Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ කාන්තාවගේ භූමිකාව

ලෝක ජනගහනයෙන් මෙන්ම මෙරට ජනගහනයෙන් ද හරි අඩක් කාන්තාවන් ය. සමස්ථයක් ලෙස ගත් කළ, පුරුෂයින්ට සාපේක්ෂව ඔවුන්ගේ උපතේදී ආයු අපේක්ෂාව මෙන්ම සාක්ෂරතා මට්ටම ද ඉතා ඉහළ මට්ටමක පවතී. ඈත අතීතයේ පැවති පුරුෂාධිපත්‍යය මූලික කොට ගත් සමාජ ක්‍රමය කෙමෙන් වියැකී යත්ම කාන්තාවන්ට අධ්‍යාපනයට මෙන්ම සමාජානුයෝජනය සඳහා ද මඟ විවර වුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට “තොටිල්ල පදවන අත ලොව රජයයි” යන කියමන යතාර්ථයක් බවට පත් කරමින් කාන්තා පාර්ශවය ලොව ජයගනිමින් සිටියි.

ශ්‍රී ලාංකේය සමාජය ගත් කළ ද එය එසේම ය. පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල වේවා, අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ කඩඉම් විභාග ප්‍රතිඵල වේවා, දිවයිනේ ඉහළතම ලකුණු ලබාගන්නා බහුතරයක් දෙනා ශිෂ්‍යාවන් ය. ඒ අනුව ගත් කළ, උසස් පෙළ විභාගයේ සාධන මට්ටම් හා ලකුණු අනුව විශ්ව විද්‍යාල වරම් ලබන සිසුන් ප්‍රතිශතයෙන් බහුතරයක් කාන්තාවන් වන අතර, මේ වන විට මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ උපාධි අපේක්ෂකයන්ගෙන් අති මහත් බහුතරය වන්නේ ද කාන්තාවන් ය.

විශ්ව විද්‍යාල ප්‍රවේශ මට්ටම සහ උපාධි අපේක්ෂක මට්ටම (Entry level and Undergraduate level)

(sjp.ac.lk)

වර්තමානය තෙක් පවත්නා විවිධ සංඛ්‍යා ලේඛන හා දත්ත අනුව සනාථ වන කරුණක් වන්නේ මෙරට කාන්තා ජනගහනය පුරුෂ ජනගහනයට වඩා ඉගෙනීමෙහි දක්ෂයන් වන බවයි. එය මෑත කාලීනව ඉතා ඉහළින් කැපී පෙනුණු ප්‍රවණතාවයකි. 2015 වසරේ රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් කරගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 60%ක් ශිෂ්‍යාවන් වන අතර, උපාධිය සම්පූර්ණ කරනු ලැබූ පිරිසෙන් 68.5%ක් ද ශිෂ්‍යාවන් වේ. වෛද්‍ය, නීති කළමණාකරණ හා ශාස්ත්‍ර යනාදී උපාධි වලට හිමිකම් කියන බහුතරයක් දෙනා කාන්තාවන් වීම විශේෂත්වයකි. මෙම ප්‍රවණතාවය තවමත් දක්නට නොමැත්තේ ඉංජිනේරු හා පරිගණක විද්‍යා යන උපාධි පිරිනැමීම් වලදී පමණි. (ඉංජිනේරු පීඨ තුල කාන්තා උපාධිධාරීන්ගේ ප්‍රතිශතය 21.5% වන අතර , පරිගණක විද්‍යාපීඨ තුළ එම ප්‍රතිශතය 41.8%ක් වේ). එපමණකුදු නොව, මෙරට වත්මන් ශ්‍රම බලකායෙන් හා සමස්ථ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 50.5%කට වැඩි ප්‍රමාණයක්ම කාන්තාවන් වේ.

