වැඩි ම පොසොන් ගීත කියූ විවියන් ද සිල්වා බොරලැස්ස

පොසොන් කාලෙට ගුවන්විදුලියෙන් සහ රූපවාහිනී මාධ්‍යවලින් අහන්නට ලැබෙන පොසොන් ගීත කිහිපයෙන් වැඩි ම ප්‍රමාණයක් ගයා තිබෙන්නේ ග්‍රැමෆෝන් ගායිකාවක වුණු විවියන් ද සිල්වා බොරලැස්ස යි. එම ගීත අවුරුදු 70ක් පමණ පැරණි යි. දුර පේන තැනිතලා – අනුරාධපුර බලා, නවතින්න තිස්ස, සම්බුදු මංගල්ලේ ඇතුළු ජනප්‍රිය පැරැණි ගීත රැසක් දැයට දායාද කළ ඇය, 2017 දී මිය යනතෙක් ම සජීවී ව ගීත ගැයූවා.

මේ ගායිකාවගේ රසබර ජීවිතය ගැන සොයා බලමු.

 විවියන් ද සිල්වා තරුණ වියේ දී- spotify.com

අවුරුදු අටේ ගායිකාව

අප රටේ ජ්‍යෙෂ්ඨත ම ගායිකා විවියන් ද සිල්වා බොරලැස්ස වසර 86ක් ආයු වළඳා ජීවිතයෙන් සමු ගත්තේ 2017 අප්‍රෙල් 2 වැනි දා යි. ඇය බාල දැරියක කාලේ පටන් ගත් ගීය ගායනය පුරා දශක අටකට ආසන්න කාලයක් කරගෙන ගියා. විවියන් ද සිල්වා බොරලැස්ස ගායන ශිල්පිනිය ලංකාවේ බොදු බැති ගී කෝකිලාව හැටියටයි සමහරුන් හඳුන්වන්නේ. ලක්වාසී අපට බුදු තෙමඟුල සිදු වූ වෙසක් පෝය වගේ ම අප රටට බුදුදහම ලැබුණු පොසොන් දිනයත් වැදගත්.

නමුත් වෙසක් බැති ගී තරමට පොසොන් ගී නිර්මාණ නම් බිහි‍වෙලා නැහැ. එවැනි පසුබිමක පොසොන් ගී වැඩියෙන් ම ගායනා කළ ගායන ශිල්පිනිය හැටියට විවියන් ද සිල්වා බොරලැස්ස සැලකෙනවා.

 වියපත් වූ පසුව ද ගී ගයනා විවියන්- youtube.com

 

ඇය ගායන ලොවට පිවිසුණේ අවුරුදු 8ක දැරියක ලෙස යි. උපත ලද්දේ 1930 නොවැම්බර් මස 24 වැනිදා යි. ගිල්බට්.එස්. ද සිල්වා සහ ඩී.එල්. සහබන්දුට දාව උපන් විවියන් පවුලේ එකම දරුවා වුණා. ඇය අධ්‍යාපනය ලැබුවේ අද මරදාන මධ්‍ය මහා විද්‍යාලය ලෙස හඳුන්වන පාසලෙන්. ඇගේ පියා සේෆ්ටි ටුවර්ස් නමැති බස් ප්‍රවාහන සමාගමේ හිමිකරුවා යි. ඔහු සංගීතයට, කලාවට දැඩිසේ ප්‍රිය කළ අයෙක්. ඔහු ටවර්හොල් යුගයේ සුප්‍රසිද්ධ නාට්‍ය නිෂ්පාදකයෙක් ලෙසත් කටයුතු කළා.

අද මෙන් රසවින්දන මාධ්‍ය නොතිබුණු එම යුගයේ සීමිත ගුවන්විදුලියක්, නාට්‍ය සහ ග්‍රැමෆෝන් ගී පමණයි පැවතුණේ. එවැනි කාලයක තම එකම දියණියට සංගීත ඥානය ලබා දීමට ජී. එස්. ද සිල්වා පියා උනන්දු වුණා. බොහෝ අවස්ථාවලදී නාට්‍ය ආරම්භවීමට පෙර තිබෙන පිළිගැනීමේ ගීතය ගායනා කරන්නට කුඩා විවියන්ට අවස්ථාව හිමි වුණා. පසුකාලීන ව විවියන් අධ්‍යාපනය ලැබු මරදාන මධ්‍ය විද්‍යාලයේ සංගීත ගුරුවරියකගෙන් ද එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්ගෙන් ද ගායන හා වාදනය ගැන ඉගෙන ගන්නට විවියන්ට අවස්ථාව ලැබෙනවා. ඒ පියාගේ මඟ පෙන්වීම මත යි.

