Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිළිඳු ව දිවිය නිම කළ ඔස්ට්‍රේලියාවේ ධනවත් දරුණු කත: ටිලී ඩිවයින්

එංගලන්තයේ උපන් ටිලී ඩිවයින්, සිය දිවියේ මුල් කාලයේ දී කටයුතු කළේ අභිසාරිකාවක් ලෙස යි. අනතුරු ව ඇය ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අතර, ලිංගික සේවා සපයන නිවාස රාශියක් එහි පවත්වා ගෙන යමින් සිඩ්නි නුවර එදා මෙදා තුර දුටු ඉතාමත් දරුණු දාමරික කත බවට පසුව පත් වුණා.

20 වන සියවස මුල් භාගයේ දී ඇය සිඩ්නි නුවර විසූ බලවත් ම කාන්තාවක් වූ අතර, ඇගේ කුප්‍රකට ප්‍රසිද්ධිය එහි සිටි දේශපාලනඥයකුට හෝ නිරූපිකාවකටවත් තිබුණේ නැහැ. ගණිකා නිවාස පවත්වා ගෙන යාමට අමතර ව ඇය හොඳින් සැලසුම් කළ අපරාධ රාශියකටත් නායකත්වය සැපයූ බවයි වාර්තා වන්නේ.

ටිලී ඩිවයින් – Wikimedia Commons

කුප්‍රකට යුවළක්

ඩිවයින් සිය යොවුන් දිවිය ආරම්භ කළේ ලන්ඩනයේ මුඩුක්කුවල අභිසාරිකාවක් ලෙස කටයුතු කරමිනු යි. ඉන් පසු 1920 වසරේ දී ඇය සිය සැමියා වූ ‘බිග් ජිම්’ ඩිවයින් සමඟ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ වඩා හොඳ දිවියක් බලාපොරොත්තුවෙන්. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පැමිණි ඔවුන්ට, වඩාත් සදාචාරාත්මක දිවියක් ගෙවීමෙන් ඉක්මන් මුදල් උපයා ගත නොහැකි බැව් වැටහුණා. ඔස්ට්‍රේලියානු නීතියේ වූ කපොළු කිහිපයක් හඳුනා ගත් ඔවුන්, ඉක්මනින්ම ‘නීත්‍යානුකූල’ ලිංගික සේවා සපයන නිවාසයක් ආරම්භ කළා. එය සාර්ථක වූ පසුව තවත් එවැනි නිවාස දාමයක් විවෘත කරන්නට ඔවුන් සමත් වුණා.

ටිලී ඩිවයින් ගණිකා නිවාස පාලනය කරන විට, ඇගේ සැමියා ඇයට දායක වූයේ අබිං සහ කොකේන් වැනි මත්ද්‍රව‍ය විකුණමින්. වැඩි කල් නොගොස් ම ‘ටිලී ඩිවයින්’ යන නාමය සිඩ්නි පාතාලයේ ඉතා ඉහළින් කියැවෙන නමක් වුණා. ඇගේ නීති විරෝධී දරුණු කටයුතුත්, ඇය වැනි ම පාතාල නායිකාවක වන කේට් ලේ සමඟ නිතර ඇති කර ගත් ආරවුලුත් නිසා, ඇය ඉතා දරුණු කාන්තාවක් ලෙසින් හැඳින්වුණා. 

ඩිවයින් ඇගේ දිවිය තුළ 200 වාරයකට වඩා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ නමුත් ඇගේ දිවියේ අවසන් කාලය පෙරට සාපේක්ෂ ව නිහඬ එකක් වුණා. ඇයට අවසන එක දේපළක් හැර තමන් සතු දේපළ සියල්ල විකුණන්නට සිදු වූ අතර, 1970 දී මිය යන විට, දරිද්‍රතාවෙන් මිරිකී ගොස් තිබුණා.

