Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුද්ධය සහ කාන්තාවෝ

පුරා දශක තුනකටත් අධික කාලයක් මුළුල්ලේ ජාතියක් වශයෙන් අප මුහුණ දුන් කුරිරු යුදය නිම වී මේ වන විට අට වසරකටත් අධික කාලයක් ගතව ඇත. ගෙවී ගිය එම දශක තුනක කාලය තුළ අප අත්විඳි අත්දැකීම් නැවත විස්තර කිරීම අවශ්‍ය වන්නේද නැත. යුද බිය දුරුවී ගෙවුණු කාලය තුළ අප විසින් අති විශාල සංවර්ධන ඉලක්ක රැසක් සපුරා ගනිමින් සිටින බව සත්‍යයකි. නමුත් භෞතික සම්පත් වැඩි දියුණු වූ පමණින්ම අප “සංවර්ධිත” රටකැයි කිව හැකි ද? යුද්ධය නිමා වුවද, ඉන් පීඩා විඳි බොහෝමයක් දෙනා තවමත් පීඩා විඳින්නේ නොවේද? ඔවුන්ගේ දුක් ගැහැට අපට නොපෙනෙන තරමටම, ඔවුන්ගේ දුක් ගිනි අපට නොඇසෙන තරමටම අප ඔවුන්ගෙන් ඈත් වීද? එවැන්නන්ගේ යහපත සැලසුම උදෙසා ක්‍රියා කිරීමට අප සතුව වගකීමක් පවතින්නේ නොවේද?

සන්නද්ධ අවි ගැටුමක් පවත්නා අවස්ථාවකදී මෙන්ම එවැනි ගැටුමක් අවසන් වූ පසුවද කාන්තාවන් විසින් එම සමාජ ස්ථරය තුල රඟ දක්වනු ලබන භූමිකාව කිසිසේත් අමතක කළ නොහැක්කකි. වගකිව යුතු රජයක් විසින් මෙවැනි සමාජ ස්ථරයන් නියෝජනය කරන්නන් කෙරෙහි දක්වන ආකල්පයන් තුලින් පිළිඹිබු වන්නේ රටක් හා ජාතියක් වශයෙන් අප විසින් අපගේම පුරවැසියන් කෙරෙහි දක්වනු ලබන අවධානය සහ මානව දයාවයි.

කාන්තාවන් යනු නිසඟයෙන්ම යුද සමයකදී අසරණ භාවයට පත් වන්නා වූ පිරිසකි. සිය සැමියන්, සහෝදරවරුන්, ආදරවන්තයි පමණක් නොව, පියවරුන් හෝ පුතුන් යුද පිටියට යන්නේ නම් ඔවුන්ගේ හිස මත පැටවෙන බර මෙන්ම ඔවුන්ගේ ලය මත පැටවෙන බර ද වචනයෙන් විස්තර කළ හැකිදැයි ගැටළුවකි. තමන් තනි වූ බවට වන හැඟීම සමගම පවුලේ වගකීම් රැසක් දැරීමට ඔවුන්ට සිදු වන අවස්ථා එමට ය.

minorityrights.org

සමාජයේ අනෙකුත් සුළුතර කොටස් වලට සාපේක්ෂව වඩාත් අන්තරායකාරී අත්දැකීම් වලට මුහුණ දෙන්නට වන තරම් ඔවුන් අසරණ වනවා වන්නට පුළුවන. පුරුෂාධිපත්‍යය මුල්කොට ගත් සමාජයක් තුළ තනිව සිය කුටුම්බය මෙහෙයවනවා යනු සත්‍ය වශයෙන්ම අභියෝගයකි. ආර්ථික දුෂ්කරතා ද වෙනදාටත් වඩා ඔවුන්ට පීඩනයක් වන්නේ මේ හේතුවෙනි. යුද බිමේ සටන් වදින සොල්දාදුවන් යුද වින්දිතයින් බවට පත්වද්දී ඔවුන්ගේ පවුල් වල කාන්තාවන් ද ඒ හා සමානවම වින්දිත භාවයට පත්වෙති. යුද අපරාධයන්හි මෙන්ම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන්ගේ ද වින්දිතයින් බවට පත් වන මෙම කතුන් බහුතරයක් දෙනා විවිධාකාරයේ සූරාකෑම් වලට මෙන්ම අනිසි උපයෝජනයන්ටද ලක් වන බව නොරහසකි.

