Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දැවුණු දුක් ගිනි තුළින් යළි උපන් ෆීනික්ස් කිරිල්ලිය – ගීතා තන්ඩන්

“..මගේ සැමියාගේ පවුලේ අයට මා අභියෝග කළා ගැහැණියක් යනු කවුදැයි මා ඔප්පු කර පෙන්වන බවට.. කියූ පරිදිම මා එය ඉටු කළා..”

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු විශේෂයෙන්ම ආසියාතික කාන්තාවන් නිරන්තරයෙන්ම මුහුණ දෙන අභියෝගයකි. සිය සැමියා විසින්ම බිරිඳව අපයෝජනයට ලක් වන අවස්ථාවන්හිදී බිරිඳක් කෙතරම් අසරණ වන්නේදැයි සිතාගන්නටවත් ඇතැම් විට අපට නොහැකි වන්නට පුළුවන. තමා ආර්ථික වශයෙන් ස්වාධීන නැතිනම් හෝ තමාට යාමට තමාගේම තැනක් නොමැති නම් තත්වය ඉතා බරපතල විය හැකිය. ගීතා තන්ඩන් යනු එවැනි අභියෝගයන් රැසකට මුහුණ දුන් කාන්තාවකි. ඇගේ ජීවිත කථාව අසන විට මුලදී වේදනාවක්, භීතියක් හා අපහසුතාවක් දැනුණද, කථාවේ අවසාන භාගය වන විට සතුටු කඳුළු හෙළිය හැකිය.

මේ වන විට ගීතා යනු බොලිවුඩ් සිනමාවේ අංක එකේ ත්‍රාසජනක ජවනිකා නිළියක් හෙවත් Stuntwoman කෙනෙක් ලෙස විශාල කීර්ති නාමයක් දරා සිටින්නියකි. තවමත් 31 හැවිරිදි වියෙහි පසුවන මෙම නිර්භීත තරුණිය මෙතෙක් පැමිණි ගමන ඉතා කටුක ය.

යතුරු පැදිය මත දස්කම් දක්වන ගීතා (www.huffingtonpost.in)

ගීතාගේ යටගියාව අළලා නිර්මිත  “Geetha: The Film” නැමති වාර්තාමය චිත්‍රපටය ටික කලකට පෙර එළි දැක්වුණි. එහි අඩංගු සෑම විස්තරයක්ම ගීතා විසින් ස්වකැමැත්තෙන් ප්‍රකාශ කරන ලද ඒවා වේ. ගීතාගේ ඒකායන බලාපොරොත්තුව එම චිත්‍රපටය නැරඹීමෙන් පසුව ලොව වටා වෙසෙන මිලියන ගණනක් කාන්තාවන් හා ගැහැණු ළමුන් ධෛර්යමත් වනු ඇති බවයි. තමා වෙනුවෙන් හඬක් නැගීමට හැකියාවක් නොලැබුණු සියළු යුවතියන්ට මේ හරහා ඒ සඳහා අවශ්‍ය පන්නරය ලැබේ යැයි ඇය බලාපොරොත්තු වන්නීය. මෙය නරඹන සියළු දෙනා ඉන් කෝපයටත්, ධෛර්යයටත් පත් විය යුතුයි” ඇය නොබියව කියා සිටින්නීය.

ළමා කාලය

ගීතා තන්ඩන් උපන්නේ මුම්බායි නගරරේදී ය. ඇගේ දෙමාපියන් පන්ජාබ් ජාතිකයින් වූ අතර ඇයට තවත් සහෝදරියන් තිදෙනෙක් ද විය. ගීතාට යන්තම් වයස අවුරුදු නවයක් සපිරෙද්දී ඇගේ මව මියගිය අතර, එතැන් පටන් ගීතා පවුලට “බරක්” ලෙස ඇගේ පියාට දැනෙන්නට විය. ගීතා පහළොස් හැවිරිදි වියට පත් වූ පසුව එක් දිනක් ඇය වෙත මංගල යෝජනාවක් ගෙන එන ලදී. යෝජනාවට සියල්ලෝ එකඟ වී දින දෙකක් ඇතුළත විවාහය සිදු කෙරිණ. විවාහ ජීවිතයක් තුළ සිදුවන්නේ කුමක්දැයි යන්නවත් ඇය ඒ වන විට දැන නොසිටි බව පවසන ගීතා, එනමුත් තමා “බිරිඳක්’ වීමට මග බලා සිටි බවද ප්‍රකාශ කරන්නීය.

