Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාංකීය කතුන්ට අකැප ගෘහ සේවය

විදෙස්ගත පුහුණු ශ‍්‍රමිකයින් සංඛ්‍යාව අඩු වී ඇතැයි විදේශ රැකියා කටයුතු ඇමතිවරිය පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළාය. මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී යන කාන්තා සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ද දත්ත වාර්තා අනුව ඇය පෙන්වා දී තිබේ. කාන්තා ශ‍්‍රමිකයින් විදෙස්ගත වීම අඩුවීම මෙරට කාන්තාවට යහපතක් සිදු කර ඇද්ද නොඑසේනම් අයහපත් බලපෑමක් සිදු වී ඇද්ද යන්න විමසීම මෙම ලිපියේ අරමුණයි.

විදෙස්ගත වන ලංකික කාන්තාවන් සංඛ්‍යාව

newsradio.lk

2017 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ විදෙස්ගත වූ ශ‍්‍රමික පිරිස 141,725කි. ඉන් 93,351 ක් පිරිමින් වන අතර 48,374ක් ගැහැණු අය වේ. එමෙන්ම වැඩිම විදෙස් රැකියාවන්ට ගොස් ඇතැයි වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව 42,389කි. 25,638 ක වැඩිම ශ‍්‍රමික පිරිසක් ගොස් ඇත්තේ සෞදි අරාබියට ය. 24,192ක් කුවේට් බලා ගොස් ඇත. අඩුම ශ‍්‍රමික පිරිසක් වාර්තා වන්නේ ඌව පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 3994කි.

2016 වර්ෂයේදී විදේශ ගත වී ඇති මුළු ශ‍‍්‍රමිකයින් සංඛ්‍යාව 242,838 වන අතර, ඉන් පිරිමි ශ‍‍්‍රමිකයින් ගණන 160,320කි. කාන්තා ශ‍‍්‍රමිකයින් ප‍‍්‍රමාණය 82,518කි. ඒ අනුව, පිරිමි ශ‍‍්‍රමිකයින්ට සාපේක්ෂව කාන්තා ශ‍‍්‍රමිකයින් විදේශ ගතවීම 33.9%කි. එම වර්ෂයේදීත් වැඩිම කාන්තා හා පිරිමි ශ‍‍්‍රමිකයින් සංඛ්‍යාවක් විදේශ ගතවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප‍‍්‍රමාණය 64,901කි. 7,305ක් වන අඩුම ශ‍‍්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇත්තේ ඌව පළාතෙනි. වැඩිම ශ‍‍්‍රමිකයින් ප‍‍්‍රමාණයක් රැුකියා සඳහා යොමුවී ඇත්තේ සෞදි අරාබියටයි. එම සංඛ්‍යාව 63,307කි.

කාන්තා ශ්‍රමිකයින් අඩු වී තිබෙන්නේ ඇයි?

රට රැකියාවන්ට යන කාන්තාවන් ප‍්‍රමාණය අඩු වී තිබෙන්නේ සමාජ තත්ත්වය යහපත් වීම නොව විදේශගත වන කාන්තාවන් සම්බන්ධයෙන් පනවා ඇති තහනමයි.

2013 ජුලි 15 වැනි දින අවුරුදු 5 ට අඩු ළමයින් සිටින කාන්තාවන්ට ගෘහ සේවය සඳහා රටින් පිටවීමට නොහැකි බවට විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන කටයුතු අමාත්‍යංශය විසින් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගන්නා ලදි. ගෘහ සේවිකාවන් ලෙස රට රැකියාවන්ට යාමට බලාපොරොත්තු වන සියලු කාන්තාවන් පවුල් පසුබිම් වාර්තාවක් (Family Background Report)ඉදිරිපත් කිරීම මේ හරහා අනිවාර්ය කර තිබුණි. 2013 ජූලි 15 වැනිදා නිකුත් කළ චක‍්‍රලේඛය මගින් මෙම තහනම 2014 ජනවාරි 15 වැනි දා සිට කි‍්‍රයාත්මක විය.

ගෘහ සේවය සඳහා යාමට බලාපොරොත්තු වන අයදුම්කාරිණියකගේ පවුල් පසුබිම ග‍්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, සංක‍්‍රමණ සංවර්ධන නිලධාරි, සහ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කළ යුතුය.