විශේෂයෙන්ම සන්නද්ධ අවි ගැටුම් සක්‍රීයව පවත්නා ප්‍රදේශයන්හි වෙසෙන තරුණ ගැහැණු ළමුන් හමුදා සොල්දාදුවන් ලෙස බලහත්කාරයෙන් බඳවා ගැනීම මෙන්ම පස මිතුරු පාර්ශවයේ ජාතිය, ආගම හෝ සම්භවය නියෝජනය කරනා ගැහැණු ළමුන් සහ කාන්තාවන් යුද තිලිණ හෙවත් හෝ ලෙස පැහැරගෙන යාම ද නිසඟයෙන්ම සිදුවන්නකි. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය දක්වාම පැවතුනු කළු පැල්ලමක් වන එල්.ටී.ටී.ඊ.ය සමග පැවතුනු සන්නද්ධ අවි ගටුම අතරතුරදී පමණක් නොව, ලොව පුරා විවිධ රාජ්‍යයන්හි පැවතුණු යුදමය තත්ත්වයන්හි දී මෙම සිද්ධීන් සුලබව පැවතුනු බව මෙන්ම, වර්තමානයේදීත් මෙවැනි පැහැරගැනීම් සිදුවන බවද මෙහිදී මතකයට නංවාගත යුතුමය.

http://rosecharities.org

විශ්වීය නෛතික රාමුව

1949 වසරේදී බලාත්මක කරන ලද ජිනීවා සම්මුතීන් යටතේ සන්නද්ධ අවි ගැටුම් වලට මැදිවන කන්තාවන් හට සාමාන්‍ය සහ විශේෂ ආරක්ෂාව සපයා ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව යන තේමාවන් යටතේ විශේෂ යෝජනාවන් කිහිපයක්ම සම්මත කොටද තිබේ. නමුත් සුදු පිටු අතර කළු අකුරින් ලියැවුනු වචන වලට පමණක් එම නීති සීමා වේ නම් එවැනි නීති වලින් කිසිදු ඵලක් නොමැත. සැබවින්ම පිහිට අවශ්‍ය වන්නන් දෙස අවධානය යොමු කිරීම වගකිව යුතු පාර්ශවයන්ගේ යුතුකමකි.

අපේම කතුන් දෙස හැරී බලමු.

සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි පසුගිය කාල වකවානුව තුල උතුරු සහ නැගෙනහිර පළාත් තුල කාන්තා ගෘහ මූලිකයින් සිටින නිවාස සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබිණ. මෙම නිවෙස් වල පුරුෂ පාර්ශවය යුද ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ඔවුන්ගේ ජීවිත හෝ අත් පා සහ වෙනත් සංවේදනයන් අහිමි වීම හේතුකොටගෙන කාන්තාවන් මෙම පවුල් වල ආදායම් උපයන්නන් බවට පත්ව තිබේ. නමුත් මේ තරම් දිගු කාලයක් ගත වීමෙන් අනතුරුව පවා පෙනී යන කරුණක් වන්නේ ඔවුන් හට තම ජීවිත ගොඩ නගා ගැනීම පිණිස අවශ්‍ය සම්පත් සහ අත්වැල ඔවුනට මෙතෙකුදු ලැබී නොමැති බවයි.

භාෂාමය දුෂ්කරතා හේතු කොටගෙන සිය දෛනික කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාමට බාධා තවමත් එල්ල වෙමින් පවතී. දමිළ සහ සිංහල භාෂා ද්විත්වය අතර පමණක් නොව, දමිළ බස හසුරුවන්නන් අතරද විවිධ ප්‍රාදේශීය ව්‍යවහාර පවතී. මෙම කාන්තාවන්ගෙන් බහුතරයක් දෙනා සාක්ෂරතාවය ඇති අය නොවේ. එවැනි අවස්ථා වලදී සන්නිවේදන ගැටළු මතු වීම ඔවුන්ට විශාල ගැටළුවක් බවට පත්ව ඇත.