කෙසේ නමුත්, මේ ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට හෝ මතවාද පළ කිරීමට කාලය නොවේ. විශ්ව විද්‍යාලයකින් බිහි වන විද්‍යාර්ථියකු යනු විචාර බුද්ධියකින් යුක්ත වන්නෙක් විය යුතු ය. එහිදී මතු වන අතිශය වැදගත් කරුණක් වන්නේ ස්ත්‍රී පුරුෂ භාවය යන සාධකය මත පිහිටා මතු කරණු ලබන ගැටළු වලට පිළිතුරු සෙවීම හා එම සාධකය මත පිහිටා පවත්නා සම්මතයන් මෙන්ම අපේක්ෂාවන් යනාදිය ය.

නමුත් දත්ත සහ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදිම සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය මෙම ශිෂ්‍යාවන් කෙරේ බල පැවැත්වෙන්නේ ද? විශ්ව විද්‍යාලයට ඇතුළු වූ පසු විවිධ ශිෂ්‍ය සංගම් හි ප්‍රධාන ධුර දරන්නේ ද කාන්තාවන් නොව, පිරිමි සිසුන් ය. උපාධි අපේක්ෂකයින් ගේ ස්ත්‍රී-පුරුෂ අනුපාතයට අනුකූල වන පරිදි ශිෂ්‍ය සංගම් තුළ ධුර බෙදීමක් සිදුවනු දකින්නට නැත. සමානාත්මතාවය සහ ඒකමතිකත්වය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් තුළින් සැබවින්ම නිරූපණය වන්නේ දැයි නැවත වරක් සිතා බැලිය යුතු වන්නේ මෙම හේතූන් නිසාවෙනි.

ශාස්ත්‍රාලීය මට්ටම (The academia)

(acu.ac.uk)

විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය මට්ටම එසේ වුවද, ශාස්ත්‍රාලීය මට්ටම දෙස බලන කල දක්නට ඇත්තේද වෙනස් තත්වයකි. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් අතර, පරිවාස මට්ටමේ කථිකාචාර්යවරුන්ගෙන් හරි අඩක් කාන්තාවන් වුවද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් සහ මහාචාර්යවරුන් බහුතරයක් දෙනා පුරුෂ පාර්ෂවයට අයත් වෙති. විශ්ව විද්‍යාල පීඨාධිපති ධුර මෙන්ම උප කුලපති ධුර හා සම්බන්ධ තත්වය ද එසේ ය. මෙම තත්වය ශ්‍රී ලංකාවේ දේශපාලන කරලිය තුල කාන්තාවන්ගේ නියෝජ්‍යත්ව ප්‍රතිශතය හා සමාන වේ. දේශපාලනය තුළද කාන්තා නියෝජනය ඉතා දුර්වල ය. එය පාර්ලිමේන්තුව තුළ 5%ක්ද, පළාත් සභා තුළ 3%ක්ද, සමස්ථ පළාත් පාලන ව්‍යුහය තුළ 2%ක්ද වේ. 50-50 කෝටාවක් ලබා දුන් පමණින්ම සියල්ල විසඳේ යැයි සිතිය නොහැක. එවැන්නක් ලබා දුන්නද, සමාජය තුළ කාන්තා දේශපාලඥවරියකට ලැබිය යුතු පිළිගැනීම හා සහයෝගය ඉන් ඉබේම ඇති නොවන බැවිනි. අනෙකුත් විවිධ වෘත්තීන් දෙස බැලූ කළද තත්වය එසේම ය.

විශේෂයෙන්ම නීතීඥ වෘත්තිය තුළ මෙය කැපී පෙනෙන්නකි. නීතිවේදී උපාධිය ලබන්නන්ගෙන් 85%ක ප්‍රමාණය මෙන්ම නීතීඥ වෘත්තියෙහි යෙදීමට සුදුසුකම් ලබන අති මහත් බහුතරය ද කාන්තාවන් වේ. නමුත් උසාවි සංකීර්ණ තුල (විශේෂයෙන්ම අළුත්කඩේ උසාවි පරිශ්‍රය තුළ) අපට දැකගත හැකි නීතීඥයින්ගෙන් බොහේ පිරිසක් පුරුෂයින් වේ. මෙම තත්වය වෛද්‍ය වෘත්තියටද බලපාන්නකි. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරයක් දෙනා පුරුෂයින් වේ. ඊට හේතුවක් ලෙස වෛද්‍යවරුන්ම පෙන්වා දෙන්නේ වසර පහකට අධික කාලයක් අධික කැපවීම් රාශියක් කොට M.B.B.S. උපාධිය ලබාගන්නා කාන්තාවන් වැඩි දුර අධ්‍යාපනය සඳහා යොමු වීමට අකමැත්තක් දක්වන බවයි. ඒ වෙත යොමු වීමෙන් සිය කුටුම්භය තුළ පවතින වගකීම් පැහැර හරින්නට සිදුවන බව ඔවුන්ගේ මතය වී ඇත. වෛද්‍ය උපාධිය සම්පූර්ණ කොට, දැනට ගෘහණියන් වශයෙන් පමණක් කටයුතු කරන කාන්තාවන් ද අප සමාජය තුළ නැත්තේ නොවේ.