3 ගායිකාවක ලෙස ඇය ලැබූ සම්මාන සමඟ – Vivien de Silva Goralessa facebook page

ගුවන්විදුලි ගායිකාවක්

දක්ෂ ළමා ගායිකාවක ලෙස ජනප්‍රිය වෙමින් සිටි ඇය ගුවන් විදුලියට පා තැබුවේ වයස අවුරුදු 9ක දැරියක ලෙස යි. ඇය ගුවන්විදුලි යෝග්‍යතා පරීක්ෂණය සමත් වූයේ ඇගේ මාමා කෙනකු වූ ජේ.ආර්. එඩ්වර්ඩ් සමඟ යුග ගීයක් ගායනා කරමින්. ඒ අනුව 1940 සිට ඇය ගුවන් විදුලියේ සරල ගී වැඩසටහන් රැසකට ගීත ගායනා කළා. අද මෙන් නොව එදා ගීත ගායනා කළ යුතු ව තිබුණේ සජීවී ලෙස යි. එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්, ලයනල් එදිරිසිංහ, එඩී මාස්ටර් වැනි දැවැන්ත සංගීත ශිල්පීන්ගේ සහයෝගය කුඩා විවියන්ට හිමිවුණා.

පුංචි විවියන්ගේ ජනප්‍රියත්වය වැඩිවෙන්නට පටන්ගත් නිසා ම ගුවන් විදුලියෙන් ඇයට වැඩි ගුවන් කාලයක් හිමි වෙනවා. මුලින් විනාඩි 15 ක සරල ගී වැඩසටහනක් ලැබුණත් පසුව විනාඩි 30ක ගුවන් කාලයක් ඇයට ලැබෙනවා. මේ පැය භාගයේ වැඩසටහනකට ගුවන් විදුලියෙන් රුපියල් 90ක ගෙවීමක් හිමි වුණා. විවියන්ගේ වයස අවුරුදු 15 වෙද්දි ගුවන්විදුලිය ඔස්සේ ඇගේ ගීත ගණනාවක් ජනප්‍රිය වී තිබුණා.

 ග්‍රැමෆෝන් තැටි- සිංහල ග්‍රැමෆෝන් ගී යුගය facebook page

එච්. එම්. වී. තැටි

කාර්ගිල්ස් සමාගමෙන් ඇගේ ජනප්‍රිය ගීත ග්‍රැමෆෝන් තැටිවලට නඟන්නට ආරාධනාවක් ලැබෙනවා. එසේ එච්.එම්.වි තැටිවලට නැඟුණු විවියන් ද සිල්වා බොරලැස්සගේ තැටිවලට විශාල ඉල්ලුමක් එවක පැවතුණා. විවියන් ද සිල්වා බොරලැස්සගේ ගීත රැසකට තේමා වූයේ බෞද්ධ හා දේශභිමානී පසුබිම් සහිත ගීත යි. එවකට එක් තැටියක තිබෙන්නේ ගීත එකක් හෝ දෙකක් පමණ යි. සාමාන්‍යයෙන් එක් ගීත ගී තැටියක් පිටපත් ලක්ෂයකට අධික ව අලෙවි වුණු බව පැවසෙනවා. මේ නිසා කාර්ගිල්ස් සමාගම ඇයට තැටි 12ක් අඛණ්ඩ ව වාදනය කරන්නට පුළුවන් එවක රුපියල් 3000 ක වටිනාකමෙන් යුක්තවු රේඩියෝ ග්‍රෑම් යන්ත්‍රයක්ද තෑගී කරනවා.

