Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිය දිවි නසා ගන්නා ඉන්දියානු ගෘහණියන්ගේ ශෝකාන්තය

තිස් හය හැවිරිදි ශිවානිගේ (අන්වර්ථ නාමයකි) විවාහ දිවිය වසර දහසයක් පමණ වෙනවා. විවාහ වූ මුල් අවධියේ සිට ම ඇය මානසික අවපීඩනයෙන් පසු වූයේ, සිය ස්වාමි පුරුෂයා සහ ඔහුගේ පවුලේ උදවිය ඇයට සේවිකාවක සේ සැලකීම නිසා යි. ශිවානි දවස පුරා ම සැමියාගේ නිවසට කොටු වී දිවි ගෙව්වා. තරබාරු බව සහ නිතර නිතර අසනීප වීම හේතුවෙන් ඇය නිතර ම සිය සැමියාගේ අපහාසවලටත් භාජනය වුණා.

මෙතෙක් විඳි මානසික පීඩනයේ අවසාන ප්‍රතිඵලය ලෙස ඇය සිය දිවි නසා ගැනීමට තීරණය කළා. ඒ සඳහා ඇය භාවිත කළේ අධික නිදිපෙති මාත්‍රාවක්. හිස් ඖෂධ පැකැට්ටුවක් සමඟ සිහිසුන් ව සිටින ශිවානි දුටු නිවැසියන්, වහා ම ඇය රෝහල්ගත කළා. දැඩි සත්කාර ඒකකයේ දී පරිශ්‍රමයකින් යුතු ව වෛද්‍යවරුන් කළ ප්‍රතිකර්ම නිසා කෙසේ හෝ ඇයට නැවත ජීවත් වීමට වරම් ලැබුණා.

ඉතා ළාබාල වයසේදී ම ඉන්දියානු ගැහැනු ළමයින් විවාහ ජීවිතයට ඇතුළත් වීම බරපතළ සමාජ අර්බුදයක් වී තිබෙනවා – www.bbc.com 

ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ දත්තවලට අනුව සිය දිවි නසා ගැනීමට ගොස් ජීවත් වීමට වරම් ලද ඉන්දියානුවන් 2075 දෙනාට ශිවානිත් අයත් වෙනවා. නමුත්, වසරක් පාසා සිය දිවි තොර කරගත් ඉන්දියානු ගෘහණියන්ට සාපේක්ෂව එය ඉතා සුළු ගණනක් පමණ යි.

අසාමාන්‍සංඛ්‍යාලේඛන

 ඉන්දියාවේ සිය දිවි නසා ගැනීමට පෙලඹෙන විශාලත ම සමාජ කාණ්ඩවලින් එකක් ලෙස එරට ගෘහණියන් සැලකෙනවා. 2018 දී දිනකට ගෘහණියන් 63 ක් පමණ සිය දිවි නසා ගත් අතර, ඉන්දියාවේ මුළු සිය දිවි නසා ගැනීම්වලින් 17.1% ක් ම ගෘහණියන් වීම විශේෂයෙන් සැලකිය යුතු ඛේදවාචකයක්. මක් නිසාද යත්, ගෘහස්ථ කටයුතු කළමනාකරණය කිරීම පමණක් නොව, පවුල් ඒකකයේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් ඇය විශේෂ කාර්යභාරයක් ඉටු කරන නිසා යි. අවසානයේ දී මුළු මහත් සමාජයට ම ඇය ගෙන් ඉටු වන මෙහෙය අති විශාල යි.

ඉන්දීය ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ දත්ත විශ්ලේෂණයට අනුව 2001 සිට ඉන්දියාවේ සෑම වසරක ම ගෘහණියන් 20,000කට වඩා සිය දිවි නසා ගෙන තිබෙනවා. මෑතක දී නිකුත් කළ වාර්තාවට අනුව පසුගිය වසරේ, එනම්, 2020 දී වාර්තා වූ සිදුවීම් ගණන 22,372 ක් බව සඳහන්. ඒ අනුව දිනකට සිදුවන සිය දිවි නසාගැනීම්වල සාමාන්‍ය අගය 61 ක් වන අතර, සෑම මිනිත්තු 25කට සැරයක් ඉන්දියාවේ කුමන හෝ ස්ථානයක සිටිනා ගෘහණියක් සිය දිවි තොර කර ගන්නා බව පැවසෙනවා. ඒ අනුව 2001 සිට දශක දෙකක් යන තුරුත්, මේ ප්‍රබල සමාජ ගැටලුව විසඳී නැහැ.

