Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බෝනික්කන්ගේ ලෝකය

පුංචි ගැහැණු ළමයි වගේම තරුණ වයසේ ඉන්න අයත් ආසම යාළුවෙක් තමයි බෝනික්කා කියන්නෙ. බොහෝ වෙලාවට ගැහැණු ළමයින්ට කුඩා කාලෙදි එයාලගේ හොඳම යාළුවො වුණු බෝනික්කො පරම්පරාවක්ම ඉන්නවා. මේ ලස්සන යාළුවො වටේ තමයි පුංචි අය එයාලගේ සුරංගනා ලෝකය මවා ගන්නේ. අළුත් අළුත් නම් දාගෙන, වෙලාවකට ඉස්කෝලෙක ගුරුතුමියක් වගේ, තවත් වෙලාවකට දොස්තර නෝනා කෙනෙක් වගේ මෙයාලාත් එක්ක සෙල්ලම් කරනවා තරම් සතුටක් පුංචි අයට නැහැ.

ඔයාලා ළඟත් තවමත් පරිස්සමට ළඟ තියාගෙන ඉන්න බෝනිකි යාළුවෙක් ඉන්නවා වෙන්න පුළුවන්. බෝනික්කෙක් නැති ළමා කාලයක් ගැන හිතලා බැලුවොත් එතන ලොකු අඩුවක් තියෙනවා නේද? ලස්සන ළමා ලෝකයේ හිස්තැන් පුරවපු මේ බෝනික්කො ගැන තමයි අද කතා කරන්නෙ.

පුංචි අයගෙ ළමා කාලය සතුටින් පුරවන බෝනික්කො. (westinhoustonmemorialcity.com)

එකෝමත් එක කාලෙක…

මිනිස් රුවකට සමාන විදියට නිර්මාණය කරලා තියෙන බෝනික්කො ගැන මුල්ම ආරංචිය ලැබෙන්නෙ පුරාණ ඊජිප්තුවෙන්, ග්‍රීසියෙන් සහ රෝමයෙන්. පුංචි දරුවන්ගෙ සෙල්ලම් උපකරණයක් වගේම, අභිචාර විදි සඳහාත්, ආගමික පූජා කර්ම සඳහාත් බොනික්කො යොදාගෙන තියෙනවා. අතීතයේදී මේ බෝනික්කෝ හදන්න පාවිච්චි කරලා තියෙන්නෙ මැටි, ගල්, අස්ථි, ලී, ඇත් දළ, සත්ත්ව හම් සහ ඉටි වගේ දේවල්. පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව ලොව පැරණිම සෙල්ලම් උපකරණය විදියට සැලකෙන්නෙත් බෝනික්කො.

ඊජිප්තුවෙන් හමුවුණු හබලක හැඩය ඇති ලී බෝනික්කා. (metmuseum.org)

දැනට සොයාගත්ත පැරණිතම බෝනික්කෙක් තමයි ඊජිප්තුවෙන් හමුවුණු හබලක හැඩයක් ඇති ලී බෝනික්කා. ග්‍රීසියෙන් සොයාගත්ත බෝනික්කන්ගේ ගලවා සවි කළ හැකි පාද තියෙනවා. රෝමයෙන් හමු වුණු ලී, මැටි, ඇත්දළ සහ සත්ත්ව හම යොදාගෙන නිර්මාණය කළ බෝනික්කන්ව ඒ කාලයේ ජනප්‍රිය ඇඳුම් විලාසිතා වලින් සරසලා තියෙනවා. අළුතෙන් විවාහ වන යුවතියක් තමන්ගේ බෝනික්කාව දෙවඟනකට පූජා කළ යුතු සිරිතක් පුරාණ රෝමයේ සහ ග්‍රීසියේ පැවතුණා. ඒ වගේම දරුවන්ට අල්ලන්නවත් නොදුන්න බෝනික්කොත් ඉඳල තියෙනවා. ඒකට හේතුව ඒ බෝනිකකන්ගේ අසීමිතව පවතින මායා බලයක් ඇති බවට පැරැණ්නන්ගේ තිබූ විශ්වාසය. අප්‍රිකාවේ බෝනික්කො කුඩා ළමුන්ගේ ඉගෙනුම් උපකරණ විදියට භාවිතා කරලා තියෙනවා  වගේම දේව දූතයන් සහ මුතුන්මිත්තන් ලෙසත් සලකලා තියෙනවා.