එකල තැටියක මිල රුපියල් 5ක් වු අතර එහි කර්තෘ භාගය ලෙස, අලෙවි වන එක් තැටියකට සත 25ක් විවියන්ට හිමි වෙනවා. විවියන්ගේ ගීත වැඩි ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ සංගීතඥ පී. ඩි. වින්සන්ට් පෙරේරා යි. ගුවන් විදුලි සංස්ථාව මගින් ඉන්දියාවේ රත්නජංකර් පඬිතුමා ලංකාවට 1947 දී ගෙනවිත් ගායක ගායිකාවන් වර්ග කර ශ්‍රේණි ගත කරන්නට වුණා. මේ කටහඬ පරික්ෂණයෙන් විවියන් ද සිල්වා බොරලැස්ස සමත් වන්නේ විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක් ලෙසින්. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 17ක් පමණයි.

 මංගල කේක් කපමින් සහ ග්‍රැමෆෝන් තැටියක ආකාරයට නිමවූ මංගල ඇරයුම් පත-Vivien de Silva Goralessa facebook page

 

ඇයට චිත්‍රපට පසුබිම් ගායනය සඳහාත් එකල ආරාධනා පැමිණියා. එම ගීත ගායනා කළේ ඉන්දියාවේ දී නිසා ඇගේ මවුපියන් තම එකම දියණිය ගී පටිගත කිරීම සඳහා ඉන්දියාවට යැවීමට විරුද්ධ වුණු නිසා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුව සී. ඩී. එන් බොරලැස්ස සමඟ 1953 දී විවාහ වූ ඇය දරුවන් හය දෙනකුගේ මවක් වුණා. විවියන්ගේ මංගල ඇරයුම්පතද ග්‍රැමෆොන් තැටියක ආකෘතියකින් සකස්කර තිබිම ද විශේෂත්වයක්. ඇයට දරුවන් හය දෙනෙක් සිටියා. ඔවුන්ගෙන් සිව්දෙනෙක් පුතුන් වන අතර දියණියන් දෙදෙනකු වෙනවා. ඔවුන්ටද ගීත ගැයීමේ සහජ හැකියාව තිබුණත් ගායන ලොවට පිවිසියේ ඇගේ පුත් කපිල පමණ යි.

 සැමියා සහ පවුලේ දූ දරුවන් සහ මුණුබුරු මිණිපිරියන් සමඟ – Vivien de Silva Boralessa facebook page

පොසොන් හා බොදු ගී

1956 දී උදා වූ බුද්ධ වර්ෂ 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ප්‍රථම වරට අපට බෞද්ධ ගීතයක් ගැන අසන්නට ලැබෙනවා. එම උළෙල වෙනුවෙන් යොදාගත්තේ සරත් විමලවීර රචනා කර, විවියන් ද සිල්වා බොරලැස්ස ගායනා කළ බුදු මගුල ළඟම ඒ වී නම් ගීතය යි.

නවතින්න තිස්ස, දුර පේන තැනිතලා, , මේ පින්බිමේ මහමෙව්නා උයනේහී, සම්බුදු මංගල්‍යය, මා සංඝබෝධි ස්වාමිනේ, මෙලෝ දනා සැප සඳහා වැනි ඇය ගැයූ බොහෝ ගීත ප්‍රමාණයක් රසික ජනතාව අතර ප්‍රකට වුණා. මගේ ලක් කුමරි, මේ පින්බිමේ, නංගි නංගි රූපිකා, නිදි යහනේ ඇයිද ශෝක සිතින්, රොන් සුවඳ මල් වසන්තයේ, සිංහ කොඩිය ඉහළ නඟී, මනරංනා වූ ප්‍රේමයේ මිහිරි පෙම් අමා වැනි තවත් ගීත රැසක් ඇය ගායනා කර තිබෙනවා. 2500 සම්බුද්ධ ජයන්තිය, 2550 සම්බුද්ධ ජයන්තිය හා 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිර්මාණය වුණු සැමරුම් ගීත තුන ම ගායනා කිරීමටත් විවියන්ට වාසනාව හිමිවුණා.

