Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වනිඳුගේ සුපිරි දස්කම් සමඟින් ඩෙකෑන් කණ්ඩායම පෙරමුණට

T20 ක්‍රිකට් පිටියේ අංක එකේ පන්දු යවන්නා ලෙසින් වැජඹෙන ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග නිමා වුණු 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එනිසා ඔහුට තරගාවලියේ වැඩිම  කඩුලු ලාභියා බවට පත්වීමට ද අවස්ථාව ලැබුණා. ඒ අයුරින් T20 පිටියේ දී පිතිකරුවන් අසරණ කළ වනිඳු” මේ දිනවල පැවැත්වෙන අබුඩාබි T10 තරගාවලියේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

එහි දී වනිඳු පෑ සුපිරි දස්කම් නිසා පසුගිය ඉරිදා වන විට ඩෙකෑන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියා. එම තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

කවරයේ කතාව- වනිඳු T10 පිටිය හොල්ලයි 

මේ දිනවල පැවැත්වෙන අබුඩාබි T10 තරගාවලියට ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරනවා. ඒ අතරට ශ්‍රී ලංකා සුපිරි පාදඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද අයත්. ගෙවුණු සති කිහිපය තුළ පැවති තරගවල දී වනිඳු පන්දුවෙන් පෑ සුපිරි දස්කම් නිසා මූලික තරග වටයේ 24 වන තරගය අවසන් වෙද්දී ඔහු නියෝජනය කරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටිනවා. එහි දී කඩුලු 13ක් බිඳ දැමූ වනිඳු හසරංග තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා ලෙසින් වැජඹෙනවා. එක් එක් තරගයේ දී වනිඳු දැක්වූ දස්කම් පිළිබඳව පහතින් දක්වා තිබෙනවා. 

1) චෙන්නායි බ්‍රේව්ස්ට එරෙහිව- 13/0 (1)

2) අබුඩාබි කණ්ඩායමට එරෙහිව- 12/4 (2)

3) දිල්ලි බුල්ස්ට එරෙහිව- 26/2 (2)

4) නොදර්න් වැරියර්ස්ට එරෙහිව- 5/2 (2)

5) බංග්ලා ටයිගර්ස්ට එරෙහිව- 32/0 (2)

6) චෙන්නායි බ්‍රේව්ස්ට එරෙහිව- 9/3 (2)

7) දිල්ලි බුල්ස්ට එරෙහිව- 13/2 (2)

8) නොදර්න් වැරියර්ස්ට එරෙහිව- 22/0 (2)

වනිඳු අබුඩාබි කණ්ඩායමට එරෙහිව දස්කම් දක්වමින් – ttensports.com

 

ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ කොදෙව්වන් අසරණ වෙයි 

2021/23 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු ටෙස්ට් තරගාවලිය මේ දිනවල ගාල්ලේ දී පැවැත්වෙනවා. එහි දී ඔවුන් තරග වදින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව යි. එම තරගාවලියේ පළමු තරගය පසුගිය බ්‍රහස්පතින්දා නිමාවට පත්වුණා. ඉන් ලකුණු 187ක පහසු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එහි දී තරගය පුරාම සිය පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමු ඉනිමේ දී ලකුණු 147ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 83ක් වාර්තා කළා. 

දිමුත් කරුණාරත්න පිත්තෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් තිදෙනා  කොදෙව් කඩුලු 20න් 18ක් ම දවා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එහි දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 7ක් දවා ගනිද්දී, ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම පිළිවෙළින් කඩුලු 6ක් සහ 5ක් දවා ගත්තා. ඒ අයුරින් ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබුණා. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 386/10, (දිමුත්- 147, ධනංජය- 61, නිස්සංක- 56, චේස්- 83/5, වැරිකන්- 87/3)

කොදෙව් පළමු ඉනිම- 230/10, (මේයර්ස්- 45, බ්‍රැත්වේට්- 41, ප්‍රවීන්- 40/4, රමේෂ්- 75/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 191/4, (දිමුත්- 83, මැතිව්ස්- 69*, වැරිකන්- 42/2, කෝන්වෝල්- 60/2)

කොදෙව් දෙවන ඉනිම- 160/10, (බොනර්- 68*, ජෝෂුවා- 54, ඇඹුල්දෙණිය- 46/5, රමේෂ්- 64/4)

ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක් 

තරගයේ වීරයා- දිමුත් කරුණාරත්න

 රමේෂ් මෙන්ඩිස් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

 

කොරෝනාව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිහිනය බොඳ කරයි  

2022 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරග සිම්බාබ්වේ දේශයේ දී පසුගිය දිනවල පැවැත්වුණා. ඒ සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය මුල් ම තරගයේ දී නෙදර්ලන්තයට එරෙහි ව ලකුණු 34ක ජයක් වාර්තා කළා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව සිටි මොහොතක තරගාවලිය හදිසියේ අවලංගු කිරීමට ලෝක ක්‍රිකට් සම්මේලනය තීරණය කළා. 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – gettyimages.com

 

ඒ වඩාත් භයානක ඔමික්‍රෝම් කොරෝනා ප්‍රභේදය සිම්බාබ්වේ ඇතුළු අප්‍රිකානු රටවල් කිහිපයක් පුරා පැතිර යාම නිසා යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන රටවල් තෝරා ගැනීමට තීරණය කළා.

