ලෝකයේ ජීවය රඳන්නේ මවගේ කුස තුළ නම් එහි හිමිකම ඇත්තේ ද මවටය, ජීවයක් නසන්නට මවට අයිතියක් නැත යන මත දෙකම ගබ්සා නීතියක් රටට අවැසිද යන ව්‍යාකූල ප‍්‍රශ්නය සමාජය තුළ මතු කරන්නට හේතු වී තිබේ. මෙය හුදෙක් ලංකාවට පමණක් පොදු වූවක් නොව ලෝකයේ රටවල් ගණනාවක සංවාදයට බඳුන් වී තිබෙන කරුණකි. මේ ඒ පිළිබඳව කෙරෙන සමාජයීය විමසුමකි.

ගබ්සාව හා එහි නෛතික තත්ත්වය

පින්තූරය – ගබ්සාවට එරෙහි කාන්තා උද්ඝෝෂණයක්

කළලය (Emobroyo) හෝ භ‍්‍රෑණය (Foetus) ගර්භණී වූ කාන්තාවකට අහිමි වීම හෝ අහිමි කිරීම ගබ්සාව යනුවෙන් හැඳින්වේ. ලතින් වචනයක් වන Aboriri යන පදය ආශ‍්‍රයෙන් ‘Abortion’ යන ඉංග‍්‍රීසි වචනය සකස් වී ඇති බව අනුමාන කළ හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්වචනය කරන ආකාරයට ගබ්සාව යනු, ගර්භණී සමය නිම වීමට පෙර භ‍්‍රෑණය රඳවා ගැනීමට මවට ඇති වන නොහැකියාව හේතුවෙන් දරුගැබ ඉවත් වීම හෝ ඉවත් කිරීමයි.

ගබ්සාව ස්වභාවික හේතූන් මත සිදු කිරීම කිිසියම් ගැටළුවකට පාදක නොවුණත් ස්වභාවික නොවන කෘතිම ආකාරයෙන් සිදු කිරීම ගැන සමාජය තුළ පවතින්නේ දැඩි පිළිකුලකි. සංස්කෘතිකමය සහ ආගමික කාරණා මත ජීවයක් නැසීම යන්න මුල් කරගනිමින් එම පිළිකුල ගොඩනැගෙන්නට හේතු වන්නට ඇත.

ගබ්සා නීතිය ලිහිල් කිරීම පිළිබඳව සමාජ සංවාදයක් පසුගිය සමයේදී රට තුළ මතුව ආයේය. අවස්ථා කිහිපයකදීම ගබ්සා නීතිය ලිහිල් කිරීමට සාකච්ඡුා සිදු වුවද කි‍්‍රයාත්මක වීමක් සිදු වූයේ නැත. මෙවරද ගබ්සා නීතිය ලිහිල් කිරීමේ නීති සම්පාදනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පළ වුවත් දැන් ඒ සම්බන්ධයෙන් ඇත්තේ නිහඬ තාවයකි.

ගබ්සාව, සාපරාධී ගබ්සාව (Criminal Abortion) යනුවෙන් හඳුන්වනු ලබයි. ස්වභාවික ගබ්සාව (Spontaneous Abrotion) යනුවෙන් හැඳින්වෙන්නේ මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා කළලය ශරීරයෙන් ඉවත් කරනු ලැබීමයි. ශී‍්‍ර ලංකාවේ නීතිය අනුව ගබ්සාවක් කළ හැකි වන්නේ දරු ගැබ දරණ කාන්තාවගේ ජීවිතයට හානියක් සිදුවේ යයි තීරණය කරනා අවස්ථාවලදි පමණි. එය දණ්ඩ නීති සංග‍්‍රහයේ 311 ඡේදය අනුව බලපැවැත්වේ.

ශී‍්‍ර ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 303 ඡේදයේ සිට 307 ඡේදය දක්වාද 293 (3) වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජීවිතයට හානියක් වන අවස්ථාවකදී පමණක් වන බව සඳහන් අතර ඊට අදාළ දඬුවම් නියම කර ඇත. අන් කිසිදු අවස්ථාවකදී ගබ්සා කිරීම නෛතික වශයෙන් තහනම්ය.