බිග් ජිම් සහ ටිලී ඩිවයින්- Australian War Memorial

ටිලී ඩිවයින්ගේ දිවියේ මුල් අවධිය සහ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම

ටිලී ඩිවයින් උපත ලැබුවේ 1900 වසරේ සැප්තැම්බර් මස 8 වන දින, දකුණු ලන්ඩනයේ දී යි. ඇගේ උපන් නම වූයේ ‘මැටිල්ඩා මේරි ට්විස්ට්’ යන්න යි. ඇගේ පවුල ඉතා දුප්පත් පවුලක් වූ අතර, වයස 12 දී සිය අධ්‍යාපනය හමාර කරන ඇය, ප්‍රදේශයේ තිබූ කර්මාන්තශාලවක සේවය කිරීමට ගොස් තිබුණා.ඒ තමාත්, තම පවුලත් මුහුණ දී සිටි අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමේ අටියෙන්. ඒ අතරතුර කල් නොයවා ම ඇයට ලිංගික ශ්‍රමික වෘත්තිය කිසිවෙක් හඳුන්වා දුන් අතර, එය ඉක්මනින් මුදල් සෙවීමට කදිම වෘත්තියක් බැව් වටහා ගත් ටිලී ඊට යොමු වුණා. ඒ සඳහා ඇය භාවිත කළ නාමය වූයේ ‘ටිලී ඩිවයින්’ යන්න යි.

ඩිවයින්ට සිය සැමියා වන ‘බිග් ජිම්’ ඩිවයින් හමු වූයේ ඇය 16 වියැති ව සිටිය දී යි. ඔහු ඔස්ට්‍රේලියානු රාජකීය හමුදාවට අනුයුක්ත ව සේවය කළ අයෙක් වූ අතර, පළමු ලෝක යුද සමයේදී ස්ථානගත වී සිටියේ ලන්ඩනයේ යි. ඔවුන් දෙදෙනා ටිලීට 17 වන විය සම්පූර්ණ වීමටත් පෙර විවාහ ගිවිස ගත් අතර, ඉක්මනින් ම ඔවුන්ට පුතෙක් ලැබුණා.

විවාහ ජීවිතයේ හැලහැප්පීම් රාශියක්

මොවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය හැලහැප්පීම් රාශියකින් යුක්ත වුණා. දෙදෙනා ම එකිනෙකාට වාචික ව මෙන් ම කායිකව ද පීඩා සිදු කර ගත් අතර, ඊට හේතු වූයේ ප්‍රධාන වශයෙන් ම දෙදෙනා ම මත් පැන්වලට දැඩි ලෙස ඇබ්බැහි ව තිබීම යි. විවාහයෙන් පසුව ද ඇය ලිංගික ශ්‍රමික වෘත්තියේ යෙදුණු අතර, ඇගේ සැමියා ඊට අවශ්‍ය සහාය ද ලබා දුන්නා.

පළමු ලෝක යුද්ධය අවසන් වූ පසු බිග් ජිම් නැවත ඕස්ට්‍රේලියාවට යැවුණු අතර, ඩිවයින් සිය දරුවා සිය මාපියන් වෙත පවරා, බිග් ජිම් සමඟ ඔස්ට්‍රේලියාව බලා නැව් නැග්ගා. ඔවුන් ඔස්ට්‍රේලියාවට ගොඩබැස්සේ 1920 වසරේ ජනවාරි 13 වන දින යි.

ටිලී ඩිවයින් සහ කේට් ලේ (වමේ) – Fairfax Media via Getty Images

ටිලී ඩිවයින් සිඩ්නි හි ‘නරක ම කත’ වූ අයුරු

ඔස්ට්‍රේලියාවට පැමිණි පසු, ටිලී ඩිවයින් නැවතත් ලිංගික ශ්‍රමික වෘත්තියට යොමු වුණා. ඇය එක් ගනුදෙනුකරුවෙක් ගෙන්, එක් හමුවකට සිලිං 10ක් වැනි, එවක වටිනාකම අනුව ඉහළ මුදලක් අය කළා. ඇගේ සැමියා කටයුතු කළේ ඇගේ මඟ පෙන්වන්නා, ආවතේවකරු, භාරකරු හා ආරක්ෂකයා ලෙස යි. මීට අමතර ව ඔහු අමතර මුදලක් ලබා ගැනීමේ අටියෙන් අබිං සහ කොකේන් වෙළෙඳාම ද සිදු කළා. 