මෙම චක‍්‍රලේඛය පිටවීමත් සමඟ දරිද්‍රතාවයෙන් පීඩා විඳින කාන්තාවන් බොහොමයකට රට රැකියාවලට යාමට ඇති අයිතිය අහිමි කරනු ලැබීය. මේ හේතුව නිසා ඉකුත් කාලය තුළ ගෘහ සේවයට යන කාන්තාවන්ගේ සංඛ්‍යාව බෙහෙවින්ම අඩු වී ඇත.

කාන්තාවන් රට රැකියාවලට යාම පාලනය කිරීමට මෙවැනි තහනමකින් හැකි වී ඇද්ද?

එහෙත් ගෘහ සේවයට යාමේ තදබල අවශ්‍යතාවක් තිබෙන කාන්තාවන් කරන්නේ වෙනත් ප‍්‍රදේශයකින් වාර්තාවක් ලබාගෙන හෝ තම අවශ්‍යතාවය සපුරා ගැනීමට උත්සාහ දරයි. එසේත් නැතිනම් සංචාරක වීසා මගින් විදෙස් රැකියාවකට යාමට ඔවුන් උත්සාහ දරණ අතර එය ඉතා අවදානම් සහගත වේ. සංචාරක වීසා මගින් වෙනත් රටවලට ගොස් කාන්තාවන් කරදරවලට පත් වූ සිද්ධීන් ගණනාවක් විවිධ පළාත්වලින් වාර්තා වී තිබේ.

එම වාර්තාව ග‍්‍රාම සේවක හරහා නිකුත් කෙරෙන අතර විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් ගැන සෙවීමට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කාන්තා සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකුද පත් කර සිටී. මේ වන විට එය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිරිමි හතර පස් දෙනෙකුගෙන් සමන්විත, කාන්තාව පිළිබඳ සංවේදීකමක් නොමැති කමිටුවක් වටා ගොණු වී තිබේ. කාන්තාවකට ගෘහ සේවයට යාමට අවසර ලැබෙනුයේ කාන්තා සංවර්ධන නිලධාරීන් අදාළ කාන්තාවන්ගේ නිවෙස්වලට ගොස් සකස් කරන පවුල් තත්ත්ව වාර්තාව අදාළ පිරිමි පුද්ගලයින්ගෙන් සමන්විත කමිටුවෙන් අනුමත කිරීමෙන් පසුවය. පවුල් තත්ත්ව වාර්තාව සකසන කාන්තා සංවර්ධන නිලධාරීන් දෙදෙනා වශයෙන් පත් කර සිටින්නේද අදාළ විෂය පිළිබඳවවත් අවබෝධයක් නොමැති දෙදෙනෙකු බවට කාන්තා සංවිධාන චෝදනා කරයි.

පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කිරීම මගින් විදෙස්ගත වීමට බලාපොරොත්තු වන කාන්තාවන්ගේ අයිතිවාසිකම් අහිමි කරමින් කාන්තාවන්ට බලවත් අසාධාරණයක් සිදු කර ඇතැයිද ඔවුන් අවදානමට ලක්කර ඇතැයිද කාන්තා හා මාධ්‍ය සාමූහිකයේ ව්‍යාපෘති සම්බන්ධීකාරිණී සහ සංක‍්‍රමණික සේවකයින් සඳහා වන කි‍්‍රයාකාරී ජාලයේ සම්බන්ධීකාරිකා වයලා පෙරේරා මහත්මිය පවසයි.

‘‘දරුවන්ගේ ආරක්‍ෂාව පැත්තෙන් බැලුවමත් මේ නීතිය කිසිසේත්ම යුක්ති සහගත දෙයක් නෙවෙයි. අවුරුදු පහට අඩු දරුවො විතරක් නෙවෙයි රැක බලාගත යුතු වෙන්නෙ. අවුරුදු පහට වැඩි හා තරුණ විය ආසන්නයේ සිටින දරුවන් පිළිබඳ වගකීම තවත් වැඩියි.”

කාන්තාවගේ තත්ත්වය පිරිමින් තීරණය කිරීමේ ක‍්‍රමවේදය

පවුල් පසුබිම් වාර්තාව නිකුත් කෙරෙන කමිටුවෙ තීන්දු ගන්න ඉන්නෙ ඉන්නෙත් පිරිමි කිහිප දෙනෙක්. ඒ අය කාන්තාවන්ගේ ප‍්‍රශ්නවලට සංවේදී නැහැ. ඒ අය බලන්නෙ එක්තරා තලයක ඉඳලයි. මේ නීතිය කි‍්‍රයාත්මක කෙරෙනවා නම් මේ කමිටුවලට කාන්තාවන් පත් කළ යුතුයි.

