Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆිල්ම්ෆෙයාර් සම්මාන වැඩි ම ප්‍රමාණයක් දිනූ චිත්‍රපට 4ක්

අප අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව චිත්‍රපට කර්මාන්තය අතින් විශාල දියුණුවක් ලැබූ රටක්. ගෙවුණු දශක කිහිපය තුළ ඉන්දියාවේ නිෂ්පාදනය වුණු ඇතැම් චිත්‍රපට ලෝක ප්‍රසිද්ධ වුණා. එවැනි චිත්‍රපට ඇගයීම සඳහා විවිධ සම්මාන උළෙල ඉන්දියාවේ පැවැත්වෙනවා. ඒ අතුරින් වඩාත් ප්‍රසිද්ධ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල යි.

2022 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී සම්මාන දිනාගත් තරු – indiatvnews.com

1954 සිට මේ දක්වා ගෙවුණු දශක 7කට ආසන්න කාලය තුළ පවත්වා ඇති සමස්ත ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ප්‍රමාණය 67ක්. එම සම්මාන උළෙලවල දී සම්මාන වැඩි ප්‍රමාණයක් දිනා ගත් චිත්‍රපට රැසක් තිබෙනවා. ඒ අතුරින් ෆිල්ම්ෆෙයාර් සම්මාන 10කට වඩා දිනා ගෙන තිබෙන්නේ චිත්‍රපට 4ක් පමණ යි. මේ ඔබට කියන්න යන්නේ එම සම්මානනීය චිත්‍රපට 4 පිළිබඳව යි.

4) දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ (Dilwale Dulhania Le Jayenge)

1990 දශකයේ ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය වුණු චිත්‍රපට අතරට දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ ද අයත්. ආදිත්‍ය චොප්‍රා තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වුණු මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ යාෂ් චොප්‍රා යි. ෂාරුක් ඛාන් සහ කාජල් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරද්දී අනුපම් කේර්, අම්රිශ් පූරි, ෆරීඩා ජලාල්, මන්දිරා බේඩි, යන නළු නිළියන් ද මේ සඳහා රංගනයෙන් දායක වුණා. 1995 ඔක්තෝබර් 20 වැනිදා තිරගත වුණු මෙම චිත්‍රපටය රූගත කළේ ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ එංගලන්තය යන රටවල දී යි.

මෙම චිත්‍රපටයේ කතාව ගෙතී ඇත්තේ රාජ් මල්හෝත්‍රා සහ සිම්රන් සිං යන තරුණ යුවළක් වටා යි. ඔවුන් සිය මාපියන් සමඟින් ජීවත් වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර යි. එක්තරා දිනයක සිම්රන්ගේ පියා වුණු බල්දේව් සිංට ඉන්දියාවේ අජිත් නම් මිතුරකුගෙන් ලියුමක් ලැබුණා. එම ලිපියේ දක්වා තිබුණේ ඊට වසර 20කට පෙර බල්දේව් සහ අජිත් ඇති කර ගත් එකඟතාවක් පිළිබඳව යි. එම එකඟතාව වුණේ කිසි යම් දිනක බල්දේව්ගේ දියණිය වුණු සිම්රන් සහ අජිත්ගේ පුතා වුණු කුල්ජීත් විවාහ විය යුතු බව යි. ඒ අනුව බල්දේව් සිය දියණිය කුල්ජීත්ට විවාහ කර දීමට තීරණය කළා.

ෂාරුක් ඛාන් සහ කාජල් චිත්‍රපටයේ දර්ශනයක – scroll.in

ඒ අතරතුර සිම්රන් සිය මිතුරන් පිරිසක් සමඟ ස්විට්සර්ලන්තයේ සංචාරය කළා. එම චාරිකාව අතරතුර ඇයට රාජ් හඳුනා ගැනීමට ලැබුණා. එම චාරිකාව අවසානයේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වුණා. සිම්රන් සහ රාජ් අතර ඇති වුණු එම පෙම් සබඳතාවට බල්දේව් දැඩි ලෙස අකමැති වුණා. බල්දේව් සිය දියණිය සහ බිරිය සමඟ ඉන්දියාව බලා ආපසු ගියා. එය දැනගැනීමෙන් පසුව රාජ් ද ආපසු ඉන්දියාව බලා ගොස් සිම්රන් ගැන සොයන්නට පටන් ගත්තා.