අනාරක්‍ෂිත ගබ්සා වර්ධනය වීමේ ප‍්‍රවණතාවය

අද ලෝකයේ පවතින ප‍්‍රධාන සමාජීය ප‍්‍රශ්නයක් වන ගබ්සාව වර්ධනය වීමට හේතු වී ඇත්තේ සාමාජීය ප‍්‍රශ්න සහ කාන්තාවන්ගේ මනෝභාවයන්ය. කෙතරම් දැඩි නීතිරීති තිබුණද ඒවා බිඳගෙන ගබ්සාවන්ට බඳුන්වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමෙන් මේ බව තහවුරු වෙයි.

ගබ්සා නීතිය ලිහිල් කරන ලෙස කාන්තා සංවිධානවලින් සහ වෛද්‍යවරුන්ගෙන් විවිධ ඉල්ලීම් ලැබුණද ඒ සෑම අවස්ථාවකම ආගමික නායකයින් ඇතුළු ඇතැම් පාර්ශවවල විරුද්ධවීම් හේතුවෙන් ගබ්සා නීතිය ලිහිල් කිරීමට පියවර ගැනුණේ නැත. ගබ්සා කිරීම තහනම් වුවත් අනාරක්‍ෂිත අන්දමින් සිදු කරන ගබ්සාවන් ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තවලට අනුව නීත්‍යනුකූල නොවන අනාරක්‍ෂිත අන්දමින් දෛනිකව ශී‍්‍ර ලංකාවේ සිදු වන ගබ්සාවන් සංඛ්‍යාව 600 ඉක්මවයි. එනම් වසරකට අනාරක්‍ෂිත සිදු වන ගබ්සා සංඛ්‍යාව 2,19000ක් පමණ වේ. මෙම අනාරක්‍ෂිත ගබ්සා ක‍්‍රම හේතුවෙන් වසරකට මාතෘ මරණ 10-15 ත් අතර සංඛ්‍යාවක් සිදු වන බව ද වාර්තා වෙයි. මෙලෙස කාන්තාවන් අනාරක්‍ෂිත ක‍්‍රමවලට යොමු වීම නිසා විවිධ රෝගාබාධවලට ලක් වීම මෙන්ම නැවත ගැබ් ගැනීමෙන් වැළකීමේ සිදුවීම් ද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික විද්‍යා අංශය විසින් පසුගිය 2016 වසරේ සිදු කළ සමීක්‍ෂණයකදී සෑම වර්ෂයකම අඩු වයස් ගැබිණි මව්වරුන් 24000ක් වාර්තා වන බව අනාවරණය කර තිබුණි. මේ අනුව කාන්තාවන් අතර මානසික ගැටළු වර්ධනය වීමේ ප‍්‍රවණතාවක් හටගෙන ඇතැයිද අදාල සංඛ්‍යා දත්ත පෙන්නුම් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම වසරේදී ඉදිරිපත් කර ඇති නවතම දත්ත වාර්තාවට අනුව 2010 -2014 තුළ ආරක්‍ෂිත මෙන්ම අනාරක්‍ෂිත ගබ්සා හේතුවෙන් ලොව පුරා මිය ගොස් ඇති කාන්තාවන් ගණන මිලියන 56 කි. 15 ත් 44 ත් අතර වයස් කාණ්ඩයේ කාන්තාවන් 1000කට 35 දෙනෙකු ගබ්සා කිරීම්වලට යොමු වී ඇත. සියලූ ගර්භනීන්ගෙන් සියයට 25 ක් ගබ්සා කරනු ලබයි. සෑම වසරකම වාර්තාගත ගැබිණි මරණවලින් 4.7%- 13.2% ක් සිදු වන්නේ අනාරක්‍ෂිත ගබ්සා කිරීම් හේතුවෙනි.

