Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හුදෙකලා දිවයිනක අපරාධකරුවන් මැද දිවි ගෙවන ගුයිලා මැන්කා

සුන්දර පියේනෝසා දිවයින

ඉතාලි සිරකරුවන් කලකට ඉහත රඳවා තැබූ දූපතක් වන පියෙනෝසා වෙත නිවාඩුවක් ගත කරන්නට ගුයිලා මැන්කා යන්නේ 2011 වසරේදී ය. ඇය ලැගුම්ගත් පියෙනෝසා හි වන එක ම නිවාඩු නිකේතනය වන මිලේනා හෝටලය සැබවින් ම සුවිශේෂී වූවකි. ඒ එය පවත්වාගෙන යන්නේ පරිවාස භාරයේ සිටින සිරකරුවන් පිරිසක් නිසා වීම ය.

පියෙනෝසා හි සිටින සිරකරුවන් රැසක් මැද දිවි ගෙවන එකම කාන්තාව ලෙස ගුයිලා මැන්කා අද වන විට ප්‍රකට ව සිටී. මිලේනා හෝටලයේ කළමනාකාරවරිය සේ ම අධීක්ෂකවරිය ලෙස ද සේවය කරන මැන්කා, ලාභ නොලබන ‘ආර්නෙරා‘ නැමැති සංවිධානය පවත්වාගෙන යන සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනකට ද සිය දායකත්වය ලබා දෙයි.

“ මං හෝටලයේ  ගත කරන්න බලාගෙන  ආවේ සතියක් විතරයි. සතියක් ගතවෙනකොට මට මේ දූපත දාලා යන්න බැරිකමක් දැනුණා. සිරකරුවන්ට ජීවිතය ජයගන්න දෙවැනි අවස්ථාවක් ලබා දෙන මේ පුනරුත්ථාපන වැඩසටහන ගැන මට ලොකු ඇල්මක් ඇති වුණා. ඒ වගේ ම මට කදිම නිවාඩුවක් ගත කරන්නත් ලැබුණා.“ මැන්කා එදා ගත් ඒ තීරණය ගැන කියන්නේ එලෙස ය.

සිරකරුවන් මැද හුදෙකලාවූ කාන්තාව, ගුයිලා මැන්කා . www.cnn.com

සිරකරුවන් පවත්වාගෙන යන අපූරු හෝටලයක්

කලකදි ‘ඩෙවිල්ස් අයිලන්ඩ්‘ ලෙසද හැඳින්වුණු පියෙනෝසා දිවයිනට ම සිටින්නේ ස්ථීර පදිංචිකරුවන් දෙදෙනෙක් පමණි. ඉන් එක් අයකු වන්නේ මැන්කා ය. ඊට අමතර ව බන්ධනාගාර නිලධාරියකුත්, පිරිමි සිරකරුවන් දසදෙනකුත් එහි සිටියි. පියෙනෝසා දිවයිනේ වන එකම ලැගුම්හල වන මිලේනා හෝටලයේ වේටර්වරුන්, අරක්කැමියන්, ගෙවතු වගා කරන්නන්, වෙරළ තීරය පිරිසුදු කරන්නන් යනාදි මේ සියලු තනතුරු හොබවන්නේ සිරකරුවන් ය.

අවන්හලකින් හා තැබෑරුමකින් සමන්විත මිලේනා හෝටලය සතු ව කාමර එකොළහක් ඇති අතර, සුන්දර වෙරළ තීරයට යාබද ව පයින් ගස්වලින් ආවරණය වුණු දර්ශනීය පසුතලයක එය පිහිටා තිබේ. එවන් කදිම නිවාඩු නිකේතනයක් වන මිලේනා හෝටලය මුල්‍යමය දුෂ්කරතා හේතුවෙන් වසා දැමීමට සිදුවන බව එකල සිටි හෝටල් කළමනාකරු මැන්කාට දන්වන විටත් එහි සිරියෙන් වශීකෘතව සිටි මැන්කා එහි ගෙවා තිබුණේ දින කිහිපයක් පමණි.

