Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඡන්ද අයිතිය වෙනුවෙන් සටන් කළ ශ්‍රවණාබාධිත කාන්තාවෝ

අවශ්‍ය සුදුසුකම් සපුරන සියලු දෙනාට, කිසිදු භේදයකින් තොර ව, ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ හෝ පළාත් පාලන මැතිවරණ වැනි ඕනෑම මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමට වර්තමානය වන විට හැකියාව ඇත. වර්තමාන තත්ත්වය එසේ වුවත්, මීට සියවස් කිහිපයකට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සීමිත පිරිසකට පමණක් සීමා වූවක් විය.

එකල කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය නොතිබූ බැවින් එය දිනා ගැනීම උදෙසා බොහෝ රටවල විවිධ සංවිධාන බිහි විය. බොහෝ විට එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් පදනම් කරගෙන බිහි වූ එවැනි සංවිධානවල ඉදිරිපෙළ සාමාජිකාවන් වූ, ශ්‍රවණාබාධිත ක්‍රියාකාරිණියන් කිහිප දෙනෙක් පිළිබඳ ව වර්තමානයේ පවා කතාබහට ලක් වේ.

එවන් කතුන් කිහිප දෙනකු පිළිබඳ මේ ලිපියෙන් විමසා බලමු.

අතීතයේ කාන්තාවන්ට ඡන්ද අයිතිය දිනාගැනීම උදෙසා බොහෝ රටවල විවිධ සංවිධාන බිහි විය – www.britannica.com

ඇනී ජම්ප් කැනන්

1863 දෙසැම්බර් 11 දින එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් හි උපන් ඇනී ජම්ප් කැනන් ළමා වියේ සිට ම ශ්‍රවණාබාධයකින් පෙළුණු අතර, එය ටිකෙන් ටික වර්ධනය විය. කාන්තාවන්ට තිබූ අධ්‍යාපන අවස්ථා සීමා වූ කාලයක, ඩෙලවෙයාර්  හි ජීවත් වූ කාන්තාවන් අතරින් උසස් අධ්‍යාපනය හැදෑරු මුල්කාලීන කිහිප දෙනා අතරට ඇය එක් වූවා ය.

උපාධිය ලබා ගන්නා අවස්ථාව වන විට ඇය සමකාලීන සිසුන් අතරින් දක්ෂත ම ශිෂ්‍යාව ලෙස නම් දරා සිටියා ය. ඇය ගණිතය සහ විද්‍යාව විෂයයන් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දැක්වූවාය. උසස් අධ්‍යාපන කටයුතු අවසන් කළ ඇනී ජම්ප් කැනන් 1896 දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත තාරකා විද්‍යා පර්යේෂණ ආයතනයේ සේවයට එක්  වූවා ය.

ඇනී ජම්ප් කැනන් – www.wikipedia.org

පිරිමි පුද්ගලයන්ට ගෙවූ වැටුපට වඩා හරි අඩකටත් අඩු වැටුපක්

තාරකාවල ඡායාරූප නරඹා ඒවායේ දීප්තිමත් බව, පිහිටීම සහ වර්ණය වැනි දෑ පිළිබඳ ව විශ්ලේෂණය කිරීම ඇයට පැවැරුණු ප්‍රධාන රාජකාරි අතර විය. එම තනතුර දැරූ පිරිමි පුද්ගලයන්ට ගෙවූ වැටුපට වඩා හරි අඩකටත් අඩු වැටුපක් ඇයට එකල ගෙවා ඇත. එවකට පිරිමි සේවකයන්ට පැයකට ඩොලර් එකක් ගෙවූ නමුත් කැනන්ට ගෙවා ඇත්තේ පැයකට ඩොලර් ශත 50ක් පමණි.

අවම වැටුපක් ලබමින් වුවත් ඇය ඉතා හොඳින් සිය රාජකාරිය ඉටු කළා ය. ඇය සිය සේවා කාලය තුළ තාරකා 350,000ක් පමණ වර්ගීකරණය කර ඇත. උෂ්ණත්වය අනුව තාරකා වර්ගීකරණය සඳහා ඇය සකස් කළ විශේෂ ක්‍රමවේදයක් වර්තමානයේ පවා භාවිතයට ගනී. එම ක්‍රමවේදය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සොයා ගැනීමක් ලෙස නම් කර තිබීම පිළිබඳ ව මෑතකාලීන ව බොහෝ විවේචන එල්ල වී ඇත.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පැරැණි ඡායාරූපයක් – www.harvard.edu

ඡන්ද බලය ලබා ගැනීමට ව්‍යවස්ථා සංශෝධනයක්

1916 වන විට කාන්තාවන්ට ඡන්ද බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කරමින් එක්සත් ජනපද ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය ගෙන ඒම පිළිබඳ ව කතාබහක් ඇති විය. එම සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කිරීමේ අරමුණින් කාන්තාවෝ පිරිසක් 1916 දී ජාතික කාන්තා පක්ෂය නමින් බලවේගයක් නිර්මාණය කළහ. කැනන් එම ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකාවක් වූ අතර, “කාන්තාවන්ට අභ්‍යවකාශය හැසිරවිය හැකි නම් ඡන්ද බලය හැසිරවීම පහසුවෙන්ම කළ හැකි ය” යන්න ඇගේ සටන් පාඨය විය.

