Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජීවිතයේ ඉලක්ක සපුරා ගැනීම තමයි මගේ සතුට

ලොව අඩුම වයසින් තොරතුරු තාක්ෂණ උපාධියක් ගත් වශින්යා කියයි.

“මගේ ඉලක්කවලට යන්න තමයි මට හැම තිස්සෙම අවශ්‍ය වුනේ. ඉලක්ක සපුරා ගැනීම මට සතුටක් වුණා.”

මේ කතා කරන්නේ වයස අවුරුදු 11 දී තොරතුරු තාක්‍ෂණය පිළිබඳ BCS උපාධිය සමත් ලාංකික  දියණියක  බව කිවහොත් ඇත්තෙන්ම ඔබ පුදුම වනු ඇති. ලොව එවැනි සමත්කමක් දැක් වූ ප‍්‍රථම සහ එකම ශිෂ්‍යාව වන්නේත් ඇයයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ  බි‍්‍රතාන්‍ය පරිගණක සංගමයේ සහතික ලත් මෙම උපාධිය (BCS IT Degree) වයස අවුරුදු 9 සිට වසර දෙකහමාරක කාලයක් හැදෑරූ ඇය ඉන් විශිෂ්ට ලෙස සමත් වූවාය.

වශින්‍යා තොරතුරු තාක්ෂණවේදී උපාධිය (BCS) ලබා ගත් අවස්ථාවේ මව හා පියා සමග

ඇය නමින් වශින්‍යා පේ‍්‍රමානන්ද් ය. තවමත් 15 වන වියේ පසුවන වශින්‍යා කොළඹ ජාත්‍යන්තර පාසැලේ ජීව විද්‍යා අංශයෙන් ලන්ඩන් උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබමින් සිටන්නීය.

“මගේ අම්මා තොරතුරු තාක්ෂණය කථිකාචාර්යවරියක් වෙලා හිටියා.  අම්මා පොඩි කාලේ  ඉඳලම මට ඉගැන්නුවා, සහය දුන්නා. ඒ නිසා මට අවශ්‍ය විදිහට වෙබ් එකක් හදාගන්නත් මට පුළුවන් වූණා. වෙබ් එක හැදුවේ  මට අවුරුදු 9 දී. තොරතුරු තාක්ෂණය පැත්තෙන් BCS උපාධිය ගත්තා. තවත් ඩිප්ලෝමා පාටමාලා හදාරලා අවසන් කලා.

උපාධි ප්‍රදානොත්සවයේදී

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ

ඇය තොරතුරු  තාක්ෂණ අංශයෙන් නිව් සව්ත් වේල්ස් විශ්ව විද්‍යාලයේ පරිගණක පාඨමාලාවක් (Computer skills class 4), Diploma in IT with e-commerce,Diploma in IT (International), Diploma in Web Engineering, ICDL (International Computer Driving LIcense, Soft skills training ආදී ජයග්‍රහණ රැසක් අත්පත් කර ගන්නට සමත් වූවාය.

තවද ඇය මහනුවර BCAS වීශ්ව විද්‍යාලයේ රොබෝ විද්‍යාව හදාරමින් සිටින අතර මේ වන විට රොබෝ කෙනෙක්ද නිපදවා තිබේ.

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයෙන් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන සිටියදී වශින්යා උසස් පෙළට ජීව විද්‍යාව හදාරමින් සිටින්නේ ඇයි ද යන ප්‍රශ්නය මට මෙන්ම ඔබටද මතු වන්නට පුළුවන්. ඒ නිසා මම ඒ ප්‍රශ්නය වශින්‍යාගෙන්ම ඇහුවා.

“මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඩොක්ටර් කෙනෙක් වෙන එක. IT කියන්නේ මම ආශා කරන දේ. ඒ ගැන මම ඉගෙන ගන්නවා. නමුත් මගේ වැඩි උනන්දුවක් තියෙන්නේ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඉගෙන ගන්න. ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් වෙන්න. ලංකාවේ ඉඳල රටට සේවයක් කරන්නයි මගේ කැමැත්ත තියෙන්නේ.’’

වශින්යා පවසන්නේ අව්‍යාජ ස්වරයකිනි. සැබවින්ම ඇය ඉතාම  නිහතමානි සහ ස්ථිරසාර අදහස් ඇති යුවතියක යන වග ඇගේ කතා විලාශයෙන්ම වටහා ගැනීමට අපහසු නැත.

