Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පියාගේ තැන ගන්න එන කිම් ජොන් අන් දියණිය

පිටුපසට කර රැඳවූ කළු කෙස් ඇති දැරියගේ වයස බැලූ බැල්මට අවුරුදු දහයක් යැයි කිව හැකි ය. ඇය ඉමහත් උනන්දුවෙන් යුතුව බලා සිටින්නේ සිය පියා කාර්යාල කාමරයේ සිට රාජකාරී කටයුතුවල නියැළෙන අන්දම ය. දැවමුවා මේසයක් අසල වාඩි ගත් ඇගේ පියා දැඩි කල්පනාවක නිමග්න ව සිටින අතර, ඔහු වට කර ගත් හමුදා නායකයන් පිරිසකි. මේ සාමාන්‍ය දුවක හා පියකු නොවන්නා සේ ම සාමාන්‍ය කාර්යාල කාමරයක් ද නොවේ.

දස හැවිරිදි දියණිය වන ‘කිම් ජු ඒ‘ ඒ සා උනන්දුවකින් නරඹන්නේ සිය පියා අසල්වැසි සතුරු රාජ්‍යයකට එරෙහිව සිදු කරන්නට යන යුද ප්‍රහාරයක පෙරහුරුවකි. සතුරු රාජ්‍යය නම් දකුණු කොරියාව ය. හමුදා නායකයන් වටකර ගත් පියා නම් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ය. කිම්ගේ දියණිය ගැන පළවන මාධ්‍ය වාර්තාවලට අනුව, නුදුරු අනාගතයේ දිනයක මෙවැනි හමුදා ආක්‍රමණයක් මෙහෙයවන මහා මොළය බවට පත්වනු ඇත්තේ මේ දස හැවිරිදි දියණිය ය.

කිම් ජු ඒ සිය පියා සමඟ පස්වන වරට ප්‍රසිද්ධියේ පෙනී සිටිඅයුරු – www.bbc.com

පියාට වඩා ක්‍රියාශීලී දියණියක්

කිම් ජු ඒ පියාගේ හමුදා ආක්‍රමණ නරඹමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍ය ඔස්සේ පළවීමත් සමඟ, දකුණු කොරියානු රාජ්‍ය නිලධාරින් අතර ඒ සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇරඹීමට තුඩු දී තිබේ. තවමත් වයස අවුරුදු දහයක් වන කිම් ජු ඒ පෙනුමින් ඒ වයසේ පසුවන වෙනත් ඕනෑම දැරියකට වඩා වැඩි වෙනසක් නැත. කොටින් ම ඇය සිය වැඩිමහල් පියාට වඩා ක්‍රියාශීලී, ක්‍රීඩාශීලී දැරියක බව දකුණූ කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ සියෝල් ජාතික බුද්ධි අංශ සේවය කිම් ජු ඒ ගැන පවසා තිබුණේ ඇය කිසිදිනෙක පාසල් නොගිය, නිවසේ සිට අධ්‍යාපනය ලැබූ දැරියක් බවත්, ඇගේ විනෝදාංශ වන්නේ අසු පිට යාම, පිහිනීම හා හිම මත ලිස්සා යාම බවත් ය. කිම් ජොන් අන් සිය දියණියගේ දක්ෂතා ගැන අපමණ ලෙස සෑහීමට පත් ව සිටින බවත් එම වාර්තාවලින් වැඩිදුරටත් කියැවිණි.

කිම් ජු ඒ වූ කලි උතුරු කොරියානු නායකයාගේ දෙවන දරුවා ය. ඇයට වැඩිමහල් සොහොයුරෙක් සිටිය ද, ඔහුට කිසියම් කායික හෝ මානසික ආබාධයක් ඇති බවට රාවයක් පැතිර තිබේ. කෙසේවුවද එහි සත්‍යතාව මෙතෙක් ඔප්පු වී නැත. මීට අමතරව කිම් ජොන් අන්ට තෙවැනි දරුවෙක්ද සිටින බවක් කියැවුණ ද, එම දරුවාගේ ස්ත්‍රී, පුරුෂභාවය මෙතෙක් හෙළිවී නොමැත.

