලිය සඳහන් කරන්නේ රුහුණේ උදුන්දොර අමරගිරි පර්වත සමීපයේ දළදා වහන්සේ සුරක්ෂිත කර තිබූ බවයි. ඇතිමලේ මරගල කන්ද පාමුල ගලබැද්ද නම් ගම්මානයේ (මොණරාගල යන ගමන් ලිපිය බලන්න) නටඹුන් ස්ථානයක් තිබෙනවා. එතැන සතුරන්ට පහසුවෙන් ළඟාවිය නොහැකි තැනක්. එහි පොළොන්නරු යුගයට අයත් පොකුණක් හා තවත් නටඹුන් දැකගත හැකියි. ඒ සුගලාගේ මාලිගය පිහිටි ස්ථානය බවයි ඉතිහාසඥයන් පවසන්නේ.

ගලබැද්ද අවට නටබුන්- trisinhala.blogspot.com

මේ ස්ථානයේ පිහිටි පොකුණ හැරෙන්නට අනෙක් නටඹුන් බොහෝ දුරට විනාශ වෙලා. ඒවා කැණීම් කර නැහැ. මාලිගාතැන්න නම් ස්ථානයක් ද පොකුණට නුදුරින් තිබෙනවා. සුගලා රැජන රෝහණ රාජධානියට එන මාර්ගවල බලකොටු ඉදිකර පොළොන්නරුවෙන් පැමිණෙන සතුරන් වළක්වා තිබුණු බව මහාවංශයෙන් පැහැදිලි වෙනවා. ඇගේ සේනාධිනායකයා වූයේ සූකරභාතුදේවයි. ඔහු අතිදක්ෂ සටන්කරුවෙක්. ඔහු පරාක්‍රමබාහුට විරුද්ධ වූ නිසා ඒ රජු විසින් සිරගත කොට සිටි සෙනෙවියෙක්. පසුව හිරෙන් පලාවිත් සුගලාට එක්වෙනවා. සුගලා රැජනගේ ජනප්‍රියත්වය මහ පැරකුම්බා රජුට හිසරදයක් වුණා.

මහා පැරකුම්බා සුගලාට එරෙහිව

මේ නිසා මහා රජතුමා විශාල හමුදාවක් රුහුණු ප්‍රදේශයට යවනවා. ඔහුගේ දක්ෂම සෙනෙවියෙක් වූ රක්ඛ සේනාපතියා යටතේ මේ සේනාව රුහුණට පැමිණෙනවා. සේනාව එන විට සුගලා උදුන්දොරට තරමක් නුදුරු ඇතිමලේ නම් ප්‍රදේශයට පලාගොස් සැඟවුණා. මේ අතර ධාතූන් වහන්සේලා රැගෙන පිටරටකට පලා යෑමට සුගලා දේවිය උත්සාහ කරන බව මහා පරාක‍්‍රමබාහු රජතුමාට දැනගන්නට ලැබුණා. මේ නිසා ඒ වන විට ඇය සැඟවී සිටි ඇති ඇතිමලේ ප‍්‍රදේශයට හමුදා කණ්ඩායම් කීපයක්ම යැවීමට රජු කි‍්‍රයා කළා. මෙසේ ගිය හමුදාවන් උදුන්දොරට නුදුරින් අති බිහිසුණු සටනක් කළා.

රැහුණේ විවිධ පැතිවලට මාරුවෙමින් සුගලා රැජන සටන් මෙහෙයවූවා. මේ සටන්වලදී සූකරභාතුදේව සෙනෙවියා මියගියා.

දළදාව පැරකුම්බාට

විශාල ජනසංහාරයකින් පසු පරාක‍්‍රමබාහු රජුගේ හමුදාවන්ට දන්තධාතූන් වහන්සේ සහ පාත‍්‍රධාතුව සුගලා දේවියගෙන් අත්පත්කර ගැනීමට හැකිවුණා. නමුත් සුගලා දේවිය  හමුදාවට හසුනොවී පලා ගියා. සෙනෙවිවරුන් දළදා පාත්‍රා ධාතුන් වහස්සේලා පොළොන්නරුවට යවනවා.  ඒත් මේ ධාතුන්වහන්සේලා පොළොන්නරුවට ගෙන යන මාර්ගය දෙපස සුගලා දේවියගේ සේනාව කඳවුරු බැඳගෙන සැඟවී සිට ප‍්‍රහාර එල්ල කළා. හිත්තාරවතගාම, බීරගාම, තණකලූකය, වන අම්බගල්ලය, කුරුවේපොත යන ප‍්‍රදේශවලදීද දරුණු සටන්වලට මුහුණදීමට පරාක‍්‍රමබාහු රජුගේ සේනාවට සිදුවුණා. නැගෙනහිර ප‍්‍රදේශයේ සුගලා බිසවගේ නිජබිම වූ අටදහස් රටේද දරුණු සටන් ආරම්භ වුණා. එසේම දොළොස්දහස් රටේ ද මහානාගහුල හෙවත් රම්බා විහාරය, ගිංතොට, දෙවුන්දර, දෙනවක, අකුරැස්ස, මාදම්පේ, කහවත්ත ආදී රටේ ප්‍රදේශ රැසකම සුගලාගේ සේනා සමග දීර්ඝ කාලයක් තිස්සේ සටන් පැවතුණා.