1921 සිට 25 අතර කාලය තුළ ඩිවයින් බොහෝ විට ඇය පොලිස් අත් අඩංගුවට ගැනුණා. ඇයට එම කාලයේ දී අවම වශයෙන් 79 වතාවක් පොලිස් දැල එළුණේ ගණිකා වෘත්තිය, අසභ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය වැනි වැරදිවලට යි. ඇය තමන්ට හමු වූ නරක ම, පහත් ම අභිසරු ලියක් සහ නරක ම අපරාධකරුවන් ආශ්‍රය කරන්නියක් බැව් පොලිසියේ බොහෝ දෙනා පවසන්නට වුණා. 

සිඩ්නි පාතාල චරිතයක් වන කේට් ලී නත්තල් සීයා සමඟ – Fairfax Media via Getty Images

ටිලී ඩිවයින් සහ සැමියා තමන් සිරගත වීම වැලැක්වෙන පරිද්දෙන් ඉක්මනින් ම ආදායම් ඉපයිය හැකි ක්‍රම ගැන සොයා බලන්නට වුණා. එවකට වූ ඔස්ට්‍රේලියානු නීතිය අනුව පුරුෂයෙක් ගණිකා නිවාසයක් පැවැත්වීමේ හා ගණිකාවක් මඟින් ලිංගික සේවා සපයා මුදල් ලබා ගැනීම නීති විරෝධී වූ නමුත්, එහි නීති පොත්වල කාන්තාවක් එවැන්නක් සිදුකිරීම නීති විරෝධී බැව් සඳහන් ව නොතිබෙන බැව් ඔවුන් සොයා ගත්තේ මේ අතර යි. නීතියෙහි වූ මෙම සිදුර මොනවට යොදා ගනිමින් ටිලී ඩිවයින් ගණිකා නිවාසයක් ආරම්භ කළා.

‘ක්වීන් ඔෆ් වුලුමුලු’ හෙවත් වුලුමුලු හි රැජන’

1920 දශකයේ අග භාගය වන විට ටිලී ඩිවයින් සිඩ්නි හි ගණිකා නිවාස කිහිපයක ම හිමිකාරිය වුණා. ඇය අපරාධකරුවන්, පාතාල සාමාජිකයන් වැනි අය ඒවායේ ආරක්ෂකයන් ලෙස බඳවා ගත්තා. මේවා මඟින් ඇය විශාල වශයෙන් මුදල් ඉපැයූ අතර, ඉක්මනින් ම ඇයට ‘ක්වීන් ඔෆ් වුලුමුලු’ හෙවත් වුලුමුලු හි රැජන’ යන අන්වර්ථ නාමය පට බැඳුණා. ඇය සිය ආධිපත්‍යය ප්‍රධාන වශයෙන් පතුරුවා ගෙන සිටියේ සිඩ්නි හි ‘වුලුමුලු’ නම් පෙදෙසේ යි. 

මෙම සාර්ථකභාවය නිසා ඩිවයින්ට ප්‍රබල සතුරන් කිහිප දෙනකුත් ඇති වුණා. ඉන් ඉහළම තැනක වූයේ ‘කේට් ලේ’ නමැති කාන්තා වයි.

කේට් ලේ සහ ටිලී ඩිවයින් අතර වූ විරසකය

‘ක්වීන් ඔෆ් සරී හිල්ස්’ යනුවෙන් හැඳින්වූ කේට් ලේ නම් කාන්තාව ටිලී ඩිවයින් සාර්ථක වන විට, ඔස්ට්‍රේලියාවේ මුල් බැස ගෙන සිටි අයෙක් වුණා. ඒ මත්පැන් අලෙවියෙනු යි. 

