ආර්ථිකමය

විනාඩි 7 ක කියවීමක්

බුද්ධි ගලනය ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයට හේතුවක්ද?

Published

විනාඩි 7 ක කියවීමක් to read

Search Icon Search Icon Search Icon
Hakiem Haniff

Hakiem Haniff

Staff Writer

English Translation Button Sinhala Translation Button

මිනිස්සු තමන් ඉපදුණු රටෙන් පිටවෙලා වෙනත් රටක අධ්‍යාපනය ලබන්න හරි, ජීවිකාව කරන්න හරි, පදිංචි වෙන්න හරි යන එක අලුත් දෙයක් නෙවෙයි. ලෝකයේ ප්‍රබලම රටවල් සහ ආර්ථිකයන් බිහි වෙන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නෙත් මේ විදිහට හැකියාවන් බහුල පිරිස් එක තැනකට එකතු වෙන එක. හොඳම උදාහරණය විදිහට ඇමරිකා එක්සත් ජනපදය පෙන්වා දෙන්න පුළුවන්. තමන්ගේ හැකියාවන් වෙනුවෙන් ගන්න පුළුවන් උපරිම වරප්‍රසාද ලබා ගන්න තියෙන අයිතිය කියන්නේ තනි පුද්ගලයෙක්ගේ පැත්තෙන් බැලුවාම ප්‍රධානම මිනිස් අයිතිවාසිකමක්. ඒ වගේ දෙයක් නීති දාල නවත්වන එක ඔහුගේ හෝ ඇයගේ ආර්ථික නිදහස බරපතල විදිහට උල්ලංඝනය කිරීමක් කියලා සාධාරණ තර්කයක් තියෙනවා.

කොහොම වුණත් ඒ අපි කතා කළේ තනි පුද්ගලයෙකුගේ පැත්තෙන්. රටක් විදිහට ගත්තාම මේ වගේ දෙයක් ගැන වඩාත් ගැඹුරින් හිතන්න වෙනවා. රටකින් රටකට මිනිසුන් සංක්‍රමණය වෙන එක වර්තමාන ලෝක දේශපාලනයේ වුණත් හරිම තීරණාත්මක සාධකයක්. එක අතකින් පුහුණු පිරිස් වල සංක්‍රමණය නිසා සම්පත් බහුල රටවල් වලට ලොකු ආර්ථික වාසියක් සිදු වෙනවා, හැබැයි ඒ වගේ හැකියාවන්ගෙන් පිරිපුන් ශ්‍රමය පිටරටවල් වලට යන එක ඔවුන්ගේ මව් රටවල් වලට විශාල පාඩුවක්.

ආර්ථික පැත්ත කොහොම වුණත් සමාජයීය වශයෙන් වැඩි ගැටළු ඇති වෙන්නේ සම්පත් බහුල රටවල් වලට. වෙනත් රටවල් වලින් විශාල වශයෙන් සංක්‍රමණිකයන් එන එක මේ රටවල් වල මිනිස්සු සලකන්නේ ලොකු කරදරයක් විදිහටයි. වෙනත් රටවල් වල දක්ෂ පුද්ගලයන් රැකියා ක්ෂේත්‍රයට ආවම ඒ රටේම ඉපදුණු අයට තියෙන රැකියා ප්‍රමාණය අහිමි වෙනවා වගේම විදේශිකයන් විශාල වශයෙන් ඇවිත් සමාජයට එකතු වුණාම සමාජයීය ප්‍රශ්න පවා ඇති වෙනවා.

