Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෙරොම් කර්වියෙල්: ඩොලර් බිලියන 7ක ණයකරුවා

මහා පරිමාණයෙන් වංචා දූෂණ සිදු කරන පුද්ගලයන් පිළිබඳ පුවත් ලෝකයේ බොහෝ රටවල්වලින් නිතර වාර්තා වෙනවා. එයින් සැලකිය යුතු තරම් පුද්ගලයන් ප්‍රමාණයක් එම වංචා දූෂණ නිසා මහා ධනවතුන් බවට පත් ව තිබෙනවා. ඒ අතරතුර වංචා දූෂණ සිදු කිරීම හේතුවෙන් අන්ත දුප්පතුන් බවට පත් වුණු උදවිය පිළිබඳ පුවත් ද කලාතුරකින් අපට අසන්නට ලැබෙනවා.

ප්‍රංශ ජාතික ජෙරොම් කර්වියෙල් ද එසේ මහා පරිමාණයෙන් වංචා දූෂණ සිදු කර අමාරුවේ වැටුණු පුද්ගලයෙක්. ඔහු සිදු කළ සියලු ම වංචා දූෂණ 2010 දී හෙළිදරවු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ඩොලර් බිලියන 7කට වැඩි මුදලක් ගෙවීමට නියම වුණා. එනිසා අද වන විට ඔහු ලෝකයේ වඩාත් ණය ගැති පුද්ගලයා මෙන් ම වඩාත් දුප්පත් ම පුද්ගලයා බවට පත් ව තිබෙනවා.

ජෙරොම් කර්වියෙල් -gettyimages.com

ජීවිතයේ මුල් අවධිය

ජෙරොම් කර්වියෙල් ප්‍රංශයේ බ්‍රිටනි හි දී උපත ලැබුවේ 1977 ජනවාරි 11 වැනිදා යි. ඔහුගේ පියා වුණු චාල්ස්, කම්මල්කරුවෙක් ලෙස ද, මව වුණු මාරි ජෝසි කොණ්ඩා සැකසුම් ශිල්පිණියක් ලෙස ද කටයුතු කළා. ජෙරොම්ගේ කුඩා කල හොඳ ම මිතුරා බවට පත් වුණේ ඔලිවියර් නම් සිය වැඩිමහල් සොහොයුරා යි.

ඔවුන් දෙදෙනා කුඩා කල බොහෝ විනෝදයෙන් කාලය ගත කළා පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා ද දැඩි ලෙස උනන්දු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනාට සිය පාසල් අධ්‍යාපන කටයුතු හොඳින් සම්පූර්ණ කර ගැනීමට හැකි වුණා.

උසස් අධ්‍යාපනය සඳහා යොමු වීම

පාසල් අධ්‍යාපන කටයුතු සාර්ථක ව අවසන් කිරීමෙන් පසුව ජෙරොම්ගේ එක ම පැතුම වුණේ උසස් අධ්‍යාපනය සඳහා යොමු වී සාර්ථක ව උපාධියක් සම්පූර්ණ කිරීම යි. එසේ නොවුණොත් උසස් රැකියාවක් ලබා ගැනීමට අපහසු බව ඔහුට ඒත්තු ගොස් තිබුණා.

එම කාල වකවානුව වන විට මූල්‍ය වෙළඳපොළ සංවිධානය කිරීම සහ පාලනය කිරීම පිළි ගත් වෘත්තියක් බවට පත් ව තිබුණා. ජෙරොම් ද එම වෘත්තීය සඳහා පිවිසීමට මහත් කැමැත්න්තෙන් සිටියා. එනිසා ඔහු ප්‍රංශයේ නැන්ටෙස් විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ ව උපාධියක් ලබා ගත්තා. ඉන් නොනැවතුණු ජෙරොම් ප්‍රංශයේ ලුමියර් විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ ව ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගත්තා.

ප්‍රංශයේ ලුමියර් විශ්වවිද්‍යාලය – welcome.univ-lyon2.fr

ජෙරොම් ලුමියර් විශ්වවිද්‍යාලයේ දී ඉතාමත් හොඳින් සිය අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. එනිසා ඔහුට ආචාර්යවරුන්ගේ හිත දිනා ගැනීමට හැකි වුණා. ජෙරොම්ගේ ගුරුවරයෙක් වුණු ඇන්ඩ්‍රේ ටිරාන් ඔහු පිළිබඳ එක්තරා අවස්ථාවක පවසා තිබුණේ මෙවැනි කතාවක්.

