කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයේ සංක්ෂිප්ත ඉතිහාසය පිළිබඳව මෙන්ම එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් යුතුව විශ්වීය වශයෙන් බලාත්මක වන කාන්තා අයිතිවාසිකම් ප්‍රකාශනයක් දක්වා ලෝක ප්‍රජාව ආ ගමන් මග පිළිබඳවත් අප මින් පෙර ලිපියෙන් සාකච්ඡා කළෙමු. 1979 වසරේදී රාජ්‍යපාර්ශවයන් 130කගේ ඡන්දයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් “කාන්තාවන්ට එරෙහිව පවත්නා සියලුම ආකාරයේ වෙන් කොට සැළකීම් ඉවත් කිරීමේ ප්‍රඥප්තිය” හෙවත් CEDAW (Convention on the Elimination of All Forms of Discrimination against Women) පණ ගැන්වූ ආකාරය පිළිබඳවද එහිදී අප විසින් සඳහන් කරන ලදී. මෙවර ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ සම්මුතිය හරහා විශ්වීය මට්ටමින් තහවුරු කොට ඇති විශේෂිත කාන්තා අයිතීන් මොනවාදැයි ඔබට හඳුන්වා දීමටයි.

පූර්විකාව

ව්‍යවස්ථා 30කින් සමන්විත වන CEDAW සම්මුතියෙහි කාන්තාවන්ගේ සමානාත්මතාවය පිළිබඳ අයිතීන්, වෛවාහක අයිතීන්, ආර්ථික අයිතීන්, සාමාජීය සහ සංස්කෘතිකමය අයිතීන් මැනවින් දක්වා තිබේ. මානව අයිතිවාසිකම්, මානව ගරුත්වය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යන විශ්වීය සංකල්පයන් කෙරෙහි අවතින විශ්වාසයෙන් යුතුව රාජ්‍ය පාර්ශවයන් මෙම සම්මුතියට එළඹෙන බව සම්මුතියෙහි පූර්විකාවෙහි සඳහන් වේ. මෙවැනි නෛතික රාමු පැනෙව්වද කාන්තාවන් වෙන් කොට සැලකීමට භාජනය වන බව දිගින් දිගටම සිහියෙහි තබාගත යුතු වන බවත්, කාන්තා පුරුෂ සමානාත්මතාවය පරිපූර්ණ වශයෙන් ළඟා කර ගැනීමට නම් කුටුම්බය සහ සමාජය තුළ කාන්තාවන් සහ පුරුෂයින් විසින් දරනු ලබන සාම්ප්‍රදායික භූමිකාව වෙනස් විය යුතු බවට රාජ්‍ය පාර්ශවයන් දැනුවත්ව සිටින බව සිත්හි දරාගෙන මෙම සම්මුතියට එළඹෙන බවත්, සම්මුතියෙහි පූර්විකාවෙහි සඳහන් වේ.

http://nation.com.pk

සමානාත්මතාවය තහවුරු කිරීම

සම්මුතියෙහි පළමුවන ව්‍යවස්ථාව මගින් ඉඩ වෙන්කොට ඇත්තේ වෙන්කොට සැළකීම හෙවත් “Discrimination” යන්න අර්ථ නිරූපණය කිරීම වෙනුවෙනි. ලිංග භේදය මත පදනම්ව කාන්තාවන්ට පැනවෙන ඕනෑම වෙන් කිරීමක්, ඉවත් කිරීමක් හෝ බාධා පැමිණවීමක් වෙන්කොට සැලකීමක් ලෙස හඳුනාගත යුතු බව සම්මුතිය සඳහන් කර සිටී. කාන්තාවන්ගේ වෛවාහක තත්වය මත පදනම් නොවෙමින්; දේශපාලනික, ආර්ථිකමය, සමාජීය, සංස්කෘතිකමය මෙන්ම සිවිල් අංශයන්හි කාන්තාවන්ගේ සමානාත්මතාවය මෙන්ම මානව අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස තහවුරු විය යුතු බව මෙහි වැඩිදුරටත් සඳහන් වේ. කාන්තාවන් වෙන්කොට සැළකීමට බඳුන් නොවීම උදෙසා රාජ්‍ය පාර්ශවයන් විසින් ගත යුතු පියවර පිළිබඳව සම්මුතියෙහි දෙවන ව්‍යස්ථාව තුළ සවිස්තරාත්මකව සඳහන් වේ.

