Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තාවනි, ඔබේ අයිතිවාසිකම් ගැන දැනුවත් ද? (පළමු කොටස)

“කාන්තා අයිතිවාසිකම්” යනු අදටත් අප හට නිතර දෙවේලේ ඇසෙන වචනයකි. විශේෂයෙන්ම මෑත කාලීනව ස්ත්‍රීවාදී ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නට මුළු ලෝක ප්‍රජාවම සූදානමින් සිටීම මීට එක් හේතුවක් වන්නටත් පුළුවන. ලොව පළමු කාන්තා ජන නායිකාව බිහි කළ රට ලෙස අදටත් ශ්‍රී ලංකාව ලෝ සුපතල ය. මේ වන විට ලෝකයෙහි බලවත් යුරෝපීය රටවල් වල පවා රාජ්‍ය නායකත්වය දරන්නේ කාන්තාවන් ය. ආසියාවේද එසේම ය. තොටිල්ල පදවන අත ලොව රජයන යුගයක කාන්තා අයිතිවාසිකම් පිළිබඳ නැවත නැවතත් මතක් කර ගැනීම මනා ය. එම නිසාම කාන්තා අයිතිවාසිකම් ගොඩනැගුණු ආකාරය මෙන්ම, අන්තර්ජාතික සහ ජාතික වශයෙන් කාන්තා අයිතිවාසිකම් සුරැකීම කෙරෙහි පවතින යාන්ත්‍රණය දෙසද Roar පාඨක ඔබගේ අවධානය යොමු කරවන්නට අප සිතූයෙමු.

ආරම්භය හා ඉතිහාසය

කාන්තා අයිතිවාසිකම් යන්න විටෙක සමාජයෙන් සමාජයට පවා වෙනස් ලෙස අර්ථ ගැන්වීමට ද හැකිය. නමුත් සමස්ථයක් ලෙස ගත් කළ කාන්තා අයිතිවාසිකම් යනු, කාන්තාවක් ලෙස උපත ලබන අයෙකුට ගෞරවාන්විත සහ යහපත් ලෙස සිය ජීවිතය ගත කළ හැකි වන පරිදි නෛතික රාමුවක් පැවතීමයි. අතීත ආසියාතික සමාජය තුළ පමණක් නොව, යුරෝපා වැඩවසම් යුගය තුළ පවා කාන්තාවන් දෙවැනි පන්තියේ ලා සළකනු ලැබිණි. පුරුෂයින් විසින් භුක්ති විඳින ලද වරප්‍රසාදයන්ගෙන් විශාල ප්‍රමාණයක් කාන්තාවන්ට අහිමි ව ගොස් තිබිණ. අධ්‍යාපනය සහ ඡන්ද බලය ඉන් කිහිපයක් පමණි. කෙසේ වෙතත්, 1920 දශකය වන විට ඇමරිකාව සහ එංගලන්තය ප්‍රමුඛ යුරෝපා රටවල් රැසකම සමාන අයිතිවාසිකම් ලබා ගැනීමේ සටනක් කාන්තාවන් විසින් දියත් කොට තිබිණි. මෙහිදී කැපී පෙනුණේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියයි. සර්ව ජන ඡන්ද බලය ලැබීම සැබවින්ම කාන්තාවන් ලද ජයග්‍රහණයක් විය. ඒ අනුව යමින්, සමාන රැකියා සඳහා සමාන වේතන ලබා ගැනීම යනාදී සටන් කෙරෙහි පව නොබියව යොමි වීමට කාන්තාවෝ පසුබට නොවූහ.

http://www.marieclaire.com

මුල් කාලීනව කාන්තාවන්ගේ දේපල අයිතීන් සහ අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට කටයුතු කළ ස්ත්‍රීවාදීන් ඉන් පසුව කාන්තාවන්ගේ සමානාත්මතාවයේ අයිතිය තහවුරු කර ගැනීම පිණිස සටන් වදින්නට විය. 1960-70 දශකය වන විට කාන්තාවන්ගේ සිවිල් හා දේශපාලනික අයිතීන් හා ආර්ථික අයිතීන් තහවුරු කරගැන්මට උර දුන්නාහ. ඒ අනුව කුටුම්බය තුල හා සේවා ස්ථානය තුළ සමානාත්මතාවය දිනා ගැනීම පිණිස සහ තම ප්‍රජනන අයිතීන් දිනා ගැනීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමු විය.