මේ වගේ දේවල් දියුණු රටවල් වල ආණ්ඩු පෙරලන්න තරම් සමත්. නිකමට හිතලා බලන්න ඇමරිකානු දේශපාලනය තුළ ඒ රටට විදේශිකයන් එන එක පාලනය කරන්න කතා කරන ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන. ව්‍යාපාරිකයෙක් වුණු ඔහු ඇමරිකානු ජනාධිපතිවරණ තරඟයේ ඉදිරියටම එන්න හේතු වුණේ රටේ සැලකිය යුතු පිරිසක් විදේශිකයන්ට දක්වන අකමැත්ත කිව්වොත් වැරදි නැහැ. ඒ වගේම යුරෝපයේ ප්‍රධාන කොටස්කරුවෙක් වුණු මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතුයි කියලා මහජනතාව තීරණය කළෙත් රටේ රැකියා වැඩි ගණනක් විදේශිකයන් හිමි කරගෙන ඉන්න එක එපා වුණු නිසයි.

මැසඩෝනියාවේ සංක්‍රමණිකයන් මාරු වන සහ ලියාපදිංචි කරන තැනක සංක්‍රමණිකයන් සිය ගණනින් පෝලිම් ගැහිලා ඉන්න දසුනක්. රූපය : RT.com

මැසඩෝනියාවේ සංක්‍රමණිකයන් මාරු වන සහ ලියාපදිංචි කරන තැනක සංක්‍රමණිකයන් සිය ගණනින් පෝලිම් ගැහිලා ඉන්න දසුනක්. රූපය : RT.com

ආදායම් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ අඩු මධ්‍යම ආදායම් රටක් කියන තැන. මේ නිසා අපේ රටත් අපි කලින් කතා කරපු අංශ දෙකෙන්ම බලපෑම වලට ලක් වෙනවා. “රට යනවා” කියන එක අපේ රටේ ගොඩක් දෙනෙක්ගේ තියෙන අනාගත සිහිනයක්. විශේෂයෙන්ම රටේ අඩු ආදායම් ලබන පිරිසගෙන් වැඩි දෙනෙක් උත්සාහ කරන්නේ විදේශ රටවල් වලින් ලැබෙන ඉහළ පඩියෙන් තමන්ගේ ජීවන තත්වය වැඩි දියුණු කර ගන්න. ආර්ථික අතින් බැලුවාම මේ සංසිද්ධියෙන් රටට ලොකු වාසියක් තියෙනවා. එක අතකින් දැනට රටේ අඩු ආදායම් ලබන පිරිස් විදේශ වල සේවය කරලා එවන මුදල් ලංකාවේ ජීවත් වන ඔවුන්ගේ යැපෙන්නන්ගේ ජීවන තත්වය නගා සිටුවන්න විශාල වශයෙන් හේතු වෙනවා. ඊට අමතරව ඔවුන් උපයන විදේශ විනිමය අපේ රටේ සමස්ත ආර්ථිකයටත් ගොඩක් වැදගත්. නුපුහුණු ශ්‍රමිකයන් විදේශ රටවල් වල රැකියා සොයා ගත්තාම ඔවුන්ගේ පවුල් වලට අන්ත දුප්පත්කමෙන් ගොඩට එන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඔවුන්ට ශ්‍රී ලංකාවේදී ලැබෙන වැටුප් එක්ක මේ වැඩේ කොහොමවත් කරන්න බැහැ.

මේ නිසා ඔවුන්ගේ සංක්‍රමණය ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට ලොකු ශක්තියක්. මේත් එක්කම බැඳුණු සමාජයීය ප්‍රශ්න ගැන ගැඹුරින් කතා කරනවාට වඩා මේ ලිපියේ ප්‍රධාන අරමුණ වෙන්නේ පුහුණු වෘත්තිකයන් විදේශ වලට සංක්‍රමණය වෙන එකෙන් ආර්ථික වශයෙන් සිදු වන පාඩුව ගැන හොයලා බලන එකයි. හොඳ පුහුණුවක් ලැබූ, රැකියා වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් තියෙන වෘත්තිකයන් රටින් ඉවත් වෙලා යන එක අපේ රටට සහ සමාජයට බලපෑම් එල්ල කරන්නේ මොන විදිහෙන්ද?