පවුල තුළ සියලු සීමා කිරීම් බොහෝ විට අත් විඳින්න සිදු වන්නේ ගෘහණියට යි –  www.bbc.com 

මහාරාෂ්ට්‍ර, පොන්ඩිචෙරි, තමිල්නාඩු, කේරළ ,කර්ණාටක ආන්ද්‍ර ප්‍රදේශ්, බටහිර බෙංගාලය වැනි ප්‍රදේශ ඉහළ සිය දිවි නසා ගැනීමේ අනුපාතයක් වාර්තා කරන අතර, පන්ජාබ්, උත්තර් ප්‍රදේශ්, බිහාර්, සාපේක්ෂ ව අඩු සියදිවි නසා ගැනීම් ගණනක් වාර්තා වන ප්‍රදේශ ලෙස හඳුනා ගෙන තිබෙනවා.

හේතු සාධක සරල නැහැ

ඇඩිලෙඩ් විශ්ව විද්‍යාලයේ විද්වතකු වන පීටර් මේයර්, ඉන්දියාවේ ගෘහණියන් අතර පවත්නා ඉහළ සිය දිවි නසා ගැනීමේ අනුපාතයේ සමාජ විද්‍යා පදනම ගැන කලක පටන් හදාරමින් සිටිනවා.  මෙතරම් ප්‍රබල සමාජ ගැටලුවක් කෙරෙහි ඉන්දියාවේ ජන මාධ්‍ය එතරම් අවධානයක් යොමු නොකිරීම ගැන ඔහුට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.

 බටහිර සමාජ කේන්ද්‍ර කර ගත් පර්යේෂණවල දී විවාහක  කාන්තාවන් සිය දිවි හානි කර ගැනීමේ සම්භාවිතාව අඩු බව නීරික්ෂණය කොට තිබෙනවා. එනම්, විවාහය යම් තාක් දුරකට බටහිර සමාජයේ කාන්තාවන් සිය දිවි හානි කර ගැනීමේ ප්‍රවණතාවයෙන් වලක්වා ගන්නා සාධකයක් බවට පත් වී තිබෙනවා. නමුත්, ඉන්දියාවේ තත්ත්වය ඊට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ යි.

ඉන්දීය ගෘහණියන් අතර පවත්නා ඉහළ සිය දිවි නසා ගැනීමේ අනුපාතයට හේතු ලෙස “පවුල් ආරවුල්” සහ “විවාහය සම්බන්ධ කාරණා” යන සාධක පහසුවෙන් ගෙන හැර දැක්විය හැකි වුවත්, ඒවා හේතූ ගණනාවක් එකට පවත්නා විශාල කුලක වෙනවා. ගැටලුවට සැබෑ පිළිතුරු සෙවීමට නම් මේ විශාල කුලක තුළ තිබෙන හේතූ එකින් එක විශ්ලේෂණය කළ යුතු යි. දත්ත ඔස්සේ ගොස් යම් යම් නැඹුරුතා සොයා ගැනීමට විද්වතුන් ඒ අනුව සමත් වී තිබෙනවා.

ඉන්දියාව තුළ විවාහක කාන්තාවන් ගෙන් 30% ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ අත්දැකීම් විඳ තිබෙනවා- www.indiaspend.com 

විස්තෘත හා න්‍යෂ්ඨික පවුල්

 ඉන්දියානු ගෘහණියන් අතරින් සිය දිවි තොර කර ගැනීමේ වැඩි ම අවදානමක් ඇත්තේ විවාහ දිවියේ පළමු හෝ දෙවන දශකය ගත කරන කාන්තාවන් අතර බව සඳහන්. කාන්තා සාක්ෂරතාව, මාධ්‍යයට නිරාවරණය වීමේ හැකියාව, පවුල් ඒකකයේ ප්‍රමාණය සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ වපසරිය යන සාධකත් සමඟ මේ සමාජ ගැටලුව බැඳී ඇති බව පර්යේෂකයන් පවසනවා.

පවුල් ඒකකයේ ප්‍රමාණය සැලකීමේ දී සාම්ප්‍රදායික ඉන්දියානු පවුල් තුළ සිදුවන සිය දිවි නසා ගැනීම් අවම මට්ටමක පවතින බව නිරීක්ෂණය වී තිබෙනවා. සාම්ප්‍රදායික ඉන්දියානු පවුල් සාපේක්ෂ ව විශාල වන අතර, කිට්ටු ලේ සබඳකම් පවතින පවුල් කිහිපයක් විශාල ගෘහයක් තුළ එකට ජීවත් වීම සිදු වෙනවා. එවැනි විස්තෘත පවුල් බහුල ව වෙසෙන ප්‍රාන්තවල සියදිවි නසා ගැනීමේ අනුපාතයත් අවම මට්ටමක පවතිනවා. කුඩා පවුල් ඒකක බහුල ව ජීවත් වන තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ්, කේරළ යන ප්‍රාන්තවල එම අනුපාතය ඇත්තේ ඉහළ මට්ටමක යි. 