එක්සත් ජාතීන්ගේ දායකත්වය

1946 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් කාන්තාවන් පිළිබඳ විශේෂ කොමිසමක් පත් කරන ලද අතර, එය ඉන් පසුව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලයේ (ECOSOC – Economic and Social Council) කොටසක් බවට පසුව පත් කරන ලදි. 1975 වසරේ පටන් එක්සත් ජාතීන් විසින් ලොව පුරා වෙසෙන සිය රාජ්‍ය පාර්ශවයන්ගේ කාන්තාවන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා විවිධ වැඩසටහන් පවත්වන ලදි. එහි ආරම්භය සනිටුහන් කෙරුණේ 1975 වසර එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ගේ වසර ලෙස නම් කරමිනි. ඒ හා සමගාමීව මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි හි පවත්වන ලද අන්තර්ජාතික සමුළුවකදී මේ බව ප්‍රකාශයට පත් කරනා ලදි.

ඊට සමගාමීව 1980 වසරේදී ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හීද, 1985 වසරේදී කෙන්යාවේ නයිරෝබිහීද, 1995 වසරේදී චීනයේ බීජිංහීද විශේෂ සමුළු මාලාවක් පැවැත්විණි. මේ සියළු සමුළු වල අරමුණ වූයේ ලොව පුරා විසිර සිටින විවිධ ආගම්, සංස්කෘතීන් හා සමාජ මට්ටම් නියෝජනය කරනා කාන්තාවන් සමග සාකච්ඡා කොට ඔවුන් සතු වන පොදු ගැටලු නිරාකරණය කර ගැනීම පිණිස එක් පොදි නෛතික රාමුවක් ගොඩ නැගීමයි.

https://www.yahoo.com

මෙක්සිකෝවේ පැවති සමුළුවේදී කථිකා කරගත් පරිදි කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම් මැඬලීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් සැකසීමේ ක්‍රියාදාමයට ලෝක ප්‍රජාව ඒ වන විටත් සිය අවධානය යොමු කොට තිබිණි. දිගු කාලයක ඇවෑමෙන් පසුව 1979 වසරේදී රාජ්‍යපාර්ශවයන් 130කගේ ඡන්දයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් “කාන්තාවන්ට එරෙහිව පවත්නා සියලුම ආකාරයේ වෙන් කොට සැලකීම් ඉවත් කිරීමේ සම්මුතිය” හෙවත් CEDAW (Convention on the Elimination of All Forms of Discrimination against Women) එළිදක්වන ලදි. මෙම සම්මුතිය 1981 වසරේ සැප්තැම්බර් මස  පටන් බලාත්මක කෙරුණු අතර, එය එක්සත් ජාතීන් විසින් කාන්තා අයිතිවාසිකම් නීති සම්පිණ්ඩනය කිරීමේ අවසාන ප්‍රතිඵලය ලෙසද ඒකමතිකව පිළිගන්නා ලදී. CEDAW හි තවත් විශේෂත්වයක් වන්නේ එය එක්සත් ජාතීන් විසින් බලාත්මක කරන ලද වේගවත්ම නෛතික රාමුව වීමයි. මෙම සම්මුතිය තුළ ව්‍යවස්ථා 30ක් ඇතුළත් වන අතර, කාන්තාවන්ගේ සමානාත්මතාවය පිළිබඳ අයිතීන්, වෛවාහක අයිතීන්, ආර්ථික අයිතීන්, සාමාජීය සහ සංස්කෘතිකමය අයිතීන් ද ඇතුළත් කොට තිබේ.

www.emaze.com

මෙහි අන්තර්ගත විශේෂ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ මීළඟ ලිපියෙන් කථා කරන්නට අප බලාපොරොත්තු වන්නෙමු.

කවරයේ ඡායාරූපය – Reuters/Shannon Stapleton

මූලාශ්‍ර

 

  • nwhp.org
  • historynet.com
  • un.org

 

Related Articles