වොන්ඩර් වුමන්ට පණ පොවන ගැල් ගැඩොට්

බටහිර සිනමාවට එකතු වුනු සුපිරි වීරයන් අතරට දැන් සුපිරි කාන්තාවකුත් ඇවිත්. ස්පයිඩර් මෑන්, සුපර් මෑන්, කැප්ටන් අමරිකා, බැට්මෑන්, ඉන්ක්‍රෙඩිබල් හල්ක් ආදී සුපිරි වීරයින් අතරට පැමිණි ජනප්‍රියතම කාන්තා චරිතය වොන්ඩර් වුමන්. ඇමරිකානු චිත්‍රකථා වල චරිත ඔස්සේ නිර්මාණය වන හොලිවුඩ් සුපිරි වීරයින් අතර බහුතරයක් පිරිමි වීරයින්.

අසහාය බලයක් සහිතව ශිල්පයෙන් පිරිපුන් වොන්ඩර් වුමන්, රූපයෙන්ද පරිපූර්ණ කාන්තා ලාලිත්‍යයක් ඇති යුවතියක් වන නිසාදෝ මෑත කාලීනව තිරගත වූ හොලිවුඩ් චිත්‍රපට අතර පලමු සතියේදී වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට කිහිපය අතරට එකතුවී තිබෙනවා.

වොන්ඩර් වුමන් සහ අනෙක් හීරෝ කතා

(tvmoviefix-6009)

වොන්ඩර් වුමන් හි ඩයනා යනු ශිල්ප අතින් දක්ෂ කාන්තාවක වුවත් ඇයට ලෝකයේ සැබෑ ම නරක මිනිසුන් සොයාගන්නට චිත්‍රපටය අවසාන වනතුරුම නොහැකි වෙනවා. දුනු , ඊතල කඩු තෝමර වලින් සන්නද්ධව කුඩා කල සිට සටන් හුරුවී එම ශිල්පයේ කෙල පැමිණෙන වොන්ඩර් වුමන් ලෙස පෙනීසිටින ඩයනා පලමු ලෝක යුධ සමයේ දී ලන්ඩනයට පැමිණෙනවා. එසේ පැමිණි පසු ඇය, ඇගේකුඩා කාලයේදී සිට අසා දැන සිටි යුද්ධයේ දුෂ්ඨයා සොයා ගෙන ඔහු විනාශ කරන්නට උත්සාහ කරනවා. වොන්ඩර් වුමන් ගේ සිරුරට වෙඩි උන්ඩ නොවැදෙනවා වුවත් ඇය කිසිවිටකත් වෙඩි තබන්නට හෝ දියුණු අවි ආයුධ සහ සැලසුම් භාවිතා කරන්නට පෙළඹෙන්නේ නෑ..ඇය අවසානය දක්වා සටන මෙහෙයවන්නේ තමුන් පෙර කල සිට පුරුදු පුහුනු වූ උරුමයෙන් ලැබුනු අවි ආයුධ වලින්.

කලකට පෙර නිමවුනු සුපිරි වීරයින්ගේ කතාවල සුපිරි වීරයින්ට වරදින තැන් සහ සිතන ආකාරයේ වැරැද්දක් තිබෙන තැන් අඩුයි. එහෙත් වොන්ඩර්වුමන් අවසානයේ ඩයනා ජයග්‍රහනය කලද ඇයට එයින් ලෝකය වෙනස් කරන්නට නොහැකි බව ඇඟවෙන තරමක් ගැඹුරු වැටහීමක් ලබාදෙන්නට වොන්ඩර් වුමන් සමත් වී තිබෙනවා. වීරයෙක් බොහෝවිට සිය ඉලක්කයට යනවා විනා අවට සිදුවන සුලු සුලු දේවල් තකන බවක් අපිට සාමාන්‍ය වීරකතා වලදී දකින්නට ලැබෙන්නේ නෑ..නමුත් දරුවන්ගේ වැලපීම්, කාන්තාවන්ගේ විලාප, යුද්ධයේදී අතරමං වෙන සාමාන්‍ය වැසියන්ගේ දුක් ගැනවිලි හමුවේ ඔවුන් අතර සිටිමින් ඔවුනගේ කදුලු වලට හිත උනුවෙන සැබෑම කාන්තා චරිතයක් ලෙස වොන්ඩර් වුමන් හි ඩයනා නිරූපනය වී තිබෙනවා. එනම් වොන්ඩර් වුමන් හි ඩයනා යනු සුපිරි ඇඳුම් ඇගලාගත් නිරන්තර සිය අවසාන ඉලක්කය පිණිස සටනේ යෙදෙන කාන්තාවක පමණක් නම් නොවෙයි.