ලෝකයේ සියදිවි නසා ගන්නා කාන්තාවන් ගෙන් 37% ක් ඉන්දියානුවන් වෙනවා – timesofindia.indiatimes.com 

ගතික සමාජයේ ස්ථිතික පවුල

  ඉන්දීය ගෘහණියන් සිය දිවි නසාගැනීමේ ඉහළ අනුපාතය, පවුල් ඒකකයෙන් පිටත සිදුවන සමාජ පරිවර්තනයේ ස්වභාවය සමඟත් සම්බන්ධ කළ හැකි යි. ඒ අනුව විවාහය තුළ පවා එකිනෙකාගේ සමාජ භූමිකා හා අපේක්ෂාවල වෙනසක් හෝ අවබෝධ කර ගැනීමක් අවශ්‍ය වෙනවා.

“බොහෝ කාන්තාවන් බලහත්කාරයෙන් යෝජිත විවාහවලට මුහුණ දෙනවා. ඔවුන්ටත් සිහින සහ අපේක්ෂා ඇති බව අපි තේරුම් ගත යුතු යි. නමුත්, බොහෝ විට ඔවුන්ට සහාය දක්වන ස්වාමි පුරුෂයෙක් ලැබෙන්නේ නැහැ. මාපියන් ගෙන් ලැබෙන සහයෝගයත් අවම යි. ඉන්දියාවේ ගෘහණිය දුෂ්කර ක්‍රමයක් ඇති සමාජ පරිසරයක කොටු වී සිටිනවා.”

ගෝව ප්‍රදේශයේ මනෝ වෛද්‍යවරයකු සහ මහාචාර්යවරයකු වන වික්‍රම් පටෙල්ට ඇත්තේ එවැනි අදහසක්. පවුල් ඒකකයෙන් බාහිර සමාජය වේගයෙන් පරිවර්තනයට ලක් වෙමින් තිබිය දී පවුල තුළ එම පරිවර්තනය ක්‍රියාත්මක නොවීම ගැටලු සහගත විය හැකි යි. අද ලෝකය යනු අවස්ථා පිරුණු ස්ථානයක්. නමුත්, පවුල තුළ තවමත් ලිංග භේදය මත වෙනස් කොට සැලකීම සිදු වෙනවා නම් කාන්තාව ආතතියට පත් වීම වැලැක්විය නොහැකි යි. වර්තමාන ඉන්දියානු සිනමාවත් මෙම ගැටලුව ප්‍රශංසනීය මට්ටමෙන් සාකච්ඡාවට බඳුන් කරනවා.

ඉන්දියාවේ ගෘහණියන් වාර්තාගත අනුපාතයකින් සියදිවි නසා ගත්තත්, ජන මාධ්‍ය එතරම් තැකීමකින් කටයුතු කරන්නේ නැහැ – www.bbc.com 

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ඇතුළාන්තය

 ඉන්දීය රජයේ මැදිහත් වීමෙන් මෑතක දී සිදු කළ සමීක්ෂණයකට අනුව විවාහක කාන්තාවන්ගෙන් 30% ක් පමණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වී ඇති බව අනාවරණය කර ගෙන තිබෙනවා. නිවසේ කටයුතු වෙනුවෙන් අධික ව සිදු කරන කැප කිරීම් සහ වෙහෙස මහන්සිය හේතුවෙන් කුටුම්බයේ ජීවිතය ඔවුන්ට අමිහිරි සහ නීරස වී ඇති බව මානසික සෞඛ්‍ය විශේෂඥයන් පවසනවා. අවසානයේ දී ඔවුන් පීඩනය පිට කරන මොහොතේදී ම ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා

 “කාන්තාවන්ට පීඩනය කළමනාකරණය කරගත හැකි වුණත්, ඉවසීමට සීමාවක් තිබෙනවා. බොහෝ ගැහැනු ළමයින් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ වහාම විවාහ කර දෙන්න මව්පියන් කටයුතු කරනවා. ඇය බිරියක් සහ ලේලියක් වී මුළු දවස ම නිවසේ ගත කරනවා. සියලු සීමා කිරීම් බල පැවැත්වෙන්නේ ඇය මත පමණ යි. ඇයට පෞද්ගලික නිදහසක් නොමැති අතර, කලාතුරකින් ඇයගේ ම මුදල් සඳහා ඉතා සීමිත ප්‍රවේශයක් ලබා දෙන අවස්‍ථා තිබෙනවා. ඇයගේ අධ්‍යාපන සිහින තවදුරටත්  නිවැසියන්ට වැදගත් වන්නේ නැහැ. ඉන්පසු ළාබාල බිරියගේ අභිලාෂයන් කාලයත් සමඟ කෙමෙන් කෙමෙන් නිවී යනවා”

 උතුරු වරානාසි නගරයේ සායනික මනෝ විද්‍යාඥයකු වන ආචාර්ය ඌෂා වර්මා ශ්‍රීවාස්තවා, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ මූල බීජය මතු කරගෙන ඇත්තේ ඒ ආකාරයෙන්. කාලයත් සමඟ ඒකාධිපති විවාහ ජීවිතයකට කොටු වූ බිරියගේ අභිලාෂයන් වියැකී ගියත්, අපේක්ෂා භංගත්වය ඒ හිඩැස පිරවීම සඳහා පෙරට පැමිණෙනවා. අවසාන ප්‍රතිඵලය වන්නේ විවාහ ජීවිතය ඇයට වද හිංසාවක් වීම යි. මේ බව තේරුම් නො ගන්නා ස්වාමි පුරුෂයා සහ අනෙකුත් නිවැසියන් ඇයත් සමඟ ගැටුම් ඇති කර ගැනීමට පෙලඹෙනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ඇතුළාන්තය භෞතික හිරිහැර කිරීම්වලටත් වඩා අඳුරු වන්නේ ඒ නිසා යි. මෙතරම් මානසික ව බිඳ වැටුණු පුද්ගලයකුට සිය දිවි තොර කර ගැනීමේ හැඟීම් පහළ වීම අරුමයක්  නොවෙයි.  

“එම්ප්ටි නෙස්ට් සින්ඩ්‍රෝමය” යනු තම අවසාන දරුවත් නිවසින් පිට ව ගිය පසු  මාපියන්ට දුක සහ අහිමි වීමේ හැඟීම් අත්කර දෙන එක්තරා සංසිද්ධියක් – www.thetimes.co.uk 

එම්ප්ටි නෙස්ට් සින්ඩ්‍රෝමය

 වඩාත් වයස්ගත වූ විවාහක කාන්තාවන් සිය දිවි නසා ගැනීම පිටුපස වෙනස් ම කාරණා තිබෙන බව වර්මා ශ්‍රීවාස්තවාගේ අදහස යි. දරුවන් වැඩී නිවසින් පිට ව ගිය පසු බොහෝ කාන්තාවන් “එම්ප්ටි නෙස්ට් සින්ඩ්‍රෝමය” නමැති තත්ත්වයට මුහුණ දෙන බවත්, එයින් හට ගන්නා මානසික අවපීඩනය ඉතා නරක අතට හැරිය හැකි බවත්, වර්මා පවසනවා.

“එම්ප්ටි නෙස්ට් සින්ඩ්‍රෝමය” යනු තම අවසාන දරුවත් නිවසින් පිට ව ගිය පසු මාපියන්ට දුක සහ අහිමි වීමේ හැඟීම් අත්කර දෙන එක්තරා සංසිද්ධියක්. දරුවන්ට ස්වාධීන වීම උදෙසා අවශ්‍ය දිරිමත් කිරීම් සහ මඟ පෙන්වීම ජීවිත කාලය පුරා මව්පියන් ලබා දුන්නත්, ඔවුන් තමන් හැර යන අවස්ථාවේ දී දැනෙන හැඟීම් වේදනාකාරී විය හැකි යි. විවාහ ජීවිතයේ ආරම්භයේ පටන්ම ඉන්දියානු පවුල් ඒකක තුළ කාන්තාවට අත් විඳින්නට සිදුවන සීමා කිරීමේ පීඩනය ජීවිතයේ කුමන හෝ අවධියක භයානක ලෙස පුපුරා යෑම මේ අයුරිනුත් සිදු විය හැකි යි. ගෘහස්ථ ජීවිතය හෝ ගෘහණියගේ භූමිකාව කාන්තාවකගේ මුළු ජීවිතය ම නොවිය යුත්තේ ඒ නිසා යි. 