ග්‍රීසියෙන් සොයාගත් පැරණි බෝනික්කෙක්. (metmuseum.org)

ජපානයේ සාම්ප්‍රදායික බෝනික්කන්ගේ ආගමනය පුරාණ ජොමොන් සංස්කෘතියෙන් ඇරඹෙන අතර ආරක්ෂාවට සහ ආගමික වතාවත්වලට යොදාගත් මේ බොනික්කො වාසනාවේ සංකේතයක් ලෙසත් සැලකෙනවා. උතුරු ඇමරිකාවේ ඇපල් බෝනික්කන්ගෙ හිස වේලපු ඇපල් වලින් හදලා තියෙනවා.  ජර්මනියේ මැටිවලින් බෝනික්කො නිර්මාණය කරලා තියෙන්නෙ 13 වන සියවසේදීයි. 15 වන සියවස වෙද්දි ලී බෝනික්කන් නිර්මාණය වුණා. රෙදි යොදාගෙන විවිධ විලාසිතාවලට හැඩ ගන්වපු සරල, සුන්දර බෝනික්කො නිර්මාණය වුණේ ප්‍රංශයේදි. ඒ 16 වෙනි සියවසේදි.

19 වෙනි සියවස

19 වන සියවස වෙනකම්ම යුරෝපයේ බෝනික්කෝ හදන්න ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට භාවිතා කළේ ලී. වික්ටෝරියා රැජිනගේ පාලන කාලය වෙනකම් (19 වැනි සියවසේ මුල) බෝනික්කන්ට තිබුණෙ දුඹුරු පැහැ ඇස්. නිල් ඇස් තියෙන බෝනික්කො කරලියට ආවෙ වික්ටෝරියා රැජිනගේ පාලන කාලයේ නිල් ඇස් ජනප්‍රිය වීමෙන් පසුවයි.

බිළිඳෙකුගේ රූපයට සමානව නිර්මාණය කළ බෝනික්කෙක්. (youtube.com)

රවුම් හිසක් සහ මෘදු අත් පා සහිත, බිළිඳෙකුගේ ස්වරූපයක් ඇති බෝනික්කන් මුලින්ම දකින්න ලැබෙන්නෙ 1851දි ලන්ඩන්වල තිබූ ප්‍රදර්ශනයකදි. 1890 දි රුසියාවේ “මැට්‍රියොෂ්කා” නමින් බෝනික්කො වර්ගයක් නිර්මාණය කෙරුණා. කිහිප දෙනෙක්ගෙන් සැදුණු කට්ටලයක් ලෙස නිර්මාණය කළ මොවුන් කුහරයක් සහිතයි. එක් බෝනික්කෙක් තුළට අනෙක් බෝනික්කා ඇතුළු කළ හැකි අතර මොවුන් එකම තේමාවකට අනුව අලංකාර ලෙස වර්ණ ගල්වලා තියෙනවා.

රුසියාවේ මැට්‍රියොෂ්කා බෝනික්කන්. (alphacoders.com)

බෝනික්කන් නිෂ්පාදනයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ 1860 සිට 1890 දක්වා කාලය. විවිධ යාන්ත්‍රික ක්‍රියාවලින් ඇතුළත්, ඇවිදින්නට, කතා කරන්නට, සටන් කරන්නට වගේම සංගීත භාණ්ඩ වාදනය කරන්නටත්, නර්තනයේ යෙදෙන්නටත් පුළුවන් බෝනික්කො මේ කාලයේදී හඳුන්වා දුන්නා. බොනික්කන් සම්බන්ධ බොහෝ නව නිපැයුම් රැසකට පේටන්ට් බලපත්‍ර ලැබුණෙත් මේ කාල සීමාවෙදීයි.

කාර්මික විප්ලවයෙන් පස්සෙ බෝනික්කො නිෂ්පාදනය කරන විදියත් වෙනස් වුණා. පෝසිලේන්වලින් නිර්මාණය කළ හිසට රෙදි, ලී, ලෙදර් හෝ මේ සියල්ලම යොදාගෙන නිර්මාණය කෙරුණු ශරීර කොටස් සම්බන්ධ කිරීම සිදු වුණා.