තාරකා විද්‍යාඥවරියක් ලෙස ඇයට හිමි වූ පිළිගැනීම කාන්තාවන්ට ඡන්ද අයිතිය දිනා ගැනීම සඳහා වන අරගලයේ දී ඇය ඉතා ප්‍රගතිශීලී ලෙස යොදා ගත්තා ය. කැනන්ට 1925 දී එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විශේෂ ගෞරව උපාධියක් ද පිරිනමා තිබේ. ඉන් අනතුරුව එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ඇකඩමියට සම්බන්ධ වීමට උත්සහ කළ ඇයට ශ්‍රවණාබාධිත තත්ත්වය නිසා විවිධ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදු වූවා ය.

කාන්තාවන්ට ඡන්ද බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කරමින් එක්සත් ජනපද ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය ගෙන ආවේය – www.nps.gov

තාරකා විද්‍යා ක්ෂේත්‍රයට වසර 40කට වැඩි කාලයක් තිස්සේ විශාල සේවයක් ඉටු කළ ඇයට නිසි පිළිගැනීමක් ලැබුණේ 1938 දී ය. එම වසරේ දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා අධ්‍යයන අංශයේ, තාරකා විද්‍යාඥවරියන්ගේ ප්‍රධානී තනතුරට පත් වූ ඇය මිය යන තෙක් එම තනතුර දැරුවා ය. රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය 1941 දී මිය ගියා ය. තාරකා විද්‍යා ක්ෂේත්‍රයට අමතර ව කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාගැනීම සඳහා ඇය ඉටු කළ සේවය පිළිබඳ ව වර්තමානයේ දී පවා බොහෝ සෙයින් කතාබහට ලක් වේ.

සිරගත වූ බ්‍රිතාන්‍ය කාන්තාවෝ

1880 දශකය වන විට එක්සත් රාජධානියේ කාන්තාවෝ ද ඡන්ද බලය දිනා ගැනීම සඳහා විශාල අරගලයක් සිදු කළහ. එම අරගලයේ ප්‍රතිපල වශයෙන් කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති හිමිකම ඇතුළු අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඉල්ලා රජයට බලපෑම් කළ සංවිධාන ගණනාවක් බිහි විය. “විප්ලවවාදී කාන්තා සමාජ සහ දේශපාලන සංගමය” සහ “කාන්තා නිදහස් ලීගය” ඒ අතරින් කැපී පෙනෙන ඒවා විය.

හෙලන් කේ. වොට්ස්/ www.wikipedia.org

හෙලන් කේ. වොට්ස්

1881 දී එක්සත් ජනපදයේ උපත ලැබූ හෙලන් කේ. වොට්ස් එම අරගලයේ ඉදිරි පෙළ සාමාජිකාවක් වූවා ය. උපතින් ම ශ්‍රවණාබාධිත කාන්තාවක් වූ ඇය ඇතුළු පිරිසක් 1909 දී කාන්තාවන්ට ඡන්ද බලය ලබා දෙන ලෙස බල කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වූහ. එම වසරේ පැවැති වෙනත් විරෝධතාවක් අතරතුර එරට පොලිස් අත්අඩංගුවට ගැනුණු ඇය සිරභාරයට පත් කෙරිණි. අවසානයේ නිදහස ඉල්ලා පැය 90ක් තිස්සේ නිරාහාර ව සිටි හෙලන් නිදහස් කිරීමට එරට රජයට සිදු විය. 1913 දී ඇය තරමක් ප්‍රචණ්ඩකාරී ව්‍යාපාරයක් වූ විප්ලවවාදී කාන්තා සමාජ සහ දේශපාලන සංගමයේ සාමාජිකත්වය අත්හැර කාන්තා නිදහස් ලීගය සමඟ එක් වූවා ය.

කේට් හාර්වේ

හෙලන් ඇතුළු පිරිස සමඟ එක්ව කාන්තාවන්ට ඡන්ද බලය දිනා ගැනීම උදෙසා අරගල කළ තවත් ශ්‍රවණාබාධිත ක්‍රියාකාරිණිනියකි, කේට් හාර්වේ. දිගින් දිගට ම ඡන්ද බලය ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම්වලට රජයෙන් සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් ඇය ඡන්ද බලය ලැබෙන තෙක් බදු ගෙවීම වර්ජනය කිරීමට තීරණය කළා ය.

