Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනය වායු දූෂණයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම : වනාන්තර නගර

දැවැත්ත වෘක්ෂ 40,000 කින් සහ පැළෑටි මිලියනයකින් වැසී ගිය නගරයක් ගැන සිතා ගන්න ඔබට හැකි ද? ඒ වායු දූෂණයට පිළියමක් ලෙස චීන ආණ්ඩුව හඳුන්වා දී ඇති අලුත් ම සැලැස්ම යි.

2020 වර්ෂය වන විට දකුණු චීනයේ ලියුචු නගරය සම්පූර්ණයෙන් ම හරිත පැහැයෙන් ආවරණය කිරීම ඔවුන්ගේ අරමුණ වන අතර ඔවුන් බලාපොරොත්තු වන්නේ නගරය වසා වැඩෙන පැළෑටි සහ ගස් වැල් කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් දූෂක වායූන් උරා ගනු ඇති බව යි.

මේ ලිපියෙන් විග්‍රහ කෙරෙන්නේ එ් අපූරු නගරය ගැනයි.

ලියුචු වනාන්තර නගරයේ සංකල්පනාත්මක සිතුවමක් (theguardian.com)

චීනයම ලෙඩ කරන වායු දූෂණය

මේ වන විට චීනය ඉතාමත් දරුණු ලෙස වායු දූෂණයේ ගොදුරක් බවට පත් වී ඇති අතර ලැව් ගින්නක දී අළු පැහැ දුමෙන් වනාන්තර වැසී යන අයුරින් ඇතැම් නගර දූෂිත වායූන්ගෙන් වැසී පවතින බව පැවසෙනවා. දැනට වාර්තා වී ඇති අන්දමට දින දෙකක් තුළ දී චීනය තුළ අලෙවි වන නාස් ආවරණ ගණන 500,000 ඉක්මනවා. එසේ ම අධ්‍යයනයන් මගින් පෙනී ගොස් ඇත්තේ මිය යන චීන වැසියන් අතරින් තුනෙන් එකක් ම මිය යන්නේ වායු දූෂණය හේතුවෙන් බව යි.

වසරක දී චීන වැසියන් මිලියන 1.1 කට මරු කැඳවන වායු දූෂණය හේතුවෙන් චීන වැසියෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව ද අවුරුදු 5.5 කින් පහළ ගොස් තිබෙනවා. මෙවැනි සංඛ්‍යා දත්ත හේතුවෙන් ම වායු දූෂණය පරාජය කිරීම සඳහා නවීන විසඳුම් සෙවීම කෙරෙහි චීන රජයේ අවධානය යොමු වී ඇති අතර ‘ලියුචු වනාන්තර නගරය’ යෝජනාව බිහි වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.

ස්ටෙෆානෝ බොඒරි (2015.chicagoarchitecturebiennial.org)

වගකීම පැවරුණු ඉතාලි ජාතිකයා

ඒ අනුව දූෂිත වායූන්ගේ ගොදුරක් බවට පත් ව ඇති චීනය එයින් මුදවා ගනිමින් හරිත පැහැ ගහකොළින් වැසී ගිය සොඳුරු නගරයක් නිර්මාණය කිරීමේ වගකීම භාර වී ඇත්තේ ස්ටෙෆානෝ බොඒරි නම් ඉතාලි ජාතික ගෘහ නිර්මාණ ශිල්පියාට යි. ඔහුගේ අරමුණ වන්නේ නගරය තුළ පිහිටා ඇති කාර්යාල, නිවාස සහ හෝටල් සෑම එකක් ම සම්පූර්ණයෙන් ම පඳුරු සහ පැළෑටි යොදා ගනිමින් ආවරණය කිරීම යි. ඒ මගින් නගරයේ ඇති දූෂිත වායූන් සහ දුහුවිලි ආශ්වාස කරනු වෙනුවට නැවුම් වාතය ලබා ගැනීමට අවස්ථාවක් සැලසෙනු ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මීට පෙර ද අති සාර්ථක ලෙස ඉතාලියේ මිලාන් නගරය ආශ්‍රිත ව වනාන්තර නගරයක් නිර්මාණය කිරීම ආරම්භ කිරීමට ස්ටෙෆානෝ බොඒරි සමත් වුණා. 2007 වර්ෂයේ දී ගොඩ නැංවීම ආරම්භ කරන ලද එහි වැඩ කටයුතු තවමත් අවසන් ව නොමැති අතර එය හඳුන්වන්නේ ‘Bosco Verticale’ යන නාමයෙන්. එසේ ම ලියුචු වනාන්තර නගරය සාර්ථක වුවහොත් එවැනි ම තවත් ව්‍යාපෘතියක් නැගෙනහිර චීනය නැංජින් නගරය ආශ්‍රිත ව ක්‍රියාත්මක කිරීමට චීන රජය බලාපොරොත්තු වන බව ස්ටෙෆානෝ බොඒරි හෙළිදරව් කර තිබෙනවා.

