Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලි ගෙදර සුරතලයට ඇති කළ හැකිද?

අලි හීලෑ කිරීම ගැන නිතර කතාබහ ඇතිවෙනවා. මේක “අලි ප්‍රශ්නයක්” වෙලා තියෙන නිසා, අලි ගැන තියෙන ප්‍රශ්න කීපයකට තොරතුරු සොයාගන්න අප සිතුවා.

පුහුණු කළ අලින් අපි දකිනවා විවිධ ක්‍රියාකාරකම් වල සාර්ථකව නිරත වෙනවා.ඇත්තටම බල්ලා, පූසා, ගවයා වගේ අලියත් අපිට ගෙදර ඇති කරන්න හුරුකරගන්න පුලුවනිද?  

සරලම පිළිතුර, පුළුවනි. අලින් කියන්නේ පරිණාමිකව උසස් ජීවින් විශේෂයක්. ඔවුන්ගේ මානසික මට්ටම වගේම සමාජ චර්යාවනුත් උසස් මට්ටමක තිබෙනවා. ඒ නිසා උන් වඩාත් පහසුවෙන් හීලෑ කරගන්න හැකියාව තිබෙනවා. බල්ලා, පූසා ආදී සතුන් පරම්පරා ගණනාවක් තිස්සේ මිනිසා සමග ගනුදෙණු කළ සතුන්. දඩයම් යුගයේදී බල්ලන් මස් කටු කන්නට පැමිණ පසුව මිනිසුන් සමග වාසය කරන්නට ඇතැයි පිළිගැනීමක් තිබෙනවා. හිලෑ අලියෙක් කියන්නේ බොහෝවිට කුඩා කලදී වනයෙන් අල්ලා පුහුණු කරන සතෙක්. පරිණාමිකව අලියාගේ චර්යාවන් බැදෙන්නේ වනය සමග. එවැනි සතෙක්  හීලෑ කළ හැකි වුවත් එය දියුණු මනුෂ්‍යයින්ට ඔබිනවාදැයි යන්න පිළිබඳව යම් ගැටලු තිබෙනවා.

යදමින් බැද ලූ සද්දන්ත කකුල්

අලියෙක්ට සාර්ථකව ජීවත් වෙන්න අවශ්‍ය සාධක මොනවාද? ආහාර, නිවාස, වපසරිය ආදිය?

සාමාන්‍යයෙන් අලියෙකුට වර්ග කිලෝමීටර 50කට ආසන්න වපසරියක් අවශ්‍යයි උගේ ජීවන රටාව පවත්වාගන්න. අලින් ජලයේ බැස සිටීම, මඩ සහ පස් නෑම ආදී දේ මගින් ශරීරයේ උෂ්ණත්වය යාමනය කරගන්න කටයුතු කරනවා. එය බැරලයකින් හෝ හෝස් බටයකින් සපයන වතුරින් කරන්න අමාරුයි. ස්වභාවික පරිසරයේදී  දිනපතාම  ඔවුන් ජලය හා හොඳ සම්බන්ධයක් පවත්වාගන්නවා.

අලින්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය කිලෝග්‍රෑම් 250ක් පමණ. අලියාගේ ආහාර රටාව විවිධයි.

අලියාගේ අවශ්‍යතාවයන් සපිරෙන පරිදි ආහාර සහ ජලය සැපයීම අලි හිමිකරුවන් මුහුණපාන ගැටළුවන්.

අලියා මොළයෙන් විශාලතර සතෙක්. ප්‍රජාවක් වශයෙන් වාසය කරන අලි, එකිනෙකා අතර හොද සන්නිවේදනයක්, ගනුදෙනුවක් නිතර පවත්වාගන්නවා. වන අලින්ගේ සමාජීය සහ මානසික පසුබිම එසේ වුවත් කෘත්‍රිම අවකාශයක තැබූ අලියෙකුගේ එම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම අපහසුයි.

අලියෙක්

අලින්ව කොටු කිරීම, ඔවුන්ගේ ස්වාභාවික චර්යාවන්ට මොන විදියටද බලපාන්නේ?