කෙසේවුවද වැඩිමහල් දරුවා පුතෙක් බවත්, ඔහුගේ ආබාධිත තත්වය නිසා මහජනතාවගෙන් වසං කොට තබා ඇති බවටත් පළවන පුවත් තහවුරු කළ නොහැකි බව දකුණු කොරියානු බුද්ධි අංශ පවසයි. කිම් ජොන් අන් සිය දරුවන් සමඟ ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ නැති තරම් ය. නමුත් පසුගිය මාස තුනක කාලයේ දි කිම් ජු ඒ පස්වරක් ම සිය පියා සමඟ විවිධ ප්‍රසිද්ධ අවස්ථාවන්ට සහභාගී වී තිබේ.

කිම් ජු ඒ පළමු වරට සිය පියා සමඟ පෙනී සිටියේ සුදු කබායකින් සැරසිලා ය – www.bbc.com

අබිරහසක් වූ උතුරු කොරියානු නායකයාගේ බිරිය

හාපුරා කියා පළමුවරට කිම් ජු ඒ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඉකුත් නොවැම්බර් මාසයේදී ය. සුදු පැහැති කබායකින් සැරසී, රතු පැහැති බැලේ පාවහන් යුවළක් පැළඳ, පෝනිටේලයක් බැඳි කිම් ජු ඒ, සිය පියාගේ අතේ එල්ලී රොකට්ටු ගුවන් ගත කිරීමේ පරිශ්‍රයකට යන අයුරු, මාධ්‍ය කැමරාවල සටහන්ව තිබිණි. හමුදා පෙළපාලියට දිනකට පෙර ඇය නැවත වරක් මාධ්‍ය කැමරාවල සටහන්ව තිබිණි.

ඒ සිය පියා හා මව වන රී සොල් ජූ සමඟ හමුදා භෝජන සංග්‍රහයකට සහභාගි වෙමින් සිටියදී ය.

ගායනයට කිම් ජොන් අන්ගේ විශේෂ ළැදියාවක්

ජූ ඒ ගේ මව හෙවත් කිම් ජොන් අන්ගේ බිරියගේ වතගොත තවමත් පවතින්නේ අබිරහසක් ලෙස ය. ඇතමුන් පවසන්නේ රී සොල් ජූ යනු ඇගේ සැබෑ නම නොවන බව ය. ඇය කලක දී ගායිකාවක සිටි බවක් කියැවෙන නමුත්, ඒ බැව් තහවුරු වී නොමැත. ගායනයට කිම් ජොන් අන්ගේ විශේෂ ළැදියාවක් ඇති බව රහසක් නොවේ.

භෝජන සංග්‍රහයට පසුදින කිම් ජු ඒ යළිත් වරක් සිය මව්පියන් සමඟ ප්‍රසිද්ධියේ පෙනී සිටියා ය. ඒ හමුදා පෙළපාලිය නැරඹීම සඳහා රතු පලස මතට පැමිණි අවස්ථාවේදී ය. රී සොල් ජූ සිය සැමියා හා ඔහුගේ ප්‍රියත ම දියණියට පිටුපසින් රැඳී සිටියේ ගෞරව පූර්වකව ය. ජු ඒ මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් උතුරු කොරියානු රෙජිමය උත්සාහ දරන්නේ පෙර සිටි උතුරු කොරියානු නායකයන් තිදෙනාට හිමි ව තිබූ ආකාරයේ ජනතා ආකර්ශණයක් ජු ඒ වටාද ගොඩ නැංවීම බව විද්වතුන් පෙන්වා දෙයි.

කිම් ජු ඒ සිය පියා හා මව සමඟ හමුදා භෝජන සංග්‍රහයකට සහභාගි වෙමින් – www.dailymail.com

දියණිය හැඳින්වීමට විශේෂිත විශේෂණ පද

කිම් ජු ඒ හැඳින්වීමට උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය භාවිතා කරන විශේෂණ පද වරින් වර වෙනස් කිරීමෙන් ඇඟවෙන්නේ ද ඇය නුදුරේ දී සිය පියාගේ තැන ගැනීමට සූදානමින් සිටින බව ය. උතුරු කොරියානු රාජ්‍ය බලයේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් විශේෂ වූ විශේෂණ පද නොයෙක්වර කිම් ජු ඒ ගේ නමට ඉදිරියෙන් සටහන් වූ අවස්ථා සුලබ ය.