“ජෙරොම් කර්වියෙල් ඉතාමත් වෙහෙස මහන්සි වී විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවල නිරත වන ශිෂ්‍යයෙක්. එනිසා ඔහුට පසුගිය කාලයේ දී ඉතාමත් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වුණා. දිගින් දිගට ම සාර්ථක ව අධ්‍යාපන කටයුතුවල නිරත වුණොත් ඔහුට දීප්තිමත් අනාගතයක් තිබෙනවා”.

ඇන්ඩ්‍රේ ටිරාන්ගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ජෙරොම්ට හොඳින් ඉගෙන ගෙන ඉහළ රැකියාවකට යාම සඳහා අවශ්‍යතාවක් තිබුණු බව යි. ඔහුගේ තිබුණු එම උනන්දුව නිසා ම 23 හැවිරිදි වියට එළඹෙන විට මූල්‍ය පිළිබඳ උපාධි 2ක් සම්පූර්ණ කිරීමට ජෙරොම්ට හැකි වුණා.

ලුමියර් විශ්වවිද්‍යාල ආචාර්ය ඇන්ඩ්‍රේ ටිරාන් – lyonmag.com

මුල් ම රැකියාව

මූල්‍ය සම්බන්ධ උපාධි 2ක් සම්පූර්ණ කිරීමෙන් පසු ව උසස් රැකියාවක් සොයා ගැනීම ජෙරොම්ගේ එකම අරමුණ වුණා. එනිසා ඔහු රැකියා පුරප්පාඩු කිහිපයකට අයදුම් කළා. ඔහු ඒවායේ සම්මුඛ පරීක්ෂණ කිහිපයකට සඳහා සහභාගි වුණා. ඒ අතුරින් Societe Generale නම් මූල්‍ය සමාගමේ සම්මුඛ පරීක්ෂණයෙන් ඔහු සමත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2000 වසරේ ගිම්හානයේ දී ඔහු Societe Generale සමාගමේ සේවකයෙක් ලෙස රාජකාරි ඇරඹුවා.

ජෙරොම් රැකියාවට පිවිසුණු දිනයේ සිට ඉතාමත් උනන්දුවෙන් රාජකාරි කළා.එම යුගය වන විට තොරතුරු තාක්ෂණය සහ පරිගණක මෘදුකාංග පිළිබඳ හොඳ දැනුමක් තිබුණු උදවියට මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළ රැකියාවක නිරත වීමට අවස්ථාව ලැබුණා. එනිසා ජෙරොම් ද පරිගණක මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණය පිළිබඳව හොඳින් ඉගෙන ගත්තා. ඒ ඉදිරි අනාගතයේ දී උසස් ජීවන තත්ත්වයක් කරා ළඟා වීමට මාර්ගය සකස් කර ගැනීම සඳහා යි.

Societe Generale සමාගම – gettyimages.com

දැඩි කැපවීම නිසා රැකියාවෙන් ඉහළට ගිය හැටි

ජෙරොම් ජීවත් වුණේ Pont l’Abbé නම් නාගරික ප්‍රදේශයේ යි. එම ප්‍රදේශයේ පිහිටි මහ නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ තියරි මාවික් නම් පුද්ගලයා යි. ඔහු එකල ජෙරොම්ගේ ඉතාමත් හොඳ හිතවතෙක් වුණා. එනිසා ජෙරොම්ට 2001 දී Pont l’Abbé නගර සභා මැතිවරණය සඳහා තරග කිරීමට ඔහුගෙන් ඇරියුම් ලැබුණා. ඒ මැතිවරණය සඳහා තරග කළ ජෙරොම්ට ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණේ නැහැ. ඉන් පසු දේශපාලනයෙන් ඈත් වුණු ජෙරොම් වෙහෙස මහන්සි වී රැකියාවේ නිරතවීමට උත්සාහ කළා.

එහි දී ඇතැම් දිනවල ඔහු පැය 18ක් තරම් කාලයක් රාජකාරිවල නිරත වුණා. එසේ දිගින් දිගට ම කැපවීමෙන් රාජකාරි කිරීම හේතුවෙන් Societe Generale නම් මූල්‍ය සමාගමේ ඉහළ නිලධාරින් පවා මෙම තරුණයා පිළිබඳ ව පැහැදුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2005 දී ජෙරොම්ට උසස්වීමක් ලැබුණා.