කුඩා කාලයේදීම පෙනුණු දක්ෂතාවය

ව්‍යාපාරිකයෙකු වන එම්. පේ‍්‍රමානන්ද් නඩරාජා සහ ලක්‍ෂි පේ‍්‍රමානන්ද් දෙපළගේ එකම දරුවා වශින්‍යායි. ලක්‍ෂී පේ‍්‍රමානන්ද් මහත්මිය පවසන අන්දමට ඇගේ දක්‍ෂතාවන් පෙන්නුම් කර තිබෙන්නේ  කුඩා කල සිටම ය. නිවසේ පැවති ඒ සඳහා දිරි ගන්වන වටපිටාව ද ඇගේ සහජ දක්‍ෂතාවන් ඉස්මතු කරන්නට බොහෝ විට හේතු වන්නට ඇති.

2010 වසරේ දී ශී‍්‍ර ලංකාවේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට ඉංගී‍්‍රසි භාෂාවෙන් පෙනී සිටින වශින්‍යා ඒ සාමාර්ථයක්  ඇතිව සමත් වන්නේ වයස අවුරුදු 08 ක් තරම් කුඩා වයසේදීය. වයස අවුරුදු 08 ක් යනු සාමාන්‍ය දරුවෙක් තුන් වැනි වසරේ උගෙනුම ලබන කාලයයි.

ඇගේ මව පවසන අන්දමට වයස අවුරුදු තුනේදී තනිවම ඊ මේල් ලිපිනයක් සකස් කර ගන්නට වශින්‍යාට හැකි වී තිබේ.

‘’දුව පොඩි කාලේ ඉඳලම computer එක පාවිච්චි කරන්න හරිම දක්ෂයි. එයා චූටි කාලේ දී තනියෙම ඊ මේල් එකක් හදාගත්තා.’’

2002 වසරේ මැයි 13 වැනිදා උපත ලැබූ වශින්‍යා, යුනික් ජාත්‍යන්තර පාසැලට ඇතුළත් කර තිබෙන්නේ වයස අවුරුදු තුන සම්පූර්ණ වෙද්දීය. ඇගේ මව්පියන්ගේ අදහස වී තිබුණේ වසර දෙකක කාලයක් පෙර පාසල් අධ්‍යාපනය ඇයට ලබා දීමටයි. එහෙත් සිදු වූයේ අනපේක්‍ෂීත දෙයකි. වසරක් තුළ ඇය පාසලේ දෙවසරක වැඩ නිම කළේ ඇගේ පවුලේ මෙන්ම පාසැලේ සියලු දෙනාව ද පුදුමයට පත් කරමිනි.

ඒ පිළිබඳව වශින්‍යාගේ මවගේ වචනවලින්ම ඇසුවොත් වඩා හොඳ යැයි සිතෙයි.

“එක වසරේ ඉගෙන ගන්න කොට වශින්‍යාට දෙවැනි පන්තියේ ළමයෙකුටත් වඩා දැනුමක් තිබුණා. ඒ නිසා දුවට ඩබල් ප‍්‍රමෝෂන් දීලා තුන වසරට දැම්මා. හතර වසරෙදි ආයෙ ඩබල් ප‍්‍රමෝෂන් දීලා හය වසරට ගියා. දෙපාරක් මේ විදිහට වුනු නිසා එයා අවුරුදු 13 දී ලන්ඩන් ඕ ලෙවල් විභාගය කළා. එම විභාගයත් හොඳින් සමත් වුනා. ලබන මැයි මාසෙ බයෝවලින් උසස් පෙළ කරන්නයි දුව ඉන්නෙ.”

වයස අවුරුදු 5 දී ඇයව මහනුවර කළම්බු ඉන්ටර්නැෂනල් පාසලට ඇතුළත් කිරීමට මව්පිය දෙපළ පියවර ගත්හ.

අධ්‍යාපනයෙන් නොනැවතුණු වශින්යාගේ හැකියාවන්  

(මැලේසියාවේදී ගුවන් නියමු පරීක්ෂණයේ දී)

වශින්‍යා උපන් හපන්කම් දක්වා ඇත්තේ අධ්‍යාපනයට පමණක් නොවෙයි. අද වන විට ඇයව ගුවන් නියමුවරියක ලෙස  හැඳින්වූව ද වරදක් නැත.

ඇය මැලේසියාවේ දී ගුවන් නියමු පාඨමලාව සම්පූර්ණ කර Cessna 172 අඩි 7000ක්  දක්වා ඉහළ අහසේ  පියාසර කරමින් දස්කම් පාන්නට සමත් වූවාය.

වශින්‍යා අධ්‍යාපනයට පමණක් නොව බාහිර කි‍්‍රයාකාරකම්වලටත් එක ලෙස දක්ෂතා පෙන්වන දැරියකි.  ක්‍රීඩාවෙන් මෙන්ම පියානෝ වාදනයෙන්, ඕගන් වාදනයෙන් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ඈ අත්පත් කරගෙන සිටින්නීය.