සම්මුතියේ සයවන ව්‍යවස්ථාව ප්‍රකාශ කර සිටින්නේ කාන්තාවන් ගණිකා වෘත්තිය ඇතුළු සියලුම ආකාරයේ ලිංගික සූරාකෑම් වලින් මුදවා ගැනීම පිණිස රාජ්‍ය පාර්ශවයන් විසින් අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බවයි. ඡන්ද බලය භාවිතා කිරීමේදී කාන්තාවන් හට සම තැන හිමි විය යුතු බව සම්මුතියේ සත්වන ව්‍යවස්ථාව තුළ පැහැදිලි කොට තිබේ. ජනමත විචාරද ඇතුළුව තම රටේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙහි ලා මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමෙහිදීද කාන්තාවන් හට ඒ සඳහා සක්‍රීය දායකත්වය ලබා දීමට මග පාදා දිය යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

http://www.ua.undp.org

අධ්‍යාපනයට ඇති අයිතීන්

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කාන්තා පුරුෂ සමානාත්මතාවය ආරක්ෂා කළ යුතු ආකාරය CEDAW සම්මුතිය සිය දසවන ව්‍යවස්ථාව මගින් පැහැදිලි කර සිටී. මුල් ළමා විය සංවර්ධනය කිරීමේ අවස්ථාවන්ගේ සිට වෘත්තිය පුහුණු දක්වා පවත්නා සියළු අධ්‍යාපන අවස්ථාවන් ගැහැණු දරුවන්ටද එක සේ සැපයිය යුතු බව මෙන්ම එම අධ්‍යාපන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සැපයීම කෙරෙහිද රජයන් අවධානය යොමු කළ යුතු බව එහි පැහැදිලිව සඳහන් වේ.

ගැහැණු දරුවන් හෝ තරුණියන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම අධෛර්යමත් කරන ඒකාකෘතික අදහස් (stereotypes) තම සමාජයේ මුල් බැසගෙන ඇත්නම්, එම දුර්මත සමාජයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමද රාජ්‍ය පාර්ශවයන්ගේ වගකීමක් බව එහි සැකෙවින් සඳහන් කොට තිබේ.

රැකියා අවස්ථා

කාන්තාවන්ට සමාන රැකියා අවස්ථා ළඟා කර දීම, සමාන වෘත්තීන් සඳහා සමාන වේතන ලබා දීම සහ රැකියා ස්ථානය තුළ වෘත්තීය ස්වස්ථතාවය සුරක්ෂිත කොට දීම යනාදිය පිළිබඳව සම්මුතියේ එකොලොස් වන ව්‍යවස්ථාව පැහැදිලි කරයි. ගර්භණී සමයේදී රැකියා ස්ථානය තුළ විශේෂ ආරක්ෂාව සැපයීම සහ පඩි සහිත ප්‍රසූත නිවාඩු ලබා දීම ආදී විශේෂ අයිතීන් තහවුරු කිරීමද මෙම නෛතික රාමුවට ඇතුළත් කොට තිබීමද විශේෂත්වයකි.

ග්‍රාමීය පළාත් වල වාසය කරන කාන්තාවන්ගේ, විශේෂයෙන්ම සිය කුටුම්බය වෙනුවෙන් ආර්ථික බර දරන කාන්තාවන්ගේ ජීවන තත්වය නැංවීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු ආකාරය සම්මුතියේ දාහතරවන ව්‍යවස්ථාවෙහි සඳහන් කොට තිබේ. ඔවුන්ට අවශ්‍ය වන ආර්ථික සහය (අඩු පොලී ණය පහසුකම් ආදිය, මානසික සහය මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් සලසා දීමද රාජ්‍ය වගකීමක් ලෙස එහි සඳහන් කොට තිබේ.

https://nwlc.org

සිවිල් අයිතීන්

නීතිය ඉදිරියේ සමානාත්මතාවය තහවුරු කිරීම පහලොස්වන ව්‍යවස්ථාව මගින් දක්වා ඇත. සිවිල් කාරණා වලදී පුරුෂයින් හා සමතැන්හි ලා සැලකීමට මෙන්ම ගිවිසුම් සඳහා එළඹීමටද සමාන අයිතියක් කාන්තාවන් හට මෙම ව්‍යවස්ථාව හරහා ලබා දී ඇති අතර, සිය පදිංචිය තෝරා ගැනීමේදීද කාන්තාවන් හට පුරුෂයින් හා සමාන අයිතීන් ලබා දිය යුතු බව මෙහි සඳහන් කොට තිබේ.

