Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සබඳතා බිඳ වැටීම නිසා පීඩා විඳින ඔබට

මෑත කාලයේදී පෙම් සබඳතා බිඳ වැටීම් නිසා තරුණ පරම්පරාව එළඹුණ තීරණ යහපත් නැති බව ඔබත් පුවත් වලින් අසන්නට දකින්නට ඇති. සියදිවි නසා ගැනීම්, පළිගැනීම් වැනි භයානක තීරණ වලට කෙනෙකු එළඹෙන්නේ ජීවිතයේ සිදුවන මෙවැනි සිදුවීම් හරිහැටි කළමණාකරණය කර ගැනීමට නොදන්නා නිසයි.

FREE NEW IMAGES

ඔබ පමණද?

සබඳතා බිඳ වැටීම සැබවින්ම දුක්ඛදායකයි. එය දෙදෙනෙකු අතර පවතින සබඳතාවයක් හෝ ඒක පාර්ශවික ප්‍රේමයක් විය හැකියි. නමුත් මේ ඕනෑම විදියක සබඳතාවයක් බිඳ වැටීම නිසා ඇතිවන වේදනාව පුද්ගලයාට ඉතාම අයහපත් බලපෑම් ඇති කරනවා. ජීවිතයේ කුමන අවස්ථාවකදී හෝ මේ අත්දැකීමට ඔබත් මුහුණ දී තිබෙනවා වෙන්නට පුළුවන්.‍‍

නමුත් එවැන්නක් සිදුවුණු, මේ ලෝකයේ සිටින පළමුවැන්නා හෝ අවසන් කෙනා ඔබ නොවෙයි. එකම කෙනාත් ඔබ නොවෙයි. එය බොහෝ දෙනෙකුට පොදු කාරණාවක්. ඔබ මෙවන් දෙයකින් දිගින් දිගටම කම්පා වෙමින් සිටිනවා නම් එම අසහනකාරී මානසිකත්වයෙන් මිදෙන්නට කටයුතු කළ යුතුයි.

දෝමනස්සයන්

පෙර දැනුම් දීමකින් තොරව පැමිණෙන දෝමනස්සයන් අපට අවශ්‍ය වෙලාවට නතර කළ නොහැකියි. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ දුක දරාගෙන සිටීමෙන් ඔබට හිමිවන්නේ අසීමිත වේදනාව සහ ශාරීරික – මානසික දුර්වල බව පමණයි. ඒ නිසා මුලින්ම මෙම පීඩාවන්ගෙන් ඔබවම නිදහස් කරගත යුතුයි. හැඬීම ඒ සඳහා හොඳ ඔසුවක්. හැඬීමෙන් ඔබ පෞරුෂ දුබල පුද්ගලයෙකු වන්නේ නැහැ. ඉතින් ඔබේ මනසේ නිමා නොවන පීඩා අවසන් වෙනතුරු හඬන්න. ඒ වගේම මෙවැනි සිදුවීමක් මුල් කරගෙන ජීවිත කාලයම දුක් අඳෝනා කියවමින් පසුවීම සහ හිත නිදහස් කරගැනීමට හැඬීම කාරණා දෙකක් බවත් ඔබ අවබෝධ කරගත යුතුයි.

හැඬීම හොඳ ඔසුවක් (EINFON)

සැබෑ මිතුරන් හඳුනාගන්න

සැබවින්ම ඔබට උපකාර කරාවි යැයි සිතන මිතුරන් සමඟ පමණක් ඔබේ හැඟීම් බෙදා ගන්න. මේ මිතුරා ඔබේ සොහොයුරෙකු හෝ සොයුරියක විය හැකියි, මව හෝ පියා විය හැකියි. මනෝ උපදේශකයෙක්, ගුරුවරයෙක්, අධ්‍යාපන ස්ථානයේ මිතුරෙක් හෝ රැකියා ස්ථානයේ සමීපතමයෙක් විය හැකියි. ඔබේ හැඟීම් බෙදා ගැනීමෙන් ඔබව තවත් කරදරයකට පත් නොකරන අයෙකුට පමණක් ඔබේ ගැටළුව පවසන්න. නැත්නම් තිබෙනවාට වඩා වැඩි සිත් තැවුලකට මුහුණ දෙන්නට සිදු වේවි.

BURNING NIGHTS

පවුල සහ හිතවතුන්

ඔබේ පැරණි සහකරුවා මුණගැහෙන්නට පෙර ඔබ ළඟින්ම හිටියේ කවුද? පවුලේ සාමාජිකයින් සහ මිතුරන්. සමහරවිට ඔබේ නිමාවුණු පෙම් සබඳතාවය තිබූ අවධියේදී ඔබ ඔවුන් සමඟ ගත කළ කාලය අවම වෙන්නට ඇති. නැවතත් ඔවුන්ට සමීප වෙන්න දැන් තමයි හොඳම වෙලාව. ඔබේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, මිතුරන් සමඟ ගත කරන කාලය වැඩි කරන්න. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු විමසා ඒවාට උපකාර කරන්න.