වශින්යාට සිය මව්බස වන දෙමල භාෂාව මෙන්ම සිංහල ඉංග්‍රීසි ප්‍රංශ ජර්මන් යන භාෂාද චතුර ලෙස කතා කරන්නටත් ලියන්න කියන්නටත් හැකි බව ඇගේ මව පවසන්නීය. පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රංශ භාෂා සිශයයට පෙනී සිටි ඈ ‘ඒ’ සාමාර්ථයක් ලබා ගත්තාය.

ජනාධිපති සම්මානය

(ජනාධිපතිතුමා හමු වී ජනාධිපති සම්මානය ලබා ගත් අවස්ථාව)

පසුගිය වසරේදී වශින්යාට ජනාධිපති ගැසෙන්නට අවස්ථාව උදා විය. අවුරුදු 11 දී IT උපාධියක් හිමි කරගත් ලාබාලම සිසුවිය වශයෙනුත් අවුරුදු 9 දී වෙබ් අඩවියක් නිර්මාණය කළ ලාබාලම සිසුවිය ලෙසත් ජනාධිපතිතුමන් අතින් අයට ජාතික සම්මානයක් පිරිනැමිණ. වශින්‍යා පවසන අන්දමට ඇය ජනාධිපතිවරයාව මුණ ගැසෙන්නට කැමැත්තෙන් සිට ඇත.

‘‘ජනාධිපතිතුමා ඇහුවා මට මොනවද ඕනේ කියලා. මම ඉල්ලා සිටියා පේරාදෙණිය විිශ්ව විද්‍යාලයේ  MBA  උපාධිය කරන්න ඉඩ දෙන්න කියලා.’’

එහෙත් තවමත් වශින්‍යාගේ හීනයට ඉඩ ලැබී නැත. වශින්‍යාගේ මව පවසන්නේ කිහිප අවස්ථාවක දීම මෙරට විශ්ව විද්‍යාලවල උපාධි කිරීමට අවස්ථාව ඉල්ලා සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගී වුවත් වයස මදි කියා ඒ සඳහා අවස්ථාව නොලැබුණු බවකි.

ජාත්‍යන්තරයේ කීර්තියක් අත් කර දුන් සුදුසුකම් සහිත අයව ධෛර්යයමත් කරමින් සිය හැකියාවන් හා දක්ෂතාවන් තවදුරටත් ඔප නනවා ගනිමින් රටට තවත් කීර්තියක් ලැබෙන අන්දමේ පියවර ගන්නවා වෙනුවට අපේ රටේ සාමාන්‍යයෙන් සිදු වන්නේ එවැනි අයව තවදුරටත් අධෛර්යමත් කිරීම පමණි.

(වශින්‍යා හා දෙමාපියන් ජනාධිපතිතුමා සමඟ)

වශින්‍යාගේ දක්ෂතා ඇගයීමට ලක් කරමින් 2012 දී ‘මැදරට අභිමානය’ රාජ්‍ය සම්මානයත්, 2014 දී  කඳුරට සාහිත්‍ය සහ කළා සංසදයෙන් ‘විශ්ව කීර්ති’ සම්මානයත් වශින්යාට හිමි විය.

එමෙන්ම වශින්‍යා සුරතල් සතුන්ට ද බෙහෙවින්ම ආදරය කරන්නීය. ඇගේ මව ලක්ෂී මහත්මිය පවසන අන්දමට මේ දිනවල වශින්යාගේ වැදගත්ම කාර්යභාරය වී තිබෙන්නේ ශූර් නමැති සුරතල් බලු පැටවාත් සමඟ කාලය ගෙවීමය.

(වශින්‍යා තම සුරතල් බලු පටවා වන ශූර් සමඟ)

ජීවිතයේ ඉලක්ක ඉතා වේගයෙන් හඹා යාමේ අසාමාන්‍ය දක්‍ෂතාවක් තිබෙන්නන් ලොව බිහි වන්නේ ඉතාමත් ම කලාතුරකිනි. ශී‍්‍ර ලංකාවට කීර්තියක් අත්කර දුන් වශින්‍යා ප්‍රේමානන්ද් එවැනි අසාමාන්‍ය දක්‍ෂතාවලින් හෙබි ලාංකික දියණියකි. ඒ පිළිබඳව ලාංකිකයින් ලෙස අප සතුටු විය යුතුව ඇත.

ඉහත ඇගේ වචනවලින් තහවුරු වන්නේත් ජීවිතයේ ජයග‍්‍රහණ කරා යන්නට තිබෙන නොපසුබස්නා අධිෂ්ඨානයයි. ඇගේ ඉදිරි ගමනට අපි ඉතා සිතින් සුභ පතමු.

Cover Picture

(මෙම ලිපියෙහි ඇතුළත් වී  තිබෙන්නේ වශින්‍යාගේ පවුලේ ඡායාරූපවලින් ලබා ගත් ඡායාරූප කිහිපයකි.)

Related Articles