Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චාල්ස් – ඩයනා විවාහය දෙකඩ කළ ඩයනාගේ බීබීසී සම්මුඛ සාකච්ඡාව

ලොව පුරා වෙසෙන සුවහසක් ජනතාව ආදරයෙන් වැලඳගත් කාන්තාවක් තමයි ඩයනා කුමරිය. මීට අවුරුදු 27 කට කලින්, 1995 වසරේ නොවැම්බර් මස 20 දින ඇය බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (BBC) හා සම්මුඛ සාකච්ඡාවකට එක්වූවා. කෙන්සිංටන් මාලිගයේ ඩයනා කුමරිය වාසය කළ කාමරයක සිදු කළ සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූයේ මාධ්‍යවේදී මාටින් බෂීර්.

රජකුමරිය සහභාගී වූ මෙම  සම්මුඛ සාකච්ඡාව ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ ඩයනා කුමරිය ගත කළ රාජකීය ජීවිතය, ඇගේ විවාහ ජීවිතය, පශ්චාත් ප්‍රසව අවධියේදී ඇය විඳි මානසික පීඩනය සහ ඇගේ සැමියා චාල්ස් -කැමිලා පාකර් අතර පවතින ආදර සම්බන්ධය වැනි කම්පා සහගත තොරතුරු රැසක් ඇය හෙළි කිරීමත් සමඟ යි. 

කෙන්සිංටන් මාලිගයේ දී මාර්ටින් බෂීර් ඩයනා කුමරිය සමඟ සම්මුඛ සාකච්ඡාවේ නිරතවෙමින් – Corbis Corbis –  Tim Graham – via Getty Images

ඩයනා කුමරිය BBC ගුවන් විදුලියට ලබා දුන් මෙම සම්මුඛ සාකච්ඡාව ඇය සහ සැමියා චාල්ස් අතර එතෙක් පැවති බැඳීම් සියල්ල තවදුරටත් අඩපණ කිරීමට හේතු වූවා. ගෙවීගිය 2021 වසරේ සමාජ මාධ්‍ය මැවූ එක පුවතක වූයේ ‘මාධ්‍යවේදී මාටින් බෂීර්, ඩයනා කුමරිය සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවට අවශ්‍ය තොරතුරු වංචනිකව ලබාගත් බව යි. රජ කුමරියගේ අකල් මරණය සිදු වී ඒ වන විට වසර 24 ක් ගත වුවත්, ඇය ගතකළ දුක්ඛිත ජීවිතය නැවතත් සමාජය තුළ ඉස්මතු කිරීමට මෙම ශීර්ෂපාඨය සමත් වූවා.

මානසික පීඩනය

සම්මුඛ සාකච්ඡාව අතරමඟ ඩයනා කුමරිය හෙළි කළ එක පැතිකඩක් වූයේ ඇය විඳි මානසික පීඩනය යි. පශ්චාත් ප්‍රසව අවධියේ ඇය මානසික පීඩනයකින් පෙළෙන විට රජ පවුලේ කිසිදු සාමාජිකයෙක් එයින් මිදීමට තමන්ට සහයෝගයක් ලබා නොදුන් බව ඇය එහිදී පැවසුවා.

“මානසිකව පීඩා විදිමින්, කඳුළු සලමින් රජ පවුල තුළ ජීවත් වූ පළමු පුද්ගලයා මම යි. මේ තත්ත්වය ඉතා භයානක යි. කෙනෙක් දුකින් ජීවත් වන විට එම තැනැත්තා සනසන්න කවුරුත් ම ළඟ නොසිටීමයි මෙයට හේතුව.”

වැඩිදුරටත්  අදහස් දක්වමින් කුමරිය පවසා සිටියේ විටක ස්වයං ජීවිත හානියක් සිදු කර ගැනීමේ වෑයමක තමා නිරත වූ බව යි. මෙහිදී රජකුමරිය ඇය පීඩා විඳි බුලිමියා තත්ත්වය සම්බන්ධ ව විවෘත මනසකින් සාකච්ඡා කිරීමට ද පෙලඹුණා. (බුලිමියාව යනු පුද්ගලයකුට ආහාර ගැනීමේ අක්‍රමිකතා සහිත ව ඇති වන බරපතල මානසික සෞඛ්‍ය ගැටලුවක්. මෙම රෝගයෙන් පෙළෙන්නකුට තම ජීවිතය පාලනයෙන් තොර ව පවතින බව හැඟී යා හැකි අතර බුලිමියාව සලකන්නේ කාලීන හානියක් ඇති කළ හැකි බරපතල මානසික තත්වයක් ලෙස යි.)

චාල්ස් කුමරු සහ ඩයනා ස්පෙන්සර් ආර්යාව විවාහ උත්සවයෙන් පසු බකිංහැම් මාලිගයේ බැල්කනියේ සිට සාම්ප්‍රදායික හාදු හුවමාරු කර ගත් අයුරු -Getty Images

සම්මුඛ සාකච්ඡාව සිදුවන අතරමඟ ඩයනා කුමරිය ඇගේ අසාර්ථක විවාහ ජීවිතය පිළිබඳ උපන් වේදනාවට තමාට ම දොස් පවරා ගනිමින් අදහස් දැක්වූවා.