විශේෂයෙන්ම මෙම කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන අපයෝජනයන් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට “GBV desks” (Gender-Based Violence) නැමති ව්‍යාපෘතිය රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවද, දමිළ බස නුහුරු සිංහල පුරුෂයකු ඉදිරිපිට තමාගේ අත්දැකීම් ප්‍රකාශ කිරීමට මෙම කාන්තාවන් මැලි වන බව එම ව්‍යාපෘතිය දියත් කළ නිලධාරීන් හට අමතක ව තිබිණ. එබැවින් එම ව්‍යාපෘතියද සාර්ථක වූවකැයි කිව නොහැකිය. අඩුම තරමින් එම ආයතනයන්හි කටයුතු කිරීමට දමිළ බස දන්නා කාන්තාවන් බඳවා ගනු ලැබිණි නම් තත්ත්වය මීට වඩා සතුටුදායක වන්නට ඉඩ තිබිණි. මෙවැනි තවත් අඩුපාඩු එමටය; යුක්තිය ඉටුවීම පමා කරවන මෙවැනි අසම්පූර්ණ උත්සාහයන්ගේ අඩුපාඩු සොයා බලා නිසි ලෙස මෙම ව්‍යාපෘතීන් කියාවෙහි යොදවන්නේ නම් මෙම කාන්තාවන්ගේ හෙට දවස මීට වඩා යහපත් වනු ඇත.

groundviews.org

නිසි පිළිතුරක්?

මෙම ගැටලු සඳහා නිසි පිළිතුරක් ලඟා කරගැනීමට ඇති එක් දුෂ්කරතාවයක් ලෙස කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස ගොඩනැගී ඇති සාම්ප්‍රදායික නීතිමය රාමු වල සැකැස්ම හඳුනාගත හැකිය. සන්නද්ධ අවි ගැටුමක් පවත්නා කාලය තුළ අන්තර්ජාතික මානුෂවාදී නීතිය හෙවත් බලපැවැත්වුනද, එම නීති බොහෝමයක් කෙටි කාලීන ආරක්ෂාව සපයන ඒවා වන අතර සරලවම මරණය හෝ වෙනත් හානි වලින් කාන්තාවන් ආරක්ෂා කරනා නීතීන් ලෙස හඳුනාගත හැකිය.

සියලු දෙනාම මේ පිලිබඳ දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ. කාන්තා පරපුර සෑම ජාතියකම කොඳු නාරටිය බඳු වේ. පටු නිර්ණායක මත පිහිටා ඔවුන් දෙස බැලීම යහපත් නොවන්නේ එබැවිනි. රටට හා ජාතියට යහපත් අයුරින් වෙනසක් කිරීම උදෙසා මෙම කතුන් සතු ජවය සහ බලය යොදවන්නේ නම් ඉන් කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිලාභ ලබන්නේ අපම මිස අන් කවරෙකුත් නොවේ. මෙම කාන්තාවන් හට ජීවත් වීමට යහපත් පරිසරයක් ගොඩනගා දීම එහි මුල් පියවර විය යුත්තේ එබැවිනි. එහිදී මෙම කාන්තාවන්ගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක අවශ්‍යතා ඉතා වැදගත් වේ. නිසි අධ්‍යාපනය සහ ස්වාධීන ලෙස ජීවිතය ගත කිරීම පිලිබඳව පුහුණුවක් ලබා දෙන්නේ නම් ඔවුන් ඉතා ඉක්මණින් නව ජීවන රටාවකට හුරු වනු ඇත.

යුද සමයකට අනතුරුව අප විසින් අවධානය යොමු කළ යුත්තේ යටිතල පහසුකම් වැනි භෞතික සම්පත් දියුණු කරගැනීම සඳහා පමණක් නොවේ. ජනතාවගේ සිතුම් පැතුම් සඵල කර දීම හා ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය සැලසීම උදෙසා කටයුතු කිරීමද අත්‍යවශ්‍ය වේ. නෙල්සන් මැන්ඩෙලා වරක් ප්‍රකාශ කළ පරිදි රටක සාර්ථකත්වය රඳා පවතින්නේ එම රටේ ඉහළ  ස්ථරයන්හි වෙසෙන්නන් හට සළකනු ලබන ආකාරයෙන් නොව, එම රටේ පහල ස්ථරයන්හි වෙසෙන්නන් හට සළකනු ලබන ආකාරයෙනි. විශ්මයානුකූල ලෙස සියල්ල විසඳෙන තුරු බලා සිටීමෙන් ඵලක් නැත. රටේ ජීවනාලිය බඳු කාන්තා පරපුරට මෙන්ම දැයේ අනාගතය හිමි ගැහැණු දරුවන්ටද එකසේ සමානාත්මතාවයෙන් යුතුව සැළකීමට පියවර ගන්නේ නම් අප සියල්ලන්ගේම හෙට දවස මීට වඩා යහපත් එකක් වනු ඇත.

කවරයේ ඡායාරූපය – hrw.org

තොරතුරු උපුටා ගැනීම:

mcrg.ac.in

insightonconflict.org

abc.net.au

wikigender.org

වෙබ් අඩවි ඇසුරෙණි.

Related Articles