“බැරිවෙලාවත් හෝටලය වහන්න සිද්ධ වුණා නම් මේකේ ඉන්න සිරකරුවන් ආපහු සිරමැදිරිවල කොටුකරන්න සිද්ධ වෙනවා. එයාලට අලුත් රැකියාවක් ඉගෙන ගන්න ලැබෙන්නෙත් නැහැ.“ මැන්කා පවසයි.

පියෙනෝසා දිවයිනේ රමණීය වෙරළ තීරයේ දර්ශනයක්. www.cnn.com

ස්වෙච්ඡාවෙන් හෝටල් සේවයට

හෝටල් කළමණාකරු ලෙස රැකියාව ඇරඹූ මුල් අවධියේදී මැන්කා සේවය කළේ ස්වෙච්ඡාවෙනි. කලක් සංචාරක නියෝජිතයෙක් ලෙස සේවය කිරීමෙන් ලත් අත්දැකීම් ද ඇයට තම රැකියාව කරගෙන යාමට රුකුලක් වී තිබේ. හෝටල් කළමනාකාරිණියක ලෙස ඇය කෙතරම් දක්ෂ ලෙස සිය කාර්ය ඉටුකළා ද යත් වැඩිකලක් යන්නට මත්තෙන් ම මිලේනා හෝටලය උපන්දින හා මංගල සාද සඳහා ප්‍රචලිත තෝරාගැනීමක් බවට පත්වුයේ නිතැතිනි. හෝටලය පිහිටි සම්ප්‍රදායෙන් බැහැරවූ රමණීය පරිසරය ද ඊට එක් හේතුවක් වූ බව සැබෑ ය.

අධි ආරක්ෂිත බන්ධනාගාරයක්

1998 වන තෙක් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස භාවිත කෙරුණු පියෙනෝසා දිවයින නැරඹීම සඳහා සංචාරකයන්ට අවස්ථාව උදාවූයේ මෑතක සිට ය. එලෙස දූපත නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ඒ සඳහා විශේෂිත සංචාරක නියෝජිතයින් පිරිසක් හරහා ගමන සංවිධානය කරගැනීමට සිදුවේ. මිලේනා හෝටලයේ ක්‍රියාත්මක වන සිරකරු පුනරුත්ථාපන වැඩසටහනට සුදුසුකම් ලැබීම සඳහා සිරකරුවෙක් අවම වශයෙන් ඔහුගේ සිරදඬුවම් කාලයෙන් තුනෙන් එකක්වත් අවසන් කර තිබීම අවශ්‍ය වේ. ඒ සඳහා විශේෂිත මනෝ චිකිත්සක හා සමාජශීලීත්ව ඇගැයුම් විභාග කිහිපයකින් සමත්වීම ද අනිවාර්ය ය.

පසුගිය වසර දොළහක කාලයේ දී එලෙස සුදුසුකම් සපුරා පරිවාස භාරයට පත්වූ නා නා විධ අපරාධ සඳහා චෝදනා ලැබූ සිරකරුවන් සියගණනක් සමඟ සමීප ව කටයුතු කිරීමට මැන්කාට අවස්ථාව ලැබී තිබේ. ඒ අතර මිනීමැරුම් චූදිතයන් ද නැතිවා නොවේ.

කෙසේවුව ද මැන්කා පවසන්නේ එවන් අපරාධකරුවන් පිරිසක් මැද හුදෙකලා වු එකම කාන්තාව බවට පත්වීම තමන් අපහසුතාවට පත්කරන්නේ නැති බව ය. සිරමැදිරිවල සිටිනවා වෙනුවට පුනරුත්ථාපනය හරහා සිරකරුවන්ට සමාජයට වැඩදායි සේවයක් සැලසීමට අවස්ථාව ලබාදිය යුතු බව ඇගේ පිළිගැනීම ය.