එසේ ඉන්දියාවට ගිය රාජ් සහ ඔහුගේ පියා ධරම්වීර් සිම්රන්ගේ සහ කුල්ජිත්ගේ පවුල් සමඟ මිතුරු වුණා. සිම්රන්ට ස්විට්සර්ලන්ත සංචාරය අතරතුර මුණ ගැසුණු මිතුරා රාජ් බව ඒ කිසි කෙනෙක් දැන සිටියේ නැහැ.. එසේ කාලය ගෙවීයද්දී සිම්රන්ගේ පියාට රාජ් පිළිබඳ සියලු තොරතුරු දැනගන්නට ලැබීමෙන් පසු ඔහු රාජ්ට අපහාස කර ආපසු පිටව යන ලෙස තර්ජනය කළා. අවසානයේ රාජ් සිය පියා සමඟින් ආපසු යාමට දුම්රිය ස්ථානය වෙත ගිය මොහොතේ කුල්ජීත් සිය මිතුරන් පිරිසක් සමඟ පැමිණ රාජ්ට පහර දුන්නා.

ඒ මොහොතේ බල්දේව්ගේ සහ අජිත්ගේ පවුල්වල උදවිය එහි පැමිණ සටන නතර කළා. ඉන් පසුව සිම්රන් සිය පියාගෙන් ඉල්ලා සිටියේ තමන්ට රාජ් නොමැති ව ජීවත් විය නොහැකි බව යි. අවසානයේ සිය දියණියගේ ආදරය වටහා ගත් බල්දේව් ඇයට රාජ් සමඟින් යාමට ඉඩ ලබා දුන්නා.

චිත්‍රපටයේ අවසාන ජවනිකාව – lbb.in

මෙම චිත්‍රපටයේ අඩංගු වුණු සමහර ගීත ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා. “Tujhe Dekha To” , “Mere Khwabon Mein”, “Zara Sa Jhoom Loon Main” “Mehndi Laga Ke Rakhna” ඒ අයුරින් ජනප්‍රිය වුණු ගීත කිහිපයක්. ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ, උදිත් නාරායන්, කුමාර් සානු, සහ අභ්ජීත් බට්ටාචාර්ය යන ගායක ගායිකාවන් එම ගීත ගායනා කළා. ඉන්දියාවේ ජනප්‍රිය වුණු මෙම චිත්‍රපටය 1996 පැවති 41 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී සම්මාන 10ක් දිනා ගත්තා. එය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඉතිහාසයේ යම් චිත්‍රපටයකට සම්මාන 10ක් හිමි වුණු මුල් ම අවස්ථාව යි. මේ එම සම්මාන පිළිබඳ තොරතුරු යි.

1). හොඳම චිත්‍රපටය
2). හොඳම අධ්‍යක්ෂණය- ආදිත්‍ය චොප්‍රා
3). හොඳම නළුවා- ෂාරුක් ඛාන්
4). හොඳම නිළිය- කාජල්
5). හොඳම සහාය නිළිය- ෆරීඩා ජලාල්
6). හොඳම විකට නළුවා- අනුපම් කේර්
7). හොඳම ගී පද රචනය- ආනන්ද් බක්ෂි (Tujhe Dekha To)
8). හොඳම තිර රචනය- ආදිත්‍ය චොප්‍රා
9). හොඳම දෙබස්- ආදිත්‍ය චොප්‍රා සහ ජාවෙඩ් සිද්දිකි
10). හොඳම පසුබිම් ගායනය පිරිමි- උදිත් නාරායන් (Mehndi Laga Ke Rakhna)

3). බ්ලැක් (Black)

සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ බ්ලැක් චිත්‍රපටය 2005 පෙබරවාරි 4 වැනිදා තිරගත වුණා. අමිතාබ් බච්චන්, රාණි මුඛර්ජි, අයේෂා කපූර්, නන්දනා සෙන්, ධ්‍රිත්මන් චැටර්ජි යන නළු නිළියන් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. බ්ලැක් චිත්‍රපටයේ කතාවට පාදක වී ඇත්තේ අමෙරිකා ගත් කතුවරියක වුණු හෙලන් කීලර් 1903 දී රචනා කළ Story of My Life නම් ඇගේ ස්වයං චරිතාපදාන ග්‍රන්ථය යි.