චීනයේ හොංක්‍යාවෝ (Hongqiao) දුම්රිය ස්ථානයේ නැවතුම් ශාලාව මගීන්ගෙන් පිරී ඉතිරී ගිය මොහොතක්. මේ දුම්රිය ස්ථානය ශැන්ග්හයි - හොංක්‍යාවෝ අන්තර්ජාතික ගුවන්තොටුපළට මගීන් ගෙන යන සේවාවක් පවත්වාගෙන යනවා. රූපය : NPR

චීනයේ හොංක්‍යාවෝ (Hongqiao) දුම්රිය ස්ථානයේ නැවතුම් ශාලාව මගීන්ගෙන් පිරී ඉතිරී ගිය මොහොතක්. මේ දුම්රිය ස්ථානය ශැන්ග්හයි – හොංක්‍යාවෝ අන්තර්ජාතික ගුවන්තොටුපළට මගීන් ගෙන යන සේවාවක් පවත්වාගෙන යනවා. රූපය : NPR

ඕනෑම කෙනෙක්ට තේරෙන සරල දෙයින් පටන් ගමු: මොන විදිහකින් බැලුවත් පුහුණු වෘත්තිකයන් අහිමි වීම රටකට විශාල පාඩුවක්. උදාහරණයක් විදිහට ඉහළ පුහුණුවක් තියෙන දොස්තරවරු, උද්භිද විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, නීතීඥයන්, ගණකාධිකාරවරුන් සහ කළමනාකරුවන් ගැන හිතුවොත් මේ වගේ පිරිස් වලට ඉහළ ඉල්ලුමක් තියෙන්නේ වේගයෙන් දියුණු වන ආර්ථිකයක් තියෙන, සම්පත් බහුල, සංවර්ධිත රටවලයි. ඒ වගේ රටක මේ විදිහේ දක්ෂතාවන් තියෙන වෘත්තිකයන්ට ලැබෙන විශාල ඉල්ලුමත් එක්කම ඔවුන්ට හිමි වන වැටුප් වරප්‍රසාද ආදියත් තියෙන්නේ ඉහළම මට්ටමේ. මේ නිසා තනි තනියෙන් වෘත්තිකයන් ගැන හිතලා බැලුවොත් අඩු සංවර්ධිත රටක දිගටම ඉන්නවාට වඩා සංවර්ධිත රටකට සංක්‍රමණය වෙන එක ඔවුන්ට විශාල වාසියක්. ඔවුන්ගේ දක්ෂතාවයට නිසි වටිනාකමක් ලබා ගෙන ඉහළ ජීවන තත්වයක් පවත්වා ගන්න ඔවුන්ට පහසුවෙන්ම ඉඩ සැලසෙනවා.

හැබැයි දක්ෂ වෘත්තිකයන් වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙන එක අඩු ආදායම් ලබන රටවල් වලට විශාල පාඩුවක්. මොන රටක් ගත්තත් ඉහළ හැකියාවක් සහිත වෘත්තිකයන් ඉන්නේ ශ්‍රම බලකායෙන් සීමිත ප්‍රමාණයක් විතරයි. අවශ්‍යතාවය මත මැෂින් එකකින් වගේ පුහුණු වෘත්තිකයන් බිහි කරන්න බැහැ. රටේ ඉන්න පුහුණු වෘත්තිකයන්ගෙන් පිරිසක් වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙන එකෙන් ඒ වෘත්තිකයන්ව දෑත දිගු කරලා පිළිගන්න විදේශ රටවල් ඔවුන්ගේ පුහුණු ශ්‍රමික ප්‍රතිශතය ඉහළ නංවා ගන්නවා.