” මගේ බුලිමියාවට හේතු වූණේ මං ගත කළ විවාහ ජීවිතය යි. මේ නිසා මං උදව් ඉල්ලා කෑගැසුවත් ඔවුන් එය තේරුම් ගත්තේ වැරදියට. බුලිමියාව හේතුවෙන් පමණක් මා මෙලෙස හැසිරෙන බව ඔවුන් උපකල්පනය කළා.”

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක ලෙස සම්මුඛ සාකච්ඡාවකට අවංක ව අදහස් දැක්වීමට තරම් ඩයනා කුමරිය උත්සුක වූවා. රජ පවුලේ සාමාජිකයකු කිසිදා තමුන් පෞද්ගලිකව පීඩා විඳි මානසික සෞඛ්‍ය ගැටලුවක් හෝ ස්වයං-හානිකර ගැනීමක් පිළිබඳ මෙතරම් විවෘත මනසකින් කතා කළ කිසිවෙක් මේ වන තෙක් නොසිටි බව The New Royals Queen Elizabeth’s Legacy and the future of The Crown ග්‍රන්ථයේ කතුවරිය – කැටී නොකෝල් පවසනවා.

කුමරිය සිය පුතුන් දෙදෙනා සමඟ – Getty Images

මහජනයා හා සමීප වීමට රූපවාහිනිය භාවිත කළ රාජකීය පවුලේ පළමු සාමාජිකයා වූයේ ඩයනා කුමරිය නොවෙ යි. දෙවන එලිසබෙත් රැජන, රාජාභිෂේකයක් රූපවාහිනියෙන් විකාශය කළ පළමු රාජකීය කාන්තාව වූවා. එමෙන්ම එලිසබෙත් රැජන සිදු කළ නත්තල් දේශනයක දී ඇය සිය යටත්වැසියන් සමඟ හිතවත් වීමටත් උත්සාහ කළා. 1969 වසරේදී වාර්තාමය වැඩසටහනකට රාජකීය පවුල රූගත කිරීමට රැජින මාධ්‍යවලට අවසර ලබා දුන්නේ ඔවුන් වඩාත් සාපේක්ෂ ව සිටින බව මහජනයාට ඒත්තු ගැන්වීමට යි.

‘තුන්කොන් ප්‍රේමය’

චාල්ස් සහ ඩයනා යන දෙදෙනා ම ඔවුන්ගේ විවාහ ජීවිතය බිඳවැටීම යන මාතෘකාවට අදාළ තොරතුරු ලබා දීමට පුවත්පත් සහ මාධ්‍ය ආයතන සමඟ මීට පෙර ද සම්බන්ධ වී තිබුණා. මෙයින් ඩයනා කුමරිය, ඇන්ඩෲ මෝර්ටන්  රචිත චරිතාපදානය වූ ‘ඩයනා: ඇගේ සත්‍ය කතාව’ සඳහා අවශ්‍ය තොරතුරු විවෘත ව ලබා දීමට තරම් සුහදශීලී වූවා. එහිදී චාල්ස් කුමරු තමා අතහැර අනියම් සම්බන්ධයක නියැළුණු බවට ඇය පාපොච්චාරණය කළා. වැඩිදුරටත් කරුණු දැක්වූ ඩයනා කුමරිය, තම විවාහ ජීවිතයේ සිටි “තුන්වන පුද්ගලයා”  කැමිලා පාකර් බෝල්ස් වූ බව සෘජුව ම ප්‍රකාශ කළා.

රජකුමරිය BBC මාධ්‍යවේදී මාටින් බෂීර්ට පැවසුවේ ඇගේ විවාහ ජීවිතය තුළ පුද්ගලයන් දෙදෙනෙක් නොව තිදෙනෙක් සිටි බවත් එබැවින් එය ”ජනාකීර්ණ එකක්” වූ බව යි. ඩයනා කුමරිය, ඇගේ පුතුන් දෙදෙනාගේ රිය පැදවීමේ උපදේශකයකු ලෙස සේවය කළ, හිටපු හමුදා නිලධාරියෙක් වූ ජේම්ස් හෙවිට් හා තමා සමඟ සම්බන්ධයක් තිබූ බව ද පිළිගත්තා.

 ඩයනා කුමරියගේ බීබීසී සම්මුඛ සාකච්ඡාව මොවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය අවසන් වීමට හේතු වුණා  – Tim Graham Photo Library via Getty Images

සම්මුඛ සාකච්ඡාව සිදුවන අතරතුර චාල්ස් කුමරුට හොඳ රජකු වීමට ඇති හැකියාව පිළිබඳ ඩයනා කුමරියගෙන් විමසූ විට ඇය ඒ සම්බන්ධව අවිශ්වාසාත්මක අදහස් පළ කළා. මෙය රජ පවුල තුළ මහත් කැලඹිලි සහගත තත්ත්වයක් ඇති වීමට හේතු වූ බව කැටී නොකෝල් කතුවරිය පැවසුවා.