ඒ ආකාරයෙන් බදු ගෙවීම වර්ජනය කිරීමට සිය ව්‍යාපාරයේ අනිකුත් සාමාජිකාවන් ද පෙලැඹවීමට කටයුතු කළ ඇය 1913 දී පොලිස් අත්අඩංගුවට ගැනිණි. වසර කිහිපයක් තිස්සේ අත්අඩංගුවේ සිටි ඇය නිදහස් වූ පසු ඡන්ද අයිතිය ඉල්ලා පැවැති අරගලයට නැවතත් එක් වූවා ය.

කේට් ඡන්ද බලය ලැබෙන තෙක් බදු ගෙවීම වර්ජනය කිරීමට තීරණය කළාය – www.thebostonglobe.com

ලෝරා රේඩන් සීරින්(ග්)

1840 දී අමෙරිකා එක්සත් ජනපදයේ උපත ලැබූ ලෝරා කිවිඳියක්, පුවත්පත් කතුවරියක්, සහ ලේඛිකාවක් වූවා ය. සිය නිර්මාණවලට ඉහළ අවධානයක් ලබා ගැනීමේ අරමුණින් ඇය සිය නිර්මාණවලින් බහුතරයක් ව්‍යාජ පිරිමි නාමයක් යටතේ පළ කර ඇත. ළමා වියේ දී ඇති වූ රෝග තත්ත්වයක් හේතුවෙන් බිහිරි බවට පත් වූ ඇය වයස අවුරුදු 15 දී මිසෝරි ප්‍රාන්තයේ බිහිරි පුද්ගලයන් සඳහා වන පාසලකින් අධ්‍යාපනය හැදෑරුවා ය.

අධ්‍යාපන කටයුතු අවසන් කළ ඇය 1860 දී “St. Louis Republican” නම් පුවත්පතට ලිපි ලිවිම ආරම්භ කළේ එවකට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඉතා සීමිත ශ්‍රවණාබාධිත පිරිස අතරට එක් වෙමිනි. ඇගේ ලේඛන හැකියාව පිළිබඳ ව පැහැදුණු එම පුවත්පතේ කතුවරයා 1861 දී වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඇයට වොෂින්ටන් වෙත යාමට අවස්ථාව සලසා දුන්නේ ය. වොෂින්ටන් හි ජීවත් වූ කාලය තුළ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සහ පසුකාලීන ව ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කළ ජෝන් බූත් වැනි සුවිශේෂී පුද්ගලයන් ගණනාවක් සමඟ ඇය සාකච්ඡා කර පුවත්පත් ලිපි සකස් කළා ය.

ඡන්ද අයිතිය ඉල්ලා පැවති පාගමනක් – www.history.com

කවිය අවියක් කරගත් ලෝරා

එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වූ සිවිල් යුද්ධය අවසන් වූ වහා යුරෝපයට සංක්‍රමණය වූ ලෝරා ප්‍රංශ, ජර්මන්, ස්පාඤ්ඤ සහ ඉතාලි යන භාෂා ද උගත්තා ය. යුරෝපයේ ජීවත් වූ කාලයේ St. Louis Republican සහ New York Times පුවත්පත්වලට අඛණ්ඩ ව ප්‍රවෘත්ති වාර්තා කළ ඇය එක්සත් ජනපදයට 1870 දී නැවැත පැමිණියා ය.

එවකට කාන්තාවන්ට අදාළ උග්‍ර සමාජ ගැටලු බවට පත් ව තිබූ අඩු වැටුප්, ලිංගික සූරාකෑම, සහ වහල් සේවය වැනි කරුණු පිළිබඳ ව ඇය සිය පුවත්පත් ලිපිවලින් විශාල කතිකාවතක් ඇති කළා ය. 1872 දී කාන්තාවන්ට ඡන්ද බලය ලබා ගැනීම සහ වහල් සේවකයන් නිදහස් කිරීම පිළිබඳ ව ක්‍රියාත්මක වූ අරගලයේ ඉදිරි පෙළ සාමාජිකාවක් වූ ඇය ඒ පිළිබඳ ව කාව්‍ය නිර්මාණ ගණනාවක් ද රචනා කර ඇත.

විරෝධතාවයක් අතරතුර කාන්තාවක් අත්අඩංගුවට ගන්නා අයුරු – www.theguardian.com

කවරයේ ඡායාරූපය - ඡන්ද අයිතිය ඉල්ලා විරෝධතාවක නිරත වන කාන්තාවන් පිරිසක්/ www.history.com

මූලාශ්‍ර - www.history.com
www.britannica.com
www.votingcounts.com

මූලාශ්‍ර -

Related Articles