කුඩා පැටවුන් සිය රංචුව ගැන අදහසක් ගන්නේ කණ්ඩායමක් විදියට ජිවත් වෙද්දී. ජලය ආශ්‍රිතව සිටියදී වඩාත් ක්‍රියාකාරීවන අලින් එකිනෙකා සමග සන්නිවේදනයටද යොමුවෙනවා. සුදුසු ආහාර තෝරාගැනීම, ලිංගික කාර්යය, මද කිපීම, දේශගුණික වෙනස්කම් අනුව සංචරනය කිරීම ආදී අලින්ගේ ස්වභාවික චර්යාවන් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. අලින් එකිනෙකා වෙන් වෙන් වශයෙන් ඈත් කොට තැබූවිට ඒ චර්යාවන්ට මනා අවස්ථාවක් නෑ.

ඇතැම් අවස්ථාවල ඔබ දැක ඇති ගස් වල බැඳ තබන අලින් රිද්මයානුකූලව වේගයෙන් පැද්දෙනවා. කකුල් ගසනවා. ඒවා සත්ත්වවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙන ආකාරයට අලියාගේ නොරිස්සුම පල කෙරෙන චර්යාවන්. රැලක් ලෙස කුඩා කළ සිට ඇතිදැඩි වුන සතෙක් එකවර කොටුකිරීම දැඩි වරදකට දඩුවමක් ලෙස මිනිසකු හුදකලා කුඩා කූඩුවකට දැමීම හා සමානයි.

පැටියා කැටුව යන මවක්.

තියෙන වනාන්තර ප්‍රමාණය, අපිට තිබෙන භූමිය එක්ක බැලුවාම අලින්ට ඉඩකඩ අඩුයි. හැමදාම අලි මිනිස් ගැටුම. මේකට විසදුමක් ලෙස අලි හීලෑ කිරීම ගන්න බැරිද?

අලි කියන්නෙ වනාන්තරයේ කොටසක්. මිනිස්සු කියන්නෙත් ඒ වගේම සත්ත්ව කොට්ඨාශයක්. බිලියන 7.5ක වත්මන් ලෝක ජනගහනය ලෝකයට බොහොම වැඩියි. ඒත් එහෙම වුණා කියල මිනිසුන් දැඩිලෙස පාලනය කිරීමක් කරන්න අමාරුයි.

අලින්ගෙන් පරිසරයට විශාල සේවාවක් සිදු වෙනවා.  තමුන් සිටින වනාන්තර වල ගස් වල අතු කඩා දැමීම මගින් ගස් ස්වභාවිකවම කප්පාදු කිරීමකට අලින් දායක වෙනවා. ඒ වගේම අලින්ගේ 40%ක් පමණක් දිරවූ මළ ද්‍රව්‍ය මත කෂුද්‍ර ජීවින් මෙන්ම කුඩා අපෘෂ්ඨවංශී ජීවින් රැසක් වාසය කරනවා. පරිසර පද්ධතියකින් අලියෙක් වගේ විශාල සතෙක් ඉවත් කිරීමේ බලපෑම ගැන තවම අපගේ පසුබිමේදී පර්යේෂණ කෙරිලා නැහැ.1963 වෙද්දි මිලියන 10ක් වුණ ලාංකික ජනගහනය මේ වෙද්දි මිලියන 21ක්. ඉතින් මිනිසුන් වැඩිවීමත්, ඔවුන්ගේ වගාබිම් ව්‍යාප්ත වීමත් නිසා අලින්ට කුඩා වන භූමි වලට කොටුවීමට සිදු වුණා. ඒවා මිනිසුන් විසින් අලින්ට ඇතිකළ ප්‍රශ්ණ.

අපි වනයේ දකින අලින්ට වඩා හීලෑ අලි පිරිසිදුයි. ඇතැම් විට පුෂ්ටිමත්ව පේනවා. හීලෑ අලි අපිට පේන තරම්ම නිරෝගීයිද?

සතියට වරක් හෝ මග තොට  ඇවිදින ඔබ දැක ඇති මහත් පිම්බුනු, පුශ්ටිමත් කාන්තාවන්. ඔබට කියන්න පුළුවන්ද ඒ අය නිරෝගීයි කියල? බැහැ නේද? ඒ වගේ තමයි අලිත්. ඔවුන් ස්වභාවික පරිසරයේදී ඇවිදිනවා, නානවා, කලහ කරගන්නවා. එකතැනක කොටු කරපු සතාට ලැබෙන්නේ සීමිත වූ ආහාර ප්‍රමාණයක් පමණයි. ඔවුන්ට ව්‍යායාම නැහැ. ඒ නිසා ඔවුන් අනවශ්‍ය ලෙස මහත් වෙනවා.