මේ වගේ තමන්ගේ ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් ඉහළ දක්ෂතාවයක් තියෙන වෘත්තිකයන් වෙනකොට ඒ රටවල් වලට මේක විශාල සම්පතක්. ඒ නිසා ඔවුන්ගේ ආර්ථිකයේ කාර්යක්ෂමතාවය සහ වර්ධන වේගය පහසුවෙන්ම ඉහළ යනවා. ලෝකයේ තියෙන පුහුණු ශ්‍රමය ඉතා සීමිතයි. ඒ නිසා මේ විදිහට දියුණු රටවල් වල ආර්ථිකයට වාසි සැලසෙන ප්‍රමාණයටම සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට පාඩු සිදු වෙනවා. දියුණු රටවල් වෙනත් රටවල් වලින් බුද්ධිමය සම්පත උකහා ගැනීම ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ “Brain Gain” හෙවත් “බුද්ධිය ගලා ඒම” කියලයි. අඩු සංවර්ධිත රටවලට බුද්ධිමය සම්පත අහිමි වෙන එක “Brain Drain” හෙවත් “බුද්ධිය ගලා යාම” කියලා හඳුන්වනවා. අපේ රට අයිති වෙන්නේ මෙයින් දෙවැනි කාණ්ඩයට.

සැ. යු. :  අපේ රටට අදාළ දෙවැනි සංසිද්ධිය නිසා අපේ බස් වහරේ හරි යෙදුමක් තියෙන්නේ ඒකට විතරයි. ඒ “බුද්ධි ගලනය” කියන වචන දෙක. වචන වල අර්ථය අරන් බැලුවොත් ඒක මේ කාරණා දෙකටම යොදාගන්න පුළුවන්. නමුත් ඒක අපේ පිළිගත්තු යෙදුම නිසා “බුද්ධිය ගලා යාම” කියනවා වෙනුවට බුද්ධි ගලනය කියලා හඳුන්වන්නම්. (බුද්ධිය ගලා ඒම කවදා හරි සිදු වුණොත් අලුත් යෙදුමක් හොයා ගන්න වෙයි.)

නිව් යෝක්හි එලිස් දූපතේ ගොඩ බසින සංක්‍රමණිකයන් පිරිසක්. 1900 ගණන් වල ඇමරිකා එක්සත් ජනපදයට එන සංක්‍රමණිකයන් පරීක්ෂා කරන්නත්, ලියාපදිංචි කරන්නත් තිබුණු ප්‍රධානතම මධ්‍යස්ථානය පිහිටලා තිබුණේ මේ දූපතේ. රූපය : Schmoop.com

නිව් යෝක්හි එලිස් දූපතේ ගොඩ බසින සංක්‍රමණිකයන් පිරිසක්. 1900 ගණන් වල ඇමරිකා එක්සත් ජනපදයට එන සංක්‍රමණිකයන් පරීක්ෂා කරන්නත්, ලියාපදිංචි කරන්නත් තිබුණු ප්‍රධානතම මධ්‍යස්ථානය පිහිටලා තිබුණේ මේ දූපතේ. රූපය : Schmoop.com

“බුද්ධි ගලනය” කියන්නේ මොකක්ද?

බුද්ධි ගලනය කියන එක ඇත්තටම “මානව ප්‍රාග්ධන පලා යාම” (Human Capital Flight) කියලා විද්වතුන් හඳුන්වන සංකල්පයේ ප්‍රතිඵලයක් කියලයි පිළි ගැනෙන්නේ. මේ න්‍යායට අනුව සාමාන්‍ය මිනිසුන් හඳුන්වලා තියෙන්නේ හැකි සෑම විටම තමන්ට ලබා ගත හැකි ඕනෑම දෙයක් ලබා ගන්න කැමති පිරිසක් විදිහටයි. ඒ නිසා තමන්ගේ හැකියාවන්ට ඉහළ වරප්‍රසාද ලබා දෙන තැනකට යන්න ලොකු පෙළඹවීමක් ලැබෙනවා. වෙනත් බාධක නැතිනම් නිතැතින්ම ඒ අදහස ඔවුන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.