සුගලා අසුවෙයි

සටනේදී පරාක්‍රමබාහුගේ රක්ඛ සේනාපතිතා අසනීප වී මියගියත් පරාක්‍රමබාහු තවත් සේනාපතිවරු සටනට එවනවා. කුම්බුගාම නම් ස්ථානයේදී අධිකාරිවරු තිදෙනෙක් සුගලා රැජන ජීවග්‍රහයෙන් අල්ලා ගන්නවා. ඊට පසු සුගලාත් රැගෙන පරාක්‍රමබාහුගේ සේනාව පොළොන්නරුවට පිටත් වෙනවා.

සුගලාගේ මමිය කෝ?

මීවත්පුර රූස්සමලේ කන්ද- කුසුම්සිරි විජයවර්ධන

පසුව ඇය පොළොන්නරුවට රැගෙනගොස් එහි හුදෙකලාව ජීවත් විමට සැලැස්සු පව පේනවා. ඊට පසු ඇය ගැන මහාවංශයේ පවා සඳහන් වන්නේ නැහැ. ඇගේ මරණින් පසු දේහය ගෞරව සහිතව පොළොන්නරුව මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත තිබූ ගල් ගුහාවක තැන්පත් කළ බව ජනප්‍රවාදයේ සඳහන්. මීවත්පුර පිහිටා ඇත්තේ පොළොන්නරුවේ සිට කි. මී. 48ක් දුරින් සිරිපුරට නුදුරුවයි. අදත් ඉතා පිටිසර ප්‍රදේශයක් වන මෙම ගම්මානය මැද කුඩා  රූස්සමලේ නම් කඳුවැටිය පිහිටා තිබෙනවා. එහි ගල්ලෙන් කිහිපයක් තිබෙනවා. ගල්කොරිත් බහුලව පවත්වාගෙන යනවා.

මීවත්පුර ගම්මානය- කුසුම්සිරි විජයවර්ධන

2013 වසරේ ඔක්තෝබර් මාසයේදී පිරිසක් විසින් ගල් කොරියක මුවාවෙන්  මීවත්පුර පිහිටි පර්වතයක් පුපුරවා තිබෙනවා. ගල් පර්වතය පුපුරවා හැරීමේදී විශාල ගල් දෝනාවක් හමුවී ඇති අතර එහි තිබී විශාල ප්‍රමාණයේ ගල් පෙට්ටියක් හමුවී ඇති බව කියැවෙනවා. රාත්‍රි කාලයේදී ගල් කොරිය හිමිකරු ඇතුළු පිරිසක් මෙම ගල් පෙට්ටිය විවෘත කර බැලූ විට එය තුළ කාන්තා සිරුරක් තිබුණාලු. ගල් පෙට්ටිය තුළ තිබූ මෙම සිරුර සුගලා දේවියගේ මමිකරණය කළ සිරුර බව ගැමියන් සලකනවා. පසුව එහි තිබූ ආභරණ හා මුතු මැණික් ලබාගත් පිරිස එම කාන්තා සිරුර මහවැලි ගඟට දැමූ බව පැවසෙනවා. නමුත් පුරාවිද්‍යාඥයින් විසින් මෙම චෝදනා පදනම් විරහිත බවට මත පළ කළා. මේ ගැන පොලිස් පරීක්ෂණ පවා සිදුවුණත් එය තවත් අද්භූත මතයක් පමණක් වුණා. කෙසේවුවත් ගැමියන් පවසන්නේ මෙම අපරාධයට හවුල් වූ සියලු දෙනාම මාස කිහිපයක් ඇතුළත මියගිය බවයි.

සුගලාදේවී විහාරය

නුවරගල සුගලාදේවී රජමහා විහාර බිම- කුසුම්සිරි විජයවර්ධන

සිරිපුරට නුදුරින් පිහිටි නුවරගල ගල්පර්වත සහිත කඳුගැටයක පිහිටි රජමහා විහාරයක් වන මෙහි පැරණි නටබුන් රාශියක් දක්නට ලැබනවා. පර්වතය මත වනයට යටවූ දාගැබ් ගොඩැල්ලක් පිහිටා තිබෙනවා.

සුගලාදේවී විහාරයේ සිරිපතුල් ගලක්- කුසුම්සිරි විජයවර්ධන

ඒ අසල ගල්කණු කොටස්, ශෛලමය මල්ආසන, ගෙවීගිය සෙල්ලිපි ආදිය දක්නට පුලුවන්. ඒ අතර මෑතකදී ඉදිකළ දාගැබක් සහ බුද්ධ ප්‍රතිමාවක්ද පර්වතය මත තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍ර:

මහාවංශය- හේවාවිතාරණ බටුවන්තුඩාවේ සංස්කරණය ද්විතීය භාගය

ලංකා විශ්වවිද්‍යාලීය ලංකා ඉතිහාසය- 1 කාණ්ඩය 2 භාගය

ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය- එච්. ඩබ්. කොඩ්රිංටන් පරි. සෝමපාල ජයවර්ධන

ලෙන්දොර හැරීම- කුසුම්සිරි විජයවර්ධන