Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිසකෙස් වල නීරෝගීමත් බව ‍රැකගන්න, මේ කරුණු පිළිපදින්න

දිගු, නීරෝගීමත් කෙස් වැටියක් කියන්නෙ ශ්‍රී ලාංකික තරුණියකගේ සිහිනයක්. තමන්ගේ කෙස් වැටිය තව එක් අඟලකින් දිගු කරගන්න, එහි ඝනකම වැඩිකරගන්න, දීප්තිය හා වර්ණය ආරක්ෂා කරගන්න තරුණියන් බොහොම මහන්සි වෙනවා. නමුත් වර්තමාන තරඟකාරී හා කාර්යබහුල ජීවිතයත් එක්ක තමන්ගේ කෙස් වැටියට දිය යුතු අවධානය බොහොමයක් තරුණියන් අතින් ලැබෙන්නේ නැහැ. ඒ වගේම, ස්වභාවික ද්‍රව්‍යයන් භාවිතයෙන් හිසට සත්කාර කිරීමට උත්සුක වන තරුණියන් බොහොමයක් දෙනා, හිසකෙසට කළ යුතු මූලිකම සත්කාරයන් පිළිබඳව දක්වන්නේ නොසැලකිල්ලක්. කෙස් වැටියට සාත්තු සප්පායම් නොකර, ඉබේ නීරෝගීමත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැනෙ. ඒ නිසා, දීප්තිමත්, ශක්තිමත් කෙස් වැටියක් සඳහා උපකාරී වන මූලික කරුණු කීපයක් අප අද ඉදිරිපත් කරනවා.

හිසකෙස් වර්ණ ගැන්වීම හැකිතාක් අවම කරන්න

ශ්‍රී ලාංකික අපට ස්වභාවයෙන්ම තද කළු වර්ණයක හිසකෙස් උරුම වෙලා තියෙනවා. නමුත් මේ කළු පැහැ කෙස් වලට ඇතැම් තරුණියන් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා තඹ, දුඹුරු, රතු ආදී විවිධ වර්ණයන්ගෙන් තම හිසකෙස් වර්ණ ගැන්වීමට ඔවුන් පෙළඹෙනවා. මේ සඳහා භාවිතා කරන වර්ණකයන්ගෙන් පමණක් නෙවෙයි, වර්ණ ගැන්වීමට පෙර යොදාගන්නා බ්ලීචින් (bleaching chemicals) වර්ග නිසාත් හිසකෙස් වියළී ගොස්, කැඩී යන තත්ත්වයට පත්වෙනවා. ඉතින් වර්ණ ගැන්වීමෙන් ඔබට ඉතිරිවන්නේ වර්ණවත් නමුත් දුර්වල සහ රෝගී කෙස් කළඹක්.

බොහොමයක් තරුණියන් තමන්ගේ කළු කෙස් කළඹට අකමැති වෙන්නේ එය එතරම් නීරෝගී සහ දීප්තිමත් නොවන නිසා. හිසකේ වර්ණ ගැන්වීමෙන් මේ ප්‍රශ්නය විස‍ඳෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. නමුත් කෙස් කළඹේ තද කළු වර්ණය සහ ස්වභාවික දීප්තිය ‍රැකගන්නට පුළුවන් නම් හිසකෙස් වර්ණ ගැන්වීම අවශ්‍ය වන්නේ නැහැ. තද කළු, දීප්තිමත්, නිරෝගී හිසකෙස් ඉතාම අලංකාරයි.

කළු හිසකෙස් සඳහා වන නිශ්පාදන මිළදී ගන්න

දකුණු ආසියාතික අපට උරුම කළු හිසකෙස් ඉතාම අලංකාර වුණත්, වෙනත් හිසකෙස් වර්ගයන්ට වඩා මෘදු සහ වියළි ස්වභාවයක් ගන්නවා. එනිසා කළු හිසකෙස් වල දීප්තිය සහ ශක්තිමත්බව ‍රැකගැනීම අභියෝගයක්. මෙයට පිළියමක් ලෙස ලාංකික හිසකෙස් වල කළු පැහැ දීප්තිය සහ තෙතමනය ආරක්ෂා කිරීමට උදව් වෙන නිශ්පාදනයන් හැකි තරමක් භාවිතා කිරීම වඩා උචිතයි. එනිසා, කළු පැහැ හිසකෙස් සඳහාම නිපදවුණු, ඊටම ගැලපෙන​ පෝෂණය ලබා දිය හැකි ශැම්පු සහ කන්ඩිෂනර් ‍තෝරාගැනීමට හැකි තරම් සැලකිළිමත් විය යුතුයි.