ඔස්ට්‍රේලියානු නීතියට අනුව පස්වරු 6 න් පසු මත්පැන් අලෙවිය තහනම් වූ අතර, ලේ රාත්‍රී කාලයේ දී ඒවා අලෙවි කිරීම සඳහා නීතිවිරෝධී තිප්පොළවල් තනා තිබුණා. ඇය සිය ආදායම්වලින් බහුතරය ලබා ගත්තේ මේ මඟින්. මීට අමතර ව ගණිකා ව්‍යාපාරය, තහනම් මත්ද්‍රව්‍ය වෙළෙඳාම මඟින් ද ඇය ආදායම් ඉපැයූවා. කෙසේ නමුත් ඇය සම්පූර්ණයෙන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකුණු අයෙක් වුණා. 

ඩිවයින්ගේ නැඟී සිටීම ලේට අභියෝගයක් වුණා. මේ නිසා දෙදෙනා අතර මහත් විරසකයක් ඇති වූ අතර, කිහිපවිටක් ම ඔවුන් සිඩ්නි නුවර වීදිවල හමු වී පොර බදා තිබුණා. දෙදෙනා  ම සතුව සිටි ‘දැලි පිහි කල්ලි’ හෙවත් දැලි පිහි යොදා ගෙන අඩන්තේට්ටම් සිදුකරන කල්ලි අතර වූ ගැටුම් ද නිතර නිතර සිඩ්නි හි සිදුවුණා. 

කේට් ලේ- Wikimedia Commons

1929 දී ටිලී ඩිවයින්, ලේ ගේ සමීපතමයෙක් වන වේරා ලුවිස්ට අඩන්තේට්ටම් කර තිබුණා. එම වසරේ දී ම ලේ ගේ කල්ලියක් ඩිවයින්ගේ මිනිසුන් දෙදෙනකුට පහර දී තිබුණා. ඔවුන් දෙදෙනා ඩිවයින්ගේ නිවසට පැමිණ සැඟවුණු අතර, ඔවුන් හඹා ආ ලේ ගේ කල්ලියට වෙඩි තබන්නට බිග් ජිම් තීරණය කළා. ඉන් ජෝර්ජ් ගැෆනි නම් ලේගේ සමීපතමයකුට බරපතල තුවාල සිදුවුණා. වෙඩි වැදීමෙන් කෙටි වේලාවකින් ඔහු මිය ගියා. මෙය ආත්මාරක්ෂාවට සිදු කළ වෙඩි තැබීමක් බැව් අධිකරණයට ඒත්තු ගන්වා නිදහස් වන්නට බිග් ජිම්ට හැකි වූවත්, එම සිදුවීමෙන් පසු, ලේ හා ඩිවයින් අතර තිබූ ආරෝව තවත් වැඩි වුණා.

ලේ ගේ හා ඩිවයින්ගේ කල්ලි අතර නිතර ඇති වූ ගැටුම්

1936 වසර වන විට ලේ ගේ හා ඩිවයින්ගේ කල්ලි අතර නිතර ඇති වූ ගැටුම් සිඩ්නි පොලිසියටත් විශාල ගැටලුවක් වී තිබුණා. මේ අනුව සිඩ්නි හි පොලිස් කොමසාරිස් ලේ හා ඩිවයින් දෙදෙනා සමඟ ම එකඟතාවකට එළැඹුණා. ඒ දෙපිරිස වීදිවල ගැටුම් සිදු කර ගැනීම නවත්වන්නේ නම්, තමන් ඔවුන්ගේ ව්‍යාපාර වැටලීම සිදු නොකරන බවට යි. 

මින් අනතුරුව කිසිදු ගැටලුවකින් තොර ව ඩිවයින් සිය ව්‍යාපාර කරගෙන ගිය අතර, පසුකාලීන ව විවිධ හේතු රාශියක් නිසා, ඇගේ කඩාවැටීම ආරම්භ වුණා. 

