Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ කළු කොණ්ඩය ගැන ප්‍රශ්න තිබේ ද?

බොහොමයක් දකුණු ආසියාතිකයින්ට වගේම ශ්‍රී ලාංකික අපටත් ඉතා නෙත්කළු, සිත්කළු, කළුම කළු කොණ්ඩයක් හිමිවෙලා තියෙනවා. ලාංකික ගැහැණු ළමයින් පමණක් නෙවෙයි, පිරිමි ළමයින් පවා තමන්ගේ හිසකෙස් විවිධ ස්ටයිල්ස් වලට සකස් කරන්න දක්වන්නෙ ලොකු කැමැත්තක්. නමුත් වර්තමානයේ ඇතැම් විලාසිතාත් එක්ක, අපට ස්වභාවිකවම උරුම වෙලා තියෙන මේ කළු හිසකෙස් එතරම් අලංකාර නැති බවට මතයක් ගොඩනැගිලා තියෙනවා. සමහරවිට, ඔබත් කළු හිසකෙස් වලට කැමති වුණත්, සමාජයේ ගොඩනැගිලා තියෙන මේ විවිධ මතයන් නිසා ඔබේ හිසකෙස් පිළිබඳව එතරම් තෘප්තියක් නැති වෙන්න පුළුවන්. මේ නිසාත්, තවත් විවිධ හේතු නිසාත්, ඔබටත් ඔබේ කළු හිසකෙස් පිළිබඳව යම් යම් ගැටළු මතුවෙලා තියෙනවා වෙන්නට පුළුවන් කියලා අපි හිතුවා. මේ ලිපිය ලියැවෙන්නේ එවැනි ගැටළු කීපයකට පිළිතුරු ලබාදීමටයි.

ඇයි ශ්‍රී ලාංකික අපට කළු කෙස් කළඹක් ලැබිලා තියෙන්නෙ?

ශ්‍රී ලාංකික අපට කළු හිසකෙස් ලැබිලා තියෙන්නේ ප්‍රමුඛ ජානමය ලක්ෂණයක් නිසා. මේ ලක්ෂණය නිසා හිසකෙස් වලට කළු පැහැය ලබාදෙන යූමෙලනීන් නම් සංයෝගය බහුල ලෙස ශ්‍රී ලාංකිකයින්ට ලැබී තියෙනවා. ශ්‍රී ලාංකිකයින් ඇතුළු දකුණු ආසියාතිකයින්ට හිසකෙස් වලට කළු වර්ණකය ලැබීමේ පරිණාමික හේතුව වෙන්නෙ, සමකාසන්නයේ දී ලැබෙන අධික හිරු එළිය කළු පැහැය මගින් මනාව අවශෝෂණය කරගන්නා නිසා බවට මත පලවී තියෙනවා. එලෙස ගත් විට ශ්‍රී ලාංකික කළු හිසකෙස් කියන්නෙ අපට ලැබිලා තියෙන ආරක්ෂක සැකසුමක් ද වෙනවා.

හිසෙහි තෙල් ආලේප කිරීම අත්‍යවශ්‍ය ද?

මේ ගැහැණු ළමුන් අතර බහුලව පැතිර ඇති මිත්‍යා මතයක්. හිස් කබලේ ස්වභාවික තෙල් නිපදවන ග්‍රන්ථි තිබෙන නිසා හිසකෙස් වලට අවශ්‍ය තෙල් ඒවා මගින් ස්වභාවිකව නිපදවෙනවා. එනිසා අතිශය වියළි සමක් තිබේ නම් පමණක් හැර, හිස් කබලේ නිතරම තෙල් ආලේප කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ස්වභාවික දීප්තියක් ඇති කළු කෙස් වැටියක් ලබා ගැනීමට නම් සතියට තුන් වතාවක් හිසකෙස් වල පමණක් තෙල් ආලේප කිරීම ප්‍රමාණවත්.

නීරෝගී කෙස් වැටියක් සඳහා හිසකෙස් දිනපතා සේදිය යුතු ද?

දිනපතා ෂැම්පු යොදා හිසකෙස් සේදීම මගින් හිස්කබලේ ඇති ස්වභාවික මේදමය ස්වභාවය ඉවත්ව ගොස්, හිස් කබල වියළි බවට පත්වෙනවා. මෙමගින් කෙස් ගස් නිතර ගැලවී යෑමට හැකිවාක් වගේම, ස්වභාවික මේදය මගින් සපයන දීප්තිමත්බව ද කෙස් වැටියට අහිමි වෙනවා. ඒ නිසා දීප්තිමත් කළු කෙස් වැටියක් හිමිකර ගැනීමට නම් දිනපතා ෂැම්පු යොදා ස්නානය කිරීමේ පුරුද්ද අත්හරින්නට වෙනවා. සතියකට තෙවරක් ෂැම්පු යොදා ස්නානය කිරීම ප්‍රමාණවත්.

කෙස් වැටියට කන්ඩිෂනර් යෙදීම අත්‍යවශ්‍ය ද?

ඔව්. ෂැම්පු කිරීමෙන් පසු කෙස් වැටියට කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කිරීම නම් අත්‍යවශ්‍යයි. ඔබේ කෙස් වැටිය වියළි වුණත්, තෙල් සහිත වුණත්, කළු කෙස් වැටියක නීරෝගී පෙනුම සහ දීප්තිමත් භාවය ආරක්ෂා කර ගන්නට නම් කන්ඩිෂනර් භාවිතා කළ යුතුමයි. මෙමඟින්, හිසකෙස් පිසදමනා විට තුවාය මගින් කෙස් වැටියට වන හානිය අවම කරනවා වගේම, හිසකෙස් වල ගැටගැසීම් ද අවම කරනවා. ඔබේ කැමැත්ත දීප්තිමත් කළු හිසකෙස් වලට නම්, සෑම ෂැම්පු කිරීමකින් පසුවම හිසකෙස් වලට කන්ඩිෂනර් යෙදීමට හුරුවීම අවශ්‍යයි.

මේ, සාමාන්‍යයෙන් කළු හිසකෙස් ඇති අපට මතුවන ඉතාම සුළු, එමෙන්ම මූලික ගැටළු කීපයක් පමණයි. ලංකාවේ බහුතරයක් දෙනා අලංකාර කළු හිසකෙස් වල හිමිකරුවන් හිමිකාරියන් වුණත්, වර්ණ කළ හිසකෙස්, රසායනික ප්‍රතිකාරයන්ට ලක් කළ හිසකෙස් වලට සත්කාර කිරීම සම්බන්ධයෙන් උපදෙස් සපයන බොහොමයක් ලිපි ලියැවෙන අතරේ, ස්වභාවික කළු හිසකෙස් පිළිබඳව වන ගැටළු සහ ඒවාට සත්කාර කිරීමේ ක්‍රම පිළිබඳව ලිපි ලියැවෙන්නේ කලාතුරකින්. එනිසා ඔබටත් ඔබේ කළු හිසකෙස් පිළිබඳව මෙහි සඳහන් නොවන ගැටළු මතුව තිබෙනවා නම්, අපෙන් අහන්න. අපගේ උපරිමයෙන් ඔබට සහය වීමට අප බලාපොරොත්තු වෙනවා.

cover image: hennacolorlab.com

Related Articles