වන අලින්ට වඩා හීලෑ අලින්ගේ වාර්තාවන සෞඛ්‍ය ගැටලු වැඩියි. ඒ බොහෝ ගැටළු අලින් ගෘහාශ්‍රිතව රඳවා තබාගැනීම නිසාම මතු වූ ගැටළු ලෙස හඳුනාගන්නට පුළුවනි.  අලින් මෙල්ල කරන්නට ඇත් ගොව්වන් යොදන එක් උපායක් වන්නේ අලියාගේ ඇසට කෝටු වලින් ඇනීම. ඒ හරහා ඇතැම් විට අලින්ගේ ඇස් අන්ධවීම පවා සිදු වෙනවා. පිරිසිදු කිරීමකින් තොරව එකම තැනක බැඳතබන අලින් ජීවත් වෙන්නේ ඔවුන්ගේම මළ මුත්‍ර සහ අශූචි ගොඩ මත. මෙම අපිරිසිදු තත්වය නිසා ඔවුනගේ කකුල් වල තුවාල ඇතිවෙලා ඒවා පැසවලා තියෙනවා.

රෝගී ඇස් ඇති සතෙක්

පෙනුමෙන් අලියා ගැස්සෙමින් පැද්දෙමින් පුශ්ටිමත්ව සිටියාට කොර වූ කකුල්, වන වූ යටිපතුල්, අන්ධ වූ, සහ පෙනුම අඩු වී සුද එන ඇස්, සෙම් රෝග, ක්ෂය රෝග, වැනි රෝග තත්ත්ව රැසක් හීලෑ අලින් අතර වාර්තා වි තිබෙනවා.

අභිජනනය කරලා ගවයින් ලබාගන්නවා. ඒ ආකාරයට අලිත් අභිජනනය කරලා නැවත හිලෑ අලි ලබාගත හැකියි නේද?

යුරෝපීය රටවල සත්ත්වෝද්‍යාන වලට අලින් ලබාගන්නට ඔවුන් විශාල මුදලක් පාවිච්චි කරලා කෘත්‍රිම සිංචන ක්‍රමවේද භාවිතා කලා. නමුත් එය සාර්ථක නෑ. එසේ ලබාගන්නා පැටවු නිරෝගි නෑ. බොහෝ දෙනෙක් හදවත් රෝග නිසා ඉතා කුඩාකල දීම මියගොස් තිබෙනවා.

ලංකාවේ හීලෑ අලි ඇතුන් අතර වුවත් නව උපත් සිදුවන්නේ නැති තරම්. ඇතැම් විට හීලෑ අලි එකට තැබුවත් එම අලින් අතර එවැනි ලිංගික සම්බන්ධතා ඇති වි නව ජීවින් ලෙස පැටව් බිහි වන්නේ නෑ. පින්නවල වැනි සමාජ වටපිටාව වඩා හොඳින් ඇති තැන්වල අලින් බෝවීම සිදු වෙනවා.

අලි පැටියෙකුට කිරි පොවන අවස්ථාවක්

හීලෑ අලි සෙල්ලම් අපි දකිනවා අලින් ලස්සනට කෙලිදෙලෙන් නානවා දකිනවා. ඉතිං සුරතල් අලිනුත් එහෙම සතුටින් ඉදීවි නේද?

මියන්මාරයේ, නේපාලයේ අලින් දිවා කාලයේදී විදේශිකයින් ප්‍රවාහනය, කොටන් ඇදීම ආදී කටයුතු වල නිරත වුවත් රාජකාරියෙන් පසුව ඔවුන්ව වනයට මුදා හරිනවා. ඇතැම් අවස්ථාවලදී වනයේ සිටියදී පවා ඇත් ගොව්වාගේ කටහඩට අලින්ගේ අවධානය ලැබෙනවා. ඒ වගේම ඒ රටවල අලින් වැඩ රාජකාරි අඩු කාලයට කන්න බොන්න දිදී ගස් වල බැදගෙන ඉන්නේ නැතුව වනයටම මුදා හැර තිබෙනවා. එහිදී දම්වැලක් සමග මුදාහැරෙන නිසා පසුව අල්ලාගන්නට ද හැකියි. එවැනි ක්‍රමයකදී අලියා සිරකර හෝ බැද තබනවාට වඩා යම් කිසි සහනයක් අලියාට ලැබෙනවා.