1943 වසරේදී ටිලී ඩිවයින් බිග් ජිම් හා දික්කසාද වූයේ ඔහුගෙන් සිදු වන අඩන්තේට්ටම් හුවා දක්වමිනු යි. ඔවුන්ගේ 27 වසරක විවාහ ජීවිතය ගැටුම්වලින් පිරී ගොස් තිබුණු අතර, 1930 වසරේ දී ඔහු ඇය ඝාතනය කරන්නට පවා උත්සාහ ගෙන තිබුණේ, ඔහුගේ අනියම් සම්බන්ධතාවක් ඩිවයින්ගේ අතට ම හසුවීමෙන් පසු ඇති වූ ගැටුමක් දුරදිග යාමෙනු යි. 

සිඩ්නි හි කුප්‍රකට ටිලී ඩිවින් 1920 සහ 30 ගණන්වලදී ඩාර්ලින්ර්ස්ට් හි පාමර් වීදියේ සිට විහිදෙන ප්‍රදේශයක සිය ව්‍යාපාරය මෙහෙය වූවාය – Fairfax Media via Getty Images

වුලුමුලු හි රැජන ගේ කඩාවැටීම

දික්කසාදයෙන් අනතුරු ව ඩිවයින් එරික් පාසන්ස් නම් අයකු හා සම්බන්ධ වූ අතර, ඔහු ද බිග් ජිම් මෙන් ම ඩිවයින්ට අඩන්තේට්ටම් කිරීමට පටන් ගත්තා. කොටින් ම ඔවුන්ගේ විවාහ මංගල්‍යයට ආසන්න දිනයක ඇය ඔහුට වෙඩි තබා තිබූ අතර, ඔහුට සුළු තුවාල සිදුවුණා. කෙසේ නමුත් ඔහු ඇයට එරෙහි ව නීතිය ඉදිරියට ගියේ නැහැ. ඔවුන් දෙදෙනා 1945 වසරේ දී විවාහ වූ අතර, ඉන් වසර 13 කට පසු සිදු වූ පාසන්ස් ගේ මරණය වන තුරු ඔවුන් දෙදෙනා එකට විසුවා. 

1955 වසරේදී ඩිවයින්ට එරෙහි ව චෝදනා ගොනු වූයේ ඇය රජයට ගෙවිය යුතු බදු නොගෙවා සිටීම නිසා යි. එය ඩොලර් 20,000 ක මුදලක් වූ අතර, එය ගෙවීම සඳහා ඇයට සිය දේපලවලින් එකක් හැර අන් සියල්ල විකුණා දමන්නට වුණා. වසර කීපයක දී ඇය සිඩ්නි හි ධනවත් ම කාන්තාවකගේ සිට බංකොලොත් වූ කාන්තාවක් බවට පත්වුණා. 1968 වසරේදී ඇය සතු වූ අවසන් ගණිකා නිවාසයත් වසා දමන්නට වූයේ විරුද්ධ පාර්ශව එයට බෝම්බ ගසා ගිනි තැබීම නිසා යි. සිය දිවියේ අවසන් සමයේ දී ඇය සිය දීර්ඝකාලීන එදිරිවාදිණිය වූ කේට් ලේ සමඟ සුහද වී සමීප සම්බන්ධතා පැවැත්වූවා. 

සිඩ්නි හිටපු ප්‍රතිවාදීන් වන ටිලී ඩිවයින් සහ කේට් ලේ (වමේ) පසුකලීනව මිතුරියෝ වූහ – 1948 අගෝස්තු – Fairfax Media via Getty Images

සිය දිවියේ අවසන් සමයේ පිළිකාවකින් හා බ්‍රොන්කයිටීස් තත්වයෙන් පීඩා විඳි ඩිවයින් 1970 වසරේ නොවැම්බර් මස 24 වන දින මිය ගියා. ඇගේ අවමඟුලට සහභාගී වූයේ කිහිප දෙනෙක් පමණ යි. රටක් මුසපත් කළ කාන්තාවකගේ අවසානය එලෙස සනිටුහන් වුණා.

කවරයේ ඡායාරූපය - ටිලී ඩිවයින් - Youtube.com
මූලාශ්‍ර:
Records.nsw.gov.au
Allthatsinteresting.com
grunge.com

Related Articles