විවාහ ජීවිතය තුළ පවා කාල රාමුවකට යටත් නොවූ අරමුණු කාන්තාවකට පවත්වා ගැනීමේ නිදහස් වටාපිටාවක් සැකසීම ඉතා වැදගත්. එවිට දුෂ්කරම අවස්ථාවල පවා ඇය සදාකාලිකව ම හැඟීම්වල අතරමං වන්නේ නැහැ. රටක් වශයෙන් හෝ සංස්කෘතික වෙනස්කමක් නොමැතිව ඕනෑම පවුලක මධ්‍යස්ථවාදය ඇතිකර ගත හැකි නම් මෙවැනි ගැටලු විසඳා ගැනීමේ පසුබිමක් සැකසෙනවා.

මාධ්‍යයට වගකීමක් නැද්ද?

තත්ත්වය වඩාත් නරක අතට හැරෙන්නේ මානසික අවපීඩනයෙන් පෙළෙන ගෘහණියන් සඳහා නිසියාකාර උපදේශන සේවාවක් හෝ වෛද්‍ය පහසුකම් ඉන්දියාව තුළ නොමැති වීම යි. මානසික ගැටලු සම්බන්ධයෙන් සමාජය තුළ පවත්නා දුර්මතත් මෙහි දී අවාසිදායක ලෙස බලපානවා.

සිය දිවි නසා ගන්නා ගොවියන් ගැන ඉන්දීය මාධ්‍ය කොතෙක් වාර්තා කළත්, මෙතරම් භයංකාර සංඛ්‍යා ලේඛන ඇති ඉන්දියානු ගෘහණියන්ගේ ගැටලුව ගැන මාධ්‍ය ආයතන එතරම් තැකීමක් කරන්නේ නැහැ. විශේෂයෙන් ම සියදිවි තොර කර ගැනීමේ හැඟීම් පහළ වන උදවියට විශාල මානසික සහනයක් ලබා දෙන උපදේශන සේවා වඩාත් සමීප කිරීමේ හැකියාව ඇත්තේ මාධ්‍යයට යි.

ඉන්දියාව තුළ වැඩි වශයෙන් සියදිවි නසා ගැනීමට පෙළඹෙන කාණ්ඩ අතර ඉන්දියානු ගෘහණියත් සිටිනවා – www.business-standard.com

ඉන්දීය මාධ්‍,ය විවාහක කාන්තාවකගේ සිය දිවි නසා ගැනීමක් වාර්තා කරන සෑම විට ම වාගේ නැන්දම්මාගේ අයුතු සැලකීම්, දෑවැද්ද අරයා කරන හිරිහැර කිරීම් යන කරුණු මතු කිරීමට උත්සහ කරනවා. එහි යම් සත්‍යතාවයක් ඇතත්, පැහැදිලි ව ම එය විශාල සමාජ ගැටලුවක එක කොටසක් පමණ යි. ගැටලුව සම්බන්ධ සමාජ කතිකාවතක් ඇති කිරීමට තරම් එම වාර්තා කිරීම් ප්‍රමාණවත් වන්නේ නැහැ. හේතුව වන්නේ ලිංග භේදය මුල් කර ගත් වෙනස් කොට සැලකීම් ඉන්දීය මාධ්‍ය පවා මඟ හැර යාම යි.

 සිය දිවි නසා ගැනීම් පහසුවෙන් වලක්වා ගත හැකි බවත් මෙහි දී සඳහන් කළ යුතු යි. ඔබට කෙනකු තත්පරයකට හෝ නතර කළ හැකි නම්, ඔහු හෝ ඇ‍ය සිය දිවි තොර කර ගැනීමේ උත්සාහය අත්හැර දැමීමේ විශාල ඉඩකඩක් පවතිනවා.  එහිදී ඔබ අනුකම්පා සහගත හෝ විනිශ්චය කරන්නකුට වඩා සහකම්පනයක් සහිත පුද්ගලයකු වීම ඉතා වැදගත්.

 කවරයේ ඡයාරූපය: ඇතැම් සමාජ වල කාන්තාවන් අතර පවත්නා සියදිවි නසා ගැනීම් ප්‍රවණතාවය විවාහය හේතුවෙන් අවම වී ගියත්, ඉන්දියාවේ තත්ත්වය හාත්පසින් ම වෙනස් - www.vice.com 

මූලාශ්‍ර:

www.bbc.com

www.bbc.com

www.indiaspend.com

www.mayoclinic.org 

Related Articles