Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රා එකක් කල් පවතින ලෙස සෝදාගන්නා අයුරු

ඔබ වෙත ගෙන එන්නේ

බ්‍රා සහ පැන්ටීස් කියන්නෙ කාන්තාවන් විසින් දිනපතා භාවිත කරන, එමෙන්ම ඔවුනට නැතිවම බැරි ඇඟලුම් වර්ගයක්. මේවා මගින් කාන්තාවන්ගේ පෙනුම වඩාත් අලංකාර කරනවා පමණක් නොවේ, සිරුරට පහසුවක් සහ ආධාරයක් ද ලබාදෙනවා. හොඳ වර්ගයේ බ්‍රා සහ පෑන්ටීස් අලෙවි වන්නේ ඉහළ මිළ ගණන් යටතේ නිසා මේවා වඩාත් කල් පවතින ලෙස භාවිතා කිරීමට කාන්තාවන් උත්සාහ කරනවා. නමුත් මේවා ඉතා මෘදු සහ සියුම් නිසාත්, තමන් වඩාත්ම ප්‍රිය කරන යට ඇඟලුම් නිතර භාවිතය නිසාත්, ඒවා නිසි පරිදි භාවිතා නොකිරීම නිසාත් ඉතා ඉක්මනින් ඇදී ගොස්, ඒවායින් ලබාදෙන ආධාරය සහ සුවපහසුව නැතිව යනවා. එම නිසා, නිවැරදි අයුරින් බ්‍රා සහ පෑන්ටීස් සෝදා නඩත්තු කරන්නේ කෙසේද යන වග ලිපියකින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප කල්පනා කළා.

IMAGE COPYRIGHT; MAS BRANDS (PVT) LTD (amanté)

බ්‍රා එකක් නිවැරදිව සෝදාගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් කාන්තාවන් තම බ්‍රා සේදීම සඳහා රෙදි සෝදන යන්ත්‍රය තමයි භාවිතා කරන්නේ. නමුත් මේ සිරිත සෑම වර්ගයකම බ්‍රා සඳහා නම් කොහෙත්ම සුදුසු නෑ. බ්‍රා එක නිශ්පාදනයට භාවිතා කරන අමුද්‍රව්‍ය අනුවත්, බ්‍රා වර්ගය අනුවත්, එය සේදිය යුතු ආකාරය එකිනෙකට වෙනස් වෙනවා. ඒ අනුව ඒවා සේදිය යුත්තේ උණු හෝ සිසිල් ජලයේ ද, මෘදු සේදුම්කාරකයක් භාවිතයෙන් ද, නැතහොත් සාමාන්‍ය රෙදි සෝදන සබන් භාවිතයෙන් ද යන්න තීරණය වෙනවා.

මූලිකවම, ඔබේ බ්‍රා හෝ පෑන්ටීස් නිපදවා ඇත්තේ කපු හෝ කපු මිශ්‍ර අමුද්‍රව්‍යයකින් නම් ඒවා මද උණුසුම් ජලයේ සේදීම සිදු කළ හැකියි. නමුත් සිල්ක් හෝ සිල්ක් මිශ්‍ර හෝ, ලේස් හෝ, නයිලෝන් වලින් නිපදවා ඇති යට ඇඟලුම් සිසිල් ජලය භාවිතයෙන් දෑතින් සෝදා ගැනීම කළ යුතුයි.

දෑතින් සේදිය යුතු ආකාරය

මෙයට පහසුම ක්‍රමය තමයි බේසමක් හෝ සින්ක් එක ජලයෙන් පුරවාගෙන එහි බ්‍රා එක දමා සේදීම. පළමුවෙන්ම බේසම හෝ සින්ක් එක සිසිල් ජලයෙන් පුරවාගෙන, එයට මෘදු සේදුම්කාරකයක් එක් කළ යුතුයි. මෙහිදී එම සේදුම්කාරකය මධ්‍යසාර වලින් තොර, ඇඟලුම් දෑතින් සේදීම සඳහා භාවිතයටම නිශ්පාදනය කළ එකක් වීම ඉතා වැදගත්. සේදුම්කාරක මිශ්‍ර කිරීමෙන් පසු ජලය අතින් කලතා, මදක් පෙණ නගින් සේ සකස් කරගත යුතුයි.