සිරකරුවන් සමඟ ඡායාරූපයකට පෙනී සිටින පියෙනෝසා වෙත පැමිණි සංචාරකයන් පිරිසක්. www.cnn.com

පියෙනෝසාවේ රැජ

‘පියෙනෝසා හි රැජන‘ ලෙස කා අතරත් ප්‍රකට ව සිටින මැන්කාගේ රැකියාව සම්බන්ධයෙන් ඇගේ සමීපතමයන් අතර වන්නේ එතරම් සුබදායි ප්‍රසන්න හැඟීමක් නම් නොවේ. ඒ බොහොදෙනෙක් වද වෙන්නේ මිනීමැරුම් වැනි දරුණු ගණයේ අපරාධවලට වැරදිකරුවන් වූ සිරකරුවන් පිරිසක් අතර හුදෙකලා කාන්තාවක් ලෙස ගෙවන ජීවිතය අන්තරායකාරී වන්නක් නිසා ය.

“ හුඟක් අය කියන්නේ මේ වගේ රැකියාවක් තෝරා ගන්න නම් මට පිස්සු වෙන්න ඕනෑ කියලයි. මට නම් කවදාවත් එහෙම අසහනකාරී හැඟීමක් දැනිලා නැහැ. නගරයක නොදන්න නා නා විධ මිනිස්සු අතර ජීවත් වෙනවාට වඩා මේ වගේ තැනක ඉන්න එක මට ආරක්ෂාකාරී හැඟීමක් ලබාදෙනවා” මැන්කා පවසයි.

චූදිතයන් පිරිසකගේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කිරීම අභියෝගාත්මක වූවක් බව මැන්කා ප්‍රතික්ෂේප කරන්නේ නැත. රැඳවියන්ගේ සීමා මායිම් පවත්වා ගනිමින් සුහදශීලී, විවෘත සම්බන්ධයක් පවත්වා ගන්නා අතරවාරයේ ම, ඔවුන් හා තමා අතර යම් ගෞරවය මුසු දුරස්ථභාවයක් හා අධිකාරීත්වයක් ක්‍රියාත්මක කිරීමට ද මැන්කා පසුබට වන්නේ නැත. මැන්කා පවසන්නේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ සාර්ථකත්වයට එය අවශ්‍ය වූවක් බව ය.

පියෙනෝසා දිවයිනට ඇතුළුවන මුහුදුබඩ පිවිසුම – www.cnn.com

පියෙනෝසා සිරකරුවන්ට අසීමිත නිදහසක්

සෑම සතියකදී ම මැන්කා පැය තුනක බෝට්ටු සංචාරයකින් ටස්කනි බලා යන්නී ය. ඒ පියෙනෝසා දූපත් සාමාජිකයන් හා සම්බන්ධ රාජකාරිමය කටයුතු සිදුකිරීමට ය. පියෙනෝසා අසල ම පිහිටි ‘ගොර්ගොනා‘ දිවයිනේ සිටින රැඳවියන්ට දවස අවසානයේදි සිරමැදිරි වෙත යාමට සිදුවන නමුත් පියෙනෝසා හි රැඳවියන්ට දවස පුරා දිවයිනේ කරක් ගැසීමට අවසර ඇති බව මැන්කා පෙන්වා දෙයි.

තවත් විශේෂත්වයක් වන්නේ මිලේනා හෝටලයේ සේවයේ නියුතු සිරකරුවන්ට ඔවුන්ගේ සේවය සඳහා වැටුපක් ලබදීමට පවා පරිපාලනය පියවර ගෙන තිබීම ය. කලකට ඉහත දී සිරමැදිරි ලෙස තිබුණු කුටි, මේ වන විට රූපවාහිනි, කායවර්ධන ව්‍යයාම උපකරණ, නාන කාමර හා මුළුතැන්ගෙයක් ද සහිත ආකර්ශනීය නවතැන්පොළක් බවට පරිවර්තනය කොට තිබේ. රැඳවියන්ට සිය පවුලේ සාමාජිකයන් සමඟ සමීප සම්බන්ධයක් පවත්වා ගැනීම සඳහා ජංගම දුරකතන පවා ලබාදීමට පියෙනෝසා හි පරිපාලනය පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

රැඳවියන්ට වඩාත් සහනශිලී විකල්පයක්

යුරෝපයේ පවත්නා වඩාත් ම අමානුෂීය තත්ත්වයේ සිරගෙවල් ලෙස සැලකෙන්නේ ඉතාලි සිරගෙවල් ය. 2020 දී යුරෝපා කවුන්සිලය ප්‍රකාශයට පත්කළ වාර්තාවකට අනුව ඉතාලි සිරගෙවල්වල සිදුවන සියදිවි නසා ගැනීම් 1960 වසරේ සිට 300% න් ඉහළ ගොස් ඇති අතර, සිරකරුවන් යළි අපරාධවලට යොමුවීමේ ප්‍රතිශතය 75% කි.