සති කිහිපයකට පෙර දී ‘සදාදරණීය දියණිය‘ ලෙස හැඳින්වුණු කිම් ජු ඒ, මීට දින කිහිපයකට පෙරදී ‘ගෞරවනීය දියණිය‘ ලෙස හැඳින්වීමට උතුරු කොරියානු මාධ්‍ය පෙලැඹී තිබිණි. ගෞරවනීය යන විශේෂණ පදය සාමාන්‍යෙයන් උතුරු කොරියානු රෙජීමයේ දි භාවිත කෙරෙන්නේ උත්තරීතර නායකයන් හා ඔවුන්ගේ භාර්යාවන් හැඳින්වීම සඳහා ය.

උතුරු කොරියානු රෙජීමයේ පාලන බලය

කොමියුනිස්ට්වාදී පාලනයක් බව කොතෙකුත් කියැවුණ ද, උතුරු කොරියානු රෙජීමයේ පාලන බලය එදා සිට ම පැවතියේ එකම පවුලක් වටා කේන්ද්‍රගතව ය. පළමු දකුණු කොරියානු නායකයා වන කිම් ඉල් සුන්ගේ පාලන බලය පැවති අවදියේ සිට ම උතුරු කොරියානු වැසියන්ගේ මොළ සෝදා, පුරුදු පුහුණු කර ඇත්තේ ‘කිම්‘ යන නමින් පැවත එන පරම්පරාව පූජනීය හා උත්තරීතර වූ පෙළපතක් ලෙස දේවත්වයෙන් ඇදහීමට ය.

එම ඇදහීමට අනුව රට කරවිය හැක්කේ කිම් නමැති රාජකීය පෙළපතට පමණි. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ කිම් පෙළපත ‘පීක්ටු‘ නමැති ලේ උරුමයෙන් පැවත එන්නක් වීම ය. උතුරු කොරියාවේ පීක්ටු කඳු මුදුන පිහිටා තිබෙන්නේ දේවතාවකට හා වලසකුට දාව උතුරු කොරියානු අධ්‍යාත්මික නායක ‘ඩන්ගුන්‘ උපන් බව කියැවෙන පළාතේ ය.

කිම් ජු ඒ සිය පියා සමඟ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමක් නරඹමින් – www.cbsnews.com

උතුරු කොරියානු නායකයාගේ අනුප්‍රාප්තිකයා

කිම් පෙළපතට අධි අසාමාන්‍ය හැකියාවක් ඇති බව උතුරු කොරියානු වැසියන් ඉමහත් විශ්වාසයෙන් යුතුව පිළිගන්නේ දශක ගණනාවකට පෙර ඈත අතීතයේ සිටම ය. සිය නායකයාට සිතූ පැතූ ඕනෑ දෙයක් කිරීමේ මහා බලයක් ඇති බව අන්ධ විශ්වාසයෙන් යුතුව පිළිගන්නා උතුරු කොරියානු වැසියන්ගේ ඉමහත් පුදුමයට හේතු වන ප්‍රකාශයක් කිම් ජොන් අන් නිකුත් කළේ මීට දෙවසරකට පමණ පෙර ය.

උතුරු කොරියා රජය පවත්වාගෙන යන පුවත්පතකින්, පෙර සිතා සිටි ආකාරයට කාලයේ හා අවකාශයේ නැම්මක් තමාට ඇති කළ නොහැකි බව කිම් ජොන් අන් හෙළි කිරීම උතුරු කොරියානුවන්ගේ අසීමිත පුදුමයට හේතුවක් විය. යම්හෙයකින් කිම් ජු ඒ, කිම් ඉල් සුන් පරම්පරාවෙන් පැවත එන තෙවැන්නා ලෙස උතුරු කොරියාවේ මීළඟ පාලකයා වීමට දැනටමත් නම් කර ඇති නම්, හමුදා සංදර්ශන හා පෙළපාලිවලදී ඇගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වූවක් බව අමුතුවෙන් කිව යුතු නැත. එමඟින් සිය පියාගේ අනුප්‍රාප්තිකයා වීමට කිම් ජු ඒ තරම් සුදුසු අන් අයකු නැති බව උතුරු කොරියානු හමුදාවට ඒත්තු ගැන්වෙන නිසා ය.