විවාහ වී ගත වුණු මුල් දින කිහිපය ඉතා සුන්දර වුවද, සතියක් ඉක්ම යන්නටත් පෙර ගීතාට සිය සැමියාගේ සැබෑ ස්වරූපය අවබෝධ වන්නට විය. ඔහු විකෘති මනසක් ඇති බේබද්දෙකි. ගීතාගේ නැන්දම්මාද සිය පුත්‍රයා සෑම විටම නිවැරදිය යන මතයම දරන්නියක් විය. ඇගේ ජීවිතය අපායක් බවට පත් වූයේ එතැන් සිටය. ගීතා නිරන්තරයෙන්ම සිය සැමියාගේ අපචාරයන්ට ගොදුරු වූවාය; සැමියා අතින්ම දූෂණය වන්නට වූවාය. ඔහුගේ අතට හසුවන ඕනෑම දෙයක් ගීතා වෙත දමා ගසන්නට ඔහු පෙළඹුණි. එක් දිනක් ඇය සිය සැමියාගේ ක්‍රියා කලාපයන් පිළිබඳව සිය නැන්දම්මාට පැවසුවාය. එහි ප්‍රතිඵලය වූයේ ගීතාව නිරුවත් කොට ඇයව දූෂණය කරන ලෙස අැය විසින්ම ඇගේ පුත්‍රයාට පැවසීමයි.

සිය කථාව මැද හැඟුම්බර වෙමින් (www.beingindian.com)

ඛේදනීය පස් වසක්

ගීතාට විසි හැවිරිදි වියට පා තබද්දී ඇය සිතාගත නොහැකි තරම් ශාරීරිකව දුර්වල වී සිටියාය. නමුත් ඇගේ මානසික ඒකාග්‍රතාවය පවත්වාගන්නට ඇය හැකි සෑම විටම උත්සුක වූවාය. ඒ වනවිට ඈ දෙදරු මවකි. ගැබිණි සමයේදීද ඇගේ සැමියා ඇයට ගෑස් සිලින්ඩර් වලින් පවා පහර දී ඇති අතර එක් දිනක් කඩුවකින් ඇගේ සිරුර තුවාල කරන්නටද තැත් තිබේ. ඈ සිතා සිටියේ දරුවන් ලද පසුව හෝ තම සැමියා වෙනස් වනු ඇතැයි කියාය, නමුත් දිනෙන් දින ඔහුගේ හැසිරීම් ම්ලේච්ඡ වන්නට විය. “ඔහු මගේ හිස බිත්තිවල හප්පන්න ඉතා කැමතියි, එක වරකට පස් හය වතාවක් ඔහු මගේ හිස බිත්තිවල හප්පන්නට පුරුදු ව සිටියා” චිත්‍රපටය තුළ පෙනී සිටින ගීතා එලෙස තම අතීතය මෙනෙහි කරන්නී ය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ඇය පොලීසියේ පිහිට පතා ගිය එකම අවස්ථාවේදීද ඇයට ලැබුණු එකම පිළිතුර වූයේ මෙවැනි දෙයකි: “මහත්තයගෙන් ද ගුටි කෑවේ? එහෙනං අම්මගේ ගෙදර ගිහින් ටික දවසක් ඉඳලා එන්න, එතකොට ඔය ප්‍රශ්න ඉවර වෙලා තියෙයි.” නීතිය පවා පුරුෂාධිපත්‍යයට යටත් බව වැටහුණු විට ගීතා නැවතත් සැමියා වෙත ආවේ බිඳුණු හදවතිණි.

මා ඉන් මිදුණෙමි

සැමියාගේ වධ හිංසා තවත් දරාගත නොහැකි තැන ගීතා නිවසින් පිටව යන්නට තීරණය කළාය. කිසිවෙකුගේ හව් හරණ නොමැතිව ඇයට ජීවත් විය නොහැකි බව දත් ඇගේ සැමියා හා ඔහුගේ මව ඇයට අභියෝග කළේ තනිව ජීවත්වී පෙන්වන ලෙසයි. එම අභියෝගයට බිය වුවත්, ඒ බව නොපෙන්වා ඇය සිය ජීවිතය අළුතින් පටන් ගන්නට ඉටා ගත්තා ය. මුම්බායි නගරයේ කුඩා කාමරයක සිය දරුවන් දෙදෙන සමග ජීවත් වන්නට පටන් ගත් ඈ කුඩා රැකියාවන් කිහිපයකම නිරත වූවාය. රැකියාවක් ඉල්ලාගැනීමට තරම්වත් ඈ සතුව දැනුමක් නොවුණි. “මට කුමක් හෝ රැකියාවක් දෙන්න, මා එය කරන්නම්” ඇය තමාට හමුවන සියල්ලන්ටම කීවාය. විටෙක ඇගේ අසල්වැසි තරුණියක් ඇයව ගණිකා නිවාසයක් වෙත රැගෙන යන්නට තැත් කළ විට ඇය තරයේ කියා සිටියේ තමා හා දරුවන් මිය ගියත් තවත් පිරිමියකු ළඟ වහලියක් වන්නට ඇය සූදානම් නැති බවයි.