එහි දී ඔහු අනුයුක්ත කළේ Societe Generale සමාගමේ ඩෙල්ටා වන් නිෂ්පාදක කණ්ඩායමට යි. එය සමාගමේ තිබුණු වඩාත් කාර්යබහුල අංශයක් වුණු නිසා ජෙරොම්ට තවත් වැඩි කැපවීමකින් සිය රාජකාරි කටයුතුවල නිරත වීමට සිදු වුණා.

ජෙරොම් කර්වියෙල් කාර්යාලයේ දී – gettyimages.com

මුදලට ගිජු වී වැරදි මඟක යාම

නව රැකියාව ලැබීමෙන් පසුව ජෙරොම්ගේ වාර්ෂික වැටුප ඩොලර් 66,000ක් දක්වා ඉහළ ගියා. ඔහුට ප්‍රසාද දීමනා ද ලැබුණා. එනිසා ඔහුගේ අතට මුදල් යහමින් ලැබුණා. එසේ මුදල් ලැබෙද්දී අවශ්‍යතා තව තවත් වැඩි වුණා. එම අවධියේ දී ඔහු විවාහ දිවියට ද ඇතුළත් වුණා. එනිසා ජෙරොම් වැඩිපුර මුදලක් සෙවිය හැකි ක්‍රම පිළිබඳව කල්පනා කළා.

එහි දී ජෙරොම්ට කල්පනා වුණේ කොටස් වෙළෙඳපොළ ආශ්‍රිත ව වංචනික ගනුදෙනු සිදු කිරීම සහ වංචනික ලෙස සුරැකුම්පත් අලෙවි කිරීමෙන් විශාල ලාභයක් ලබා ගත හැකි බව යි. ඔහු ජර්මනියේ අලියන්ස් රක්ෂණ සමාගම සම්බන්ධව 2007 ජූලි මාසයේ දී සිදු කළ එවැනි වංචාකාරී කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවකින් යුරෝ ලක්ෂ 5ක මුදලක් ලැබුණා. එසේ ලැබුණු අතිවිශාල මුදල නිසා දිගින් දිගට ම වංචාකාරී ගනුදෙනු සිදු කිරීමෙන් මුදල් ඉපැයීමට ජෙරොම් තීරණය කළා.

ජර්මනියේ අලියන්ස් සමාගම – gettyimages.com

වංචනික ගනුදෙනුවලින් මහා පරිමාණයෙන් මුදල් ඉපැයීම

ජෙරොම්ට පරිගණක මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ව ඉතාමත් හොඳ දැනුමක් තිබුණා. එනිසා ඔහුට බැංකුවල සහ මූල්‍ය ආයතනවල තොරතුරු පද්ධතිවලට හොර රහසේ ඇතුළු වී වැදගත් දත්ත රැස් කර ගැනීමට හැකි වුණා. එය ඔහුට වංචනික ගනුදෙනු කිරීමට විශාල පහසුවක් වුණා. ඔහු සුරැකුම්පත් ව්‍යාජ අයුරින් සකසා ගණුදෙනුකරුවන් රවටා මුදල් උපයා ගත්තා.

එසේ සිදු කළ ව්‍යාජ වෙළෙඳ ගනුදෙනු හරහා මාස කිහිපයක් තුළ ඩොලර් බිලියන 7කට වැඩි වත්කම් ප්‍රමාණයක් වංචා සහගත ලෙස උපයා ගැනීමට ජෙරොම්ට හැකි වුණා. ඔහු සතු ව තිබුණු සූක්ෂම බුද්ධිය, බය නැති ව අවදානම් ගනුදෙනු කිරීමට තිබුණු හැකියාව, ඉහළ පරිගණක සාක්ෂරතාව, මූල්‍ය අංශය පිළිබඳ ව වූ මනා දැනුම නිසා එවැනි වංචනික වෙළෙඳ ගනුදෙනු පහසුවෙන් සිදු කිරීමට හැකි වුණා.

නීතියේ රැහැනට හසු වීම

2007 වසර අග භාගය වන විට ලෝකයේ බොහෝ රටවල් ආශ්‍රිත ව දරුණු ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවල්වල කොටස් වෙළඳපොළ බිඳ වැටුණා. ටෝකියෝ කොටස් වෙළෙඳපොළ 24%කින්, පැරිස් කොටස් වෙළෙඳපොළ 22%කින්, ලන්ඩන් කොටස් වෙළෙඳපොළ 21%කින්, නිව්යෝක් කොටස් වෙළෙඳපොළ 21%කින් කඩා වැටීම ඒ සඳහා උදාහරණ ලෙසින් දක්වන්නට පුළුවන්.