නිතර ශැම්පු කිරීමෙන් වලකින්න

ලංකාව ඝර්ම කලාපීය රටක් නිසා අපේ හිසකෙස් බොහෝවිට දූවිල්ලට නිරාවරණය වෙනවා. එසේම දහදිය දැමීමත් අධිකයි. එනිසා දිනපතාම වාගේ ශැම්පු දමා ස්නානය කරන්න තරුණියන් හුරුව සිටිනවා. නමුත් මේ පුරුද්ද අපේ හිසකෙස් සහ හිස්කබලට ඉතා අහිතකරයි.

හිස් කබලේ සහ හිසකෙස් වල දීප්තිය ඇතිකරවන ස්වභාවික තෙල් ගතියක් හිසේ සම මගින් ස්වභාවිකව නිපදවනවා. අප “නීරෝගී” යැයි සලකන ස්වභාවික දීප්තිය හිසට ලබාදෙන්නේ මේ තෙල් වලින්. නමුත් දිනපතා ශැම්පු කිරීමේ දී හිස්කබල සහ හිසකෙස් වලින් මේ තෙල් ගතිය මුළුමනින්ම ඉවත්ව ගොස්, හිස වියළි බවට පත්කරනවා.

එසේම තරුණියන් බොහෝ දෙනෙකු අතර ඇති වැරදි පුරුද්දක් තමයි මුළු කෙස්වැටියම ශැම්පු කිරීම. මේ පුරුද්ද නිසා කෙස් ගස් අග පැලී, කැඩී යනවා. හිස් කබල සහ කේශ මූලයන් ශැම්පු කළත්, කෙස් වැටියේ අග තදින් ශැම්පු කිරීම අවශ්‍ය නැහැ. ඔබේ කෙස් වැටියට ස්වභාවික කාල වර්ණ දීප්තියක් ලැබෙනවාට කැමති නම්, සතියකට තුන් වතාවකට වඩා හිසකෙස් ශැම්පු කිරීමෙන් වැළකීම හොඳයි. එසේම, හිසකෙස් වල කළු පැහැ දීප්තිය ‍රැකගැනීමට උපකාරී වන ශැම්පු වර්ගයක් භාවිතා කිරීමත් හිසකෙස් වල ස්වභාවික තෙල් පාලනය කර නීරෝගීමත් කෙස් වැටියක් ලබාදීමට උපකාරී වේවි.

කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කරන්න

හිසකෙස් නීරෝගීමත්ව තබාගැනීමට ශැම්පු කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. කන්ඩිෂනර් භාවිතයත් අත්‍යවශ්‍යයි. ශැම්පු කර සෝදා හැරීමෙන් පසු එහි තිබෙන ස්වභාවික තෙල් ගතිය ඉවත්ව යන නිසා හිසකෙස් මදක් රළු බවට පත්වෙනවා. මේ ස්වභාවය පාලනය නොකළොත් හිසකෙස් ගැටගැසී කැඩී යන්නට පුළුවන්. එය නම් කෙස් කළඹකට එතරම් සුභ ආරංචියක් නොවන බව ඔබ දන්නවනෙ.

මේ සඳහා විසඳුමක් ලෙස ශැම්පු කරන සෑම අවස්ථාවකම කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කිරීමට පුළුවන්. එමඟින් හිසකෙස් වල ස්වභාවික පෙනුමත්, දීප්තියත් ‍රැකගැනීමට උපකාරී වෙනවා වගේම, හිසකෙස් කැඩී යෑමත් අඩුවන නිසා කෙස් වැටිය වඩා ඉක්මනින් දිගු වීමට ද ඉඩකඩ සැලසෙනවා.

කන්ඩිෂනර් වර්ගයක් ‍තෝරාගැනීමේ දී ඔබ භාවිතා කරන ශැම්පු වර්ගයෙන්ම කන්ඩිෂනර් ‍තෝරාගැනීමත්, ඒවා කෙස් වලට යෙදීමේ දී හිස් කබලේ නොගෑවීමට වගබලා ගැනීමත් වැදගත්.

සරලවම කිව්වොත්, කළු කෙස් කළඹකට කළ හැකි වඩාත් වැදගත්ම සත්කාරයක් තමයි එයට ගැලපෙන​ කන්ඩිෂනර් භාවිත කිරීම.

මේ ලිපියෙන් ස්වභාවික කළු පැහැයෙන් යුතු දීප්තිමත් කෙස් වැටියකට අවශ්‍ය කරන ඉතාම මූලික කරුණු කීපයක් අප ඉදිරිපත් කළා. අලංකාර කෙස් වැටියකට කැමති ඔබටත් මේ කරුණු වැදගත් වේ යැයි අප විශ්වාස කරනවා. ඔබත්, ඔබ වැනිම අනෙක් තරුණියන්ටත් වැදගත් විය හැකි මෙවැනි කරුණු පිළිබඳව දන්නවා ද? එසේ නම් ඒවා පහතින් කොමෙන්‍ටුවක් ලෙස සටහන් කරන්න.

Related Articles