අලියාගේ ස්වාභාවික චර්යාවන් වනයේදී  නැරඹීම අපිට විනෝදයක්. අපේ රටේ අලින්  පුහුනු කිරීමේදී භාවිතා වන්නේ වේදනාව මූලික කරගත් පුහුනු කිරීමේ ක්‍රමවේදයක්. ඒ නිසා අලියා මිනිසාගේ අණට බියෙන් සෙල්ලම් පෙන්නවා මිසක ස්වභාවික චර්යාවක් ඒ තැන්වල දකින්නට නැහැ. දියුණු රටවලදි නම් අලියා හොද දෙයක් කළ පසු ඌ වඩාත් කැමති කෑම වර්ග ලබාදෙමින් ධනාත්මක ලෙස අලින් හුරු කිරීම් කරනු ලබනවා. එය වඩාත් සාර්ථක බව පෙනී ගොස් තිබෙනවා. ලංකාවේ අපි දකින හීලෑ අලි සෙල්ලම් බොහෝවිට අලියා වේදනාවට බියෙන් අවනත වී අකමැත්තෙන් දක්වන  ක්‍රියාකාරම්  බවට හඳුනාගන්නට හැකියි.

අලි හුරුකරන තැනක්

අලි සුරතලයට ඇති කිරීමෙන් මිනිසුන්ට විය හැකි හානි ආදිය කොහොමද?

අපේ හීලෑ අලියෙක් කියන්නේ තවමත් වන සතෙක්. ඒ අලියා ගේ චර්යාවන් මොන වෙලාවට වෙනස් වේදැයි කියන්න අපහසුයි. අලියා කියන්නේ බුද්ධිමත් සතෙක්. ප්‍රකෝප වූ අලියා ඇත් ගොව්වාම සොයාගෙන පැමිණ පහරදුන් අවස්ථා අවස්ථා වාර්තා වී තිබෙනවා. මද කිපුනු අලියෙක්  එසේ නොවන අලියෙක්ට වඩා ප්‍රකෝපකාරී වෙනවා. දළ හෝ පනුදළ ඇති ඇතෙක් ගෙන්ද මිනිසුන්ට හානි ගෙනදිය හැකියි.

හීලැ සතුන්ට මිනිසුන්ගේ රැකවරණ යටතේ වන ආපදා එහෙම තියෙනවද?

පසුගිය කාලේ වැසි අවස්ථාවක ගසක බැඳ සිටි අලියෙක් අකුණු සැර වැදීමෙන් මියගිය බව පසුගිය කාලයේ වාර්තා වුනා. එපරිද්දෙන්ම ඔයක බැඳ සිටි අලියෙක් ඔයේ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දියේ ගිලීම නිසා මියගියා. හීලෑ අලින්ට නිසි ආකාරයේ වෛද්‍ය ප්‍රතිකාර සැමවිටම ලැබෙන්නේ නෑ. නිරෝගි යැයි පෙනුනාට හීලෑ අලින්ගේ වාර්තා රැගෙන බැලූවිට අලින් රැසක් වසරකට අකාලයේ මිය පරලොව යනවා.

අලියකු සිටීම හිමියා ආර්ථිකමය වාසියක්. එහෙත් එම අලියාට ඇතැම් විට ආහාර,ජලය හෝ අවම වශයෙන් පිරිසිදු වටපිටාවක්වත් ලැබෙන්නේ නෑ .අලින්ට තම අවශ්‍යතාවයන් මිනිස්සුන්ගෙන් ඉල්ලන්නට හැකියාවක් නෑ. කණගාටුවට කාරණාව නම්, අලින්ට මෙන්ම අනික් ගෘහාශ්‍රිත සතුන්ගේ රැකවරණය වෙනුවෙන් තවමත් අපේ රටේ ප්‍රබල නීතිමය යාන්ත්‍රනයක් නැති වීමයි.