මේ න්‍යාය මහා පරිමාණයෙන් ක්‍රියාවට නැංවෙන තත්වයක් තමයි අපි මේ කතා කරන්නේ. රටක උගත්, බුද්ධිමත්, පුහුණු වෘත්තිකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වඩාත් හොඳ වෘත්තිමය අවස්ථා හරි, ඉහළ ජීවන තත්වයක් හරි හොයාගෙන වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙන එක බුද්ධි ගලනය කියලා නිර්වචනය කෙරෙනවා. දියුණු වෙන්න අපේක්ෂා කරන රටවල් බොහොමයක ආර්ථිකයට මේ තත්වය විශාල ප්‍රශ්නයක්.

බුද්ධි ගලනය තීව්‍ර වෙන්න හේතු

කලින් කියපු නිර්වචනයේ තියෙන “සැලකිය යුතු ප්‍රමාණයක්” කියන යෙදුම හරිම වැදගත්. බුද්ධි ගලනය මුළුමනින්ම නවත්වන එක ප්‍රායෝගික නැහැ, ඒ නිසා ඒක සිදු වෙන ප්‍රමාණය අවම කරන ක්‍රියාමාර්ග ගැනීම තමයි ප්‍රධාන වෙන්නේ. රටක් විදිහට සලකලා බැලුවාම ඒ රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් තමන්ට තියෙන දැනුම හෝ පුහුණුව වෙනුවෙන් හිමි වන ආර්ථික, සමාජයීය සහ වෘත්තීමය වරප්‍රසාද ප්‍රමාණවත් නැහැ කියලා හිතනවා නම් ඒක බුද්ධි ගලනය ඉහළ යන්න හේතුවක් වෙනවා. ඒ වගේම දේශපාලන හැලහැප්පිලි, සාගත සහ දුර්භීක්ෂ, ජීවන තත්වයේ අඩුලුහුඬුකම් වගේ සංක්‍රමණ ඉහළ යන්න බලපාන කාරණා වුණත් මේකට වක්‍රව බලපානවා.

බුද්ධි ගලනයෙන් ශ්‍රී ලංකාවට සැලකිය යුතු බලපෑමක් තියෙනවාද?

ඇත්තටම ඉලක්කම් දිහා බැලුවොත් හිතනවාටත් වඩා ලොකු බලපෑමක් තියෙන බව ලේසියෙන්ම පෙනෙන්න තියෙනවා. පසුගිය වසර කිහිපයක දත්ත ඇසුරෙන් සකස් කරපු මේ රූපය දිහා බලන්න. මේ යොදා ගත්තු සියලුම දත්ත ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවෙන් ලබා ගත්තු ඒවා.

පුහුණු වෘත්තිකයින්ගේ සංක්‍රමණය

පුහුණු වෘත්තිකයින්ගේ සංක්‍රමණය

රටට වැඩදායක හැකියාවන් සහිත බොහෝ පිරිසක් වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙන බව පැහැදිලිවම පෙනෙන්න තියෙනවා. ලංකාවේ ඉන්න ලක්ෂ 85ක ශ්‍රම බලකාය එක්ක සලකලා බැලුවාම මේක සැලකිය යුතු ප්‍රශ්නයක් කියන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ. පසුගිය අවුරුදු වල දත්ත වගේම පුරෝකථන වලින් පවා පෙනෙන්න තියෙන්නේ මේ විදිහට රටට අහිමි වෙන බුද්ධිමතුන් ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා කියලයි. මේ ප්‍රශ්නයේ අනිත් පැත්ත විදිහට රටට වැඩි ලාභයක් හිමි කර දෙන අඩු පුහුණුවක් තියෙන පිරිස් විදේශ වල සේවය කරන ප්‍රමාණයේ අඩු වීම පෙන්වන්න පුළුවන්.