ඒ අනුව බලන කල පියෙනෝසා යනු සිරදඬුවම් කාලය අවසන් කරමින් සිටින රැඳවියන්ට වඩාත් සහනශිලී විකල්පයක් බව අමුතුවෙන් කිව යුතු නැත. පියෙනෝසා හි සිරදඬුවම් කාලය අවසන් කරන රැඳවියන් අපරාධ වෙත යළි යොමුවීමේ සම්භාවිතාව 0.01% ක් දක්වා අඩුවී ඇති බව මැන්කා පවසන්නේ ආඩම්බරයෙනි.

මිලේනා හෝටලයේ ඇතුළත දසුනක් – www.cnn.com

සිරකරු උපදේශනයටත් සිරකරුවෝ

“සවස්වරුවේ එයාලට නිදහස තියෙනවා වෙරළට ගිහින් මුහුදේ  පීනන්න වුණත් යන්න. හැමදාම උදේ වෙනකොට එයාලා එයාලගේ කුටිවලින් පිටවෙලා සවස කිසියම් නිශ්චිත වෙලාවකට ආපහු කුටිවලට එන්න ඕනේ. ඒ වගේම එයාලා දිහා ආරක්ෂකයෙක් හැම වෙලාවෙම ඇහැ ගහගෙනයි ඉන්නේ.“ මැන්කා එලෙස කියන්නේ පියෙනෝසා හි නීති රීති කෙතරම් ලිහිල්වුවද යම් යම් සීමා මායිම්ද ඇති බව අවධාරණය කරමිනි.

සිරකරුවන්ගේ චර්යාව යහපත් නම් සිරදඬුවමේ ඉතිරිව ඇති මුළු කාලය ම අවන්හලේ සේවය කරමින් ඔවුන්ට ගෙවා දැමිය හැක. මැන්කා පවසන්නේ මිලේනා හි ඇතැම් සිරකරුවන් වසර දහයක පමණ  කාලයක සිට එහි සේවය කරමින් සිටින බව ය. අනෙක් අතට සිය කල්ක්‍රියාව යහපත් ලෙස වෙනස් කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගන්නා සිරකරුවන් බන්ධනාගාර වෙත යළි යැවීමට පියෙනෝසා හි කළමනාකාරීත්වය කටයුතු කරයි.

මිලේනා හෝටලයේ නිදන කාමරයක පෙනුම – www.cnn.com

“මේ ඉන්න හැම සිරකරුවෙක් ම එයාලගේ දඬුවම් කාලයෙන් තුනෙන් එකක් සම්පූර්ණ කරලයි මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම එයාලා කරපු වැරදි ගැන අවංකවම පසුතැවිලි වෙන බව තහවුරු කෙරෙන පරික්ෂාවකට එයාල ලක්කෙරෙනවා. මෙහේ ගෙවෙන හැම දවසකදී ම වඩාත් යහපත් ජීවිතයක් ගෙවන්න එයාලා අවංකව ම උත්සාහ දරනවා කියලා ක්‍රියාවෙන් පෙන්වන්න ඕනේ. මෙහෙන් ගිය සමහර සිරකරුවන් දැන් වෙනත් බන්ධනාගාරවල සිරකරුවන් සඳහා උපදේශකයන් විදිහටත් කටයුතු කරනවා. ඒක මට ආඩම්බරයක් වගේම සතුටක්” යයි මැන්කා පවසයි.

කවරයේ ඡායාරූපය: සුන්දර පියෙනෝසා දිවයින - www.cnn.com
මුලාශ්‍ර:
She's the only woman living on an island of convicted criminals – www.cnn.com
The only woman living on the island of convicted criminals- www.slovenia.posten.com
What does a woman do alone on “devil’s island” inhabited by convicted criminals? - www.archyde.com

Related Articles