සමස්ථ කතාව දිවයන ආකාරය අනුව ස්ටීව් ට්‍රීවර් නම් රහස් ඔත්තු නිළධාරියා සහ ඩයනා අතර හොඳ සහසම්බන්ධයක් බැඳීමක් තිබෙනවා. ඒ චරිත දෙක වෙන් ව ගතහොත් ඔවුන්ට වෙන්ව ජයගැනීමට ඇති අවස්ථාව සීමිතයි. තනි කාන්තාවක හෝ තනි පුරුෂයෙකු අසහාය වීරයෙක් වනවාට වඩා ගැහැනු පිරිමි එකතුවකින් වඩාත් සඵලදායක අවසානයක් ලබාගත හැකි බව මෙම චිත්‍රපටයෙන ලැබෙන මාහැගි ඉගියක්.

වොන්ඩර් වුමන්, ඩයනා, ජේම්ස් බොන්ඩ් හෝ ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටවලදී මෙන් ඇගේ රූ සොබාව සතුරන් වසඟයට ගැනීම පිණිස භාවිතා කරන්නේ නැත. ඇයට ඇගේ රුව නිසා සියලු තැන්හිදී ඇයට ආකර්ශනය ලැබෙන බව සැබවි. එහෙත් එය ආයුධයක් කොටගෙන අන් අයට පහරදිමක් වොන්ඩර් වුමන්හි දකින්නට නොමැත.

ගැල්  ගැඩොට්

Fast & Furious 5 හි ඇය. (es.web.img2.acsta.net)

වොන්ඩර් වුමන් සදහා පෙනීසිටින ඩයනාට පණපොවන නිලිය වන්නේ ගැල්  ගැඩොට්ය (Gal Gadot). මීට පෙර ෆාස්ට් ඇන් ෆියුරියස් හි අනු චරිතයක් රඟපෑමට දායක වීම සහ හොලිවුඩ් වල සහාය චරිත නිරූපනය කිරීමට දායකත්වය ලබාදුන්නත් ගැල්  ගැඩොට්ට වොන්ඩර් වුමන් ලෙස විශාල අවකාශයක් ලැබෙන ප්‍රථම අවස්ථාව මෙයයි. වොන්ඩර් වුමන් සඳහා හුරු වීමට මාස 6ක කාලයක් ගතවූ බව ගැල්  ගැඩොට් පසුව පවසා තිබුනා.

ඇය ව වොන්ඩර් වුමන් චිත්‍රපටය වෙනුවෙන් තෝරාගත් බවට ලැබුන ඇමතුම එම අවස්ථාවේ ඇය පුදුමයෙනුත් පුදුමයට පත් කර තිබුනා. සාමාන්‍යයෙන් සුපිරි වීරයින් බොහොමයකගේ රාජකාරිය අමරිකාව අනතුරකින් ගලවාගැනීම. එහෙත් මෙම වොන්ඩර් වුමන් චරිතයට පණ පොවන ගැල්  ගැඩොට් ඊශ්‍රායල් ජාතික කාන්තාවක්. යුදෙව් ජාතික කාන්තාවක වන ඇය වසර දෙකක්ම ලොව කලාවෙන් දක්ෂ තම යුදෙව් ජාතික කාන්තාවන් 50 දෙනා අතරට එකතු වී තිබෙනවා.

ඊශ්‍රායල හමුදාවේ සිටි කාලයේ. (flairflickers.com)

වර්ථමානයේ දී ලොව පුරා ම තිරගත වන හොලිවුඩ් චිත්‍රපට සදහා ලොවේම ආකර්ශනය සමව දිනාගත හැකි නිළියන් යොදාගැනීම වඩාත් සාර්ථක උපායයක්. 2004 දී ඊශ්‍රායලයේ රූප රාජිනියක් ලෙසද කිරුලු පැළදි ගැඩොට් බොහො රටවල සිටින පුරුෂයින්ට අනුව ලක්ෂණ යුවතියකැයි කටපුරා කිය හැකි සුන්දර යුවතියක්. රූ රැජිනක ලෙස කිරුළු පැළඳීමෙන් පසුකාලීනව නිරූපිකාවක ලෙසද දක්ෂතා පෙන්වූ ගැඩොට් එම ක්ෂේත්‍රෙයන්ද සැලකිය යුතු දක්ෂතා දැක්වූ යුවතියක් වුනා.