වෛවාහක අයිතිවාසිකම්

දහසයවන ව්‍යවස්ථාව තුලින් කාන්තාවන්ගේ වෛවාහක අයිතීන් තහවුරු කොට තිබේ. විවාහයකට එළඹීමේ අයිතිය, තමා කැමති කලත්‍රයකු තෝරා ගැනීම, තම විවාහය අවසන් කිරීමේ අයිතිය මෙන්ම තම දරුවන් කෙරෙහි පවතින සමාන අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳව මෙම ව්‍යවස්ථාව තුළ සැකෙවින් සඳහන් කොට තිබේ. පවුලේ නාමය තෝරාගැනීම, වෛවාහක නිවස තෝරාගැනීම මෙන්ම රැකියා තෝරාගන්නා අවස්ථාවන්හී පවා ස්වාමියා සහ බිරිඳට සමාන අයිතිවාසිකම් පැවතිය යුතු බව CEDAW සම්මුතිය අවධාරණය කර සිටී.

දේපල මිලදී ගැනීම, ඒවායේ සන්තකය සහ පරිපාලනය කිරීම පමණක් නොව, දේපල භුක්ති විඳීමේ අයිතීන්ද ස්වාමියා සහ බිරිඳට එක සමානව හිමිවිය යුතු බව මෙම ව්‍යවස්ථාව ප්‍රකාශ කරයි. තම දරුවන්ගේ භාරකාරීත්වය යනාදිය දැරීමේදී පවා කාන්තාවන්ගේ වෛවාහක තත්වය මත පදනම් නොවී දරුවාගේ යහපත පිණිස අවශ්‍ය තීරණ ගැනීම අවශ්‍ය බව මෙම වගන්තියෙන් පැහැදිලි කෙරේ.

කාන්තාවන්ගේ වෛවාහක අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීම පිණිස සෑම රාජ්‍ය පාර්ශවයක් විසින්ම කාන්තාවකට විවාහයකට එළඹිය හැකි අවම වයස නීතිගත කළ යුතු බවත්, විවාහය ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමේ නීති සම්පාදනය කළ යුතු බවත් දහසයවන ව්‍යවස්ථාව අවධාරණය කර සිටී.

https://forcechange.com

අප යා යුතු මග

මෙම අන්තර්ජාතික සම්මුතියට ශ්‍රී ලංකාවද සිය සහය පළ කළ අතර, 1980 වසරේ ජූලි දාහත් වන දින ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තබන ලදුව, 1981 ඔක්තෝබර් මස පස් වන දින එම සම්මුතිය ශ්‍රී ලංකාවටද බලාත්මක කරන ලදි. මෙම අයිතිවාසිකම් සියල්ල නැවත වරක් ජාතික මට්ටමින් තහවුරු කරමින් කාන්තා ප්‍රඥප්තියක්ද එළි දක්වන ලදි. නමුත් ඉන් දශක තුනකටත් අධික කාලයක් ගෙවී තිබුණද මෙම අයිතිවාසිකම් සාධනීය අයුරින් මෙරට තුල ස්ථාපනය වී ඇති බවක් දක්නට නොමැත. විශේෂයෙන්ම වෙන් කොට සළකනු ලැබීම සහ සමානාත්මතාවයට ඇති අයිතිය ගිලිහී යාම සුලබව දැකිය හැක්කකි. තවද, තේසවලාමයි සහ මුස්ලිම් නීතිය වැනි නීතීන්ද මෙරට තුළ බලපැවැත්වෙන බැවින් එම නීතීන් සමග මෙම අයිතීන් ඝට්ටනය වන බව දැකිය හැකිය.

කාන්තාවන්ගේ දේපල අයිතීන් හා වෛවාහක අයිතීන්ද ඉතා දැඩි ලෙස උල්ලංඝනය වනු දැකිය හැකි වීම ඉතා ශෝචනීයය. මෙම අයිතිවාසිකම් ජාත්‍යන්තරයට පෙනෙන්නට පමණක් අත්සන් කොට පිළිගෙන ඒවා කළු සුදු අකුරු වලට පමණක් සීමා කොට ඇත.

වර්තමානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ මහජන කතිකාවතක් ගොඩ නැගෙමින් පවත්නා බව සත්‍යයකි. එවැනි යුගයක මෙවැනි නීතීන් තවදුරටත් නීති පොත් වලට සීමා නොකොට රටේ දියුණුව කෙරෙහි සෘජුව දායකත්වය සපයන කාන්තා ප්‍රජාවගේ යහපත උදෙසා මෙම නීති සක්‍රීය භූමිකාවක් දරණු ඇතැයි යන්න බොහෝ නිදහස් චින්තනධාරීන්ගේ ඒකායන බලාපොරොත්තුවයි.

කවරයේ ඡායාරූපය – Huffington Post

මූලාශ්‍ර-www.un.org