ඇතැම් ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන සහ බැංකු පවා බංකොලොත් වුණා. Lehman Brothers, General Motors, Washington Mutual, CIT Group, First Merchant Bank, Roskilde Bank, Silver State Bank, Colonial Bank, Landsbanki, Parex Bank එසේ බංකොලොත් වුණු බැංකු සහ මූල්‍ය සමාගම්වලින් කිහිපයක්.

Lehman Brothers සමාගම බිඳ වැටීමෙන් පසුව – gettyimages.com

එකල ලොව පුරා පැවති ආර්ථික අර්බුදයේ බලපෑම Societe Generale නම් මූල්‍ය සමාගමට ද තදින් ම දැනුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම සමාගම ද දිගින් දිගට ම පාඩු ලැබුවා. එනිසා සමාගමේ ප්‍රධානීන් පෙර වසරේ සිදු කළ ගනුදෙනු පරීක්ෂා කළා. ඒ සමාගම පාඩු ලැබීමට මූලික වුණු හේතු සොයා ගැනීම සඳහා යි.

එසේ සිදු කළ පරීක්ෂාවේ දී ජෙරොම් සිදු කළ සියලු ම ගනුදෙනු පිළිබඳ අනාවරණය වුණා. ඒ 2008 ජනවාරි 19 වැනිදා යි. ඉන් පසුව සමාගම ජෙරොම්ගේ වංචනික ක්‍රියා පිළිබඳ ව ආරක්ෂක අංශවලට පැමිණිලි කළා. ආරක්ෂක අංශ ඔහුගේ නිවස වටලා එම ව්‍යාජ ගනුදෙනුවලට අදාළ තවත් ලිපිගොනු කිහිපයක් ද සොයා ගත්තා. ඉන් නොනැවතුණු ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කළා.

ජෙරොම් නීතියේ රැහැනට – gettyimages.com

නඩු විභාගයෙන් පසු ව වසර 5ක සිර දඬුවමක්

Societe Generale සමාගම ජෙරොම්ට එරෙහි ව 2008 ජනවාරි 26 වැනිදා නඩු පැවරුවා. ඒ විශ්වාසය කඩ කිරීම, වංචා කිරීම, ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම, ආයතනයේ පරිගණක පද්ධතියට නීති විරෝධී අයුරින් ප්‍රවේශ වීම යන කාරණා යටතේ යි. මාස 5කට ආසන්න කාලයක් පුරා පැවති නඩු විභාගය අවසානයේ දී ජෙරොම් සියලු චෝදනාවලට වැරදිකරු වුණා.

2010 ජූනි 8 වැනිදා ලබා දුන් තීන්දුවට අනුව ජෙරොම්ට වසර 5ක සිර දඬුවමක් නියම වුණා. ඔහුගේ සියලු දේපළ ද රාජසන්තක වුණා. අවසානයේ ඔහු වංචා සහගත ලෙස උපයාගත් ඩොලර් බිලියන 7.2ක මුදල ආපසු ගෙවීමට ද සිදු වුණා. 2012 දී පැරිස් අභියාචනාධිකරණය මඟින් ජෙරොම්ට ලබා දී තිබුණු සිර දඬුවම වසර 3ක් දක්වා අඩු කළා.

ජෙරොම් නඩු විභාගය අතරතුර – gettyimages.com

ලොව දුප්පත් ම මිනිසා බවට පත් වීම

වසර කිහිපයක් සිර දඬුවම් විඳී ජෙරොම් 2013 වසර අග භාගයේ දී නිදහස ලැබුවා. නිදහස ලැබීමෙන් පසු ව ඔහු යහපත් ජීවිතයක් ගෙවීමට කල්පනා කළා. වර්තමානය වන විට ජෙරොම් Lemaire සමාගමේ තොරතුරු තාක්ෂණ උපදේශකයෙක් ලෙස සේවය කරනවා. ජෙරොම්ට මේ වන විට ගෙවීමට ඇති සම්පූර්ණ ණය මුදල ඩොලර් බිලියන 6.7ක් බව වාර්තාවල සඳහන් වෙනවා. එනිසා ඔහු අද වන විට ලොව දුප්පත් ම මිනිසා බවට පත්ව සිටිනවා.

කවරයේ ඡායාරූපය- ජෙරොම් කාර්වියෙල් - gettyimages.com
මූලාශ්‍ර :
cityam.com
reuters.com
worldfinance.com
investopedia.com
briefly.co.za

Related Articles