 කලා භුෂණ පුෂ්ප උපහාර ලබමින්- Vivien de Silva Goralessa facebook page

සම්මාන

විවිධ අවස්ථාවල දී සම්මාන 25කින් පමණ ඇය පිදුම් ලබනවා. මේ අතරට 1996 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරසවි අසපුව උපහාර සම්මානය ද, 1998 දී ලද  කලාභූෂණ සම්මානය ද ඇතුළත්. 2003 දී රාජ්‍ය සම්මානය හා ටවර්හෝල් උපහාර සම්මානය ද 2010 කොළොම්තොට භූෂණ සම්මාන ද ඇයට හිමි වෙනවා.

ගීත ඇල්බම

ජනප්‍රියත්වය පසුපස හඹා නොගිය ඇය නිහතමානී ගායිකාවක්. මිය යාමට පෙර ලියුම්කරුට මාලබේ ඇය ජීවත් වූ නිවසේ දී හමු වී කතාබහ කරන්නටත් අවස්ථාව හිමි වුණා. ඒ වන විටත් ඇය රූපවාහිනි වැඩසටහන්වලදී සහ සංගීත ප්‍රසංගවලදී සජීවී ගායනා ඉදිරිපත් කරන බව පැවසුවා. ඇගේ මුල් ම ගීත ඇල්බමය නිකුත් කළේ 2011දීයි. සම්බුදු මංගල්ලේ නමැති ඒ ගීත ඇල්බමය 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිකුත් කළා. එහි නව සංගීත සංයෝජනය කළේ විශාරද මනෝජ් පීරිස්.

 පොසොන් කාලෙට මිහින්තලා පව්ව – blog.ummitersadventures.com

පොසොන් ගීත දෙකක්

‘නවතින්න තිස්ස ඇයි මේ? නුදුවන් මුවාගෙ පස්සේ’ නම් ගීතය වර්ෂ 75ක පමණ කාලයක් තිස්සේ ජනප්‍රිය යි. සරත් විමලවීර පද රචනය කළ එහි සංගීත නිර්මාණය වින්සන්ට් පෙරේරාගෙන්. මේ ඉන් කොටසක්:

‘‘නවතින්න තිස්ස ඇයි මේ
නොදුවන් මුවාගෙ පස්සේ
කිව් මිහිඳු රහත් සමිඳා
මේ මිහින්තලා කන්දේ

මගේ නාමෙ කියා මෙලෙසේ
කව්දෝ මට අමතන්නේ
ඒ තිස්ස නිරිදු රොස්වී
බැලුවා මහ ගල මුදුනේ

දුටුවා මහින්ද හිමිදා
කැන්දා දයාව පාලා
දුනු හා හී බිම තියලා
වැන්ඳා රජ බැති පාලා‘‘

පොසොන් පෝ දිනයට අනුරාධපුරය වැඳ පුදා ගන්නට දසදහස් ගණනින් වන්දනාකරුවන් රොක් වෙනවා. පුරාණ මහ දාගබ් විදුලි එළියෙන් රෑට දිළෙනවා. මේ රමණීය දර්ශනයේ චිත්තරූප මවමින් විවියන් ද සිල්වා බොරලැස්ස, කාන්ති වක්වැල්ලත් සමඟ ගැයූ ගීතය අසන්න. මෙහි සංගීත ශිල්පියා බී. එස්. පෙරේරායි :

‘‘දුර පෙනෙන තැනිතලා – අනුරාධපුර දිහා..
පුන් පෝයදා – වේ ශ්‍රියා සාදු කිය කියා..

ඈත කිරි පාට – පේන සරුසාර
සෑය දිළෙනවා – සෑය දිළෙනවා
නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා..///
නුවර එළි කලා…

දුර පෙනෙන තැනිතලා…

ජේතවනරාම – අභයගිරි වෙහෙර
සාදු කිය කියා – කරමු වන්දනා..
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ..///
තිසා වැව වටේ‘‘

මෙම සබැඳිය ඔස්සේ යාමෙන් ඔබට මෙම ගායිකාවගේ ගීත රාශියක් ඇසිමටත් පුළුවන්:

කවරයේ ඡායාරූපය  - ගායිකා විවියන් ද සිල්වා සහ මිහින්ලාව- silumina.lk 

මූලාශ්‍ර :
deshaya.lk
sarasaviya.lk
dinamina.lk
budusarana.lk

Related Articles