අපේ රටේ පිරිමි අයට විදෙස්ගත රැකියා හුඟක් අඩුයි. රට යන්නෙ ආර්ථික ශක්තියක් නැති දුප්පත් පවුල්වල කාන්තාවන්. ඔවුනට කිසි දැනුම් සම්භාරයක් නැහැ. අවුරුදු 35කට වැඩිනම් අඩුම තරමින් ගාර්මන්ට් එකකට යන්නත් බැහැ. ඇයට රැකියාවක යෙදෙන්න ලංකාව තුළ වෙන වැඩපිළිවෙලකුත් නැහැ. ලංකාවේ ගෘහ සේවයක යෙදුණත් රුපියල් හත් අටදාහක් අරන් පවුලක් නඩත්තු කරන්න පුළුවන්කමකුත් නැහැ. පිරිමි කෙනා හම්බ කරන සොච්චම ගෙයක් හදාගන්න, යැපෙන්න මදි. එවැනි කාන්තාවන්ට රට රැකියාවකට ගිහින් හරි කීයක් හරි හොයා ගන්න තියෙන අවස්ථාව අහිමි කරන එක හරි ද?

caritas.org.au

රට ගිහින් හම්බ කරලා හොඳින් ජීවත් වෙන පවුල් තියෙනවා. කොහොම කළත් ඒ වගේ පවුල්වල කාන්තාවෝ විදෙස්ගත වෙන එක වළක්වන්න අමාරුයි. එම නිසා කාන්තාවන්ට මේ වගේ නීතියක් පැණවීම ඇත්තටම අසාධාරණයි. එහෙමනම් ආණ්ඩුව ඔවුනට හොඳ රැකියාවන්හි නිරත වෙන්න මාර්ග හදන්න  ඕනෙ.

ගෘහ සේවයට වලංගු නැති වෙනත් වෘත්තීන්ට වලංගු නීතිය

“මේ රටේ හෙද වෘත්තියේ, ගුරු වෘත්තියේ කාන්තාවෝ ඉන්නවා දරුවා හම්බවෙලා මාස තුනයි මාරුවීමක් දෙන්නෙ නැහැ. කිරි දරුවා වැඩකාරයින්ට දාලා දුර පළාත්වලට ගිහිල්ලා රැකියා කරනවා. රට ඇතුළෙත් මේ ප‍්‍රශ්නය තියෙනවා. පවුල වෙනුවෙන් වෘත්තිය මට්ටමේ ඉන්න කාන්තාවෝ විභාග කරන්න රට යන අවස්ථාවලදි අවුරුදු පහට අඩු දරුවො ඉන්නවද කියලා කව්රුවත් බලන්නෙ නැහැනෙ. මාස තුනේ දරුවව දාලා පී.එච්.ඞී එක කරන්න යනවා. විශේෂඥ උපාධිය පාස් කරන්න වෛද්‍යවරු යනවා. ඒ කාන්තාවන්ට අවස්ථාව දෙන එකෙයි ගෘහ සේවයට යන කාන්තාවට අවස්ථාව නොදීමයි වෙනස් කොට සැළකීමක්. එහි සමානාත්මතාවයක් නැහැ.’’

කාන්තාවන් ගෘහ සේවයට විදෙස්ගත වීමට මෙවැනි තහංචි පැනවුණද අප සමාජයේ පිරිමින් හට කිසිදු අයුරකින් රැකියා කිරීමේදී තහංචි පැන වෙන්නේ නැත. මෙම චක‍්‍ර ලේඛය ගෙන ආවේ කාන්තාවට ලැබෙන විශාල වරප‍්‍රසාදයක් ලෙස පෙන්වමිනි. සෑම විටකම පීඩාවට පත්ව සිටින අසරණ කාන්තාවන් කබලෙන් ළිපට වැටෙන නීති පැනවීමට බලධාරීන් කටයුතු කරමින් සිටියි.