පින්තූරය – ඇමෙරිකාවේ ගබ්සා කිරීම් අඩු වී තිබෙන අන්දම

1973 ඇමෙරිකා එක්සත් ජනපදයේ ගබ්සාව නීතිගත කෙරුණු අතර 1973 වර්ෂයේදී කාන්තාවන් 1000කට 16.3% ක් වූ ගබ්සා අනුපාතිකය 2014 වන විට 14.6% දක්වා පහත වැටී තිබේ. එරට වාර්තා වූ ගබ්සාවන්ගේ පහළම  අගය මෙයයි.

අපි‍්‍රකාවේ රටවල් 54 න් රටවල් 11ක කිසිදු හේතුවක් මත ගබ්සා කිරීම තහනම්ය. එහෙත් නවතම වාර්තාවලට අනුව අපි‍්‍රකාව තුළ අනාරක්‍ෂිත ගබ්සා කිරීම් හේතුවෙන් කාන්තාවන් 1000කට 9%ක් මාතෘ මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

ගබ්සා නීතිය ලිහිල් කිරීම පිළිබඳ සමාජ කතිකාවත

පින්තූරය – කළලයේ වර්ධනීය අවස්ථාවක්

තවමත් ගබ්සාව සම්බන්ධයෙන් ලංකාවේ කි‍්‍රයාත්මක වන්නේ 1883 දී පැනවුණු නීතියකි. එය අදට ඔබින ආකාරයෙන් සංශෝධනය විය යුතු යයි කතිකා වෙමින් පවතී. එනම් විශේෂ අවස්ථාවල පමණක් නිසි අවසර ලබාගෙන ගබ්සා කිරීමට ඉඩ දිය යුතු බව ය.

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා පරාජනන සංගමය ගබ්සා නීතිය ඉවත් කළ යුතු බවට කරන ලද දැනුම්දීමත් සමඟ  ගබ්සා නීතිය ලිහිල් කිරීම පිළිබඳ සංවාදය යළි කරළියට පැමිණියේය. ප‍්‍රජනන සෞඛ්‍ය පිළිබඳව දැනුවත්කමක් නොමැති නිසාවෙන් සහ කැමැත්තෙන් තොරව සිදු වූ දූෂණයකදී ගැබ් ගැනීමෙන් මානසිකව හා කායිකව කාන්තාවක් විඳින දුක් වේදනා පිළිබඳව සලකා ගබ්සා අයිතිය ලබා දිය යුතු බව ගබ්සා නීතිය ලිහිල් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන වෛද්‍යවරු ප‍්‍රකාශ කරති.

ගබ්සා කිරීමේ නීතිය ගැන සංවාදයක් ඇති වීමත් සමඟ ඒ පිළිබඳව මුලින්ම විරෝධතාවක් එල්ල වූයේ ශී‍්‍ර ලංකා කතෝලික සභාවෙනි. ‘කවර තත්ත්වයකදී වුවද ගබ්සාවක් එපා’ යනුවෙන් ඔවුන් රජයෙන් ඉල්ලීමක් කළේය. දරුවෙකු ඉපදෙන්නේ දේව සැලැස්මෙන් බවත් දේව සැලැස්මෙන් තොරව දරුවෙකු නූපදින බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප‍්‍රකාශ කළහ. එමෙන්ම ‘‘දරුවෙක් අංගවිකල වුනා කියලා, දරුවෝ බලාපොරොත්තු වුනාට වඩා ලැබුණා කියලා ඒ දරුවන් නැතිකර දැමීම මහා අපරාධයක්”‍යනුවෙන් අගරදගුරුතුමා බැසිලිකා දේව මෙහෙයේදී සඳහන් කළහ. කෙසේ නමුත් රාජිත සේනාරත්න පවසන්නේ ගබ්සා නීතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

ලංකාවේ ගබ්සා නීතිය ලිහිල් කළ යුතුද?