බුද්ධි ගලනයෙන් ශ්‍රී ලංකාවට ඇති වන බලපෑම

දීර්ඝ කාලීනව බලද්දී එක දිගටම සිදු වෙන බුද්ධි ගලනය නිසා පැහැදිලිවම ශ්‍රී ලංකාවට අනිසි බලපෑමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. රටේ විවිධ ක්ෂේත්‍ර වල අත්දැකීම් බහුල වෘත්තිකයන් ගණනාවක් රට හැර ගියාම ඔවුන්ගේ සේවය අවශ්‍ය වෙලා තියෙන හැම අංශයකම ඉදිරි ගමනට බාධා ඇති වෙන්න පුළුවන්. රටේ ආර්ථිකයට ඉතා විශාල දායකත්වයක් සලසන ව්‍යාපාර, අධ්‍යාපනය, සෞඛ්‍ය, ඉදිකිරීම්, බලශක්තිය සහ ප්‍රවාහනය වගේ අංශ ගණනාවක දැනටමත් පුහුණු සහ අත්දැකීම් බහුල වෘත්තිකයන්ගේ හිඟයක් පවතිනවා.

මේ විදිහට අපේ ශ්‍රම බලකාය සංකෝචනය වෙන එකෙන් රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වෙන්න පුළුවන්. මොකද පවතින ශ්‍රමය අඩු වෙද්දී රටේ පවතින සම්පත් වලින් නිමි භාණ්ඩ නිෂ්පාදනය කරන එක අපහසු වෙනවා. රටේ ශ්‍රම බලකායෙන් පුහුණු ශ්‍රමික පිරිස් ප්‍රතිශතය අඩු වෙන එකෙන් සිදු වෙන්නේ අපේ දේශීය නිෂ්පාදන වලින් නිමි භාණ්ඩ ප්‍රතිශතය අවම වෙන එකයි. නිමි භාණ්ඩ ප්‍රතිශතය අඩු වෙලා ප්‍රාථමික භාණ්ඩ ප්‍රතිශතය වැඩි වෙන එකේ ප්‍රතිඵලය අපේ අපනයන වලින් ආනයන සඳහා අවශ්‍ය විදේශ විනිමයවත් සපයා ගන්න එක තවත් අපහසු වෙන එකයි.

එතකොට අපේ රටේ ගෙවුම් ශේෂය පවත්වාගෙන යන්න තව දුරටත් ණය ගනිමින්, වාරික ගෙවමින් ඉන්නයි සිදු වෙන්නේ. අවසාන ප්‍රතිඵලය රටේ ආර්ථික වර්ධන වේගය පහළ බහින එකයි. මේ ක්‍රමයට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් වෙන්න විශාල කාලයක් ගත වේවි. මේ හැම දේකම සරල අදහස අපි හැමදාමත් දුප්පත් රටක් වෙලා තියේවි කියන එක.

වැන්කුවර් අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණෙන මගීන්. වැන්කුවර් නගරයේ පිහිටා තිබෙන මෙය කැනඩාවේ ප්‍රධානතම ගුවන්තොටුපළක්. රූපය : familyworksbc.com

වැන්කුවර් අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණෙන මගීන්. වැන්කුවර් නගරයේ පිහිටා තිබෙන මෙය කැනඩාවේ ප්‍රධානතම ගුවන්තොටුපළක්. රූපය : familyworksbc.com

බුද්ධි ගලනය වළක්වා ගන්න පුළුවන් කොහොමද?