සමහරවිට ඔබේ නිවසේ කුඩා දරුවෙක් සිටිය හැකියි. පුංචි දරුවන් ජීවිතයට සතුට, සිනහව ගෙනෙනවා. ඔවුන් සමඟ මුහු වෙමින් ඒ කුඩා ලෝකයට ඇතුළු වෙන්නට කාලය වෙන් කළොත් එය මනසට අපූරු ඔසුවක් වේවි. ඒ වගේම, සුසුම් හෙලමින් ළතැවෙනවාට වඩා ඔබේ නිවසේ ඉන්න සුරතලා එක්ක ටිකක් කාලය ගත කළොත් කොහොමද? මේ දේවල් වලින් ඔබ සිතනවාට වඩා විශාල සහනයක් ලැබෙන බව නම් විශ්වාසයි.

OneDSLR

මිතුරියන්

මෙවන් අපහසු කාලයක් පහු කරන ඔබ ඇසුරු කරන මිතුරන් ගැනත් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. මුලින් සඳහන් කළා වගේම, ඔවුන් සැබවින්ම ඔබට උපකාර නොකරන පිරිසක් නම් ගැටළු තවත් අළුත් වීම පමණයි සිදු වන්නේ. හොඳ මිතුරියන් කිහිප දෙනෙක් සමඟ නිදහසේ ගත කරන්නට කාලයක් වෙන් කරගන්න. සාප්පු සවාරි යෑම, පිටතදී ආහාර වේලක් ගැනීම, මිතුරියකගේ නිවසට යෑම, ප්‍රදර්ශන බැලීම, මුහුදු වෙරළට යෑම ආදියෙන් ඔබට ඔවුන් සමඟ ගත කරන කාලය වැඩි කරගත හැකියි. මේවාට විශාල මුදලක් නාස්ති කළ යුතු නැහැ. පැරණි මතක, සිනහවන්, විහිළු තහළු සමඟම ඒ මිත්‍රත්වය ඔබව සුවපත් කරාවි.

MINIMUM WAGE DRESSES

විනෝදාංශයක්

ඔබ කැමැත්තෙන් කරන කුමක් හෝ දෙයක් තිබෙන්නට පුළුවනි. ඇතැම්විට කාර්යය බහුල වීම නිසා එය ඔබෙන් මඟහැරී තිබුණා විය හැකියි. සංගීතය, පොත් කියවීම, ලිවීම, යෝග අභ්‍යාස, සිතුවම්කරණය, කඳු නැඟීම, පිහිනීම, මැහුම් ගෙතුම්, ගෙවතු වැඩ වැනි ඔබ කැමති, ඔබට සතුටක් ගෙනෙන ඕනෑම කාර්යයක නිරත වෙන්න. ඔබව වෙහෙසට පත් නොකරන එවන් විනෝදාංශයක් වෙනුවෙන් හැම දිනකම පුංචි වේලාවක් වෙන් කර ගන්නත් අමතක කරන්න එපා.

OneDSLR

කයට සහ මනසට ව්‍යායාම

සාංකාව, දිගු කාලීන මානසික වේදනාව නිසා විශාදය ඇතිවිය හැකියි. මේ නිසා ඔබ කායිකව සහ මානසිකව දුර්වල වන අතර ජීවිතය මන්දගාමී වෙන්නේ ඔබටත් නොදැනීමයි. මෙය යහපත් ප්‍රවණතාවයක් නොවන බැවින් හැකි ඉක්මණින් එම තත්ත්වයෙන් ඉවත් විය යුතුයි. එයට සුදුසුම දෙය කයට සහ මනසට ව්‍යායාම ලබා දීමයි. මෙහිදී ශරීරය වෙහෙස වන ක්‍රියාකාරකම් වගේම භාවනා ක්‍රමයකට යොමු වීමත් සුදුසුයි. යෝග ව්‍යායාම මෙවැනි තත්ත්වයකදී බොහෝ ප්‍රතිඵලදායකයි.