මෙම චිත්‍රපටයේ කතාව ගෙතී ඇත්තේ මිෂෙල් මැක්නලි නම් දැරිය වටා යි. එම දැරියට වයස අවුරුදු දෙකේ දී දරුණු රෝගයක් වැලඳුණා. එයින් සුවය ලැබීමෙන් පසු ව ඇයගේ ඇස් පෙනීම සහ ශ්‍රවණ හැකියාව නැති වී ගියා. ඉන් පසු ව ඇය ප්‍රචණ්ඩකාරී දැරියක් බවට පත් වුණා. එනිසා මිෂෙල්ගේ මාපියන්ට ඇය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. එසේ කාලය ගෙවී යද්දී මිෂෙල්ගේ මාපියයන්ට ඩෙබ්‍රාජ් සහායි නම් ගුරුවරයා මුණ ගැසුණා.

මිෂෙල් සහ ඩෙබ්‍රාජ් චිත්‍රපටය අතරතුර – imdb.com

ඉන් පසුව ඩෙබ්‍රාජ් කුඩා මිෂෙල් දැරියගේ ගුරුවරයා බවට පත් වුණා. ඔහුගේ ඉගැන්වීම් හමුවේ මිෂෙල් දැරිය ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. එසේ වසර ගණනාවක් ඩෙබ්‍රාජ් සමඟ අධ්‍යාපන කටයුතුවල නිරත වීමෙන් පසුව මිෂෙල්ගේ හැකියා තව තවත් දියුණු වුණා. එනිසා ඇයට බ්‍රේල් ක්‍රමය ඔස්සේ වැඩි දුර ඉගෙන ගැනීමට හැකි වුණා. අවසානයේ දී මිෂෙල් බ්‍රේල් ක්‍රමය මඟින් උපාධියයක් සම්පූර්ණ කරමින් වඩාත් සාර්ථක කෙනෙක් බවට පත් වුණා.

බ්ලැක් චිත්‍රපටයේ ඩෙබ්‍රාජ්ගේ චරිතය අමිතාබ් බච්චන් නිරූපණය කරද්දී මිෂෙල්ගේ චරිතය රාණි මුඛර්ජි සහ අයේෂා කපූර් යන නිළියන් දෙදෙනා නිරූපණය කළා. එකල ඉන්දියාව තුළ වඩාත් ජනප්‍රිය වුණු මෙම හින්දි චිත්‍රපටය එම වසරේ වැඩි ම ආදායම දිනා ගත් බොලිවුඩ් චිත්‍රපට කිහිපය අතරට අයත් වුණා. 2006 වසරේ පැවති 51 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී බ්ලැක් චිත්‍රපටයට සම්මාන 11ක් හිමි වුණා. මේ එම සම්මාන 11 පිළිබඳ තොරතුරු යි.

චිත්‍රපටයේ තවත් එක් අවස්ථාවක් – talkfilmsociety.com

1). හොඳම චිත්‍රපටය
2). හොඳම චිත්‍රපටය (විචාරක)
3). හොඳම අධ්‍යක්ෂණය- සංජේ ලීලා බන්සාලි
4). හොඳම නළුවා- අමිතාබ් බච්චන්
5). හොඳම නළුවා (විචාරක)- අමිතාබ් බච්චන්
6). හොඳම නිළිය- රාණි මුඛර්ජි
7). හොඳම නිළිය (විචාරක)- රාණි මුඛර්ජි
8). හොඳම සහාය නිළිය- අයේෂා කපූර්
9). හොඳම පසුබිම් සැකසීම- මොන්ටි ෂර්මා
10). හොඳම කැමරාකරණය- රවී කේ චන්ද්‍රන්
11). හොඳම සංස්කරණය- බෙලා සේගල්

2). දේව්දාස් (Devdas)

සරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය නම් ගත් කතුවරයා 1917 දී දේව්දාස් නම් ග්‍රන්ථය රචනා කළා. එම ග්‍රන්ථය පාදක කර ගෙන සංජේ ලීලා බන්සාලි නම් අධ්‍යක්ෂවරයා දේව්දාස් චිත්‍රපටය නිර්මාණය කළා. භාරත් ෂා නිෂ්පාදනයෙන් දායක වුණු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ෂාරුක් ඛාන්, අයිශ්චර්යා රායි, මධුරි ඩික්සිත්, ජැකී ෂ්‍රොෆ් යන නළු නිළි පිරිස යි. 2002 ජූලි 12 වැනිදා තිරගත වුණු මෙම චිත්‍රපටය එකල වැඩිම මුදලක් වැය කොට නිර්මාණය කළ බොලිවුඩ් චිත්‍රපටයක් බවට ද පත් වුණා.

දේව්දාස් කතාවේ එන දේව්දාස් මුඛර්ජි බ්‍රාහ්මණ කුලයේ උසස් පවුලක තරුණයෙක්. කුඩා කල සිට ම ඔහුගේ මිතුරියක් වුණු පාර්වතී ද අසල්වැසි බ්‍රාහ්මණ පවුලක දියණියක්. පාර්වතීගේ පවුල දේව්දාස්ගේ පවුල තරම් ධනවත් නොවුණා සේ ම කුලයෙන් තරමක් පහත් බ්‍රාහ්මණ ගණයට අයත් වුණා. ඔවුන් දෙදෙනා අතර කුඩා කල සිට හොඳ මිත්‍රත්වයක් තිබුණු නිසා පාර්වතීගේ පවුලෙන් දේව්දාස්ගේ පවුලට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා. දේව්දාස්ගේ පවුලේ උදවිය එම විවාහ යෝජනාවට කැමති වුණේ නැහැ. ඉන් නොනැවතුණු ඔවුන් පාර්වතීගේ පවුලේ උදවියට අවමන් කළා.

ෂාරුක් සහ අයිශ්චර්යා දේව්දාස් චිත්‍රපටයේ ජවනිකාවක – talkfilmsociety.com

එම සිදුවීමෙන් පසුව පාර්වතීගේ මව ඇය තරමක් වයස්ගත වැන්දඹු වංශාධිපති මිනිසකුට විවාහ කර දීමට සූදානම් වුණා. ඉන් පසුව දේව්දාස් ඔහුගේ පවුලේ උදවිය සමඟ ඇති කර ගත් ඝට්ටන නිසා නිවසින් පිටව යාමට තීරණය කළා. නිවසින් පිටව ගිය දේව්දාස්ට ගණිකා නිවෙස්නයක දී චන්ද්‍රමුඛී නම් ගණිකාව දැන හඳුනා ගන්නට ලැබුණා. පසුව ඔවුන් දෙදෙනා අතර හිතවත්කමක් ඇති වුණා. ඒ අතරතුර පාර්වතී බුවන් නම් වයස්ගත වැන්දඹු මිනිසා සමඟින් විවාහ වුණා. එම විවාහයෙන් පසුව දේව්දාස් මත්පැන්වලට තදින් ඇබ්බැහි වූවා.

දේව්දාස් සහ පාර්වතී එක් වතාවක් හොර රහසේ හමු වුණා. ඒ අවස්ථාවේ දේව්දාස්, පාර්වතී හමුවේ පවසා සිටියේ තම මරණයට පෙර එක් වතාවක් ඇය හමුවීමට එන බව යි. එම හමුවෙන් පසුව දේව්දාස් තව තවත් මත්පැන්වලට ඇබ්බැහි වුණා. එලෙස දිගින් දිගට ම මත්පැන් පානය කිරීම නිසා දේව්දාස්ගේ ශරීර සෞඛ්‍යය හොඳට ම පිරිහුණා. අවසානයේ චන්ද්‍රමුඛීගෙන් සමු ගෙන සංචාරයක් සඳහා දුම්රියේ යමින් සිටි දේව්දාස්ට ඔහුගේ පැරණි මිතුරෙක් වුණු චුන්නිලාල් මුණ ගැසුණා.