සිය දරුවන් සමගින් (www.huffingtonpost.in)

අලුත් ජීවිතයක්

ඉනික්බිති එක් දිනෙක ඇගේ මිතුරියකගෙන් ඇයට අපූරු යෝජනාවක් ලැබිණි. ඒ බොලිවුඩ් චිත්‍රපටවල ත්‍රාසජනක ජවනිකා රඟපාන stunt නිළියක් වීමටයි. කිසිදා කිසිදු අභියෝගයකට මුහුණ දෙන්නට බිය නොවන ගීතා ඊට එක පයින්ම කැමති වූවාය. පළමු රූගත කිරීම කළ දිනයේදීම ඇය අනතුරකට මුහුණ පෑවාය. මුහුණෙහි පිළිස්සුම් තුවාල සහිතව ගීතා රෝහල්ගත කරන ලදී. නමුත් ඉන් නොසැලුණු ඇය දිගින් දිගටම ත්‍රාසජනක ජවනිකාවන් රඟදැක්වූවාය; යතුරු පැදි ධාවනයට මෙන්ම උස් ස්ථානයන්ගෙන් බිමට පනින්නටද හුරු වූවාය. ඈ සිතුවාටත් වඩා ඉහළ මාසික ආදායමක් ඉන් ලැබුණු අතර, එම මුදල්වලින් තමාගේත් දරුවන්ගේත් ජීවිත නැවත ගොඩනගන්නට ගීතා සමත් වූවාය.

ඇය අපට කියන කථාව

මේ වන විට 31 හැවිරිදි වියෙහි පසුවන ගීතා මුම්බායි නගරයේ මලාද් හි මහල් නිවසක හිමිකාරිනියකි. ඇය තමා ලබන ආදායමෙන් සිය 16 හැවිරිදි දියණිය සහ 14 හැවිරිදි පුත්‍රයාට යහපත් අධ්‍යාපනයක්  ලබා දෙන්නීය. Geetha චිත්‍රපටය සිය තුළ අදහස් දක්වමින් ඇගේ දරුවන් දෙදෙනා කියා සිටින්නේ තම මවගේ නිර්භීත රැකියාව පිළිබඳ ඔවුන් ආඩම්බර වන බවයි.

මෑතකදී ගීතා පෙනී සිටි ඡායාරූප එකතුවකින් උපුටා ගන්නා ලදි (www.news18.com)

ෆීනික්ස් යනු ගින්නෙන් දැවී විනාශ වී නැවත ගින්නෙන්ම උපදින බව කියැවෙන පක්ෂියෙකි. ගීතා ද එපරිදිම දුක් ගිනිවලින් දැවී ඒ තුලින්ම උපදවාගත් ධෛර්යයකින් සිය ජීවිතය නැවත ගොඩනගාගත් කාන්තාවකි. ඇගේ නිර්භීත භාවය මේ වන විට මුළු මහත් ලෝකයාගේම ගෞරවයට පාත්‍ර වී ඇත. ගීතා මේ වන විට දීපිකා පදුකෝන්, කැත්‍රිනා කයිෆ්, බිපාෂා බාසු, පරිනීති චොප්‍රා, ආලියා භාත් හා කරීනා කපූර් ආදී නිළියන් රැසක් වෙනුවෙන් ත්‍රාසජනක ජවනිකා සඳහා පෙනී සිට ඇත. ඇගේ අනාගත බලාපොරොත්තුව බොලිවුඩයේ පළමු කාන්තා සටන් අධ්‍යක්ෂකවරිය වීමයි. චිත්‍රපටය අවසානයේ ගීතා ප්‍රේක්ෂකයන්ට ලබාදෙන ඔවදනයි මේ;

“ජීවිතය ඉතා සුන්දරයි, නමුත් එය ඉතා කෙටියි..ඔබට ජීවිතයේදී විවිධ අභියෝග හමුවේවි, කළ යුත්තේ ඒවාට මුහුණ දීමයි. කිසි විටෙකත් ජීවිතයෙන් සමුගන්න සිතන්න එපා. ජීවිතය යනු දෙවියන් තමාට මගක් පාදාදෙනු ඇතැයි යන විශ්වාසය සහිතව ඉදිරියට යාමක්. ජීවිතයේ හරය වන්නේ සියළු බාධාවන්ට නොබියව මුහුණ දීමයි.”

කවරයේ ඡායාරූපය: www.thebetterindia.com

Related Articles