ශී‍්‍ර ලංකාවේ නීත්‍යානුකූල නොවන ගබ්සා මධ්‍යස්ථාන 3000කට අධික බව වාර්තා වී ඇත. මේවා බොහෝ විට පවත්වාගෙන යන්නෙ පුහුණුවක් නොමැති පිරිස් වන අතර ගබ්සාව සඳහා යොදා ගන්නා පරිසරය නියමිත වාතාශ‍්‍රයකින් තොර වූ හෝ විෂබීජවලින් ගහණ අනාරක්‍ෂිත ස්ථානය. ඒ සඳහා යොදා ගන්නා උපකරණද විෂබීජ නසන ලද සම්මත උපකරණ නොවේ. මෙවැනි අනාරක්‍ෂිත ක‍්‍රමයන් හේතුවෙන් කාන්තාවන් මිය යාමේ හෝ රෝගාතුර වීමේ ඉඩකඩ බොහෝය.

එමෙන්ම ලේ ඥාතියෙකු අතින් ළමා වියේදී ගැබ්ගත් සහ මන්ද මානසික කාන්තාවන් ගැබ් ගත් අවස්ථාවන්හිදී ඇති විය හැකි ව්‍යාකූල තත්ත්වයන් හේතුවෙන් ගබ්සාවන්ට ඉඩ දීම යෝග්‍ය බව කතිකාවට ලක්ව ඇත. ළමා අපයෝජනයන්වලදී වීදි දරුවන් සහ කාන්තාවන් ගැබ්ගත් අවස්ථාවන්වලදී මෙන්ම දියුණු වෛද්‍ය ක‍්‍රම හේතුවෙන් මන්ද මානසික දරු උපත් අංග විකල දරු උපත් හඳුනාගත හැකි බැවින් එවැනි අවස්ථාවන්හි දී ගබ්සාවට ඉඩ දීම සමාජයේ පවතින තවත් ප‍්‍රශ්නයකට විසඳුම් ලැබෙන්නක්ද වේ. කාන්තාව මානසික අවපීඩනයකට බඳුන් වීමත් සමාජ ගැටළුවලට මැදි වීමේ ප‍්‍රවණතාවත් සළකා බලා ගබ්සා නීතිය යම් පමණකට ලිහිල් කිරීම යෝග්‍ය බවට අදහස් මතුව ඇත.

ඉන්දියාවේ ගබ්සා නීතිය ලිහිල් කර ඇත්තේ අප සමාජයට වඩා ඉන්දියානු සමාජයේ පවතින සමාජ විෂමතාවන් නිසාය. ඉන්දියානු සමාජයට සාපේක්‍ෂව සමාජය ඉහළ තත්ත්වයක පවතින නිසා ඉන්දියාව මෙන් ගබ්සා නීතිය ලිහිල් කරන්නට යාම සමාජ සාරධර්මවලට මරු පහරක් විය හැකි බවටද සමහරු මත පළ  කරති.

ලොව පුරා ගබ්සා නීතියේ ව්‍යාප්තිය

පින්තූරය – ලෝකයේ ගබ්සා නීතියේ ව්‍යාප්තිය

ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීතිය ගබ්සාව පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය කාන්තාවට ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ආසියාතික රටවල් දක්වන්නේ මැළිකමකි. සංස්කෘතිය ආගම මෙන්ම දේශපාලනය යනාදී කාරණා ද ගබ්සාව සම්බන්ධයෙන් ස්වාධීන තීරණයක් ගැනීමට කාන්තාවට තිබිය යුතු අයිතිය කෙරෙහි බලපා ඇත.

කයිරෝ හි ජනගහනය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික සම්මන්ත‍්‍රණය, බෙයිජිංහි කාන්තාවන් පිළිබඳ සිව්වන ලෝක සම්මන්ත‍්‍රණය සහ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය (1 සහ 3 සහ 12 සහ 19 සහ 27 සහ 27.1 වගන්තිවල) මගින් ලිංගික ගබ්සා කිරීම් නීති ප‍්‍රතික්‍ෂේප කරයි.