තවත් අළුත් නිර්මාණ

20 වන සියවසේදී පොලිමර් සහ ප්ලාස්ටික් හඳුන්වා දුන්නට පස්සෙ ඒවායින් බෝනික්කන්ට අමතරව තවත් සෙල්ලම් බඩු නිෂ්පාදනය ඇරඹුණා. කඩදාසි බෝනික්කො නිර්මාණය වෙන්නෙත් මේ කාලෙදිමයි. වර්තමානයේදී නළු නිලියන්, ගායක ගායිකාවන්, සාර්ථක ව්‍යාපාරිකයන් වගේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ රූපයට සමානව නිර්මාණය කළ බෝනික්කන් දකින්න ලැබෙනවා. මුලින්ම ප්‍රසිද්ධ පුද්ගලයෙක්ට සමානව බෝනික්කෙක් නිපදවලා තියෙන්නෙත් කඩදාසිවලින්. බැලේ නාටිකාංගනාවකට සමානවයි ඒ බෝනික්කා හදලා තියෙන්නෙ.

ලොව පුරා කුඩා දැරියන් අතර ඉතා ජනප්‍රිය රෙදි බෝනික්කන්.(youtube.com)

විලාසිතා නිර්මාණයේදී යොදා ගැනෙන බෝනික්කන් (Fashion dolls) හඳුන්වා දෙන්නෙ 19 වැනි සියවසේ මැද භාගයේදියි. බෙස්ක් පෝසිලේන් (Bisque porcelain) වලින් නිර්මිත මේ බෝනික්කන් මූලිකවම යොදා ගන්නෙ නවීන විලාසිතා ප්‍රදර්ශනය කිරීමට.

බාබි බෝනික්කෝ

බාබි බෝනික්කන් නිර්මාණය ආරම්භ කළ රූත් හැන්ඩ්ලර්.(emaze.com)

පළමු බාබි බෝනික්කා වෙළඳපොළට එන්නෙ 1959 දි. ඇමෙරිකානු ව්‍යාපාරික කාන්තාවක් වන රූත් හැන්ඩ්ලර් විසින් නිර්මාණය කරන ලද බාබි බෝනික්කා සුරතල්, ළමා පෙනුමක් තිබෙන සාම්ප්‍රදායික බෝනික්කන්ගෙන් වෙනස් වෙලා වැඩිහිටි පෙනුමක් සහිතව නිපදවුණා. මේ නිර්මාණය සඳහා ජැක් රයන් නම් ඉංජිනේරුවාගෙන් උදව් ලබා ගත් රූත් ඒ සමඟම බාබි බෝනික්කන්ට විවිධාකාර විලාසිතාවලින් යුත් ආකර්ෂණීය ඇඳුම් පෙළක්ද හඳුන්වා දුන්නා. වෙන වෙනම මිලට ගත හැකි මේ ඇඳුම් නිසාම බාබි ලොව පුරා දරුවන් අතර ඉතා ඉක්මණින් ජනප්‍රිය වුණා. පළමු බාබි බෝනික්කා තළෙළු සමක් සහ දුඹුරු පැහැ හිසකෙස් ඇත්තියක්. සීබ්‍රාවෙකුගේ සමෙහි රටාව සහිත පිහිනුම් ඇඳුමකින් සැරසුණු මොවුන් නිශ්පාදනය කරලා තියෙන්නෙ ජපානයේදියි. 1980දී පළමුවරට කළු සමක් සහිත බාබි බෝනික්කන් නිර්මාණය වුණා.