නව පෙම් සබඳතාවයන්ගෙන් කෙටි කලකට ඈත් වෙන්න

ඇතැමුන් පෙම් සබඳතාවයක් බිඳ වැටුණු පසු එම මතකයෙන් ඈත් වෙන්නටත් පෙර වෙනත් සබඳතාවයක් ඇති කර ගන්නවා. එය සුදුසු නැහැ. එවැනි ආරම්භයකට පෙර ඔබ අළුත් වී සිටිය යුතුයි. තනිකම දරාගැනීමට නොහැකි නිසා හෝ කලින් සහකරුට පෙනෙන්නට හෝ සබඳතාවයක් ඇති කරගැනීම තවත් ගැටළු රැසකට ඔබ විසින්ම මංපෙත් විවර කර ගැනීමක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් හදිසි තීරණ ගැනීම නොකළ යුතුයි. තනිව සිටින මේ කාලය ඔබට ඔබවම හඳුනා ගැනීමට, ඔබටම ආදරය කිරීමට ලැබී ඇති කාලයයි.

මේ ජීවිතය ඔබෙයි

අපට ඇබ්බැහි වීම් වලින් මිදෙන්න අමාරුයි. ඒ නිසයි ඔබේ මනස නිතරම ඔබේ පැරණි සහකරුවාව මතක් කරන්නේ. හමුවීම්, කතා-බහ කළ දෑ ආදිය ශබ්ද, දර්ශන, සිහින, මතකයන් ලෙස ඔබේ සිතේ මැවෙන්නේත්, කෙටි පණිවුඩයක්, දුරකතන ඇමතුමක් බලාපොරොත්තු වන්නේත් මනස එයට හුරු වී ඇති නිසයි. නමුත් එයින් මිදෙන්නට ඔබ මනස හුරු කරගත යුතුයි. කුඩා ළමයෙකු මෙන් තවදුරටත් යතාර්ථයක් නොවන දේ පසුපස හඹා නොයා තමන්ගේ සුබ සිද්ධිය උදෙසා සැලැසුමක් ඇති කරගැනීම අවශ්‍යයි. මේ ජීවිතය ඔබේ නිසාත් එහි වගකීම භාර ගත යුතු වන්නේ ඔබ නිසාත් දුක්, සුසුම්, අඳෝනා වල එල්බගෙන නොහිඳ​ කටයුතු කිරීමට ඔබ විසින්ම ස්වයං පාලනයක් ඇති කරගත යුතුයි.

Themes.com

මෙහෙමත් පාඩම්!

ප්‍රේම සබඳතා විතරක් නෙවෙයි ඕනෑම සබඳතාවයක් අපට යම් යම් දේවල් උගන්වනවා. එය සතුටුදායක හෝ දුක්ඛදායක අවසානයක් හිමි සබඳතාවයක් විය හැකියි. නමුත් එයින් අපට ඉගෙන ගත හැකි දේ බොහෝයි. සබඳතාවයක් බිඳ වැටුණු පමණින් ජීවිතය නොනවතින නිසා එයින් උගන්වන දේ ඉගෙන ගෙන ජීවිතය පවත්වා ගැනීම කළ යුතුයි. ඒ ඒ සබඳතා වලින් පුද්ගලයින් ලබන පෞද්ගලික අත්දැකීම් විවිධයි. එයින් උකහා ගත හැකි සත්‍යය තේරුම් ගැනීම ඔබ සතුයි.

ඔබ ගැන සැලකිලිමත් වන්න

වෙනත් කෙනෙකු සමඟ තිබූ සබඳතාවයක් බිඳ වැටුණු පමණින් ඔබ, ඔබ සමඟ තිබෙන සබඳතාවය නිමා නොකළ යුතුයි. වැදගත්ම දෙය වන්නේ ඔබ, ඔබ ගැන සැලකිලිමත් වීමයි. ආහාර වේල් මඟහැරීම, නිදි වර්ජිතව සිටීම, අපිරිසිදුකම ඔබව රෝගී කළ හැකියි. ඒ නිසා තරුණියක්, කාන්තාවක් ලෙස ඔබ සෞඛ්‍ය සම්පන්නව සිටිය යුතු බවත් මතකයේ තබා ගත යුතුයි.

makemestronger

නිවැරදි සහකරු

ඔහු අනිවාර්යයයෙන්ම ඔබට මුණ ගැසේවි. ඒ වෙනකම් පවුල, මිතුරු මිතුරියන්, අධ්‍යාපන කටයුතු, විනෝදාංශ, රැකියාව, චාරිකා, නැවුම් අත්දැකීම් එක්ක කාර්යබහුල වෙන්න ඔබට පුළුවන්. ඔබට ලැබුණු ජීවිතය යහපත් දිශාවකට යොමු කිරීම ඔබ කළ යුතුමයි.

කවරයේ පින්තූරය – pexels.com

මූලාශ්‍ර –

How to Recover from a Breakup the Healthy Way

The Break-Up Cure: 7 Ways to Heal & Find Happiness Again

Related Articles