උදාහරණයක් ලෙස හීලෑ අලි හිමිකරුවෙකු විසින් තම අලියා සාගින්නේ තබා ඌ මියැදෙන්නට සැලැස්වුවත්, එය සිදුවූ බවට තවකෙකුට තහවුරු කළ හැකි වුවත් ඒ අලි හිමිකරුවාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න විධිවිධාන තවමත් ලංකාවෙ නැහැ.

කකුලේ තුවාල සහිතව වුවද යදමින් බැදි අලියෙක්

අලි බලන්න අපිට පාවිච්ච් කරන්න පුලුවන් වඩාත්ම පරිසර සහ අලි හිතකාමී ක්‍රමවේදය මොකද්ද?

බැඳපු,කොටුකරපු අලින් නැරඹීම සහ උන්ගෙන් විනෝද වීමට අපි හුරු වුනොත් හෙට තවත් අලින් වනයෙන් අල්ලා ගෙන ඇවිත් බැඳගෙන, කොටුකරගෙන අපිට පෙන්වන්නට ඔවුන් පටන් ගනීවි.

දියුණු රටවලදී නම් එසේ නැරඹීම සඳහා වූ අභය භූමි (Sanctuary Park) තියෙනවා. හීලෑ අලින් නැරඹීමේ පහසුව සහිත විශේෂිත අභයභූමි ලංකාවේ තවමත් නිර්මාණය වී නැහැ.

ලංකාවේදී වන අලින්ට කෑම බීම දීම හා ඔවුන් ජනාවාස වලට, මාර්ග අසලට ගෙන්වාගැනීම ඇතැම් පිරිස් නොදැනුවත්වම කරනවා. ඉන් පසු එම අලිම නැවත මිනිසුන්ට හෝ වාහනවලට පහර දෙන්නට වූ කළ නැවතත් මිනිසුන් අලින්ටම දොස් පවරනවා.

වර්තමානයේදී නම් අලින්ගේ චර්යාවන් හොඳින් රූගත කරන ලද, ඒ චර්යාවන් විස්තර කරන වීඩියෝ දර්ශන සහිත වාර්තා චිත්‍රපට තිබෙනවා. අලින්ට කරදරයක් නැතිව දැනුමත් වැඩිදියුණු කරගන්න ඒ වගේ මාධ්‍යයක් තෝරාගතහොත් එය දරුවන්ටත් අපිටත් හොඳ අධ්‍යයන මාර්ගයක් වේවි.

අලි පිට නැගී අලි බලන පිරිස

ඇත්තටම අලින්ට ආදරේ නම් අපිට කළහැකි දේ?

අලි කියන්නේ සොබාදහමේ කොටසක්. අලින්ට හානිකර බව දැන දැනත් ඔවුන්ට පීඩා ලබාදෙන ජනප්‍රිය, උත්සවාකාර අවස්ථා මේ සමාජයේ අපි දකිනවා. කලකට පෙර සුනඛයින් මරණයට පත්වීම ගැන සංවේදී වූ අපේ සමාජය අද එය නවතා දමන්නට කටයුතු කරලා. නමුත් අලින්ගේ තත්ත්වය ඊටත් වඩා ශෝචනීයයි. බැදපු වරපට සමග මියගිය හීලෑ අලි ඇතුන් ගැන දැන දැනත් තවත් අලි ඇතුන් හීලෑ කරන්නට සහ කොටු කරන්නට මේ දිනවල පිඹුරුපත් සැකසෙනවා.

වනයේම කොටසක් ලෙස අලින් දකින්නට අපි උත්සාහ කරමු. අපිට උවමනා සහ විදියට අපේ අවශ්‍යතාවන්ට ගැලපෙන විදියට දිගින් දිගටම වනයෙන් අලි ඉවත් කරන්නට  ගියොත් ඉදිරි අනාගතයේ අපේ දරුවන්ට ඡන්ද සලකුණටත් බීම බෝතලයටත් පමණක් අලියා ඉතිරි වේවි.

අලි නරඹන්නියක්

සේයාරූ සහ කරුණු සැපයීම සදහා විශේෂ ස්තූතිය : පශුවෛද්‍ය, වන අලි සුරැකීම සම්බන්ධ වැඩසටහන් ක්‍රියාකාරිනී දීපානි ජයන්තා වෙත.

Cover image: Scenic Ventures

Related Articles