IMAGE COPYRIGHT; MAS BRANDS (PVT) LTD (amanté)

ඉන්පසු බ්‍රා එහි දමා විනාඩි 10ක් පමණ පෙඟවීම කළ යුතුයි. මෙහිදී එක හා සමාන වර්ණයන්ගේ ඇඟලුම් පමණක් එකට දැමීම වඩා උචිතයි. පෙඟීමෙන් අනතුරුව අතින් මෘදුව මදක් ඇතිල්ලීමෙන් ඒවායේ ‍රැඳී ඇති තෙල් සහ අපද්‍රව්‍ය වඩාත් හොඳින් ඉවත් කරගත හැකියි. ඉන්පසු අපිරිසිදු ජලය ඉවත් කොට, සේදුම් ජලය පිරිසිදු ලෙස පෙනෙන තුරු කීප වරක්ම බ්‍රා සෝදා ගැනීම කළ යුතුයි.

මේ අයුරින් සොදාගත යුතු බ්‍රා තමයි සිල්ක් වලින්, ලේස් වලින් හෝ නයිලෝන් වලින් සෑදූ, හෝ අන්ඩර්වයර් සහිත බ්‍රා වර්ග.

රෙදි සෝදන යන්ත්‍රයකින් සේදිය යුතු ආකාරය

කාර්යබහුලකම නිසා හෝ වෙනත් හේතූන් නිසා ඔබේ බ්‍රා එක රෙදි සෝදන යන්ත්‍රයකින් සෝදා ගැනීමට සිදුවන අවස්ථාවන් තිබෙනවා. එහිදී නම් ඔබ අමතක නොකරම කළ යුතු මූලික කාර්යයක් තමයි යන්ත්‍රයට දැමීමට පෙර බ්‍රා එකේ ගාංචුව ඇමිණීම. එසේ නොකිරීමෙන් යන්ත්‍රය තුලදී එහි කොකු ඇඹරී යෑම හෝ වෙනත් ඇඳුම්වල පැටලීම සිදුවන්නට පුළුවන්.

සේදුම් යන්ත්‍රයට දැමීමට පෙර බ්‍රා එක දැල් වැනි සේදුම් බෑගයක් තුළට දැමීම දෙවනුව සිදු කළ යුතු වැදගත්ම කාර්යය වෙනවා. එමඟින් යන්ත්‍රය තුලදී ඒවා අනිත් ඇඳුම්වල පැටලීම හෝ අනවශ්‍ය ලෙස ඇදී යෑම වලකිනවා. එසේම, ඝනකමින් හා බරෙන් අඩු ටී ශර්ට්ස්, නිදන ඇඳුම්, යට ඇඳුම් ආදී රෙදි සමඟ බ්‍රා සෝදාගත හැකි නම් වඩාත් අගෙයි. මොකද ඩෙනිම්, කලිසම්, තුවා ආදී බර රෙදි මගින් බ්‍රා වලට හානි සිදුවීමට හැකියි.

IMAGE COPYRIGHT; MAS BRANDS (PVT) LTD (amanté)

රෙදි සේදුම් යන්ත්‍රයට දැමිය හැකි බ්‍රා වර්ග අතර කපු වලින් සෑදූ බ්‍රා, ස්පෝට්ස් හෝ ටී ශර්ට් බ්‍රා ආදිය ප්‍රමුඛයි. මේවායින් සමහරක් මද උණුසුම් ජලයේ පවා සේදිය හැකි වුණත්, සිසිල් ජලයේ සේදීම් මගින් ඒවාට වැඩි කල් පැවැත්මක් ලබා දිය හැකියි. මෙහිදී පෙර සඳහන් කළ ආකාරයටම මෘදු සේදුම්කාරකයක් භාවිතා කළ යුතු අතරම, සේදුම් යන්ත්‍රයේ ඇති “gentle cycle” නම් සැකැස්ම භාවිත කර සෝදාගැනීම ද කළ යුතුයි.

මෙහිදී ඔබ සිහි තබාගත යුතු වැදගත්ම කාරණයක් තමයි, අන්ඩර්වයර් සහිත බ්‍රා සහ ලේස් බ්‍රා සහ පෑන්ටීස් කිසිම විටෙක සේදුම් යන්ත්‍රයෙන් සේදීම නොකළ යුතු බව.

බ්‍රා එක වේලාගැනීම

බ්‍රා වේලීමේ දී ඒවා මිරිකීමත්, අවුවේ වේලීමත්, පටි වලින් වැලක වනා වේලීමත් කිසිසේත්ම සුදුසු නෑ. එසේම සේදුම් යන්ත්‍රයකින් සේදීමේ දී “tumble dry” නම් සැකැස්ම යටතේ බ්‍රා වේලාගැනීම ද  නුසුදුසුයි. බ්‍රා එකකින් වැඩි ජලය ඉවත් කරගැනීමේ හොඳම ක්‍රමය තමයි වේලුනු තුවා දෙකක් අතරට ඒවා තබා තද කිරීම. මෙහිදී වැඩි ජලය තුවා මගින් උරාගනු ලබනවා.