සමාජයට අහිමි පියෙකු සතු වගකීම

‘‘අනිත් එක තමයි අපේ සමාජය තුළ පියෙකුට තියෙන වගකීම මොකක්ද කියන එක ගැන කතිකාවක් නැහැ.  ගෙදර මුළු බරම කරට අරගෙන අම්මා රට යනවා නම් පියාට පවුලෙ වගකීමක් තිබිය යුතු වෙනවා. අම්මා රටින් පිට වෙනවා නම් දරුවො බලාගැනීම තාත්තා සතුයි. පියෙකුට තියෙන වගකීම ගැන අද මාධ්‍ය තුළත් කිසිම කතිකාවක් නැහැ. අම්මලා රට ගියහම දරුවො බලාගෙන ගෙවල් දොරවල් බලාගෙන ඉන්න හොඳ පියවරු  ඕනෑ තරම් ඉන්නවා. ඒවැනි ධනාත්මක දේවල් මාධ්‍ය තුළ පෙන්වන්නෙ නැහැ. ඍණාත්මක දෙයක් තමයි පෙන්වන්නෙ.’’

maginternational.org

විදේශ විනිමයක් රටට ගෙනෙන දරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තාවගේ දරුවො රැක බලා ගැනීම රජයක් විසින් කළ යුතු දෙයක්. දිස්ති‍්‍රක් හරහා හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් හෝ පුහුණුකරුවො දාලා මේ දරුවො තියලා යන්න කාන්තාවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීම රජයට කළ හැකිය. එහෙත් විදෙස් රැකියා අමාත්‍යංශය හෝ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් අවාසනාවකට කාන්තාවන් බල ගැන්වෙන අන්දමේ එවැනි කටයුත්තකට මුදල් වෙන් කෙරෙන්නේ නැත.

‘‘එහෙම වැඩපිළිවෙලක් හදන්නෙ නැතිව රට යන්න එපා කියලා තහංචි දානවානම් ඒක යුක්ති සහගත නැහැ.’’

වයලා පෙරේරා මහත්මිය පවසන්නීය.

ශී‍්‍ර ලංකාව කාන්තාවට එරෙහි සියලූ වෙනස්කම් දුරැලීමේ සිඩෝ (CEDAW) සම්මුතියට අත්සන් කර තිබේ. ඒ අනුව මේ උල්ලංඝණය වී තිබෙන්නේ කාන්තාවට රැකියාවක් කිරීමට හිමිව තිබෙන අයිතියයි.

වතු කම්කරු කාන්තාවන්ට අහිමි කළ රැකියා අයිතිය

Wikimedia

එමෙන්ම ගෘහ සේවයට විදෙස්ගත වීම සම්බන්ධයෙන් බලවත් අසාධාරණයකට ලක් ව සිටින්නේ  ශී‍්‍ර ලංකාවේ වතු කම්කරු කාන්තාවන්ය. වතු කම්කරු කාන්තාවක් විදෙස්ගත වෙනවා නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම

වත්තේ හාම්පුතාගෙන් අවසර ගැනීමේ වහල් නීතියක් රටේ පවතී.

ලක්‍ෂාන් ඩයස් විදෙස් ශ‍්‍රමික කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැක දීම වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් නඩු ගණනාවක් මෙහෙය වූ නීතිඥවරයෙකි. අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන්ට රට රැකියාවලට යාම තහනම් කෙරුණු නීතියට එරෙහිවද ඔහු නඩු පැවරීය. වතු කම්කරු කාන්තාවට සිදුව ඇති  අසාධාරණය සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥ ලක්‍ෂාන් ඩයස් මහතා,

‘‘එහෙම වෙන්න පුලූවන් වහල් සමාජයකදී විතරයි. වත්තෙ හාම්පුතා අත්සන් කළේ නැත්නම් ඒ කාන්තාවට රට යන්න බැහැ. ඒගොල්ලො ඒක සාධාරණීකරණය කරන්නෙ වත්තෙ හාම් පුතා තමයි ග‍්‍රාමසේවක කියන අර්ථයෙනුයි. නමුත් මෙහි යටි අර්ථය වත්තෙ ආදායමට ප‍්‍රශ්නයක් වෙන නිසා ජේ.ආර්ගෙ කාලෙ ඇති කරපු ක‍්‍ර‍්‍රමයක්.