ඉස්සර කාලේ තිබුණු නොදියුණු බවත් එක්ක රටකින් රටකට සංක්‍රමණය වෙන්න ලොකු අපහසුතා තිබුණා. ඒ නිසා සංක්‍රමණය වුණේ ජනගහනයෙන් ඉතාම අඩු ප්‍රතිශතයක් විතරයි. මේ නිසා ඉස්සර කාලේ රටවල් ගණනාවකට විදේශ සංක්‍රමණය කියන කාරණාව ලොකු ගැටළුවක් වුණේ නැහැ. නමුත් අද කාලයේ ඇති වෙලා තියෙන තාක්ෂණික සහ ප්‍රවාහන ක්ෂේත්‍ර වල දියුණුව නිසා රටකින් රටකට සංක්‍රමණය වෙද්දී පවතින අවිනිශ්චිත භාවය මුළුමනින්ම වගේ ඉවත් වෙලා ගිහින්. මේ නිසා නීති රෙගුලාසි වලින් බුද්ධි ගලනය සම්පුර්ණයෙන්ම වළක්වන එක ප්‍රයෝගිකව කරන්න බැරි දෙයක්. එහෙම කරන එක මූලික මානව අයිතිවාසිකම් සහ ආර්ථික නිදහස උල්ලංඝනය කිරීමක් වගේම අපේ රටේ නීතියට අනුව නීති විරෝධීයි. පුහුණු ශ්‍රමිකයන්ගෙන් ලැබෙන වටිනා විදේශ විනිමය අහිමි වෙන එකත් ඒකෙන් සිදු වෙන විශාල පාඩුවක්. ඒ වගේ දෙයක් කරන්න නීති හදන්න ගියත් නමට හරි ප්‍රජාතන්ත්‍රවාදී රටක සමාජ කෝලාහල පවා ඇති වෙන්න ඉඩ තියෙනවා.

මේ නිසා කලිනුත් කිව්වා වගේ තියෙන එකම විසඳුම බුද්ධි ගලනය ප්‍රමාණාත්මවක අඩු කර ගන්න හිතන එකයි. හොඳම විසඳුම විදිහට පිළිගන්න පුළුවන් වෙන්නේ අපේ රටේ ආර්ථිකයට ඉහළ ආදායම් ලබන මට්ටමකට යන්න පහසු වෙන විදිහේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීම කඩිනම් කරන එක. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් වෙළඳාම් කටයුතු ලිබරල්කරණය පුළුල් කිරීම, නීති රෙගුලාසි ගෙන ඒමේදී නිසි ප්‍රතිපත්තියකට අනුව ක්‍රියා කිරීම, ප්‍රධාන අපනයන වෙළඳපොළවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම, ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම සහ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වීම වගේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි.

මේ වෙනස්කම් කඩිනම් කිරීම තුළින් රටේ රැකියා උත්පාදනය ඉහළ ගිහින් කාලයත් එක්ක රටේ බුද්ධි ගලනය සිදු වෙන වේගය අඩු කර ගන්න හැකි වේවි. නමුත් ඒකට දිගු කාලීනව නිසි වැඩපිළිවෙලකට ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. බුද්ධි ගලනය ආපසු හරවන එක එක රැයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ.

ඒ නිසා ශ්‍රී ලංකාව නව නිපැයුම් කරන, සංවර්ධනය වෙන, සෞභාග්‍යමත් දේශයක් බවට පත් වෙන්න අවශ්‍ය නම් පාලකයන් සහ නීති රෙගුලාසි සකස් කරන්නන් අතර තියෙන කඹ ඇදීම නවත්වලා රටට ප්‍රයෝජනවත් දෙයක් කරන තැනට තල්ලු කර ගන්න එක අත්‍යාවශ්‍යයි. නිකරුණේ නාස්ති කරන සම්පත් වලින් රටේ ධරණීය ආර්ථික සංවර්ධනයක් පවත්වා ගන්න උත්සාහ කළ යුතුයි. රටේ සෞභාග්‍යමත් ආර්ථිකයක් පැවතීම සහ වෘත්තිකයන්ට නිසි වරප්‍රසාද හිමි කර ගන්න පුළුවන් වටපිටාවක් තියෙන එක තමයි බුද්ධි ගලනය වළක්වන්න තියෙන හොඳම ක්‍රමය. ඒ දේ කරන්න පුළුවන් වෙනකන් ශ්‍රී ලංකාව හැමදාම එක තැන පල වෙන එකෙන් මිදෙන්න ලේසි වෙන එකක් නැහැ.

කවරයේ පින්තුරය: nytimes.com/Andy Martin

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්