යුධ ශක්තිය අතින් ප්‍රබලතම රටක් වන ඊශ්‍රායලය එරට කාන්තාවන් ගෙන්ද සිය යුධ හමුදාවට විශාල දායකත්වයක් ලබාගන්නවා. ගැඩොට්ද ඇයට විසි හැවිරිදි තරම් වූ කාලයේදී ඊශ්‍රායල යුධ හමුදාවට බැඳී ආයුධ පුහුණුව සහ කටුක පුහුණුව ඇතුලත් තදබල පුහුණුවකට යොමුවී අවුරුදු දෙකක් පමණ සිය රටේ හමුදාවට සේවය කල දක්ෂ කාන්තාවක්. වොන්ඩර් වුමන් ලෙස කටුක සටන් ජවනිකා නිරූපනය ට මෙන්ම මින් පෙර වූ ෆාස්ට් ඇන් ෆීයුරියස් දර්ශන වලට ඇගේ යුධ හමුදා අත්දැකිම් මහත් පිටුවහලක් වූ බව ඇය ප්‍රකාශ කර තිබුනා.

මවක් ගෘහණියක් සහ ඇයත් කාන්තාවක්

ගැඩොට් සිය සැමියා සහ සිගිති දියණිය සමග. (fandango.com)

සිනමා ක්ෂේත්‍රෙය් නිළියන් අතර පවුල් ජීවිත සම්බන්ධයෙන් ඇත්තේ එතරම් හොඳ පසුබිමක් නෙමෙයි. එහෙත් 2008 දී ඊශ්‍රායල දේපළ ව්‍යාපාරිකයකු හා විවාපත් වූ ගැඩොට් ලොව සුපිරිතම වීරවරියට පණ පොවන අවස්ථාවේදීත් කුඩා දියණියන් දෙදෙනකුගේ මවක්. “ මට දවසක් අල්මා හමුවනවිට වොන්ඩර් වුමන් හි සටන් ඇදුමකින් මා සැරසී සිටියා. මගේ අවුරුදු 4 දියණිය අල්මා අහනවා අම්මා මොකද මේ කියලා…මම කිව්වා මම දැන් කුමාරිකාවක් කියලා..එතකොට අල්මා කියනවා කුමාරිකාවගේ දුවත් කුමාරිකාවක් නේද? අම්මි කියලා“ ගැඩොට් සිය දරුවන් ගැන ඇසූවිට රූපවාහිනී වැඩසටහනකට එසේ පවසා තිබුනා.

ගැඩොට් සහ සුපර්වුමන්

ඇය රූපරැජිනියක්, මෝස්තර නිරූපිකාවක් දක්ෂ ටෙලි සහ සිනමා නිළියක් ලෙස ඒ ඒ ක්ෂේත්‍රයන් වල උපරිම දක්ෂතාදැක්වූ කාන්තාවක්. ගැල්  ගැඩොට් සිය හමුදා ජීවිතයේ ලබාගත් පන්නරය ඔස්සේ සටන්කාමී චරිත සඳහා විශේෂයෙන් සිය සිරුර සකසාගැනීමටද විශාල උත්සාහයක් අරනෙ තිබෙනවා. ඒ අතරතුර ඇය සැමියා සහ සිඟිති දරු දෙදෙනාටද සිය දායකත්වය නොමදව ලබා දි තිබෙනවා.

වොන්ඩර් වුමන් යන චිත්‍රපටයේ ඩයනා සේම රූමත් සුකුමාර කෙලිලොල් දුටුවන් ඇදබැඳ තබාගන්නා රූපයක් සහ ඉරියව් සහිත කාන්තාවක වූ ගැඩොට් සැබෑ ජීවිතයේද සාර්ථක කාන්තාවක්. අසුබවාදී මතවාද මත එල්බගෙන නොසිට සිය දක්ෂතා කැපවීමෙන් ඔපමට්ටම් කොටගෙන ඉදිරියට යෑමෙන් කාන්තාවකට වුවද ඇගේ ලෝකයේ සුපිරි වීරවරියක් ලෙස කිරුළු පැළඳිය හැකි බව ගැල් ගැඩොට් ගේ චරිතයෙන් අපිට ගත හැකි ආදර්ශයකි.

කවරයේ පින්තුරය: facebook.com/wonderwomanfilm/

Related Articles