වෘත්තීන් තුළ ඉහළ තල වෙත ගමන් කරත්ම, කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් අඩු වන බවක් පෙනෙන්නට ඇත. සමානාත්මතාවය ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙන අතර, ඒ වෙනුවට අසමානතාවයන් (Gender disparity) වර්ධනය වන බව සැබවින්ම ශෝචනීය නිගමනයකි.

සමාජයීය බලපෑම (Social pressure)

(groundviews.org)

පශ්චාත් උපාධි මට්ටම දක්වා ගමන් කිරීමට අවශ්‍ය වන කාලය සහ ශක්තිය වැය කිරීමට කාන්තාවන්ට නොහැකි වීම මීට හේතුවකි. මෙම නොහැකියාවට හේතු වන්නේ අන් කවරක්වත් නොව සමාජයීය කාරණාවන් ය. බිරිඳක, මවක ලෙස තමාට හිමි කොට දී ඇති රාමුව තුළ සිය කටයුතු මෙහෙයවීම විනා, තම වෘත්තීය සුදුසුකම් සපුරාලීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට ඔවුහු මැලි වෙති. ඊට හේතුව වන්නේ ද ඔවුන්ට සමාජයෙන් එල්ල වන බල කිරීම් ය. එබැවින් සිය ඉගෙනීම් කටයුතු සම්පූර්ණ කරගැනීම පිණිස විදේශගත වීම පවා අතහැර දමන්නට මෙම කාන්තාවන් පෙළඹෙති.

උගත්කමින් වැඩි ගැහැණු ළමුන්ට විවාහයක් කරගැනීම අපහසු ය, යහපත් හා සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම අපහසු ය, සැමියාගේ අධ්‍යාපන මට්ටමට වඩා බිරිඳගේ අඩු විය යුතු ය යන පුහු මතය අදටත් අප සමාජය තුළ පවතී. අප මැනවැයි සිතා සිටින මෙවැනි දෘෂ්ටි කෝණයන් මෙන්ම සමාජයේ බහුතරයක් දෙනා පැළඳ සිටින පාට අව් කණ්ණාඩි ද ගලවා පසෙක තැබිය යුතු කාලය එළඹ ඇත.

මේ ක්‍රියාත්මක වීමට කාලයයි

(www.srilankabrief.org)

දක්ෂයාට ඉදිරියට යාමට ඉඩ දිය යුතු ය. සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතු ය. ඒ සුදුස්සා කාන්තාවක් නම්, ඇයට එම අසුන මත හිඳ ගැනීමට මඟ පාදා දිය යුතු වන්නේ ය. නමුත් එම ස්ත්‍රී වාදී මතවාද අන්තවාදී ඒවා නොව, සංස්කෘතිකමය රාමුවකට අනුගත වූ ඒවා වන්නේ නම් වඩාත් අගනේ ය. මෙය Cultural Feminism හෙවත් “සංස්කෘතිකමය ස්ත්‍රීවාදී සංකල්පය” නම් වේ. එනම්, ස්ත්‍රියකට නිසි තැන හිමි විය යුතු ය යන්නයි.

කවරයේ ඡායාරූපය – http://www.cmb.ac.lk

මූලාශ්‍ර –  opendemocracy.net

Related Articles