එම ශ්‍රේණිගතකිරීම්වලට අනුව බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් 2022 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබද්දී ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොඳ වී ගියා. 1997 සිට අඛණ්ඩ ව සෑම කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියක් සඳහා ම සහභාගි වුණු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙවර අවාසනාවන්ත ලෙස ලෝක කුසලාන වරම් අහිමි වීම කනගාටුදායක සිදුවීමක් වුණා. 

ලෝක චෙස් ශූරයා තේරීමේ සටන ඇරඹෙයි

2021 ලෝක චෙස් ශූරතාවලිය ඩුබායි හීදී මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. එහි දී වත්මන් ලෝක ශූර නෝර්වේ රාජ්‍යයේ කාල්සන් මැග්නස් සමඟින් රුසියානු ක්‍රීඩක ඉයන් නෙපොම්නියාචි තරග වදිනවා. තරග 14කින් සමන්විත තරගාවලියේ තරග 3ක් මේ වන විට පවත්වා අවසන්. එම තරග ත්‍රිත්වය ම ජය පරාජයෙන් තොරව අවසන් වීම විශේෂත්වයක්.

2013 වසරේ දී ඉන්දියාවේ විශ්වනාදන් ආනන්ද් පරාජයට පත් කළ කාල්සන් මුල් ම වරට ලෝක චෙස් ශූරතාව දිනා ගත්තා. එදා සිට අඛණ්ඩ ව සිවු වරක් චෙස් ලෝක ශූරතාව දිනා ගත් කාල්සන් මෙවරත් ලෝක ශූරයා වනු ඇතැයි බොහෝ දෙනකු අනුමාන කරනවා. මේ වන විට 31 හැවිරිදි වියේ පසුවන කාල්සන් ලෝක චෙස් ඉතිහාසයේ වැඩි ම ශ්‍රේණිගත කිරීම් අගයක් වාර්තා කළ ක්‍රීඩකයා බවට ද ඉතිහාසගත වුණු බව මෙහි දී කිව යුතු යි. 

කාල්සන් සහ නෙපොම්නියාචි තරග වදිමින් – gettyimages.com

 

චමරි අතපත්තුගේ පර්ත් ස්කොචර්ස් කාන්තා බිග් බෑෂ් කිරුළ දිනයි

2021/22 ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පර්ත් හි දී පසුගිය සෙනසුරාදා ක්‍රියාත්මක වුණා. පර්ත් ස්කොචර්ස් සහ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් යන කණ්ඩායම් අතර පැවැති එම තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් හිමි වුණේ පර්ත් ස්කොචර්ස් කණ්ඩායමට යි.

එය පර්ත් ස්කොචර්ස් කණ්ඩායම කාන්තා බිග් බෑෂ් කිරුළ දිනාගත් මුල් ම අවස්ථාව ලෙසින් සටහන් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු මෙවර බිග් බෑෂ් 20/20 තරගාවලියේ දී පර්ත් ස්කොචර්ස් කණ්ඩායම නියෝජනය කළ නිසා ඇය ද එම වටිනා ජයග්‍රහණයේ කොටස්කාරියක් වුණා. පහතින් දක්වා තිබෙන්නේ අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ජයග්‍රාහී පර්ත් ස්කොචර්ස් කණ්ඩායම – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

පර්ත් ස්කොචර්ස්- 146/5 (20), (ඩෙවින්- 35, කැප්- 31, ග්‍රැහැම්- 23, මැග්‍රාත්- 14/1, ෂට්- 19/1)

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස්- 134/6 (20), (මැග්‍රාත්- 36, පෙන්නා- 30*, පැස්කෙල්- 23/2, ග්‍රැහැම්- 30/2)

ඇඩිලේඩ් කණ්ඩායමට ලකුණු 12ක ජයක් 

තරගයේ වීරයා- මැරිසේන් කැප් 

තරගාවලියේ වීරයා- හර්මන්ප්‍රීට් කාවුර් 

කවරයේ ඡායාරූපය- වනිඳු අබුඩාබි T10 තරග බිමේ දී - ttensports.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

fide.com 

Related Articles