Bosco Verticale (en.wikipedia.org)

ලියුචු වනාන්තර නගරය එක ළඟ පිහිටි දැවැන්ත කුළුණු දෙකකින් සමන්විත වනු ඇති අතර ඒවා ගණනින් විශේෂ 23 කට අයත් ශාඛ සහ විශේෂ 2,500 ඉක්ම වන එල්ලා හැලෙන පඳුරුවලින් (cascading shrubs) සම්පූර්ණයෙන් ම ආවරණය වනු ඇත. දැනට සැලසුම් කර ඇත්තේ එම දැවැන්ත කුළුණු ද්විත්වය තුළ නිවාස, කාර්යාල, කාමර 247 ක් සහිත සුඛෝපභෝගී හෝටලයක්, කෞතුකාගාරයක් සහ හරිත ගෘහ නිර්මාණ පාසලක් පිහිටු වීමට යි. මෙය ගොඩ නැංවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර ලබන වසරේ දී එහි වැඩ අවසන් කිරීමට චීන රජය බලාපොරොත්තු වෙනවා.

යෝජිත ලියුචු වනාන්තර නගරයේ සංකල්පනාත්මක සේයා රුවක් (© Stefano Boeri Architetti)

අමුතුම විදිහේ නගරයක්

මෙම වනාන්තර නගරය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ වෙනත් දූෂක වායූන් උරා ගැනීම සහ ඒ වෙනුවට පිරිසිදු ඔක්සිජන් නගරයට මුදා හැරීම යි. දැනට ඇස්තමේන්තු ගත කර ඇති අන්දමට ලියුචු වනාන්තර නගරයේ සංඛ්‍යා දත්ත පහත පරිදි වෙනවා.

  • වසරකට උරා ගන්නා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 10,000
  • වසරකට උරා ගන්නා අනෙකුත් වායු දූෂක ප්‍රමාණය ටොන් 57
  • වසරක ශුද්ධ ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 900
  • නගරයේ සමස්ත නිවැසියන් ගණන 30,000
  • නගරයේ ඇති වෘක්ෂ සංඛ්‍යාව 40,000
  • නගරයේ ඇති පැළෑටි සංඛ්‍යාව 1,000,000

එංගලන්තයේ ‘ද ගාර්ඩියන්’ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ස්ටෙෆානෝ බොඒරි ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි විශාල ගස් වැල් සංඛ්‍යාවක් රෝපණය කිරීම මගින් වායු දූෂණය අවම කර ගැනීමේ හැකියාවක් පවතින බව යි. නමුත් චීනය වැනි විශාල රටක නගරාශ්‍රිත ව පවතින මාර්ග තදබදය හේතුවෙන් ඇති වන වායු දූෂණය අවම කර ගැනීම සඳහා වනාන්තර නගර කිහිපයක් පමණක් කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටිනවා.

සම්පූර්ණයෙන් ම ගොඩ නංවන ලද වනාන්තර නගරයක් (theguardian.com)

“දැවැන්ත නගරාශ්‍රිත පරිසරයට වනාන්තර නගර සහිත ගොඩනැගිලි දෙකක් කිසිසේත් ම ප්‍රමාණවත් නැහැ. එය ඉතාමත් කුඩා දායකත්වයක් පමණ යි. නමුත් පැහැදිලි ව ම එය ඉතා හොඳ අාදර්ශයක්. මම විශ්වාස කරනවා මේ හරිත ගෘහ නිර්මාණ ශිල්පය නැවත නැවතත් ක්‍රියාවේ යෙදවිය හැකි බව!”

කාබන් විමෝචනය අඩු කරන්නත් තාක්ෂණයේ පිහිට

ලියුචු වනාන්තර නගරය ගොඩ නැංවීමෙන් අනතුරු ව එය අධිවේගී විදුලි දුම්රිය රැහැන් හා සම්බන්ධ කරනු ඇති අතර නගරයේ අභ්‍යන්තර වායු සමීකරණ කටයුතු සඳහා භූ තාපය සහ විදුලිය ලබා ගැනීම සඳහා සූර්ය පැනල භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. එසේ ම වායූ දූෂණය අවම කරනවාට අමතර ව ලියුචු වනාන්තර නගරයේ සාමාන්‍ය වායු උෂ්ණත්වය අඩු කිරීම, ශබ්ද බාධකයක් ලෙස කටයුතු කිරීම සහ සතුන්, පක්ෂීන් සහ කෘමීන් සඳහා මිත්‍රශීලි වටපිටාවක් ඇති කරනු ඇති බවට බලාපොරොත්තු වෙනවා.

සම්පූර්ණයෙන් ම ගොඩ නැංවූ පසු ව ලියුචු වනාන්තර නගරය දිස්වන අයුරු (© Stefano Boeri Architetti)

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් එය චීනයේ ප්‍රථම වනාන්තර නගරය බවට පත් වන අතර එයින් පසු ව නැංජින් සහ ක්‍රමයෙන් චීනයේ දූෂිත ම නගර ලේඛනයේ ඉහළින් ම ඇති නගර ඉලක්ක කර ගනිමින් මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමට චීන රජය අපේක්ෂා කරනවා. එසේ ම එය නැවුම් වාතය ජනිත කරමින් වායු දූෂණය අවම කරන, ජෛව විවිධත්වයෙන් යුතු තිරසාර නගර බිහි කිරීම කෙරෙහි ගෝලීය ප්‍රජාවට උදාහරණයක් වනු ඇත.

චීනය වායු දූෂණයට පිළියමක් ලෙස ක්‍රියාත්මක කරන වනාන්තර නගර සංකල්පය සැලසුම් කළ ලෙස ම සාර්ථක නොවුණ ද බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ වායු දූෂණයට පිළියම් සොයන රටවලට මග පෙන්වීම සඳහා එය විශිෂ්ට අදහසක් බව යි.

කවරයේ පින්තූරය : Picture 7 (© Stefano Boeri Architetti)

Related Articles