විවාහ ජීවිතය බිඳ වැටුණු සම්මුඛ සාකච්ඡාව 

චාල්ස් සහ ඩයනා දෙපළ 1992 වසරේ සිට වෙන් ව සිටිය ද, ඩයනා කුමරියගේ බීබීසී සම්මුඛ සාකච්ඡාව මොවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය අවසන් වීමට හේතු වුණා. සම්මුඛ සාකච්ඡාව විකාශය වී මසකට පසු, දෙවන එලිසබෙත් රැජන චාල්ස් – ඩයනා දෙපළගේ දික්කසාදය හැකි ඉක්මනින් සිදු කරන ලෙස ඉල්ලා දෙදෙනාට ම ලිපි යවා තිබුණා. 

ඩයනා කුමරියගේ පවුලේ සාමාජිකයන්, ඇයගේ පුත් විලියම් ඇතුළු ඇගේ සමීපතමයන් මෙයින් දැඩි ලෙස කලබලයට පත් වූවා. මෙම අවස්ථාවේදී ඇය, ඇයගේ පුත් විලියම් කුමරු සමඟ අමනාප වූ බව කැටී නොකෝල් කතුවරිය සඳහන් කර තිබුණා. 

2021 දී විලියම් කුමරු, සිය මවගේ සම්මුඛ සාකච්ඡාව පිළිබඳ ව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ එය ඔහුගේ මව්පියන් අතර පැවති සම්බන්ධතාව නරක අතට හැරීමට ප්‍රධාන දායකත්වයක් ලබා දීමට හේතු වූ නිසා නැවත කිසි දිනෙක එය විකාශය නොකරන ලෙස යි.

කුමරිය සිය පුතුන් දෙදෙනා සමඟ – Anwar Hussein – Getty Images

සම්මුඛ සාකච්ඡාව ලබා ගැනීමට භාවිත කළ උපක්‍රම

කෙන්සිංටන් මාලිගය තුළට හොර රහසේ ගෙන ආ රූගත කිරීමේ උපකරණ සමඟ සම්මුඛ සාකච්ඡාව ඉතා රහසිගත ව සිදු කළ අතර, බීබීසී පාලක මණ්ඩලය සාකච්ඡාව සිදුවන ස්ථානය උපායමාර්ගික ව  මඳ අඳුරේ තබන්නට කටයුතු කළා.

සම්මුඛ සාකච්ඡාව ලබා ගැනීම සඳහා බෂීර්, ඩයනා කුමරිය නොමඟ යැවූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට 2020 වසරේ දී  බීබීසී ආයතනය, විනිසුරු ඩයිසන්ගේ නීති උපදෙස් ලබා ගත්තා. ඩයනා කුමරියගේ විශ්වාසය දිනා ගැනීම සඳහා බෂීර් “වංචනික ක්‍රම” භාවිත කළ බව ඩයිසන්ගේ වාර්තාවෙන් සොයා ගැනුණා.

 විලියම් කුමරු ද ගෙවී ගිය 2021 වසරේ දී  සිය මවගෙන් සම්මුඛ සාකච්ඡාව ලබා ගත් ආකාරය දැඩි ව හෙළා දුටුවා.

ඩයනා සහ ඩොඩි අල්ෆයිඩ් (දෙදෙනා ම පිටුපස අසුනේ අර්ධ වශයෙන් දෘෂ්‍යමාන වේ). ඔවුන් මිය ගිය මාරක අනතුරට ටික වේලාවකට පෙර – Jacques Langevin/scottbaker-inquests.gov.uk – Getty Images

බීබීසී මාධ්‍යවේදියා ඩයනා කුමරිය තුළ එතෙක් පැවති භීතිය ප්‍රයෝජනයට ගෙන ඇය සම්මුඛ සාකච්ඡාවට ගෙන ගියේ ද නැතහොත් රවටා ගෙන ගියේ ද යන්න විශාල ප්‍රශ්නයක් වූ බව කැටී නොකෝල් කතුවරිය පැවසුවා. 

ඩයනා කුමරිය බීබීසීයට සම්මුඛ සාකච්ඡාව ලබා දී වසර දෙකකට පසුව සිදු වූ රිය අනතුරකින් අකාලයේ මිය ගියා. ඇයට මහජනතාව සමඟ මෙතරම් සමීප ව සම්බන්ධ වීමට හැකි වූයේ තමා මුහුණ දුන් අභියෝග ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ සඳහන් කිරීම නිසා යි.

කවරයේ ඡායාරූපය - ඩයනා කුමරිය -  www.gettyimages.com
මූලාශ්‍ර:
Aljazeera.com
The New Royals Queen Elizabeth’s Legacy and the future of The Crown - Katie Nicholl

Related Articles