ඔවුන් දෙදෙනා අධික ලෙස මත්පැන් පානය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස දේව්දාස්ගේ අසනීප තත්ත්වය උත්සන්න වුණා. ඒ මොහොතේ චුන්නිලාල්ගෙන් සමු ගත් දේව්දාස් ඉතාමත් අපහසුවෙන් පාර්වතීගේ නිවසට ගොස් ඇය බැලීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. අවසානයේ දේව්දාස් එම නිවස අසල දී අවසන් හුස්ම හෙළන දර්ශනයකින් චිත්‍රපටය අවසන් වුණා.

ෂාරුක් ඛාන් දේව්දාස්ගේ චරිතය නිරූපණය කරමින් – erosnow.com

මෙම චිත්‍රපටයේ දේව්දාස් මුඛර්ජිගේ චරිතය ශාරුක් ඛාන් නිරූපණය කරද්දී අයිශ්චර්යා රායි, පාර්වතීගේ චරිතය නිරූපණය කළා. මධුරි ඩික්සිත් චන්ද්‍රමුඛීගේ චරිතය ද, ජැකී ෂ්‍රොෆ් චුන්නිලාල්ගේ චරිතය ද නිරූපණය කළා. දේව්දාස් චිත්‍රපටයේ විශිෂ්ටත්වය නිසා ම 2003 දී පැවති 48 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී එයට සම්මාන 11ක් හිමි වුණා. මේ එසේ ලැබුණු සම්මාන යි.

1). හොඳම චිත්‍රපටය
2). හොඳම අධ්‍යක්ෂණය- සංජේ ලීලා බන්සාලි
3). හොඳම නළුවා- ෂාරුක් ඛාන්
4). හොඳම නිළිය- අයිශ්චර්යා රායි
5). හොඳම සහාය නිළිය- මධුරි ඩික්සිත්
6). හොඳම කැමරාකරණය- බිනෝද් ප්‍රධාන්
7). හොඳම කලා අධ්‍යක්ෂණය- නිතින් දේසායි
8). හොඳම පසුබිම් ගායනය කාන්තා- කවිතා ක්‍රිෂ්ණමූර්ති සහ ශ්‍රේයා ඝෝෂාල් (Dola Re Dola)
9). වසරේ හොඳම දර්ශනය- පාර්වතී සහ චන්ද්‍රමුඛී අතර ගැටුමේ දර්ශනය
10). හොඳම නර්තන නිර්මාණය- සරෝජ් ඛාන් (Dola Re Dola)
11). ආර්.ඩී බර්මන් සම්මානය- ශ්‍රේයා ඝෝෂාල්

1) ගලී බෝයි (Gully Boy)

ගෙවුණු වසර කිහිපය තුළ නිර්මාණය වුණු බොලිවුඩ් චිත්‍රපට අතුරින් ගලී බෝයි චිත්‍රපටය ඉතාමත් සුවිශේෂී එකක්. සෝයා අක්තාර්ගේ අධ්‍යක්ෂණයෙන්, සෝයා අක්තාර්ගේ සහ රීමා කග්ටිගේ තිර රචනයෙන්, ෆර්හාන් අක්තාර්, රිටේෂ් සිද්වානි සහ සෝයා අක්තාර්ගේ සම අධ්‍යක්ෂණයෙන් මෙම චිත්‍රපටය නිර්මාණය වුණා. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ රන්වීර් සිං, ආලියා භාත්, කල්කි කොච්ලින්, සිද්ධාන්ත් චතුර්වේදි, අම්රුතා සුභාෂ් යන නළු නිළි පිරිස යි.

ගලී බෝයි චිත්‍රපටය Divine සහ Naezy යන ඉන්දියානු වීදි රැප් ගායකයන්ගේ ජීවිතවලින් ආභාසය ලබා ගෙන කළ නිර්මාණයක්. 2019 පෙබරවාරි 14 වැනිදා ඉන්දියාවේ දී තිරගත කළ මෙම චිත්‍රපටය පසුගිය කාලයේ විශාල ආදායමක් ලැබූ බොලිවුඩ් චිත්‍රපට කිහිපය අතරට අයත්.