වතු කම්කරු කාන්තාවකට මාසෙකට හම්බවෙන්නේ රුපියල් හයදාහයි, නමුත් පිට රට රස්සාවකට ගියොත් රුපියල් පනස් දහසක් හම්බෙනවා. ඒ නිසා වතු කම්කරු කාන්තාවක් පනස්දාහක් හම්බවෙන රස්සාවට යනවා. තේ කඩන්න කාන්තාවො කවුරුත් නැති වුණහම තේ කර්මාන්තය කඩා වැටෙනවා. මොකද ඒ තරම් අඩු වැටුපකට වැඩ කරන්න කවුරුත් නැහැ. අඩු පඩියට වැඩ කරන අය ඉන්න හින්ද තමයි තේ කර්මාන්තය පවතින්නෙ. කම්කරුවන් පෝසත් වුනොත් වත්තෙ ඉන්නෙ නැහැ නගරයට එනවා. මේ අසාධාරණයට එරෙහිව හඬ නගන්න කවුරුවත් ඇත්තේ නැහැ. පිරිමියෙකුට රට යන්න අවශ්‍ය නම් කාගෙන්වත් අවසර ගන්න ඕන නැහැ. එහෙම නම් කාන්තාවක් අවසර ගන්නේ මොකටද. එහෙමනම් මේ ප‍්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොම ද?”

“ලංකාවේ තියෙන සම්ප‍්‍රදායක මානසිකත්වය තුළ කාන්තාව ගියොතින් පවුල ළමයා ආරක්ෂා කරන්න කවුරුවත් නැහැ, පිරිමියාට ඒ සම්බන්ධයෙන් වගකීමකුත් නැහැ කියන පටු අදහස තදබල ලෙස සමාජගත කරලා තියෙන්නෙ. ඒ වගේම පවුලක යම්කිසි ආබාධ සහිත දරුවෙක් ඉන්නවනම් ඒ අම්මට කවදාවත් රට යන්න බැහැ. නමුත් තාත්තට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මෙය මුළුමනින්ම වෙනස් කොට සැලකීම යි. මේවට කතා කරන කාන්තා සංවිධාන මොනවාද. කිසිම කෙනෙක් කිසිම දෙයක් කරලා නෑ.”

“ලංකාවේ කම්කරුවන්ට අයිතිවාසිකම් බොහොමයක් තියෙනවා. සංක‍්‍රමණික සේවකයන් සඳහා වූ පනතක් නෑ. එහෙම නම් මේ විදේශ සේවා පනත කියන්නෙ සංක‍්‍රමණික සේවකයන් විදෙස්ගත කරන ඒජන්සිකරුවන් නියාමනය කිරීමේ පනතක් විතරයි. සේවා ලබන අයගේ සුබසාධනය ගැන එමගින් කතා කෙරුණත් ලංකාවේ විදේශගත ශ‍්‍රමිකයන්ව ආරක්ෂා කරන අයිතිවාසිකම් පනතක් නැහැ.’’

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සෘජුව රු.30000 ක් රුපියල් දහ දහසකින් එක් ශ‍්‍රමිකයකුගෙන් අය කර ගනියි. එම මුදලින් සියයට 55 ක් නැවත ඒජන්සිකරුවන්ට ගෙවනු ලබයි. නමුත් තවත් ඉතා විශාල මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉතිරි වේ. එම මුදල් වන්නේ කුමක්ද යන්න ලක්‍ෂාන් ඩයස් මහතා ප‍්‍රශ්න කර සිටියි.

aviationvoice.lk

‘‘විදේශයකදී අසරණ වන කාන්තාවක් හෝ පිරිමියෙක් සම්බන්ධව කාර්යාංශයේ මැදිහත්වීම කුමක්ද? එවැනි අයකුට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් මූල්‍ය සහනයක් ලබා දෙනවාද? එහෙම නොදෙන්න තියෙන අයිතිය මොකක්ද? විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වහලෙ යට ගිවිසුම් අත්සන් කරලයි මේ අයව යවන්නෙ. තමන්ගේ අත්සන යොදන එකෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය ඒ ගිවිසුමට පාර්ශවකරුවෙක් වෙනවා.

මේ සම්බන්ධයෙන් විශාල දූෂණ තිබෙන බවට පැමිණිලි ලැබී තිබෙනවා. බියුරෝ එක තමයි ලංකාවේ තියෙන දූෂිතම ආයතනය.’’

විදේශගත ශ‍්‍රමිකයෝ මෙරටට වාර්ෂිකව එවන මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන 900 ක් හෝ ඊට වඩා වැඩිය.   ඒවා ලංකාවට ලැබෙන්නේ ද විදේශ මුදල් ලෙසටයි. එසේම නිල නොවන මට්ටමින් අති විශාල මුදල් ප‍්‍රමාණයක් ද ලංකාවට එවනු ලැබේ. මේවායෙන් සංක‍්‍රමණික සේවකයින් ආරක්‍ෂා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය සිදුකර ඇත්තේ මොනවාද යන්න ගැටළු සහගතය.

Related Articles