බ්‍රා එකක් වේලීමට සුදුසුම ක්‍රමය තමයි එය ඇඳුම් ‍රැක් එකක හෝ තුවායක් මතුපිට අතුරා පවනේ වේලා ගැනීම. ඊට අමතරව සෙවනේ ඇති වැලක වැනීමත් සිදු කළ හැකියි.

පෑන්ටීස් සේදීම සහ වේලීම

බ්‍රා වගේම, සිල්ක් හෝ ලේස් පෑන්ටීස් නම් දෑතින් සේදීම අනිවාර්යයයි. ඒවායේ මෘදු සහ ඇදෙනසුළු බව ‍රැකගැනීමට සිසිල් ජලයෙන් මෘදු සේදුම්කාරකයක් දමා සෝදාගැනීම ප්‍රමාණවත්. මෙහිදී සේදීමට පෙර පෑන්ටීස් මද වේලාවක් ජලයේ පොඟවා ගැනීම කළ හැකියි. එසේම සමාන වර්ණයන් සහිත පෑන්ටීස් එකට සෝදාගැනීමත්, ඕනෑවට වඩා තදින් ඇඹරීම හෝ මිරිකීම නොකළ යුතු බවත් අමතක නොකළ යුතු කරුණු.

ලේස් හෝ සිල්ක් පෑන්ටීස් මෙන් නොව, කපු හෝ කපු මිශ්‍ර පෑන්ටීස් අනෙකුත් ඇඳුම් සමඟම සේදුම් යන්ත්‍රයක දමා සිසිල් ජලයේ සෝදාගැනීම කළ හැකියි.

පෑන්ටීස් වේලීමේදීත්, බ්‍රා වේලීමේ දී අනුගමනය කළ පියවරම අනුගමනය කිරීම උචිතයි.

බ්‍රා සහ පෑන්ටීස් සේදීම ගැන අමතර කරුණු කීපයක්

IMAGE COPYRIGHT; MAS BRANDS (PVT) LTD (amanté)

බ්‍රා එකක් දිනපතාම සේදීම අවශ්‍ය වන්නේ නැහැ. ස්පෝට්ස් බ්‍රා හැරුණුකොට අනෙකුත් බ්‍රා වර්ග දින දෙකකට වරක් සේදීම ප්‍රමාණවත්. නමුත් පෑන්ටීස් නම් දිනපතා සේදීම අනිවාර්යයයි.

ඇතැම් කාන්තාවන් විශ්වාස කරනවා බ්‍රා එකක කල්පැවැත්ම සඳහා සතියකට වරක් සේදීම ප්‍රමාණවත් බව. මෙය වැරදි විශ්වාසයක් වගේම සනීපාරක්ෂාවටත් සුදුසු නැහැ. ඒ වගේම, සේදීමෙන් තොරව කීප දිනක් ඇඳීමේ දී බ්‍රා එකේ පටි මදක් ඇදී යෑමට හැකියි. එය යථා තත්ත්වයට පත්වීමට නම් සේදීම අනිවාර්යයයි.

බ්‍රා වල කල්පැවැත්ම පිළිබඳව සැලකීමේ දී නොකළ යුතුම කටයුත්තක් තමයි ඒවා මත බ්ලීචින් වර්ග භාවිතය. බ්‍රා සහ පෑන්ටීස් ඉතා මෘදු ඇඟලුම් නිසා බ්ලීචින් භාවිතයෙන් ඒවා දුර්වල වී, විවර්ණ වී යෑමට හැකියි. සේදීමේදී මෘදු සේදුම්කාරකයක් සහ සේදීමෙන් අනතුරුව රෙදි මෘදුකාරකයක් (මේවා සුපිරි වෙළඳසැල් වලින් මිළට ගත හැකියි) යෙදීමෙන් මේවායේ කල් පැවැත්ම වැඩි කරගන්නට පුළුවන්.

මේ බ්‍රා සහ පෑන්ටීස් වල කල් පැවැත්ම සඳහා පිළිපැදිය යුතු සරල කරුණු කීපයක්. මේ සම්බන්ධයෙන් ඔබට තවත් ප්‍රශ්න තිබෙනවා ද? එසේ නම් අපෙන් අහන්න.

Cover image: MAS BRANDS (PVT) LTD (amanté)

ඔබට ගැලපෙන බ්‍රා සහ පෑන්ටීස් ගැන තවත් විස්තර දැනගැනීම සඳහා http://global.amantelingerie.com/වෙත පිවිසෙන්න.

Related Articles