බාබි බෝනික්කන් නිෂ්පාදනය කරන මැට්ල් (Mattel) සමාගම 2001 දී වර්ණය අනුව මොවුන් වර්ග කළා. රෝස පැහැති ලේබලය යටතේ එන බාබි බෝනික්කන් මිල අඩුයි. මහා පරිමාණයෙන් නිපදවන මේවා දරුවන්ට සෙල්ලම් කිරීම සඳහා නිර්මාණය වෙනවා. බාබි බෝනික්කන් එකතුවක් ලෙස, සිමාසහිතව නිපදවන බෝනික්කන් කට්ටලය වෙළඳපොළට එන්නෙ රිදී පැහැ ලේබලය යටතේයි. රන් පැහැ ලේබලයෙන් එන බාබි බෝනික්කන්ද රිදී පැහැ ලේබලයේ වගේම බෝනික්කො එකතුවක් ලෙසයි නිපදවන්නෙ. නමුත් රිදී පැහැ ලේබලයේ බෝනික්කන්ටත් වඩා රන් පැහැ ලේබලය යටතේ නිපදවන බෝනික්කන් සංඛ්‍යාව අඩුයි. වටිනාකමින් ඉහළම ප්ලැටිනම් ලේබලය යටතේ එන බාබි බෝනික්කන් 1000කටත් අඩු ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය කරන්නෙ. මේවා මිලට ගන්න පුළුවන් වෙන්නෙත් සමහර ගණුදෙනු කරුවන්ගෙන් විතරයි.

ප්ලැටිනම් ලේබලය යටතේ නිපදවෙන බාබි බෝනික්කන්. (travel.ulifestyle.com.hk)

ටෙඩි බෙයාර් බෝනික්කෙක්?

ක්‍රියාත්මක විය හැකි බෝනික්කන් 1964 දි හඳුන්වා දුන් අතර පිරිමි ළමුන් අතර මේ වර්ගය ජනප්‍රිය වෙනවා. මොවුන්ට සටන් කරන්න වගේම බටනලා වාදනය කරන්නත් පුළුවන්. ටෙඩි බෙයාර් කියන්නෙත් වළහෙකුගේ හැඩයට නිර්මාණය කළ බෝනික්කෙක් තමයි. ඔවුන්ට “ටෙඩි බෙයාර්” කියන නම ලැබුණෙ ඇමරිකාවෙ හිටපු ජනාධිපතිවරයෙක් වන තියොඩර් රුස්වෙල්ට්ගේ පාලන කාලයේදියි.

අද වෙන විට විවිධ අරමුණු සඳහා නිර්මාණය කළ විවිධ බෝනික්කන් වර්ග විශාල ප්‍රමාණයක් වෙළඳපොලේ දකින්න පුළුවන්. බෝනික්කන් නිර්මාණයට භාවිත කරන ක්‍රමය, යොදා ගන්නා අමුද්‍රව්‍ය වගේම ඔවුන්ගේ පෞරාණිකත්වය අනුවත් වෙළඳපොළ වටිනාකම තීරණය වෙනවා. දියමන්ති යොදාගෙන නිර්මාණය කළ බෝනික්කො, බටනලා වාදනය කරන බෝනික්කො (මොවුන් නිපදවීමේදී යොදාගැනෙන යාන්ත්‍රික උපක්‍රම බොහොම සංකීර්ණයි) වගේම ලොව පළමු බාබි බෝනික්කන්ගෙ එකතුවටත් ඉතා ඉහළ වෙළඳපොළ වටිනාකමක් හිමියි.

බෝනික්කෙක් සෙල්ලම් උපකරණයක් විදියට විතරක් සරලව අර්ථ දක්වන්න බැහැ. පුංචි දරුවා තමන්ගේ බෝනික්කාව එයාගේ ජීවිතයේ ඉන්න හොඳම යාළුවෙක්, ආරක්ෂකයෙක් වගේම මඟපෙන්වන්නෙක් බවට පත් කර ගන්නවා. ඔවුන්ට ආදරය කරමින්, සැර වැර කරමින්, චරිත මවමින් අපූරු නිර්මාණශීලී ලෝකයක් හදා ගන්නවා. දරුවන්ගේ ප්‍රාර්ථනාවන්, රහස්, සතුට, දුක මේ හැමදේම වෙන කාටවත් වඩා දන්නෙ ඔවුන්ගේ බෝනික්කො රැළ. කොච්චර පරණ වුණත්, තමන් ම නමක් දීලා පුංචි කාලෙ ඉඳන් ළඟින් තියාගෙන උන්නු මේ යාළුවො අපි සෙල්ලම් කරන වයස පහු වුණාමත් අහක දාන්න හිතෙන්නෙ නැත්තෙ අන්න ඒ නිසයි.

කවරයේ පින්තූරය: westinhoustonmemorialcity.com

මූලාශ්‍ර:

  1. www.encyclopedia.com
  2. www.viralnova.com
  3. www.historyofdolls.com

Related Articles