19 වන ශතවර්ෂයේ ආරම්භයේ සිටම ලෝකයේ ගබ්සා නීති නොතිබිණ. 1869 දී පයස් ශුද්ධෝත්තම පියතුමා  විසින් මුල් වරට ගබ්සාව තහනම් කිරීම ප‍්‍රකාශයට පත් කරන ලදි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගැබ් ගැනීම තහනම් කිරීමේ නීති සම්පාදනය කෙරී ඇත. දියුණු වෙමින් පවත්නා බොහෝ රටවල පවතින ගබ්සා කිරීම් සීමිත කිරීමේ නීති සම්පාදනය කිරීමේ පදනම වී ඇත්තේ මෙයයි. 1950 – 1985 සෑම සංවර්ධිත රටක්ම මානව අයිතීන් සහ ආරක්‍ෂාව මූලික කරමින් ගබ්සා නීති ලිහිල් කළේය. සමහර දියුණු වෙමින් පවතින රටවල ගබ්සාව සීමා කිරීමේ නීතින්ට පැරණි යටත් විජිත නීති හේතු වී තිබේ.

ලෝක ජනගහණයෙන් හතරෙන් එකක් පමණ ආවරණය වන ලතින් ඇමෙරිකාව, අපි‍්‍රකාව සහ ආසියාව තුළ ගබ්සා නීතිය තදින්ම කි‍්‍රයාත්මක වේ.

ජීවිත බේරා ගැනීම හැර සියලූම අවස්ථාවලදී ගබ්සාව තහනම් කර ඇති රටවල්

දකුණු ඇමෙරිකාව

බ‍්‍රසීලය- කොළොම්බියාව- චිලී රාජ්‍යය -ඩොමිනිකන් රිප්බ්ලික් -එල් සැල්වදෝර් -ගෝතමාලා -හයිටි -හොන්ඩරස් -මෙක්සිකෝ -නිගර්ගුවා -පැනමා -පැරගුවේ -වෙනින්සියුලා -මොරිෂස් -නයිජීරියා -සෙනෙගල් සෝමාලියා -ටැන්සානියා -ටෝගෝ -උගන්ඩා

මැදපෙරදිග සහ උතුරු අපි‍්‍රකාව

ඇෆ්ගනිස්ථානය -ඊජිප්තුව- ඉරානය- ලෙබනන්-ලිබියා – ඕමාන් -සුඩාන් -සිරියා -එක්සත් අරාබි එමීර් -යේමනය

ආසියානු පැසිෆික්

බංග්ලාදේශය- ඉන්දුනීසියාව- ලා ඕසය -මියන්මාරය -පැපුවා නිව්ගිණියාව -පිලිපීනය -ශී‍්‍ර ලංකාව

අපි‍්‍රකා සහරා

ඇන්ගෝලාව- බෙනින්- කොංගෝව -ගැබෝන්- කෙන්යා -ලෙසතෝ -මැඩගස්කර් -මාලි

යුරෝපය

අයර්ලන්තය- මෝල්ටාව

කාන්තාවකගේ ජීවිත අවදානමකදී හෝ සෞඛ්‍ය ගැටළු මත ගබ්සාව නීත්‍යනුකූල කර තිබෙන රටවල්

ඇමෙරිකානු කැරිබියානු

ආර්ජන්ටීනා- බොලීවියා -කොස්ටරිකා -එක්වදෝර් -පීරු

අපි‍්‍රකානු සහරා

බුර්කිනා -ෆාසෝ- බුරුන්ඩි- කැමරූන් -එරිති‍්‍රයා -ඉතියෝපියා -මලාවි -මොසැම්බික් -සිම්බාබ්වේ

ආසියානු පැසිෆික්

පාකිස්තානය- දකුණු -කොරියාව- තායිලන්තය

යුරෝපය

පෝලන්තය

කවරයේ පින්තූරය: The Daily Nexus

මූලාශ‍්‍ර:

සෞඛ්‍ය අමාත්‍යංශය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය

http://worldabortionlaws.com/

www.guttmacher.org