ගලී බෝයි චිත්‍රපටයේ දර්ශනයක් – scroll.in

ගලී බෝයි චිත්‍රපටයේ කතාව ගෙතී ඇත්තේ මුම්බායි නුවර ධරාවි මුඩුක්කු ප්‍රදේශයේ ජීවත් වුණු මුරාඩ් අහමඩ් නම් වීදි රැප් ගායකයා වටා යි. කතාවට අනුව වෛද්‍ය ශිෂ්‍යාවක් වුණු සෆීනා ෆිර්දවුසි මුරාඩ්ගේ පෙම්වතිය යි. ජනප්‍රිය රැප් ගායකයෙක් වීමට සිහින දකිමින් සිටි මුරාඩ්, දේශීය රැප් ගායකයකු වුණු ශ්‍රීකාන්ත් බෝස්ලේ සමඟ එකතු වී වීඩියෝවක් නිර්මාණය කර යූටියුබ් වෙත මුදා හැරියා. එය කෙටි කාලයකින් විශාල ලෙස ජනප්‍රිය වුණා. ඉන් පසුව ශ්වේතා ස්කයි නම් නිෂ්පාදකවරිය මුරාඩ් සහ ශ්‍රීකාන්ත් සමඟ එකතු වී මුම්බායි හි ධරාවි මුඩුක්කු ප්‍රදේශයේ තවත් වීඩියෝවක් රූගත කළා. එම වීඩියෝව ද ක්‍රමයෙන් ජනප්‍රිය වෙද්දී මුරාඩ් නම් රැප් ගායකයා තව තවත් ප්‍රසිද්ධ වුණා.

එසේ කාලය ගෙවී යද්දී ශ්වේතා සහ මුරාඩ් අතර සමීප මිතුදමක් ඇති වුණා. ඒ පිළිබඳ ව දැනගැනීමෙන් පසුව මුරාඩ් සහ සෆීනා අතර ගැටුම් නිර්මාණය වුණා. එලෙස විවිධ හැලහැප්පීම් මැද ඔවුන්ගේ ජීවිත ගලා ගිය ද අවසානයේ මුරාඩ් සහ සෆීනා එකතු වුණා. මුම්බායි හි පැවති රැප් ගායන තරගයකින් පළමු ස්ථානය දිනා ගත් මුරාඩ් පසුව ඉන්දියාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් බවට පත් වුණා.

මෙම චිත්‍රපටයේ මුරාඩ් අහමඩ්ගේ චරිතය රන්වීර් සිං ද, සෆීනා ෆිර්දවුසිගේ චරිතය ආලියා භාත් ද නිරූපණය කළා. 2020 දී පැවති 65 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී ගලී බෝයි චිත්‍රපටය සම්මාන 13ක් දිනා ගත්තා. එය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඉතිහාසයේ යම් චිත්‍රපටයක් දිනා ගත් වැඩි ම සම්මාන ප්‍රමාණය යි. මේ එම සම්මාන පිළිබඳ තොරතුරු යි.

මුරාඩ් සහ සෆීනා චිත්‍රපටයේ දර්ශනයක-scroll.in

1). හොඳම චිත්‍රපටය
2). හොඳම අධ්‍යක්ෂණය- සෝයා අක්තාර්
3). හොඳම නළුවා- රන්වීර් සිං
4). හොඳම නිළිය- ආලියා භාත්
5). හොඳම සහාය නළුවා- සිද්ධාන්ත් චතුර්වේදි
6). හොඳම සහාය නිළිය- අම්රුතා සුභාෂ්
7). හොඳම තිර රචනය- සෝයා අක්තාර් සහ රීමා කග්ටි
8). හොඳම දෙබස්- විජේ මෞර්ය
9). හොඳම ගී පද රචනය- දිව්‍ය සහ අන්කූර් තිවාරි (Apna Time Aayega)
10). හොඳම සංගීත අධ්‍යක්ෂණය- සෝයා අක්තාර් සහ අන්කූර් තිවාරි
11). හොඳම කලා අධ්‍යක්ෂණය- සුසෑන් මර්වන්ජි
12). හොඳම කැමරාකරණය- ජේ ඕසා
13). හොඳම පසුබිම් ගීතය- කාර්ෂ් කේල්

කවරයේ ඡායාරූපය- දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ චිත්‍රපටයේ අවස්ථාවක් - dnaindia.com
මූලාශ්‍ර:
bollywoodmdb.com
imdb.com
filmfare.com
youtube.com
commonsensemedia.org
boxofficeindia.com

Related Articles