කිම් ජොන් අන්ගේ දියණිය උතුරු කොරියාවේ මීළඟ පාලකයා ලෙස නම් කිරීමට කල් වැඩි යැයි ඇතමකුට සිතිය හැකි ය. ඒ වත්මන් උතුරු කොරියානු නායකයා තවමත් තිස්නව හැවිරිදි වියේ සිටින්නකු වන බැවිනි. අධික දුම්පානයට මෙන් ම සීමාව ඉක්මවා චීස් ආහාරයට ගැනීමට ලොල් වූවෙක් වන කිම් ජොන් අන්, අධික තරබාරුබවින් යුතු වූවෙකි.

ඔහු බලයට පැමිණි අවදියේ දී ඇතිවූ අර්බුදකාරී තත්වය වැන්නක් යළි ඇති නොවීමට පරෙස්සම් වීමේ අරමුණින් ඔහු මෙලෙස කල් ඇතිව සිය අනුප්‍රාප්තිකයා නම් කළා විය හැකි ය. වයස අවුරුදු අටේ දි සිය පියාගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කෙරුණු කිම් ජොන් අන් එතැන් සිට හමුදා ජෙනරාල්වරයකුගේ ඇඳුමින් සැරසී සිටිය ද, ඔහුගේ නායකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්වූයේ පියාගේ මරණයට යන්තම් වසරකට පෙර ය. එනම් 2010 දී ය. පියාගේ මරණයෙන් පසු සිය බලය ස්ථාවර කරගැනීමට කිම්ට සිත් පිත් නොමැති ලෙසත්, ශීඝ්‍රගාමී ලෙසත් කටයුතු කිරීමට සිදුවූයේ එම ප්‍රමාදයේ ප්‍රතිඵලයක් ලෙස ය.

උතුරු කොරියානු නායකයා සිය දියණිය සමඟ පාපන්දු තරඟයක් නරඹන අවස්ථාවක් – www.abc.net.au

කිම් ජු ඒ ට වැඩිමහල් සොහොයුරෙක් මෙන්ම බාල නැගණියකද සිටින බව කියැවුණද, ඔවුන් කිසිවිටෙකත් ප්‍රසිද්ධියේ පෙනී සිට නැත. කිම් ජොන් අන්ට ද වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක් සිටිය ද, නායකත්වයට තෝරා ගැනුණේ වයසින් බාල කිම් ය. ඒ වැඩිමහල් සොහොයුරන් දෙදෙනා රට පාලනයට ප්‍රමාණවත් තරමේ දැඩි ස්වභාවයක් ඇත්තන් නොවූ නිසා ය.

ඇතැම්විට කිම් ජු ඒ සම්බන්ධයෙන්ද තත්ත්වය මෙය ම විය හැකි ය. උතුරු කොරියානු බලධාරින් පවසන්නේ ජු ඒ, උතුරු කොරියානු නායකයාගේ ප්‍රියත ම හා වඩාත් ම ආදරණීය ම දරුවා වන බව ය. ඇය මේ ගත කරමින් සිටින්නේ උතුරු කොරියානුවන්ට පමණක් නොව අන් කිසිවකුට හෝ සිහිනෙනුදු සිතා ගත නොහැකි අන්දමේ අතිශය වරප්‍රසාද ලත් අධි සුඛෝපභෝගි ජීවිතයකි.

කවරයේ ඡායාරූපය - කිම් ජු ඒ සිය පියා සමඟ - news.sky.com
මුලාශ්‍ර:
The surprisingly normal life of a little dictator: Kim Jong-un's 10-year-old daughter enjoys horse-riding and painting... but will one day have her finger on the nuclear button - www.dailymail.co.uk

North Koreans Resent "Plump", Well-Dressed Daughter Of Kim Jong Un: Report - www.ndtv.com

Who is North Korean leader Kim Jong Un's daughter, Kim Ju Ae, and why is she appearing more in the media? - www.insider.com

Related Articles